ඊළඟ හමුවීම අපි ආගන්තුකයින් කියන ලේබල් එකෙන් පොඩ්ඩක් ඈත් කලා.
අපි ඇවිද්දා.
ඒ කෙලවරේ ඉඳන් මේ කෙලවරට ගාලුමුවදොර පුරාම.
පඩි පෙලෙන් පහළට බැහැලැ ලා අලු නිල් පාට රැල්ල අපි අතරින් යන විදිහට අපි හිට ගත්තා.
එයා හිනා උනා. මාත් හිනා උනා.
"ඔයා මොන අවුරුද්දෙද නුරාධ?"
"2004
එතකොට ඔයා?"
"මමත්!"
"මොන මාසෙද?"
"මම month of strength. එතකොට ඔයා?"
"දම් පාට මාසයේ!"
"නුරාධ මට වඩා මාස හයකින් ඉස්සර වෙලා නේද?"
"ඔව් ඒකනෙ!"
"මම මැත්ස් කලේ එතකොට ඔයා?"
"දන්නෙ නෑ ශෙනාල්, ඒ අවුරුදු දෙක හැංගිලා ගිහින් මට හොයන්න බැරි තැනක."
එහෙම කියපු මම එයා දිහා හැරිලා බැලුවා. ඒ ඇස් තවත් දුකෙන් පිරෙන්න ගත්තා මම දැක්කා. මට තේරුනා එයාගේ ඇස් ඇතුලේ මට කියන්න කතාවක් හිර වෙලා තියෙන බව. ඒත් මම වැරදි වෙන්නත් පුලුවන්. මොකද මම කවදාවත් කෙනෙක්ගෙ ඇස් කියවලා නෑ. ඒනිසා මම වැරදි ඇති. ඒත් මොකක්දෝ මන්ද හුරු පුරුදු බැල්මක් ඒ ඇස් වල තිබුණා.
"නුරාධ, අමතක දේවල් අතාරින්න, අලුත් මතක එකතු කරගන්න...."
"හ්ම්"
"අපෙන් සමහර දේවල් ඈත් වෙනවා. ඇත්තටම දෛවය ඒ දේවල් අපෙන් ඈත් කරවනවා. දෛවය හැමවෙලේම නරක නෑ. අපේ සතුට වෙනුවෙන් එයා අපෙන් දේවල් ඈත් කරවනවා. නුරාධගෙ ගෙවුණු අවුරුදු දෙකත් එහෙම වෙන්නැති."
"මමත් හිතනවා... රිසාල්ට්ස් ආවේ නැද්ද ශෙනාල් තාම?"
"මැයි වල එනවා කියලා කියනවා, අනේ මන්දා"
"හ්ම්"
මැද කනේ කුඩා අස්ථිකා එයාගේ ගැඹුරු හඬින් කම්පනය වෙන කොට ඇතුළු කනේ කර්ණ ශංඛය හීනියට කෙඳිරි ගෑවා ඒ හඬ ආගන්තුක නොවන බව පවසමින්.
කින්ග්ස්බරි හොටෙල් එකට හැරෙන තැන ඉස්සරහ තියෙන ලොකු වතුර මලේ බැම්ම උඩ ශෙනාල් වාඩි උනා. එයා ළඟින් එයාට එහා පැත්තෙන් මට වාඩි වෙන්න කියලා එයා අතින් පෙන්නුවා.
එතන වාඩි වෙලා අපිව පහු කරගෙන යන වාහන, මිනිස්සු දිහා අපි ඔහේ බලාගෙන හිටියා. අපිව පහු කරන් පරණ පාර්ලිමේන්තුව, ගලදාරි හෝටලේ, හිල්ටන් හෝටලේ තියෙන පැත්තට ගියොත් ඒ පාර ලේක් හවුසිය ළඟට වැටෙනවා. අනිත් පැත්තට ගියොත් ශැන්ග්‍රිලා හෝටලේ, ටාජ් සමුද්‍රා, වන් ගෝල්ෆේස් හරහා ගෝල්ෆේස් හෝටලය දිහාවට යනවා.
"ඉතින්....."
එයා කතාවකට මුල පිරුවා.
"කියන්න...."
"දෙයක් කිව්වොත් තරහ වෙනවද ඔයා?"
"නෑ ශෙනාල්, කියන්න"
"ඔයා ලස්සනයි, ඇත්තටම!"
කළු ඇස් දිහා බලපු මට තේරුණා එයා බොරු නොකියන බව.
ඇත්තටම මිනිස්සුන්ගෙ ඇතුලාන්තයට එබෙන්න පුලුවන් එකම තැන එයාලගේ ඇස්. මොනතරම් හංගන්න හැදුවත් ඇස් වලට බෑ කිසි දෙයක් හංගලා දාන්න.
