'අයියේ!' මම අඩ නින්දෙන් අවදි වූයේ මෙහන්සා මහත් හඬින් මා ඇමතූ නිසාය.
උදෑසන හත පසු වී මද වේලාවක් ගතව තිබූ අතර මේ වේලාවේ පියා හෝ වෙනත් කිසිවෙකු අවදිව නැති බව දන්නා හෙයින් මෙහන්සා හා මා දෙදෙනාම බියක් නැතිව පහළ මාලයට ගියෙමු.
ශීතකරණයෙන් ගත් පාන් පෙති දෙකක මෙහන්සා නියුටෙලා තවරමින් සිටි අතර මම අප දෙදෙනාට කෝපි සෑදුවෙමි. මෙහන්සා සාමාන්‍යයෙන් පියා සිටියදී ඔහු ඉදිරියට ඒමෙන් වැළකී සිටියාය.
'අයියේ...' ඇය සෙමෙන් හඬ අවදි කළේ අපි දෙදෙනා මුළුතැන්ගෙයි මේසයෙහි හිඳගෙන ආහාර ගන්නා අවස්ථාවේය.
'ම්ම්ම්?' මම පාන් පෙත්තක් සපමින් ඇය දෙස බැලුවෙමි.
'මට ඉස්කෝලේ යන්න බෑ...' ඇය ප්‍රවේශමෙන් වදන් පිට කරද්දී මම ඇය දෙස වික්ෂිප්තව බලා සිටියෙමි.
මම මෙහන්සා අසලට මගේ පුටව ඇද ගත්තෙමි. 'නංගි...?' ඇයගේ අතක් අල්ලා ගත් මම ඇය දෙස මදක් බලා සිටියෙමි. 'මොකක් හරි ප්‍රශ්නයක්ද වස්තුවේ?'
මෙහන්සා නිහඬව තමාගේ පිඟාන දෙස බලා සිටියාය. 'ලොකු ප්‍රශ්නයක් නෑ, ඒත් මට යන්න බෑ වගේ අයියේ...'
'මොකක්ද වුණේ?' මම විමසූ විට ඇය දිවෙන් ඇගේ තොල් තෙත් කර ගත්තාය.
විනාඩි කිහිපයක් ගත වුවද ඇය පිළිතුරක් දුන්නේ නැත. මමද කිසිවක් නොවිමසා සිටියේ ඒ පිළිබඳ කතා කිරීමට ඇය අකමැති බවක් පෙන්වූ නිසයි.
'වස්තුවේ මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කතා කරලා කියන්න. මම ඉන්නවනේ ඔයාට...' මම ඇගේ කොණ්ඩය අතරින් මගේ ඇඟිලි යැවූ විට ඇය හිස වැනුවාය.
මම දෑස් පියා ගත්තෙමි. අද දින මට අමතර පන්ති පැවතෙන නිසා සහේෂ් සමඟ පිටතට යෑමට සිදු වන බවත් එවිට මෙහන්සා නිවසේ තනිවන බවත් මට සිහි විය.
'අද ඔයා තනියමනේ?'
ඇය හිස වැනුවාය. 'මම කාමරේට වෙලා දොර වහගෙන ඉන්නම්.'
'වෙන කරන්න දේකුත් නැහැනේ... ඔයාට යාළුවෙක්වත් හිටියා නම්...' මම මුවින් පිටවීමට ගිය වචන මැදකදී නතර කරගත්තේ එය පිට කිරීමට නොසුදුසු බවක් මට දැනුණු නිසයි.
මෙහන්සා අපහසුවෙන් මෙන් පාන් කැබැල්ලක් සපන්නට වූවාය. මමද කිසිවක් නොකියා කෝපි කෝප්පය හිස් කළෙමි.
'ඔයා නැති වුණහම...' මෙහන්සා කඩින් කඩ යමක් කීමට තැත් කරද්දී මම ඇය දෙස බලා සිටියෙමි. 'මේ ලොකු ගෙදර...'
ඇය දෑස් යටින් මා දෙසට බැල්මක් හෙලීය. 'මට පිස්සු හැදෙනවා... තනියම ඉඳලා.'
ඊළඟ මොහොතේදි මා මේසයේ තනිකොට දමා ඇය නැවතත් ඉහළ මාලයට පිටව ගොස් සිටියාය. මගේ කෝප්පය සෝදා දැමූ මම මගේ කාමරයට ගොස් දොර වසා ගත්තෙමි. කිරීමට තිබූ අතිමහත් වැඩ ගොඩ අතර ඊළඟ පැය දෙක පුරාවට මා සිරවී සිටියෙමි. එතැනින් ගැල වී යාම සිතීම පවා විකාරයක් වූ බැවින් මම ගීතයක් වාදනය වීමට ඉඩ හැර එයට අවධානය යොමු කළෙමි.
