අකිඳු මගේ උරයට උඩින් එබී මේසය මත දිග හැර තිබූ ආදායම් වාර්තාව දෙස බැලීය. 'මේක මේ විදිහට දෙන්න බැහැනේ.'
'පිස්සුද අකියෝ. මේක ටයිප් කරලා තමයි පසන් අයියා අතට දෙන්න ඕන. නැත්තම් මාව ලියෝ එකෙනුත් ගහලා පන්නයි.' මම කී විට අකිඳු සිනහවක් පෑවේය.
'උඹව ගහලා පන්නන්න නම් ගොඩක් අය බලන් ඉන්න බව ඇත්ත. ඒත් ඉතින් තමා දුම්මල ගහලාවත් පන්න ගන්න බැරි වුණ යකෙක් ඉන්නවා නම් ඒ මිනිරු දෙවන්ම තමා.'
'වහපන් බං කට.' මම අකිඳුගේ උරයට පහරක් එල්ල කළ විට ඔහු මද හඬකින් සිනහවක් පා නැවතත් ආදායම් වාර්තාව දෙස බලා සිටියේය.
අපි ඒ අවස්ථාවේ සිටියේ අපගේ සමාජ සේවා සංගමයේ ආදයම් වාර්තාව සකස් කරමිනි. ආදයම් වාර්තාව අද සවස් වන විට තමාගේ අතට ලැබීමට නොසැලැස්වුවහොත් අපව සංගමයෙන් එළියට දමන බවට පසන් අයියා තර්ජනය කර තිබිණි. අද සවස් වීමට පෙර මෙය පරිඝනකගත කළ යුතුය. මට අද සවස පන්තිය.
'මේක කරන්න එකෙක් හොයාගන්න ඕන. නැත්තම් අපි ඉවරයි.'
ගණිතාගාරයේ කොණක සිටි ගැහැනු ළමයෙකු තමාගේ අත ඔසවන ආකාරය මගේ දෑස් කොණකට පෙනිණි. 'මට පුළුවන් අයියේ ටයිප් කරන්න.'
මම ඇය දෙස බලා සිටියේ විශ්වාස කළ නොහැකි බැල්මක් සහිතවයි. ඇය මෙහන්සාගේ වයසේ පමණ පසුවන බවක් මට පෙනිණි.
'නංගි කීය වසරෙද?'
'දහය වසරේ අයියේ.'
'නම?'
'යෙහෙනි යුහන්සා.'
'මරු නම හැබැයි.' අකිඳු මගේ කනට කර මැතිරීය.
මම මේසයට යටින් ඔහුගේ පයට පහරක් එල්ල කළෙමි. 'කට වහපන් පව් නොදී.'
'නංගිට පුළුවන්ද අද හවස් වෙන්න කලින් මේක ටයිප් කරලා මට මැසේජ් එකක් දාන්න?' මම ඇයට ආදයම් වාර්තාවේ එක පිටපතක් දිගු කරමින් ඇසීමි.
ඇය අවිනිශ්චිත ලෙස මා දෙස බලා සිටියාය. 'පුළුවන්...'
'නංගි හරියටම පුළුවන් නම් විතරක් මේක ගන්න. මොකද පොඩ්ඩක් පරක්කු වුණොත් අපි ගිය අවුරුද්ද පුරාම කරපු දේවල් නොකළ ගාණට වැටෙනවා. මේක එසේ මෙසේ එකක් නෙවෙයිනේ.' මම පිටපත මදක් පසුපසට කරමින් ඇසූ විට ඇය මා දෙස බැලුවේ නුරුස්නා බැල්මකින් යුතුවයි.
'මට පුළුවන්!' ඇය තරමක ශබ්දයෙන් තහවුරු කළාය.
මමත් අකිඳුත් බැල්මක් හුවමාරු කර ගත්තෙමු.
මෙහන්සා සාමාන්‍යයෙන් නිහඬ තැනැත්තියක් වූ නිසා අපට හයියෙන් කතා කරන ගැහැනු ළමුන් පිළිබඳ හරිහැටි අත්දැකීමක් තිබුණේ නැත.
'හරි එහෙනම්.' මම ඇයට පිටපත බාර දුන්නෙමි. 'මගේ නම්බර් එක ගෘප් එකේ ඇතිනේ. ඒකෙන් අරන් මට මේක අද හවස පහ වෙද්දි එවලා තියන්න.'
ඇය හිස වැනුවාය.
'මොකක්ද නංගිගේ නම කිව්වේ?'
'යෙ. හෙ. නි. යු. හ. න්. සා.' ඇය අකුරු එකිනෙක සෙමෙන් පිට කළාය.
ආදායම් පත්‍රිකාවද අතට ගත් කෙල්ල දොරින් පිටව යද්දී අපි අනික් සියල්ලන්වද එතැනින් විසුරුවා හැරියෙමු.
