මෙහන්සාගේ පන්තිභාර ගුරුවරිය ඉදිරිපිට සිටගෙන සිටියදී මට දැනුණේ නොසන්සුන් බවකි. ඇය දිගින් දිගටම පැවසුවේ මෙහන්සාගේ අවධානය පන්ති කාමරයෙන් නිතර ගිලිහී යන බවයි.
'මට මේ ළමයින්ගේ අම්මටයි තාත්තටයි එන්න කියන්න විදිහක් නෑ, ඒ දෙන්නටම වැඩනේ. ඒත් බලන්න මිනිරු පුතේ ඔයාගේ නංගි පන්තියේ කියන කිසි දෙයක් අහන් ඉන්නේ නෑ. පහුගිය වාර දෙකේම මේ ළමයා හොඳට හිටියා. හොඳට වැඩ කළා. ලකුණු තිබ්බා. දැන් නෝට් එකත් ලියන්නේ බාගෙට. මොකක්ද මේ එක පාරට වුණේ?'
මේසයේ අනෙක් කොණේ සිටගෙන සිටි මෙහන්සා බිම බලාගත්වනම පසු වූවාය. ඇයගේ මුහුණේ වූ වෙහෙසකර බව ගුරුවරියගේ අවධානයට යොමු නොවන්නට ඇතැයි මම අනුමාන කළෙමි. නිවසේ වාතාවරණය දිගින් දිගටම ඇයව හිර කරමින් තිබිණි. මට ඇයට උපකාර ලෙස කළ හැකි කිසිවක්ද නොවූයෙන් මමද අසරණව සිටියෙමි.
'මම එයාට කතා කරන්නම් මිස්.' මම පැවසුවේ ගුරුවරිය තව තවත් මොනවාදෝ පවසන්නට වූ විටයි. මට මගේ කන් වල ඇඟිලි ගසා ගැනීමට පවා සිතුවිල්ලක් ඇති වුණත් මමද මෙහන්සා මෙන් හිස නවාගෙන ඒ සියල්ල අසා සිටියෙමි.
අවසානයේ එය අවසාන වූ විට මෙහන්සාට හා මට ඇගේ පන්ති කාමරයෙන් එළියට පැමිණීමට ඉඩ ලැබිණි. අපි දෙදෙනා නිහඬව එළියට පැමිණ විට මම දිගු සුසුමක් ගත්තෙමි. 'හම්මෝ...'
මෙහන්සා ඇගේ ඇඟිලි තුඩු වලින් මගේ අතක් අල්ලා ගත්තාය. 'සොරි...'
මම ළය පුරාවට ගත් සුසුම පිට කළෙමි. 'ඒක අමතක කරන්න. අපි ගෙදර ගිහින් කතා කරමු...'
මෙහන්සා නිහඬවම මගේ අත අත හැරියාය. මට ඇයව තේරුම් ගැනීමට අපහසු විය. ඇය ඇය වටාම යම් ආවරණයක් ගොඩ නගාගෙන ඇයව අප අතරින් වෙන් කරමින් සිටියාය. නිවසේ සිදුවන සියල්ල ඇයට අපහසු වෙමින් තිබූ බැවින් ඒ සඳහා ඇයට වරදක් කීමටද නොහැකි විය. අප දෙදෙනා නිහඬව ශිෂ්‍ය නායක කාමරය වෙත පිය නැගුවෙමු.
ශිෂ්‍ය නායක කාමරය තුළ සහේෂ් හා පසන් අයියා යමක් සඳහා වාද කරමින් සිටියෝය. මම දොරට තට්ටු කොට ඇතුළට ගියේ මෙහන්සාගේ අතකින් අල්ලා ගෙනයි. අප දුටු විගස සහේෂ් හා පසන් අයියා ඔවුන්ගේ වාදය නතර කළහ.
'හායි මෙහන්සා බබා...' පසන් අයියා පුටුවෙන් නැගිට විත් මෙහන්සාගේ කෙටි කෙස් කළඹ අතරින් ඇඟිලි යැවීය.
මෙහන්සා සියල්ලන්ගේම නැගණිය වැනි විය. ඇය ශිෂ්‍ය නායක කාමරයේ නිත්‍ය සාමාජිකාවක් වූයේ මම නිතර ඇයව එහි රැගෙන ගිය බැවිනි.
මෙහන්සා පසන් අයියාට සිනහවක් පා මගේ අතට තවත් තද වූයේ පසන් අයියාගේ අතේ ස්පර්ශයෙන් ඈත් වන්නට මෙනි. මම මෙහන්සාගේ උරයෙන් අල්ලා ගෙන ඇයව කොණක තිබූ අසුනක හිඳවූයෙමි. මම ශිෂ්‍ය නායක අත්සන් පොතේ අත්සන් කොට මගේ බෑගය අසලට ගියෙමි.
