දිනෙන් දින සතියෙන් සතිය කල් ගෙවී ගියා. යේ හ්වා කුමරියක් හැටියට තම විනය රැක ගැනීමට ඉතාමත් මහන්සි වුණා.. නමුත් ඇගේ සෙල්ලක්කාර ගතිය පහව ගියා නොවෙයි. නමුත් ඇය එය පාලනය කරගත්තා. ක්‍රීඩා කිරීමට දවසේ වෙනම කාලයක් වෙන් කරගත්තා වගේම එලෙසම පොත්පත් පරිශීලනය කිරීමටත් අධ්‍යාපනය ලැබීමටත් කාලය වෙන් කරගත්තා. ඇගේ මේ දියුණුව දෙස රජතුමා හා අග බිසව බලා සිටියේ සන්තෝෂයෙන්..
අද දිනත් ඈ සුපුරුදු දින චර්යාවට අනුව පාලිකාවන් හා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තම කුටිය වෙත පිවිසුනා..
මැදුර වෙත ලන් වන විට ඈ දුටුවේ ඒ අසලට වී සිටගෙන සිටින එක් නිලධාරියෙක්වයි. පළල් උරහිස් හා දිග කකුල් හිමි ඔහු හැඩිදැඩි ශරීරයකට හිමිකම් කිව්වා. මුහුණේ කුඩා රැවුලක් වැවී තිබුණු අතර එය ඔහුව තවත් කඩවසම් කළා. ඈත සිටම යේ හ්වා ව දුටු ඔහු ඇයට ආචාර කළා.
යේ හ්වා තම අනෙක් පාලිකාවන් ද පිරිවරාගෙන ඒ දෙසට ගමන් කළා.
"කවුරුන් ද ඔබ?" යේ හ්වා කුතුහලෙන් දෑස් සිහින් කරමින් විමසුවා.
"කුමරිය, මම අන් චන් සෝ." ඔහු තමාව හඳුන්වා දුන්නා.
"කුමරිය, මෙතුමා ආරක්ෂක අංශයේ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි තුමා. ඔබතුමියගේ මිතුරා." පාලිකා චෝයි පැහැදිලි කර දුන්නා.
"මගේ මිතුරෙක්?"
චන් සෝ එය අනුමත කරමින් හිස සැලුවා.
"ඇතුලට පැමිණෙන්න." සුපුරුදු මිත්‍රශීලි සිනහවෙන් මුව සරසා ගත් ඈ කුටිය තුලට පිවිසුනා. ඒ පසුපස චන් සෝ ද පැමිණියා.
දෙදෙනාම අසුන් ගත් පසු චන්සෝ සංවාදය ආරම්භ කළා.
"කුමරියට දැන් කෙසේද?"
"හොඳින් ඉන්නවා.." යේ හ්වා පැවසුවා. "ඔබ පිලිබඳ මට දැනගන්න පුළුවන් ද?"
"එහෙමයි.. මම හිටපු මහ ඇමති ගේ පුත්‍රයා. කුඩා කල සිටම ඔබයි මමයි මිතුරෝ.. ඔබට සිදු වූ විපත්තිය ගැන අසන්නට ලැබුණු විගස මා හට මෙහි පැමිණීමට දැඩිව උවමනා වුණා. නමුත් ඔබ මට පැවරු රාජකාරිය සම්පුර්ණ කිරීමෙන් පසුවම පැමිණෙන්න තීරණය කළා."