'කෙල්ලන්ගේ ගෑස්...' සියල්ලන් විසිර ගිය පසු අකිඳු කීවේ බෙල්ල දෙපසට හරවමිනි.
මම අර නංගිගේ නම අතේ කොණක ලියා ගත්තෙමි. 'කෝලම් තමා.'
අකිඳු මේසය මතින් හිස තබා ගත්තේය. 'මේ පීරියඩ් එක කට් කරනවද?'
මම අවට විසිරී තිබූ පත්‍රිකා සියල්ල එකතු කොට ෆයිල් කවරයට දැමුවෙමි. 'මේකත් ඉඳලම යමු ඉතින්. පන්තියට ගියා කියලා කරන මගුලකුත් නැහැනේ.'
අප දෙදෙනා මේසය මතින් හිස තබාගෙන නිහඬව බලා සිටියෙමු. ගණිතාගාරයේ විදුලි පංකාවෙන් ඇති වූ ශබ්දය හැරුණු කොට වෙනත් කිසිඳු ශබ්දයක් ගණිතාගාරය තුළ ඇති නොවිනි.
'මිනිරු...' අකිඳුගේ හඬට මම දෑස් විවර කළෙමි.
'ඇයි?'
'සහේෂ් මෙහන්සට කැමතියි කිව්වා.'
මම නැවතත් දෑස් පියා ගත්තෙමි. මෙය මම කතා කිරීමට අකමැති මාතෘකාවක් බවට පත්වී තිබුණේ නිතැතිනි.
'ඉතින්?'
අකිඳු දිගු සුසුමක් ගත්තේය. 'ඔයා කැමති නැද්ද? එයා නංගිට කැමති එකට?'
මම උරහිස් ඇකිළුවෙමි. 'මට ප්‍රශ්නයක් නෑ. ඒක මෙහන්සාගේ තීරණයක්. මට බැහැනේ අවුරුදු පහළවක ළමයෙක්ට තීරණ ගන්න බලපෑම් කරන්න...'
'අනේ මන්දා උඹ නම්. මම කියන්නේ අයියා විදිහට ඔයා කැමතිද නැද්ද කියලා.'
මම පිළිතුරක් නොදී සිටියෙමි. මට දෙන්නට පිළිතුරක් නොතිබිණි.
'මගේ කිසිම අකමැත්තක් නෑ.' අවසානයේ මම වචන කිහිපයක් පිට කළෙමි.
ඊළඟ සීනුව වැදෙන තුරු අපි දෙදෙනා එතැනට වී නිහඬව සිටියෙමු. කිරීමට කිසිවක් නොවූ අතර අප දෙදෙනා අතර පැවතියේ මරණීය නිහඬතාවයකි.
අවසානයේ ඒ අපහසුකාරී කාලය අවසාන කරමින් සීනුව නාද විය. මම ෆයිල් කවරයද රැගෙන එතැනින් නැගී සිටියෙමි.
'පස්සේ හම්බෙමු අකියෝ... මම යනවා දැන්.' මම පැවසූ විට අකිඳුද මගේ පිටට පහරක් එල්ල කොට එතැනින් නැගිට පිටව ගියේය.
එදින ඇති වූ කතා බහේ ප්‍රතිඵලයක් ලෙස සවස සහේෂ් මා හමුවීමට පැමිණියේය.
'මිනිරු...' ඔහු මගෙන් අසද්දී මම ඇයි යන්න විමසීමට මෙන් හිස වැනීමි.
'ඔයා ඇත්තටම කැමති නැද්ද මම නංගිගෙන් අහන එකට?' ඔහු විමසද්දී මම මුව තුළින් මගේ කම්මුල් සපා ගත්තෙමි.
'මට ප්‍රශ්නයක් නෑ. කොහොම හරි... මෙහන්සට මුකුත් ප්‍රශ්නයක් නොවී තිබ්බොත් මට ඇති.' මම පැවසුවෙමි.
සහේෂ් තමාගේ බෑගය එක් උරයකට ගෙන අවිනිශ්චිත ලෙස මා දෙස බලා සිටියේය. 'අකමැත්තක් නෑ?'
'නෑ.'
සහේෂ් එතැනින් පිටව ගිය පසු මම උගුරේ යමක් සිරව තිබුණාක් වැනි හැඟීම පහව යන තුරුම කහින්නට වූයෙමි. එක් අතකට මෙහන්සා සහ සහේෂ් අතර සම්බන්ධයක් ඇති වීමෙන් මට යහපතක් වේවි යැයි මම සිතුවෙමි.
ඒ මුත් මට තවමත් ඒ හැඟීමට මුහුණ දීමට තරම් සවියක් නොතිබිණි. මට අවැසි වූයේ සහේෂ්ව මා සතු කර ගැනීමටයි.
වසර ගණනාවක තිබූ කැමැත්ත එක් වරම මගේම නංගිට වුවද දීමට මට උවමනාවක් නොතිබිණි.