"Thanks!"
එදා මම ගෙදර ආවත් මගේ හිත තිබුණෙම ඒ මූදු හුළඟ එක්ක අර වතුර මල ළඟ.
ඒලෙවල් ෆිල්ම් එකේ මතකයන් සින්දුව අහන ගමන් මම කාමරයට ගියා.
ඒත් මට තේරුණා යම් වෙනසක්. ටිකෙන් ටික ඔලුව පුරා පුංචි රිදවුමක් ඇති වෙලා පැතිරිලා ගියා. සුදු පාට ටයිල් කැට උඩට රතු පාට ලේ බිංදු එකින් එක වැටෙන්න ගත්තා. කන්නාඩිය ඉස්සරහට ගියහම මම දැක්කේ නාස් විවර වලින් පහළට ඇදහැලෙන ලේ බිංදු.
හැමදෙයක්ම කැරකෙන්න ගත්තා. ඉබේටම මගේ අත් ඔලුවට ගියා. කැරකෙන කාමරය තුල ඍජුව සිටීමට මම ලොකු වෙහෙසක් දැක්කා. ඒත් මම අසාර්ථක උනා.
මම ආයෙත් ඇදගෙන වැටුණා.
ඒ අඳුරු කාලය තුළ මම යම් සිදුවීම් පෙළක් දැක්කා. මුහුණු නොපෙණුනත් යම් කෙනෙක් ඒ සිහින තුළ හිටියා. මමත් හිටියා.
පැහැදිලි නැති බොඳ උනු කටහඬකින් එයා කතා කලා.
"ඔයා ලස්සනයි, ඇත්තටම!"
ඒත් එක්කම මට ඇහුණා වතුර මලක වතුර විසිවෙන සද්දයක්. ඒ අඳුරු ලෝකය තුළ මම දැක්කා, මට ඇහුණා, මට දැණුනා හඳුනාගත නොහැකි සිදුවීම් දාමයක්.
...................................................
ඒ සිද්ධියෙන් පස්සේ ගෙවුණු සතිය ගැන මම කතා කරන්න කැමති නැහැ. සිහිනැති වීම්, රුධිර වහන, රෝහල්ගත වීමි පිරුණු සතියක්. එක එක තැන් වල මම හිර වුණු සතියක්.
මට මොක්කද මේ වෙන්නේ?
මගේ ඇතුළාන්තයෙන් එලියට එන්න දඟලන ඒ දේ මොකක්ද?
කවදද මේ දේවල් හරියටම ඉවර වෙන්නේ?
ඇයි කවුරුවත් මුකුත් නොකියන්නෙ?
බැල්කනියට හේත්තු වෙලා මම ඔහේ බලාගෙන හිටියා. උත්තර නැති ප්‍රශ්න මාව වෙලාගෙන මාව තෙරපවනවා. එකිනෙකට ළං වෙන බිත්ති හතරක් තියෙන කාමරයක හිර වෙලා වගේ මට දැණුනා. අබිරහස් ඇතුලාන්තය, නිමක් නැති ප්‍රශ්න, ඔලුව පුරා පැතිරෙන උහුලාගත නොහැකි වේදනාව, මූණු අපහැදිලි ඡායාවන් ඒ බිත්ති වල තැවරිලා. මම ඒ කලුවර කාමරයේ මැද මලානිකව හිටගෙන. බිත්ති වලට එරෙහිව දෑත් වලින් සටන් කරන්න බැරි තරමටම මම දුර්වලයි. කායිකව වගේම මානසිකවත්.
මම පව් කාරයෙක්ද?
ඒ නිසා සොබාදහම මට දඬුවම් කරනවාද?
මම ඈත අහස දිහා හිස් වෙච්ච දෑස් වලින් බලාගෙන කල්පනා කලා. මම දන්නවා මගේ ඇස් තවදුරටත් ප්‍රාණවත් පිරුණු ඇස් නෙවෙයි කියන එක. ඒවා හිස්! අඩුම තරමින් කඳුලුවත් නැති ඇස්! කාන්තාරයක වතුර හිඳුණ ළිඳක් වගේ හිස්! බලාපොරොත්තු, හීන නැති කාලයට යටත් වෙලා ඇහිපිය හෙලන ඇස්!