මගේ සිතට කෙමෙන් සහේෂ්ගේ රූපය මැවී පෙනිණි. ඔහුගේ දෑත් වල නහර ඉපිලී ඇති ආකාරය, සිහින් තොල් වල හැඩය, සිනහව යන සියල්ල එකිනෙක මගේ සිත ආක්‍රමණය කරද්දී මම දෑස් පියා ගත්තෙමි. ඔහුගේ දෑත් මගේ සිරුර පුරා ඇදී යන ආකාරය මට දැනෙන්නාක් මෙන් විය. මගේ අත මට පවා නොදැනී කලිසම අතරින් දෙපා අතරට යද්දී මා අඩ සිහියට පත් වීමි.
ගීතය නතරව ගොස් තෙවන ගීතයේ අඩක් පමණ වාදනය වූ පසු මම පියවි සිහියට පැමිණියෙමි. මොහොතක් යනතුරු මා කල්පනා කළේ මා කළ විකල් ක්‍රියාව කුමක්දැයි කියාය.
සහේෂ් මගේ හොඳ මිතුරාය. ඔහු පිළිබඳ සිතමින් උත්තේජනය වීම!
මගේ දෑසින් කඳුළු බිඳු සෙමෙන් ගලන්නට වූයේ මට මා පිළිබඳවම ඇති වූ ලැජ්ජාව හේතුවෙනි. මුවගට ඉකියක් පැමිණෙද්දී මම එය සිර කර ගනිමින් නාන කාමරයට ගොස් එහි දොර වසා ගෙන බිම ගුලි වී හඬන්නට වීමි.
පළමු වසරේ සිට අප දෙදෙනා හොඳම මිතුරන් වී සිටියෙමු. දැන් අප පාසලේ අවසන් වසර දෙක ගත කරමින් සිටින්නෙමු. එතෙක් කල් එකට සිටි මිතුරා පිළිබඳව මෙසේ සිතීම පිළිබඳව මට ඇති වූයේ ලැජ්ජාවකි.
මගේ පියා පවසන ආකාරයට මා පව්කාරයෙකි.
මෙහන්සාගේ උපතේ රහස හෙළි වීමත් සමඟම මව කුඩා නැගණියද සමඟ විදේශගත වූ පසු ඔහු මට පව්කාරයා යනුවෙන් අමතන්නට විය.
ඊට කිසිඳු හේතුවක් මම දැන නොසිටියෙමි.
මට එය දැන ගන්නට උවමනා නොවීය.
ආහාරයට ගත් පාන් පෙති උගුරට පැමිණෙන ආකාරය මට දැනිණි. කොමඩය අසලට ගිය මම උගුරට ඇඟිලි දෙකක් දමා වමනය කළෙමි.
කඳුළු හා මුසු වූ දහදිය රසය මගේ මුව ආක්‍රමණය කරමින් තිබිණි. තවත් මද වේලාවක් එසේ සිටි මම මුහුණ හොඳින් සෝදාගෙන නැවතත් මගේ කාමරයට ගොස් අලුත් ඇඳුමකට මාරු වීමි.
මගේ මේසය මත තිබුනේ ඡායාරූප තුනකි. එකක සිටියේ සහේෂ් සහ මමයි. අනෙක මගේ සහ මෙහන්සාගේ ඡායාරූපයක් වූ අතර අවසාන පින්තූරය අපගේ පළමු වතාවත ගත් සම්පූර්ණ පවුල් ඡායාරූපය විය.
මෙහන්සා, මම, අයියා මිනිඳු සහ මගේ කුඩා නැගණිය මිහිරි සමඟ මව සහ පියා එහි විය. එම ඡායාරූපය ගත් දිනයේ ඇති වූ විශාල රණ්ඩුව මට යන්තමින් මතකයේ ඇත.
ඉන් සතියක් ගත වෙද්දී අම්මා, අයියා සහ මිහිරි සමඟ විදේශගත වූවාය.
මම මෙහන්සා සහ පියා සමග අනෙකා හා නිවසේ තනි විය.
මගේ පියා ලංකාව පුරා නමගිය ව්‍යාපාරිකයෙකු විය. ඔහු පිළිබඳ නොදන්නා පුද්ගලයෙකු නොවූ අතර සියල්ලන් සිතා සිටියේ මගේ මව අයියාගේ අධයාපන කටයුතු හේතුවෙන් විදේශගත වූවා කියාය. අවම වශයෙන් අපගේ ඥාතීන් හෝ මෙහන්සාගේ රහස දැන සිටියේ නැත.
අප කිසිවෙකු ඒ පිළිබඳ කිසිවෙකුට කීමට උනන්දු වූවේද නැත.
මම නැවත වතාවක් පියවි සිහියට පැමිණියේ මගේ කාමරයේ දොර විවර වන ශබ්දය ඇසීමෙනි. මම හිස හරවා බැලූ විට මෙහන්සා දොර අසලට සිටගෙන සිටියාය.
'ඇයි වස්තුවේ?' මම ඇගෙන් විමසූ විට ඇය නිහඬව පැමිණ මගේ ඇඳ අසල සිටගෙන අවුල්ව ගොස් තිබූ රෙදි පිළිවෙලකට නවා තැබුවාය.
'නිකන්.' ඇය මිනිත්තු කිහිපයකට පසු පිළිතුරු දුන්නේ සුපුරුදු පරිදි සෙමෙන්ය.
