ජිමින් කලබලයකින් තොරව ගිනි ගත් පිදුරු ගොඩ සහ ඒ අවටත් පරීක්ෂා කරන්නට වූවේය. ටික වෙලාවකට පසු ඔහුට පිදුරු අතර තිබී නොදැල්වුණු ගිනිතුරු දෙකක් සොයා ගත හැකි විය.

"මේ බලන්න තේහියුන් මම සොයාගත්ත දේ.... කවුරු හරි මේ ගිනි කූරු දෙක පත්තු නොවුණ නිසා විසි කරලා යන්න ඇති. ඒ නිසා මට හිතන විදිහට මේ ගින්න හිතාමතා හරි නොසැලකිල්ල නිසා හරි ඇති වුණු එකක් කියන එක ඔප්පු වෙනවා. "

සොයා ගත් ගිනිකුරු දෙක තම තේහියුන්ට පෙන්වමින් ජිමින් කීවේය.

එම ගිනිකුරු දෙකත් රැගෙන එතැනින් නික්ම එන ඔවුන්ට අතරමගදී අශ්වයෙක් කැටුව එන අශ්වාරෝහක තරුණියක් හමුවිය. අශ්වයා ගැන විමසා කලබලයෙන් දිව ගිය තරුණිය ඇය බව දුටු සැණින් තෝරා වටහා ගත්තේය.

" මේ අශ්වයා මගේ.."

ජිමින් සහ තේහියුන් සමග හිතවත්ව සිනාසී එසේ පැවසූ ඇය තමාගේ නම රෝස් බව ද කීවාය. ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් තමාට ගින්න ගැන පැවසූ බවත්, එම ගින්නෙන් තම අශ්වයා ආරක්ෂා කරදීම ගැන ජිමින්ට සහ තේහියුන්ට තමා බෙහෙවින් ස්තුතිවන්ත වන බවත් ඇය වැඩි දුරටත් පැවසුවාය.

සුහද පිළිසඳරකට පසු ඇයගෙන් සමුගත් ජිමින් ඊළඟට ගියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි ඩෙන්සිල් මහතා හමුවීමටය. ගිනි ගත් තැන තිබී සොයා ගත් නොදැල්වුණු ගිනිකුරු දෙක ජිමින් ඔහුට පෙන්වුව ද ඔහු ඒ ගැන වැඩි උනන්දුවක් නොදැක්වීය. ඒ නිසාම ඔහු සමග වැඩි කතාබහකට නොගිය ජිමින් සහ තේහියුන් එතැනින් නික්ම මිදුලට පැමිණියහ.

ඒ වන විට ඔවුන් සමග නිවාඩුව ගත කරන්නට පැමිණීමට පොරොන්දු වූ ජියොන් ජන්කුක් පැමිණ සිටින බව සේවකයෙකු ඔවුනට පැවසීය. ඔවුහු ඔහු හමුවීමට ගියහ.

ජන්ග්කුක් අමුත්තන්ගේ ශාලාවෙහි අසුන්ගෙන සිටියේය. සතුටින් ඔහුව පිළිගත් ජිමින් ආ ගිය කතා බහ අවසානයේදී ශාලාව තුළ ඇති වූ ගින්න පිළිබඳ විස්තරයද ඔහු සමග පැවසූහ. අනතුරුව තිදෙනාම එක්ව ගමන් කළේ අංක එක දරණ පුහුණුවීම් පිටිය කරාය.

එම පිටියේ විවිධාකාර ජවාධික අශ්වයෝ රැසක් තරග පුහුණු වීම් සඳහා මූලික අභ්‍යාසයන්හි යෙදෙමින් හුන්හ. ඒ අතර එම පිටිය මැද ඇති ධාවන පථයෙහි නැම්ජුන් හියුන් අශ්වයෙකු පිට නැගී පුහුණු තරගයකට ලක ලෑස්ති වී සිටියේය. එතැනට මඳක් මෙපිටින් සිටගෙන ජින් හියුන් උද්යෝගිමත්ව ඔහු දෙස බලා සිටින අයුරු ජිමින්ට දක්නට ලැබිණ.

අශ්ව ගොවිපොළහි අබිරහස (Jikook)Where stories live. Discover now