උදෑසන හිරුත් සමඟ පිබිදුණු මම තටු විහිදා සිහිල් සුළං කපමින් වේගයෙන් හිරු එලියේ නැහැ වුණෙමි. විටින් විට ඒ මේ අතට හැරෙමින් සුන්දර වූ ආකාශයේ සිත්තම් වින්දෙමී. හිරු නිසා දිගහැරුණු පෙති සහිත වන මල් මා එනතුරු නොඉවසිල්ලෙන් සිටින බව මතක් වුණු මම පැණි සුද මුසුවී ගෙන එන සුලං මාවතේ දිගට ඇදුනෙමි. පළමුව මා හට හමු වූයේ පෙති එක දෙක දිගහැරුණු රුක්අත්තන මලකි. එහි කහ පැහැය මී මැස්සියන් හා සමඟ එක ගත්කල අපූරුය. ඉතිරි පෙති මුකුලිත වන්නටත් පෙරම රොන් උරන එක බඩගිනි මැස්සියකට කරදර නොකර මම තවත් ඉදිරියට ඇදුනෙමි. ඊයේ සවස සිට හාත්පසම දුර්ගන්ධය විහිදුවමින් සිටි කිඩාරම් මල වටා මේ තරම් මැස්සන් රැස් ව සිටින්නට හේතුව මට වටහා ගත නොහැක මම වටහා ගන්නට උත්සාහ ද නොකලෙමි. එහි උන් මැස්සන්ගේ දැකීම පවා බිය ජනකය. ඔවුන් කොහේ ගියත් එතැන දුගද මිස ඉතුරු වන අන් කිසිවක් නැත.
මෙසේ මල් කිහිපයක් අවසානයේ මට හමු වූයේ හිරු එළියෙන් වරම් ලැබ රගන රතු රෝස මලකි. මීමැස්සන් දෙබරුන් හා තවත් මගේ රැහේ බොහෝ අය රෝස අඟනාව වටා පියබමින් රොන් උරා බොති. මා පෙරදින රොන් උරා බිව් රෝස මල කොහෙද කියා සෙවූ නමුත් මට අවසානයේ හමුවූයේ බිම වැටුණු පෙති කීපයක් පමණි.
ඊයේ මේ රෝස මල මෙන් ම තුටින් රග දුන් ඇය අද නිහඬව තනිවී ඇත. ඇය දෙස බලමින් අලුත් රෝස මලක් සිප ගන්නට මගේ සිත මට ඉඩදුන්නේ නැත.
මෙසේ යන අතරමග මට කිසිදාක නොදුටු වෙනස්ව මලක් හමුවුණි.
එය කිඩාරම් මල මෙන් දුර්ගන්ධ ද නැත. රෝස මල මෙන් ආකර්ෂණීය ද නැත. රුකත්තන මල මෙන් අඩක් පිපුණු ස්වාභාවයක් ද නැත එහෙත් මගේ සිතට එහි අමුතුම වෙනසක් දැනුණි. මී මැස්සන් සමනලයින් හෝ වෙනත් කිසිවෙක් නොසිටි මුත් ඒ ලඟ පාළුවක් නොවුණි. එමල දුටු පමණින් සිත නිවෙන ස්වභාවයකින් යුක්තය.
ඉදින් මම එහි නැවතුනෙමි.
සුරත් සුවය පසෙකලා ලොව්තුරු සුවය වින්දෙමි.
මම නැමති බමරා අරලිය මලක් අසල සදහටම නැවතුනෙමි.
YOU ARE READING
බඹරෙක් වෙමි අරලිය මලකට පෙම් බැඳි
Short Storyසුරත් සුවය හැර දමා ලොව්තුරු සුවයට ඇලුණි මම