මෙහන්සා නුවුමනා ලෙස නිහඬ තැනැත්තියක් විය. ඇගේ ගුරුවරු පවා මා හමු වූ විට විමසා සිටියේ මෙහන්සා කතා නොකරන්නේ මන්ද කියාය.
මම ඔවුන්ට දුන් පිළිතුර නම් ඇය සාමාන්‍යයෙන් නිහඬතාවය අගය කරන්නියක් බවයි.
ඊට වඩා පිළිතුරක් දුන් විට ඇති වන ගැටළු පිළිබඳ කිව යුතු නැත.
'අද සහේෂ් අයියත් එනවද?' මෙහන්සා ඇහිබැමක් ඔසවමින් මා දෙසට බැල්මක් හෙළුවාය.
මම මද වේලාවක් යටි තොල සපමින් කල්පනා කළෙමි. 'ඔව් එයා එනවා...'
මෙහන්සා සුසුමක් හෙළා මගේ ඇඳ මතින් හිඳ ගත්තාය. 'ඔයා එයාට කැමතියිනේ?'
මම කෙළ ගිල්ලේ කිව යුත්තක් සිතා ගත නොහැකිවයි.
මෙහන්සා තමාගේ දෑත් උකුල මත ගුලි කර තබාගෙන මා දෙස බලා සිටියාය.
'එයා මගේ හොඳම යාළුවා?' මම පිළිතුරු දෙනු වෙනුවට කීවෙමි.
'ඔයා එයාට ඊට වඩා කැමතියිනේ?' මෙහන්සා කෙළිලොල් ලෙස ප්‍රශ්න කළාය.
මම ඔව් යන්න හැඟවීමට යන්තමින් හිස වැනුවෙමි.
මෙහන්සා කට කොණකට සිනහවක් නගා ගත්තාය.
'ඒයි, පිස්සියේ කාටවත් කියලා එහෙම අහු වෙනවා නෙවෙයි!' මම කීවේ ඇයගේ කුපාඩි සිනහව දැකීමෙන් පසුවයි.
'අනේ මට වැඩේමයි ඕක කිය කිය යන්න. හැබැයි ඉතින් ඔයා එයාගේ ඉන්ස්ටග්‍රෑම් පෝස්ට් වලට කමෙන්ට් කරද්දි ඔයිට වඩා සාමාන්‍ය විදිහට කමෙන්ට් කරන්න. නැත්තම් රටම දැන ගනියි.'
මගේ මුහුණට ලේ පිරී මා රතුව යන ආකාරය මට දැනිණි.
ඔහුගේ පෝස්ට් සෑම එකක්ම පාහේ පිරී තිබුණේ මා දැමූ කමෙන්ට්ස් වලිනි. තමා කැමති පුද්ගලයා දුටු විට සතුටින් පිරී ඉතිරී නොයන්නේ කුමන පුද්ගලයාද?
මෙහන්සා මගේ ඇඳ මත ගුලි වී ඇගේ දෙපා පපුවට තුරුළු කර ගත්තාය.
මම නැවතත් ගණිතය පොත පුරා විහිදී තිබූ අකුරු දෙස බලා සිටියෙමි.
'තව එකක්.' මෙහන්සා කී විට මා ඇය දෙස බැලීමි.
ඇය කෙල ගිල්ලාය. 'ඔයා එයා ගැන හිතනවා වැඩි නම්... කරන දේවල්... සද්දේ අඩුවෙන් කරන්න... අපි දෙන්නගේ කාමර මැද්දේ තියෙන බිත්තිය සවුන්ඩ් පෲෆ් නෑ.'
'ශිට්!' මගේ දෙතොල් අතරින් පිට විය.
මෙහන්සාද මා මෙන්ම රතු වී සිටියාය.
අප දෙදෙනා අතර ඇති වූ ඒ අතිශය ලැජ්ජාසහගත අවස්ථාව අවසාන වූයේ මෙහන්සාගේ සිනහව පුපුරා ගිය බැවිනි.
මම ඇඳ මතින් වැතිරී ඇයව මගේ දෑත් අතරට තුරුළු කර ගත්තෙමි.
මෙහන්සා වැඩිදුර සිනා නොවුණේ ඇයට ඉක්මනින් හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන බැවින් වුවද ඇයගේ දෑස් සතුටින් පිරී තිබිණි.
නිවසේ කෙතරම් මූසල බවක් පිරී තිබුණත් ඒ සියල්ල යට කරමින් මගේ සිතට සතුටක් ලබා දුන් දෙයක් වී නම් ඒ මෙහන්සාගේ සිනහවයි.
ඉන් විනාඩි පහළවක් පමණ ගත වද්දී මෙහන්සා මගේ පපුව මත නින්දට වැටී සිටි අතර මමද කොට්ටය මතින් හිස තබාගෙන ඇගේ හිස කේ අතරින් මෘදුව ඇඟිලි යවන්නට වීමි.
_______
_කඳුළැලි_
2022 - 02 - 17
_sas_
.