ශනල්කගේ නිවසේ රාත්‍රී ආහාරය ඉතා විනෝදකාමී එකක් විය. යෙහෙනි හා ශනල්ක දෙදෙනා සෑම විටකම මොනවා හෝ කියා ගනිමින් සිනාසුණු අතර ඔවුන්ගේ දෙමාපියන්ද තමන්ගේම කතා බහක අතරමංව සිටි හෙයින් අපි තිදෙනා අපේ ලෝකයේ තනිව සිනාසුනෙමු.
'ඔයා දන්නවද?' යෙහෙනි ශනල්කට පාන් පෙත්තක් දිගු කරමින් විමසුවාය. මම ඇය දෙස බලා සිටියේ ඊළඟට කියන්නට යන කතන්දරය කුමක්දැයි දැන ගැනීමේ උවමනාවෙන් යුතුවයි.
'ඒ ගමන මොකක්ද කරපු කුපාඩි වැඩේ?' ශනල්ක මගේ දෙසට මුරුක්කු පිඟාන දිගු කරමින් ඇසීය.
'ලිතුම්ට එක සැරයක් පීරියඩ් හැදුණා.' යෙහෙනි ඇගේම උගුරේ කෑම හිර කර ගනිමින් පැවසුවේ කට කොණකට සිනහවක් නගා ගනිමිනි.
මම කැස්සක් ඒම වළක්වා ගනිමින් ඇය දෙසත් ශනල්ක දෙසත් බැලුවෙමි. 'මොකක්?'
යෙහෙනි විනෝදකාමී දෑසින් මා දෙස බැලුවාය. 'එයා දවසක් අපේ පන්තියේ චතුර්යාට හිනා වුණා චතුර්යාගේ ගවුමේ ලේ ගෑවුණා කියලා. ඒ වෙලාවේ මම රණ්ඩු නොකර හිටියා. එදා හවස ලිතුම් ක්‍රිකට් ප්‍රැක්ටිස්වලට සුදු කලිසම ඇඳගෙන ඇවිත් කන තැනින් වාඩි වෙන්න හැදුවහම මම එතනින් රතු පාට ජෙල් පෑනක් තිබ්බා. ලිතුම්ගෙම පර්ස් එකේ තිබුණ පෑනක් ඉතින්. ඊට පස්සේ අපි හැමෝම අනික් පැත්තට එයාට හිනාවුණා ගෑනු ළමයෙක් වෙලා කියලා.'
'නංගි!' ශනල්ක යටි තොළ සපමින් සිනහව නවතා ගන්නට උත්සාහා කළේය. 'ඒක හරිම නරක වැඩක් හැබැයි.'
'හොඳ වැඩේ ලිතුම්ට. මට එයාව පේන්න බෑ.' මම යෙහෙනිට උල්පන්දම් දුන්නෙමි.
'අන්න ඒකයි. එයාව කාටවත් පේන්න බෑ. එයාව කාට හරි පේන්න පුළුවන් නම් අන්න ඒක ලෝක පුදුමයක්. ඇත්තමයි... එයා නම් මාර හිසරදයක්.'
'බෑ කියන්නත් බෑ ඉතින්. මාත් ඒ ළමයට කැමති නෑ.' ශනල්ක අවසානයේ යෙහෙනිට එකඟ වෙමින් පැවසීය.
රාත්‍රී ආහාරයෙන් පසුව මාත් ශනල්කත් ඔහුගේ කතා පොත් තිබූ අල්මාරිය අසල සිටගෙන මට කියවීමට සුදුසු කතා පොතක් සොයන්නට වීමු. ඔවුන්ගේ නිවසේ සියල්ලන් පුරුද්දක් වශයෙන් රාත්‍රී ආහාරයෙන් පසුව පැයක් පොතක් කියවීමට පුරුදුව සිටින බව ශනල්ක මට පවසා සිටියේය.
'මේක මොන වගේද?' මම පොතක් අතට ගෙන විමසුවෙමි.
ශනල්ක එය දෙස හිස හරවා බැලීය. 'ද කලර් පර්පල්? ඕක ලෙස්බියන් කතාවක් කියලා අහලා තියෙනවා. මම කියවලා නෑ. අපේ නංගි තමා ඕක ගත්තේ.'
'අපොයි...' මම නැවතත් පොත තට්ටුවක් මතින් තැබුවෙමි.