මම බෑගයට පොත් දමමින් සිටින විට එතැනට පැමිණියේ සහේෂ්ය. 'මෙහන්සා අවුලකින්ද බං?' සහේෂ් මගෙන් විමසුවේය.
'පොඩි ප්‍රශ්නයක් පන්තියේ. ලොකු අවුලක් නෑ.' මම කීවෙමි.
'ලකුණු වල ප්‍රශ්නයක්ද?' සහේෂ් ඔහුගේ අත මේසයට තද කරමින් විමසීය.
මම කිසිවක් නොකීවෙමි. අප දෙදෙනාගේ පුද්ගලික ගැටළු කිසිවක් කිසිවෙකුට කීමට මට අවැසි නොවීය. සහේෂ් වසර ගණනාවක් මගේ හොඳම මිතුරා වූ බව සැබෑවක් වුවත් ඔහුට පවා කිසිවක් කීමට මට අවශ්‍ය නොවීය.
'කියන්න බැරි නම් කමක් නෑ.' සහේෂ් කීවේ මම මගේ බෑගය උරයට දමා ගන්නා විටයි.
මම ඔහුගේ උරහිසට තට්ටු කළෙමි. 'ලොකු අවුලක් නෑ බං. ලකුණු අඩු වෙලා ටිකක්. ඒකට කතා කළේ මිස්. ඔයා කැමති නම් අද හවස අපේ ගෙදර එන්න.'
අද පාසල් නිවාඩු දෙන දිනය වූ බැවින් අප සියල්ලන් හිටියේ යන්තම් මාසයක්වත් හුස්ම ගන්න පුළුවන් වෙනවා නේද යන සිතුවිල්ල කැටි කොට ගෙනයි. කෙසේ වුවත් ශිෂ්‍ය නායකයන්ට නම් නිවාඩු මාසයේ පවා පාසල් යෑමට සිදු වෙනවා යන්න පයිතගරස්ගේ ප්‍රමේයක් සේම ස්ථිර විය. පසන් අයියා කොහෙන් හෝ වැඩක් සොයාගෙන අපිට නැවතත් පාසලට කතා කරන බව අපි දැන සිටියා මෙන්ම එයට හොඳින් සූදානම්ව සිටියෙමු.
මගේ සිතුවිලි සාගරයෙන් මම ගැලවුණේ සහේෂ් ඔහුගේ අත මගේ ඉණ වටා යැවූ විටයි. මගේ කුස පුරා සමනලුන් යනවා මෙන් හැඟීමක් මට දැනිණි. ඔහු මාව ඇද ඔහුගේ සිරුරට ළං කරගත්තේය. පසන් අයියා මෙහන්සා සමඟ කතා බහ කරමින් සිටි නිසා කිසිවෙකුත් අප දෙදෙනා දෙස බලා නොසිටි බව මට තහවුරු විය. මම හිස හරවා සහේෂ් දෙස බැලුවෙමි.
ඔහු සිනාසුණේය. මම වඩාත්ම කැමති වූ සිනහවක් අතරින් දෙවන තැන ගත්තේ සහේෂ්ගේ සිනහවයි. මනාව පිහිටා තිබූ දත් සහ සිහින් තොල් යුගල ඔහුට ආකර්ෂණීය සිනහවක් ගෙන දුනි. මමද අපහසුවෙන් සිනහවක් නගා ගත්තෙමි. ඔහු මගේ කනට නැඹුරු විය.
'ඔයාගේ ඉණ හරිම හීනියිනේ මිනිරු...' ඔහු මැතිරුවේය.
මම ගල් වූයෙමි. එක් වරම සිදු වූ එම සිදුවීම මට දරා ගත නොහැකි විය. මම ඔහුගේ සිරුරට අත තබා ඈත් වූයෙමි. මගේ මුහුණට ලේ පිරී ඇති ආකාරය මට දැනුණි. මගේ දෙකන් ගිනි ගෙන දැවෙමින් තිබිණි.
'උඹලා දෙන්නා නිකන් ගේ කපල් එකක් වගේ.' මම තිගැස්සී පසුපස බැලුවේ පසන් අයියාගේ හඬ ඇසීමත් සමගිනි.
පසන් අයියාට පසුපසින් පුටුවක වාඩි වී සිටි මෙහන්සා හිස් බැල්මකින් මා දෙස බලා සිටියාය. මම කෙළ ගිලිමින් සහේෂ් දෙස බැලුවෙමි. සහේෂ් කිසිවක් නොවූවාක් මෙන් සැහැල්ලුවෙන් සිනාසෙමින් සිටියේ කිසිදු බරපතලක් නැති අත දරුවෙකු ලෙසයි.
ඔහු මගේ හැඟීම් ගැන නොදැන සිටි බව මට සියයට සියයක් විශ්වාසය. දැන සිටියා නම් අපේ මිතුදම අහවර වී ඇති බව කිව යුතු නොවේ. මම පසන් අයියාට සිනාසුනෙමි.
