අවසන් සඳ

1.3K 276 113
                                    

"ඔක්කොම ගත්තැයි? උක්කුවෝ, කෝකටත් සූට්කේස් ටික ආය ගැනපං!" අතින් කටින් මළු එල්ලාගෙන ඉහත්තාව දුම්රිය නැවතුම්පොලේ කුඩා වේදිකාව මත කලබලයෙන් එහෙ මෙහෙ ඇවිදින මහ නිළමේ සිවුවන වරටත් සූට්කේස් ගනං කරමින් සිටි උක්කුං හට කීවේය.

එතන එකම කලබලයකි!

අපට සමුදීමට ගමේ බොහෝ දෙනා පැමිණ සිටියේ ය. ලොකු සර් හා ඉස්කෝලේ හාමිනේ, පාසලේ ළමුන්, වෙදමහත්තයා, මිහිරිගේ හා සඳකැන්ගේ පවුලේ අය, ගුණේගේ මිත්තනිය හා ඔහුගේ අක්කාගේ පවුල, රන්දිනුගේ මව සහ පියා, ධර්මසේන මහචාර්‍යතුමා ආදී ඉහත්තාවේ ආදරණීය චරිත වලින් එතන පිරී තිබුනි.

උඩගෙදර නිළමේ හැඬීමෙන් ජම්බු ගෙඩියක් තරම් රතුවූ නාසයක් හා දෙකන් ඇතිව මට උදෑසනින්ම පැමිණ සමු දුන්නේය. තවද ඔහු ගුණේටත්, මිහිරිට හා සඳකැන්ටත් සුභපතා ලියුම් යවා තිබුනි. නමුත් ඔහු අප සමඟ දුම්‍රිය ස්ථානයට යෑම ප්‍රතික්ෂේප කලේ මහජනයා ඉඳිරියේ ඔහුට ඔහුගේ හැඬීම නවත්වාගත නොහැකී කියාය. ඉහත්තාව ගම්වාසීන් ඉදිරියේ පොඩි එකෙකු සේ හඬා වැටීම උඩගෙදර පරපුරට කරන නින්දාවක් බැවින් මමද ඔහුට එන්න යැයි බල නොකළෙමි. ඔහුට මම ලියුම් ලියන බවට පොරොන්දු වූ පසු හැඬීම නතර කළත් අපි වලවුවෙන් යන තුරුම බළු පැටවකු සේ මගේ පස්සෙන් වැටී මා යන යන තැන එන්නට වීය.

ලොකු මැණිකේත් වලවුවේ නැවතුනාය. උදෑසන අප කරත්තයෙන් පිටත් වන විට ඈ වතුර පුරවා මල් දැමූ කලයක් ගෙන පෙරට විත් අපට සුභ ආශිර්වාද කල අතර අප යන දෙස කිරි ගස් මැද්දෙන් වැටුණු වැලි පාර අද්දරට වී බලා උන් ඈ ඔසරි පොටෙන් කඳුළු පිසදාගත්තාය.

සඳකැන් හා මිහිරි ඔවුන්ගේ බඩු මළු මැද්දට වී අපහසුවෙන් සිටගෙන සිටියේ බිය හා කුතුහලය මිශ්‍ර බැල්මකිනි. ගුණේ තම මිත්තණිය සනසමින් ඈ ට පරිස්සම් වන බවට පොරොන්දු වෙමින් ඈ අසල සිටගෙන සිටියේ බලාපොරොත්තු සහගත දෑසිනි.

මා මගේ අසලින් සිටගෙන සිටින පොඩි නිළමේ දෙස බැලුවෙමි. අලුතෙන් මසා එක්වරක් සේදූ කලිසමකින් හා කමිසයකින් සැරසී සිටි ඔහු ඉතාම අපහසුවෙන් කකුල් එහා මෙහා කලේ කලිසම නුහුරු හා අපහසු බව පෙන්වමිනි. අලු පැහැ කලිසමත්, ලා නිල් පැහැ කමිසයත් ඔහුගේ දෑසේ වර්ණයන්ට මනාවට ගැලපුනේ සිතුවමක අලංකාරයක් මවමිනි. රත්‍රන් කෙස් පිළිවෙලවට පීරා සිටි ඔහු පින්සල් හා වර්ණ තීන්ත කුප්පි අඩංගු ඔහුගේ සිලින්ඩරාකාර බෑගය පිටේ හරහට දමාගෙන එක් අතකින් කුඩා ගමන් මල්ලක් රැගෙන සිටියේය.

අවසන් සඳWhere stories live. Discover now