"මෙයා දැනට ගන්න බෙහෙත් ටික මට බලන්න පුළුවන්ද?"

විණාරා කලින්ම ප්‍රතිකාර ලබමින් සිටි නිසාවෙන් ඇය ඒ වන විට ගන්නා බෙහෙත් පරීක්ෂා කළ යුතු යැයි වෛද්‍යවරයා පවසද්දී ආග්න හිස වනා ආද්නව්ගේ වෝඩ්‍රොබ් එකෙන් ශර්ටයක් උඩින් හැඳගත්තේ හදිසියෙන්.  මොහොතකින් ආග්න කුටියෙන් පිටතට යද්දී වෛද්‍යවරයා විණාරා මතට යොමුවේ සුපරික්ෂාකාරී බැල්මක්.

"මිසිස් විණාරා... පොඩ්ඩක් කතාකරමු."

ඉංග්‍රීසි බසින් වෛද්‍යවරයා පවසද්දී ඔහු ආමන්ත්‍රණයේ පවා වෛද්‍යවරයාට දැනුණේ අමුත්තක්. නමුත් විණාරා හිස වනා ඔහුට එකඟ වද්දී වෛද්‍යවරයා කතාවට මුලපිරුවේ ඉක්මනින්.

"මම කෙලින්ම කාරණයට එන්නම්. ඔයා ආසියානු රටකට අයිති කෙනෙක් කියලා මම අනුමාන කරනවා. එහෙමනේ?"

"ඔව් ඩොක්ටර්."

"මං දන්න විදියට ආසියානු රටවල් වල ඩොමෙස්ටික් වයලන්ස් කියන දේ ගොඩක් වැඩියෙන් තියනවා.

ඉතින්. ඔයාගෙ මේ ඉණේ තියෙන්නෙ නියපොතු පාරවල්. කවුරු හරි හිතාමතාම අමානුෂික විදියට ඔයාව තුවාල කරපුවා."

වෛද්‍යවරයා පවසද්දී විණාරාගේ නෙතු බිමට බරව ගියේ මොහොතකට පෙර වූ සිදුවීම මෙන්ම වේදනාවත් මතකයට එද්දි.

"ඔයාගෙ පර්සනැලිටි එක මට බලද්දිම ගෙස් කරන්න පුලුවන්. ඔයා හස්බන්ඩ් ඉස්සරහ නර්වස් වෙලා ඉන්නේ මේකට හේතුව ඔයාගෙ හස්බන්ඩ් නිසාද? එයාද මෙහෙම කරේ? "

වෛද්‍යවරයා විමසද්දී විණාරාගේ නෙතු මදක් විසල් වූයේ ඈ තැතිගත් බැල්මකින් වෛද්‍යවරයා මත නෙතු තබාන ඉද්දි.

"බයවෙන්න එපා මිසිස් විණාරා. ඔයාට මාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට  මට උදව් කරන්න පුළුවන්. මොකද මම ඔයා වගේ ගොඩ දෙනෙක්ට උදව් කරල තියනවා.

කිසි කෙනෙක්ට අයිතියක් නෑ මේ වගේ දෙයක් කරන්න. ඒ නිසා බය නොවී මට ඇත්තම කියන්න."

වෛද්‍යවරයා පවසද්දී විණාරා හිස දෙපසට චලනය කලේ කලබලයෙන්.

"එයා නෙමෙයි.. එයා නෙමෙයි මෙහෙම කරේ."

දුඹුරු සඳ (100 සිට 149 දක්වා)Where stories live. Discover now