'අපි දෙන්නා ඉතින් පොඩි කාලේ ඉඳන් යාළුවොනේ.' මම කීවේ එය සාධාරණ හේතුවක් ලෙසට දක්වමිනි.
'ඒ වුණාට පේන්නේ නම් යාළුවෙලා කසාද බඳින්න ඔන්න මෙන්න ඉන්න ඩබලක් වගේ.' පසන් අයියා රවමින් ඔහුගේ අසුන කරා පිය නැගීය.
ඒත් සමගම ඇතුළට පැමිණියේ අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක අක්කා සඳරුවනිය. ඇය කතා පොතක් අතක තබාගෙන සිටි අතර ඇය පසුපසින් පැමිණියේ අර අමුතු නමක් තිබූ නංගිය.
'මේ ළමයා කියව කියව හිටපු මේ පොත මම ගන්නවා අද...' සඳරුවනි අක්කා පොත මේසය උඩින් තබමින් පැවසුවාය. 'මේක කියෙව්වට කමක් නෑ ඉස්කෝලේ ගෙනාපු එකයි වැරැද්ද.'
මම සහේෂ්ගෙන් ඈත්ව පොත කුමක්දැයි බැලීමට එබුනෙමි. 'ෆිෆ්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ?'
අමුතු නමක් තිබූ නංගි ඇගේම අත කටේ ඔබා ගත්තාය. 'ඕක කියෙව්වා කියලා ප්‍රෙග්නට් වෙන්නේ නෑනේ ඉතින්.'
සඳරුවනි අක්කා ඇයට ටොක්කක් ඇන්නාය. 'කියෙව්වා කියලා ප්‍රෙග්නට් වෙන්නේ නැති බව ඇත්ත. ඒත් ඕක ටීචර් කෙනෙක් දැක්කා නම් එහෙම?'
අමුතු නමක් තිබූ කෙල්ල යමක් මිමිණූ අතර අප කිසිවෙකුටත් එය පැහැදිළි නොවීය.
පසන් අයියා පොත නැවතත් නංගි අතට දුන්නේය. 'අද නිවාඩු දෙන දවස නිසා ඔන්න ඕක ගෙදර යවන්න සඳරුවනි. ඊළඟ වාරෙත් අරන් ආවොත් විතරක් පොත ගන්න. නිවාඩු කාලේ ඕක කියවලා ඉවර කරගනියිනේ.'
අර නංගි පොත දෑතින්ම පපුවට තුරුළු කරගත්තාය. 'තැන්ක් යූ අයියේ...' ඊළඟට ඇය මා දෙසට බැල්මක් හෙලා සිනාසුණාය. මම ආපසු සිනාසීමට පෙර ඇය පොතද දෑතින්ම ගෙන කාමරයෙන් එළියට දිව ගියාය.
'පිස්සු කෝලමක්.' සඳරුවනි අක්කා ඇගේ අසුනින් හිඳගන්නා අතරේ කීවාය. 'එයා මෙහන්සාගේ වයසේ නේද?'
මම මෙහන්සා දෙස බැලුවෙමි. මෙහන්සා දෙවුර ඇකිළුවේ ඇය නොදන්නා බව හැඟවීමටයි. මම සිනාසුනෙමි. 'එයා මුකුත් දන්නේ නෑනේ අක්කේ. එයාගෙන් අහලා වැඩක් නෑ මුකුත්.'
'මම මේ මිනිරුව හම්බවෙන්නමයි හිටියේ.' සඳරුවනි අක්කා වතුර උගුරක් බී මා දෙස බැලුවාය. 'අපේ ගෙදරට කට්ටිය එනවා නිකන් හම්බවෙලා සෙල්ලම් කරන්න එහෙම. යෙහෙනිත් එයි. අර දැන් පොත අරන් ගිය කෙල්ල. මෙහන්සවත් එක්කගෙන එන්න. ඒ දෙන්නට යාළුවෝ වෙන්නත් පුළුවන්නේ. සහේෂ් එක්ක මිනිරුත් එන්න. අකිඳුයි ෂනල්කයිත් එනවා කිව්වා.'
මම ඔළුව වැනුවෙමි. මෙහන්සා සමඟ දවසක් නිවසෙන් පිට ගත කිරීම පවා නිදහසක් බව මම දැන සිටියෙමි. 'ඒක හොඳයි අක්කේ. මම එක්කගෙන එන්නම්.'
'එනකොට මොනවා හරි කන්න ගේන්න.' සහේෂ් මගේ කලවය පසුපසට තට්ටුවක් දැමුවේය.
මම වික්ෂිප්ත බැල්මක් ඔහුට හෙළුවෙමි. ඔහු සිනාසී ඉවත බලා ගත්තේය.
ඉන් විනාඩි කිහිපයකට පසුව මම මෙහන්සා සමඟ බස් රථයට නැග නිවස බලා යමින් සිටියෙමි.
____________
2022.03.02
_කඳුළැලි_
_sas_