පාසලේ අවසාන දවසේ ලියෝ සංගමයෙන් පැවැත්තවූ උත්සවය රාත්‍රිය වනතුරුම පැවතුණු අතර මම එහි කාර්යයන්හි කාර්යබහුල වී සිටි හෙයින් මෙහන්සා නිවසට ගියාද නැතිද යන්නවත් සොයා බැලීමට මට නොහැකි විය. අකිඳු හා හිමාෂ් දෙදෙනා මගේ දෙපසින් හිඳිමින් මට කළ යුතු දෑ ගැන කියමින් සිටි අතර මම කලබලයෙන් මෙහන්සාට කෙටි පණිවිඩයක් යැවීමට සමත් වීමි. ඉන් පැය භාගයක් ගත වූ තැන පවා ඇගෙන් මට පිළිතුරක් ලැබී තිබුණේ නැත.
'මිනිරු...' හිමාෂ් මගේ අතකට තට්ටු කළේය.
මම දුරකථනයෙන් හිස ඔසවා බැලුවෙමි. 'ම්ම්ම්?'
'ඔය ෆෝන් එක පැත්තකින් තියලා වරෙන් බං යන්න. අර අරහේ කට්ටිය බලන් ඉන්නවා ඔයා එනකන්.... මිනුලා ඉටිපන්දමත් අල්ලගෙන බලන් ඉන්නවා අපි දෙන්නා ඇවිත් පත්තු කරනකන්...' හිමාෂ් මගේ දුරකථනය අතකින් උදුරාගෙන එය විසන්ධි කර දැමීය.
මම සුසුමක් හෙළා ඔහු සමග උත්සව ශාලාවට පිය නැගුවෙමි. මිනුලා අතකින් ඉටිපන්දමත් අල්ලාගෙන පහන අසල සිටගෙන සිටියාය. මා දැකීමත් සමගින් ඇය මට රැවූයේ මම පමා වූ බව කීමට ඔරලෝසුවද හිසින් පෙන්වමිනි. මම උරහිස් අකුළා දැන් කළ හැකි කිසිවක් නොමැති බව ඇයට හඟවා සිටියෙමි.
අප වටා ඡායාරූප ගන්නා ශබ්ද පිරී යද්දී මාත් හිමාෂ් හා මිනුලා තිදෙනා පොල්තෙල් පහන දල්වාලූයෙමු. අප තිදෙනා මෙම වසරේ උසස් පෙළ කරනා නිසාවෙන් අපට නිල මණ්ඩලය අතහැර යාමට සිදුව තිබිණි. පළමුව තිබුණේ මගේ කතාවයි. ඉන් පසු නව නිලධාරී මණ්ඩලයට නිල ලාංඡන පැළඳවීම සිදුවිය. මම ඉදිරිපස අසුනක සිටි නිසාවෙන් මට මගේ දුරකථනය පවා පිටට ගත නොහැකි විය. ආරාධිත අමුත්තන් අතර කාර්යබහුල වද්දී මෙහන්සා පිළිබඳ සෙවිය යුතුය යන සිතුවිල්ල මගේ සිතින් කෙමෙන් වියැකිණි. එය අවසාන වන විට රාත්‍රී නවයට ආසන්න වූ අතර නිවසට යෑමට පෙර හිමාෂ් විසින් අපට ආහාර වේලක් ගෙන දෙන බවට පවසා සිටියේය.
ඉදින් අපි සියලු දෙනා අසල වූ කෑම කඩයකට ගොස් එහි පැය එකහමාරකට ආසන්න කාලයක් ගත කළෙමු. ඒ අසලම වූ සුපිරි වෙළඳසලකට අප ගොඩ වැදුණේ අතුරුපස සඳහා යමක් මිලදී ගැනීමටයි. එහි රාක්කයක තිබූ නියුටෙලා බෝතලයක් දුටු මම එය මිලදී ගත්තේ නිවසට පමා වී පැමිණීම ගැන මෙහන්සාගෙන් සමාව ගැනීමේ කප්පමක් ලෙසට භාවිතා කිරීමටයි. ඇය නියුටෙලා වලට දැක්වූයේ දැඩි ප්‍රියතාවයකි. දැඩි වෙහෙසත් සමගින් පියැවෙන්නට ඔන්න මෙන්න තිබූ මගේ දෑස් මොහොතකට ඇරුණේ මිනුලා මගේ අතක් මිරිකූ නිසයි.
