අවනඩුවක්

271 40 100
                                    

බැද්ද මායිමේ තිබුණ කණාටු ඇහැල ගහ ආං කොටහලු වෙලාලු..!

දන්න කියන කාලෙ ඉඳන්ම ඔය ගහේ එකම එක මලක් පිපුණෙ නෑනෙ ආසාවට...

පෙලක් ඈයො කිව්වෙ මල් නොපිපෙන්නෙ ගහ කණාටු නිසාලු..! ඒක ගහේ වැරැද්දලු..!

"නෑ බන් ඔය පෙළවහක් කොරගන්න බැරි වුණ වයලට්ගෙ තියෙන මූසල කම... ඕකි ඉන්නකම් ඉඩමෙ හැදෙන බල්ල නකුට පැළෙත් ලෙඩ..! ආන්තරා වුණාට පස්සෙ ඒ උන්දැව ගෙනැත් යටකොරෙත් මෙතනනේ... එහෙමෙකේ මේවා මේ තරමින් තියෙනවා ඇති...!!"

දරට යන ගෑණු වගයක් ඇහැල ගහ මුලදි කියනව මං අහගෙන..

කීප දොහකට පස්සෙ ඔය ඔක්කෝම එවුන්ගෙ ඇස් වහලා ඇබිත්තං මල් පොහොට්ටු පූදින්න අරන් තිබුණා... පල්ලැහැට වැක්කෙරෙන ඉති දිගේ කොළපාට මල් මොට්‍ටු හීන් සැරේ කහ පාට සිනිඳු පෙති විහිදාලා දිග ඇරෙද්දි, දාහක් කතා කියපු එවුන් බැද්දට රිංගන්න වෙන වෙන තැන් හොයාගෙන තිබුණා...

ඇහැළ ගහ කොටහලු වුණාට මොකද මංගල්ලෙකවත් නැතුවැති ඒ තරම් සිරියාවක්... ආසාවෙ බෑ කහපාටට ගහ පුරෝලා...! බිමත් අතුරාලා ඇහැළ මල් කළාලයක්...

ඒත් පුංචි එකෙක්ව වත් වයලට්ගෙ ගෙදර වැට මායිමෙන් මෙහාට නොයෙවන්න උන්ගෙ මහඑවුන් පරිස්සම් වුණා...

"ඔය ගහේ මල් පෑගෙන්නවත් දෙන්නෙපා පුංචි ඈයොන්‍ට..! අර ගැනිගෙ මූසලකම තියෙනව ඔය හැම රේණුවක් ගානෙම ...!"

ඒපාර තව කතාවක් හොයාගෙන..! උන්ට එපා නම් කොච්චර හොඳ වුණත් වැරදී..!

"අපෝ මෙහෙ නේන එකම හොඳයි...! මං කැමති පාඩුවෙ ඉන්න..."

සිය ගාණක් මල් පොකුරු පහළට වෑහුණාට මොකෝ තාම ගහ "කණාටු ගහ".. ඒ නිසා වෙන්ටැ එකම එක මලකට විතරක් හරි වෙනස් කමක් වෙලා තිබුණේ...

ඒ මල් ඉත්තෙ වෙන මල් නෑ.. එකම එක කහපාට ඇහැළ මලක් හීන් නටුවකින් ඉත්තෙ එල්ලිලා, කොළපාට තණ බිස්සෙ රැඳුණ පිණි බිංදුවක් එක්ක කතාවක්... ඒත් මොකක් හරි හිත නොහොඳ කමකින්ද මන්දා..

"ඔය තරහා අමතක කරනවකෝ... අපි බලමු මොකක් හරි කරන්න..."

"මොනවා බලන්නද..? එයාට එන්නම වෙනවා මං යන වෙලාවට...!!!"

MurmuringsWhere stories live. Discover now