'මේක හොඳයිද බලන්න...' ශනල්ක තවත් පොතක් මගේ අතින් තැබුවේය.
මම පොත දෙස බැලුවෙමි. 'ෆනී බෝයි? මේක මම බලලා තියෙනවා. කියවලා නෑ හැබැයි. ඒක නිසා මේක හොඳයි වගේ.'
'එහෙනම් හරි.' ශනල්ක අල්මාරිය වසා ගෙල කැසීය.
මම ඔහු දෙස බලා සිටියෙමි. හේ හිස ඔසවා මා දෙස බැලුවේ මම කුමක් හෝ කියන්නට තැත් කළ ලෙසකිනි.
'මොකක් හරි කියන්න තියෙනවද?' ඔහු කෙළ ගිලිමින් විමසීය.
මම හිස දෙපසට වැනුවෙමි. 'නෑ...'
ශනල්ක උරහිස් අකුළා එතැනින් පිටව ගියේ මට ඔහුව අනුගමනය කරන්නට යැයි නොකියා කියමින්ය. අපි සාලය පසු කොට එක් පසකින් විවෘතව තිබූ කාමරයක් වෙත ගියෙමු. එහි මැද ටීපෝවක් හා වටේට සෝෆා තබා තිබුණු අතර දිගු සෝෆාවේ යෙහෙනි දිග හැරී සිටියේ කතා පොතක් අතක තබාගෙනය.
'අතනින් වාඩි වෙන්න.' ශනල්ක මට පුටුවක් පෙන්වමින් පැවසූ අතර මම හිස වනා එතැනින් හිඳ ගත්තෙමි. ඔහු ගොස් යෙහෙනිගේ හිස පුටුවෙන් ඔසවා එහි හිඳගෙන ඇගේ හිස ඔහුගේ උකුලෙන් තබා ගත්තේය.
මම මොහොතකට ඔවුන් දෙදෙනා දෙස බලා සිටියේ මට හා මෙහන්සාටත් මෙලෙස ඉන්නට ලැබුණා නම් කියන සිතිවිල්ල සිතේ කොණකට කැටි කරගෙනයි. ඉන් පසුව පැයක් පුරාවටම අපි තිදෙනා කිසිවක් කතා නොකර පොත් මැද අතරමංව සිටියෙමු. ඉඳහිට කිසිවෙකු හෝ හෙලනා සුසුමක් හැරුණු කොට වෙනත් බාධාවක් අපිට ඇති නොවිණි.
පැය අවසානයේදි යෙහෙනි නැගිට ඇගේ කාමරයට අතුරුදහන්ව ගිය අතර මමත් ශනල්කත් හිස් බැල්මකින් යුතුව එකිනෙකා දෙස බලා සිටියෙමු.
'වැඩ ටික සම්පූර්ණ කරගන්නත් තියෙනවා.' මම අවසානයේ පැවසුවෙමි.
'මම කියලා දෙන්නම්.' ශනල්ක ඔහු අත වූ පොත පසෙකින් තබමින් පැවසීය.
මම නිහඬ වූයෙමි. 'මම ඊළඟ සතියේ ඉඳන් ආයේ ඉස්කෝලේ යන්නත් ඕන...'
ශනල්ක ඔහුගේ පුටුවෙන් නැගිට විත් මගේ පසෙකින් හිඳ ගත්තේය. 'ප්‍රශ්නයක් නෑ නේද? මොනවා හරි... ඉස්කෝලේ?'
'සහේෂ්? එයා ගැන මම මොකද කරන්නේ?' මම විමසුවෙමි.
'ම්ම්ම්....'
ශනල්ක ඔහුගේ අතක් මගේ හිස මතින් අත තබා මගේ කොණ්ඩය මෘදුව අවුල් කර දැමීය. 'එයා කතා කරයි ඔයා එක්ක... ඒත් ඉතින් ඔයා එයාට කැමතියි කියලා කියන එක නම් දැන්ම කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නේ නෑ. ඒ ඇරෙන්න ඉතින්...'
'මම දන්නවා...' මම වචන කිහිපයක් පිට කළෙමි.
මොහොතක නිහැඬියාවකට පසු ශනල්ක එතැනින් නැගී සිටියේය. 'අපි යමුද නිදාගන්න?'
මම පොත ටීපෝව මතින් තබා ඔහුගේ පසෙකින් නැගිට ගත්තෙමි. 'යමු එහෙනම්.'