අප එයින් පිටව පැමිණෙන විට රාත්‍රී එකොළහයි තිහට ආසන්න වී තිබිණි. මිනුලාව නිවසට ඇරල වූ මමත් හිමාෂ් හා අකිඳු එක්ව අපගේ නිවෙස් කරා බලා ගියෙමු. කෙසේ හෝ මම නිවසේ දොර විවර කර නිවසට ඇතුළු වද්දී වේලාව දොළහයි හතළිස් පහට පමණ විය.
මම ඇඟිලි තුඩු වලින් දෑස් පිරිමැද්දේ නිදිමත යවා ගැනීමටයි. මම වෙහෙසට පත්ව සිටින බව මෙහන්සා නොදැකිය යුතු බව මම දැඩිව විශ්වාස කළෙමි. මම පරක්කු වූ නිසා තරහට ඇය මගේ කෙටි පණිවිඩ වලට පිළිතුරු නොදී ඉන්නා බවට මම දැන සිටියෙමි.
'නංගි...' මම ඇගේ දොර අසල මදක් නැවතී සිටියේ ඇය පැමිණ දොර විවර කරාවි යන සිතුවිල්ල ඇතිවයි. විනාඩි පහක් පමණ ගත වූවද මට කිසිඳු පිළිතුරක් නොලද තැන මම කිහිප වතාවක් ඇගේ දොරට තට්ටු කළෙමි.
ඇගෙන් ප්‍රතිචාරයක් නොලද තැන මම දොර විවර කළෙමි. එය අගුලා ලා තිබුණේ නැති අතර මම නියුටෙලා බෝතලය ඉහළට එසවීමි. 'මම ඔයාට නියුටෙලා බෝතලයක් ගෙනාවා වස්තුවේ. පරක්කු වුණාට සමාවෙන්න... අයියට වැඩ තියෙනවනේ බබා... ඔයා මේක තනියම කන්න... මම හොරෙන්වත් කන්නේ නෑ...' මම දෑස් පියාගෙන කීවද මෙහන්සාගේ හඬක් හෝ මට නොඇසෙයි.
මම ඇගේ කාමරයේ බල්බය දල්වා බැලීමි. අඳුරින් ආලෝකයට මගේ දෑස් හුරුවද්දී දුටු දසුනින් මගේ මුළු සිරුරම ගල් ගැසිනි. නියුටෙලා බෝතලය බිම පෙරලී යන හඬ මට ඇසුණු අතර දෑතින්ම හිස බදාගත් මම බිම ගුලි වී විලාප තැබීමි.
ඉන් පසු වූ කිසිවක් මගේ සිහියේ නිසි පරිදි රැඳුණේ නැත. පියා ඉහළට මාලයට එන හඬ යන්තමින් කන වැකුණද ඔහු කී එකදු වදනක් හෝ මට පැහැදිළි වූයේ නැත.
මම දෑස් විවර කරද්දී මම සිටියේ නිවසේ සාලයේය. වේලාව පාන්දර දෙකට පමණ ආසන්න වී තිබුණු අතර මම සෝෆාවේ නින්දට වැටී තිබිණි. මගේ දෙතොල් වියැළී තිබුණු ආකාරයක් මට දැණුනු අතර දැඩි පිපාසයක් මගේ උගුර ආක්‍රමණය කරමින් තිබිණි.
'වතුර...' මම තොල් මැතිරීමි.
කිසිවෙකුත් මට ජලය නොදුන් අතර මගේ දෑස් අඩවන් වද්දී මම දුටුවේ නිවසේ ඉදිරිපිට නවත්වා තිබූ ගිලන් රථයකුයි. නිවස පුරා කතා කරන හඬවල් පිරී තිබුණු මුත් මට ඒ කිසිවක් පැහැදිළිව ඇසුණේ නැත. මම සෝෆාවෙන් බිමට තල්ලු වී මගේ සිරුර වසා තිබූ පොරවනය සමගින්ම බිම ගුලි වූයෙමි.