අවසානයේ මගේ උගුර වියැළී රුධිර රසය පැමිණෙන්නට ගත් විට මම කැස්ස නතර කළෙමි. මගේ දෑස් අග කඳුළු බිඳු රැඳී තිබුණේ කැස්‍ස නිසාවෙනි.
තවමත් අර අපහසුකාරී හැඟීම මා හැර ගොස් තිබුණේ නැත. මෙහන්සාව බසයට නංවා මා පන්තියට යා යුතුව තිබිණි. අද සවස හය වන විට බාර දිය යුතු ලිපි ගොනුව සකස් කිරීමද කළ යුතුව තිබූ හෙයින් මට දැනුණේ හිස බර වී ඇත්තාක් මෙනි.
අර අමුතු නමක් තිබූ කෙල්ල වැඩය හරියට කරාවිදෝ යන සැකයද මගේ සිතේ කොණක පැන නැගී තිබිණි.
මෙහන්සා පැමිණි මගේ අතට තට්ටුවක් දැමූ විට මම පියවි සිහියට පැමිණ ඇය දෙස බැලුවෙමි. 'ආහ්.. යමු...'
මෙහන්සා නිහඬව මගේ අතක් අල්ලා ගෙන මා ඇදගෙන එතනින් ඉවතට පිටව ගියාය. ඇයව නිවසට යැවීමට බස් රථයක් එනතුරු සිටිනා අතරේ ඇය පුරුදු පරිදි මගේ අතත් සමඟ සෙල්ලම් කරන්නට විය.
'ම්ම්ම්?' මෙහන්සා මගේ අත කොනිත්තනු දැනී මම ඇය දෙස බැලුවෙමි.
ඇය ඔරවාගෙන සිටියේ මගේ අතේ ලියා තිබූ අර අමුතු නම දෙසටයි.
'ආ... එයා වැඩක් කරන්න ගත්තා ලියෝ එකේ. ඒක නිසා නම ලියාගත්තා. ඔයාලගේ වයසේ නේ?' මම විමසූ විට මෙහන්සා පිළිතුරු පරිදි නොදන්නා බව කියන්නට උරහිස් ඇකිළුවාය.
'ඔයා ඉතින් එහා පැත්තේ ඉන්න එකාගෙවත් නම දන්නේ නැහැනේ. තව කොහෙද සෙක්ෂන් එකේ ඉන්න කෙනෙක්ගේ නමක් අහන්නේ.' මම ඔච්චමට කියූ විට ඇය රැව්වාය.
'ඔයා වගේ මම හතර වටේම ඉන්න කෙල්ලන්ගේ නම් දන්නෑ ඉතින්.'
මම ඇහිබැමක් ඔසවා ඇයට රැවූයෙමි.
ඉන්පසුව කිසිවක් කීමට ඉඩ නොතියා මම සුපුරුදු උපදෙස් මාලාවට අවතීර්ණ වීමි. 'කාමරේට ගිහින් දොර ලොක් කරගන්න. දොර අරින්න එපා මම ඇවිත් කතා කරනකන්. අරයා අද ගෙදරනේ ඇත්තේ. ඒක නිසා පහළට එන්න එපා මතක ඇතුව. මොනවා හරි ඕන නම් මම එනකන් ඉන්න.'
නංගි හිස වැනුවාය. මෙම උපදෙස් මාලාව අප දෙදෙනා අතර නිතර සිදුවන්නකි.
'මම යනවා. අර බස් එකේ ඔයා නැග්ගට පස්සේ.' මම ඈතින් එන බස් රථයක් පෙන්වමින් කී විට ඇය ඒ දෙස බැලුවාය.
'මම යන්නම්. ඔයා යන්න පන්තියට. නැත්තම් අතේ තියෙන නමෙන් මැසේජ් එකක් එද්දි ඔයා ගෙදර ඉන්න එකක් නෑ.'
මම විසල් කර ගත් දෑසින් ඇය දෙස බලා සිටින විට ඇය සමච්චල් සහගත සිනහවකින් මට සංග්‍රහ කළාය.
'බායි මිනිරු අයියේ.'
'බායි මෙහන්සා නංගි.'
ඇය බස් රථයට නැග අසුනකින් හිඳගන්නා තෙක් විමසිල්ලෙන් සිටි මම ඉන්පසුව එතැනින් පිටව මගේ පන්තිය ඇති දෙසට ඇවිද ගියෙමි.
2022. 02. 19
_කඳුළැලි_
______________
මගේ ලකීම රීඩර්ස්ලා ඉන්නේ මේ කතාවට. දිගම දිග අප්ඩේට්ස් මදිවට දවසකට දෙකක් විතර දෙනවා. ඇරත් මේ කතාව තමයි මම ආසාවෙන්ම ලියන්නේ මේ දවස්වල.
කියවන හැමෝටම ආදරෙයි නයිල් ගඟ තරම්.
__________________
_sas_
.