මුහුණ සෝදා ගැනීමෙන් පසුව ශනල්ක කාමරයේ විදුලි ආලෝකය නිවා දැමීය. මම ඔහුගේ එහා පසින් ඇඳට ගුලි වූයෙමි. පිරිමි ළමයෙකු සමග රාත්‍රියක් ගත කිරීම අමුතු හැඟීමක් ගෙන දෙන්නක් මෙන් මට දැනුණද ශනල්ක සමග සිටීම එතරම් අපහසුවක් ගෙන දෙන්නක් නොවීය. ඔහු සියල්ලන් සමග හොඳින් සිටි කතා කිරීමට පහසු පුද්ගලයෙකු වූ නිසාවෙන් මටද සිතට සහනයක් දැනිණි.
මධ්‍යම රාත්‍රිය පසුවෙන තුරුත් නින්ද නම් මගේ අසලකටවත් ළඟා වූයේ නැත. ශනල්ක නින්දට වැටී ඇති බව කියමින් ඔහු ගැඹුරු සුසුම් ගන්නා හඬ මගේ සවන් වැකිණි. මම අනෙක් පසට හැරී ජනේලයෙන් පැමිණි ආලෝකයෙන් ශනල්ක දෙස බැලුවෙමි.
ඔහුගේ මුව අඩක් විවරව තිබූ අතර දෑස් සන්සුන් ලෙස පියැවී තිබුණේ පෙර නොතිබූ සන්සුන් බවක් ඔහුගේ මුහුණට ගෙන දෙමිණි. පිම්බී තිබුණු ශනල්කගේ කොපුල් දුටු මට ඒවා මිරිකීමට ආසාවක් පැන නැගිණි. පොරවනය යටින් අත උඩට ගත් මම මෘදු ලෙස ඔහුගේ කොපුලක් මතින් ඇඟිලි තැබුවෙමි. මනා සේ රැවුල බා තිබූ හෙයින් ඔහුගේ කම්මුල් අසාමාන්‍ය ලෙස සිනිඳු බවකින් යුතු විය. මම නොනවත්වා මගේ ඇඟිලි තුඩු වලින් ඔහුගේ කම්මුල පිරි මදින්නට වූයේ එහි පහස මට අමුතු ආකාරයේ සන්සුන් බවක් ලබා දෙන්නට වූ බැවිනි.
'ම්ම්ම්...' ශනල්ක කෙඳිරියක් නැගූ විට තිගැස්සුණු මම අත ඉවතට ගත්තෙමි. ඔහු නින්දෙන්ම අතක් දිගු කොට මගේ ඉණ වටා යවා මගේ පපුව මතින් ඔහුගේ හිස තබා ගත්තේ මට කෙළ ගුලියක් ගිල්ලවන්නට සමත් වෙමිනි.
මම මගේ වෙව්ලන අතක් ඔහුගේ සිරුර මතින් තැබුවෙමි. එය අමුතු හැඟීමක් ගෙන දෙන්නක් වුවද අමුතු ආකාරයේ සන්සුන් බවකින් හා සැනසීම්දායක බවකින් යුතු වූ හෙයින් මම එයට ආශා කරන්නට වූයෙමි.
ඔහුගේ හිස මතින් මගේ නිකට තබා ගත් මම දෑස් පියා ගත්තේ වේගයෙන් ගැහෙනා මගේ හදවතට එක් වරකට හෝ සීමාවෙන් පැන කටයුතු කරන්නට අවසර ලබා දෙමිනි.
_____________
2022 - 04 - 14
සුබ අලුත් අවුරුද්දක් වේවා.
මම නම් ඉන්නේ සෑහෙන ප්‍රශ්න ගොඩක... ආර්ථික, පවුල්, පාසල් වගේ මෙකී නොකී ප්‍රශ්න ගොඩක මැදි වෙලා ඉන්නේ. ඒ සේරම දේවල් නිසා මානසික තත්වයත් බිංදුවටම බැහැලා. ඒත් ඉතින් තාමත් ජීවත් වෙනවා.
ඔයාලටත් ශක්තිමත්ව අවුරුද්දේ ඉතිරි ටික ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කඳුළැලි 4K views වලට ස්තූතියි.
මට හම්බුණ හොඳම අවුරුදු තෑග්ග තමයි ඒක.
ස්තූතියි.
_sas_