'පුතේ...' කිසිවෙකු හෝ මගේ උරයට අතක් තැබීය.
'ව...තුර...' මම තොල් මැතිරූ අතර ඉන්පසුව කිසිවෙකු හෝ මගේ තොල් අතරට වතුර කෝප්පයක් තබනා ආකාරය මට දැනිණි. මම අපහසුවෙන් වතුර උගුරක් පානය කොට මදක් එලෙසම සිටියේ පියවි සිහිය නැවත පැමිණෙන තුරුයි.
මදකින් පසු මට සියල්ල පැහැදිළිව පෙනෙන්නට විය. එක්වරම මගේ සිහියට නැගුණේ මෙහන්සාවයි. මම අත තිබූ කෝප්පය බිම තබා ඉහළ මාලයට දිව යෑමට තැත් කළෙමි. අසල්වාසීන් දෙදෙනෙකු මගේ ඉඟෙන් අල්ලා මාව පසුපසට ඇදි අතර මම යටිගිරියෙන් කෑ ගැසුවේ ඔවුන්ට පා පහරද එල්ල කරමිනි.
මගේ සිරුරේ තිබූ සියලු ශක්තිය අවසානවන තුරුම මම විලාප දුන් බව පමණක් මට දැනිණි. සියල්ල නැවතත් අපහැදිළි වන්නට විය. නිවස පුරා ඇවිද යමින් සිටි මිනිසුන් මගේ දෑසට අපහැදිළි ලෙස පෙනිණි. සයිරන් නළා ශබ්ද මගේ දෙසවන් වැකෙද්දී මට අවබෝධ වූයේ ගිලන් රථය පිටව යන බවයි.
ඉන්පසුව අසල්වාසී කාන්තාවක් මගේ මුහුණ තෙත් දියෙන් තෙත් කරන බව මට දැනිණි. මගේ පියවි සිහිය පැමිණියේ එවිටය. සිටි තැනින් සෙලවීමට පවා ශක්තියක් මගේ ගතට නොදැනුණු අතර මම අසල්වැසි කාන්තාවගේ දෑතට වැටී ඔහේ බලා සිටියෙමි.
මම සිටි සෝෆාවට පසුපසින් අඩි හඬවල් කිහිපයක් ඇසුණු අතර මම අපහසුවෙන් පසුපස හැරී බැලුවෙමි. පියා සහා අනෙකා සමගින් උස මහත මිනිසෙකු පඩිපෙළ බසිමින් සිටියේය. අවසානයේ උස මහත මිනිසා වදන් කිහිපයක් මුමුණා නිවසින් පිටව ගිය අතර මගේ පියා ෆයිල් කවරයක් ගෙනවිත් මම සිටි සෝෆාව උඩට අත හැරියේය. ඔහු අනෙකා සමග එතැනින් පිටව යද්දී මම හිස හරවා ෆයිල් කවරයට බැල්මක් හෙලීමි.
එහි වූ සුදු කොළයක කටු අකුරින් සටහන් කර තිබූ වදන් කිහිපය මට යන්තමින් කියවාගත හැකි විය.
නම - මෙහන්සා දෙව්රනි ගමගේ
වයස - පහළවයි
මරණයට හේතුව - ගෙල වැල ලා ගැනීම හේතුවෙන් සිදු වූ අස්ථි බිඳීම හා හුස්ම හිරවීම
මට විලාප දීමට අවැසි වූ මුත් මට කිසිවක් කළ නොහැකි විය. නැවතත් මගේ දෑසට සියල්ල අඳුරු වී යද්දී මම අසල්වැසි කතගේ දෑතට නැවත වතාවක් ඇද වැටුණේ හඬා ගැනීමටවත් ශක්තියක් නොවූ හෙයිනි.
______________
_කඳුළැලි_
2022 - 03 - 16
*********
කඳුළැලි තමයි...
ಥ_ಥ