පහළින් පේන පාරේ අයියයි මායි එකට බයිසිකල් පැද්දා අපි පොඩි දවස් වල. බැඩ්මින්ටන් ප්ලේ කලා. ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා අංශු මාත්‍ර දෙයක්වත් නොදන්න කාලේ අපි හරි ලස්සනට හිනා වුණා මට මතකයි. අපි ජීවත් වුණා. ඒත් ටිකෙන් ටික ටිකෙන් ටික ලොකු වෙනවා කියන්නෙ ජීවත් වෙන ගමන්ම මැරිලා යන එකට. මැරි මැරි ඉපදෙනවා කියන එකට. සාර්ථකත්වය කියන දේ හඹාගෙන තේරුමක් නැති පාරක ඉවක් බවක් නැතුව ඔහේ දුවන එකට. ජීවිතය කියන්නේ ඒකට නෙවෙයි. ඒත් ඇත්තටම අපි ජීවිතය කියලා හිතන් ඉන්නෙ ඒකට. ජීවීතය කියන්නෙ සාර්ථකත්වය ඉලක්ක කරගෙන දුවන එක නෙවෙයි, හීන ඉලක්ක කරගෙන දුවන එක. හීන විශ්වාස කරන එක. තමන් කැමති දේ කරන එක. කැමති කෙනාට ආදරය කරන එක. ඒකටයි ජීවිතය කියන්නේ.
...................................................
"ඔයා හැමදාම මෙහෙ එනවද?"
"ඔව්, මේ ළඟ book shop එකක මම වැඩ. ඉතින් වැඩ ඉවර වෙලා වගේ මම එනවා ටික වෙලාවකට මෙතනට, ඇයි?"
"නෑ නිකන්!
අහස දිහා බලාගෙන මම එද්දි ශෙනාල් මොනවද කල්පනා කලේ?"
ඒ ඇස් ආයෙත් හැරුණා අහස දිහාවට. ටික වෙලාවක් ඔහේ බලාගෙන හිටපු එයා ළඟින් බැම්මෙ මම වාඩි වුණා. එයා කතා කරන්න පටන් ගත්තා.
"වෙච්ච දේවල් ගැන!!"
"ඉතින්...."
"ගොඩක් දේවල් සිද්ද වුණා, ඒවා ගොඩක් බරයි"
මොහොතකට මගේ දිහා බලපු එයා යන්තමින් හිනා වෙලා ආයෙත් අහස දිහාට හැරිලා කතා කරන්න පටන් ගත්තා.
"මම හරියට වලාකුලක් වගේ. වතුර පිරෙන්න පිරෙන්න බර වෙන, එක වෙලාවකදී දරාගන්න බැරුව පහළට වැස්සක් වෙලා වැටෙන වලාකුළක් වගේ. දැනටමත් මගේ හිත බරයි නුරාධ. තව දරාගන්න පුලුවන් පොඩ්ඩයි, කොයි වෙලේ හරි මමත් කඩාගෙන වැටෙනවා."
"නෑ!"
"මොකක්ද?"
"ඔයාලා වෙනස්, වලාකුලකුයි ඔයයි සමාන නෑ, එක දේකින්!"
"ඒ මොකක්ද?"
"වලාකුළකට උදව් කරන්න කෙනෙක් නෑ. ඒත් ඔයාට ඉන්නවා, ඒ බර බෙදාගෙන උදව් කරන්න කෙනෙක්!"
"ඒ කවුද?"
"හොඳ යාළුවෙක්!"
"කවුද?"
"මම"
හිතාගන්නවත් බැරි විදිහට මම වෙනස් වෙලා මේ මනුස්සයා ඉස්සරහ. එයාව සනසන්න මම ඉදිරිපත් වෙනවා! නෑ එයා දිහාවට මගේ ඇතුලාන්තය මාව තල්ලු කරනවා! එයාගේ හිතේ බර මට දැනෙනවා. හේතුවක් දන්නෙ නැතුව උනත් මම මේ ආගන්තුකයාට මේ විදිහට ලං වෙන්නේ ඒ නිසා.
"ඔයා? ඒත් ඇයි?"
"ඇයි කියන්නෙ?"
"මාව දන්නෙත් නෑ ඔයා හරියට?"
"ඇයි කියන්න මම දන්නෙත් නෑ, ඒත් හිත කියනවා එහෙම කරන්න කියලා!
ඒනිසා ඔයාගේ හිතට බර හැමදෙයක්ම අපි කතා කරමු. උත්තර මං ළඟ නැතුව ඇති, ඒත් මට පුලුවන් අහගෙන ඉන්න."
"උත්තර, ප්‍රශ්න නැතුව කියන දේ අහගෙන ඉන්න කෙනෙක්!"
"ඔව් ඇයි හොඳ නැද්ද?"
"නැහැ, හොඳයි, ඒත් එහෙම ඕන නැහැ!"
"ඇයි?"
"ඒ දේවල් මගේ ඇතුලෙම තිබිච්චාවේ. ඒ බර ඔයාට ඕන නැහැ."
එහෙම කියලා එයා ආයෙත් මගේ දිහාවට හැරුනා. මගේ එක අතක් උඩින් එයාගෙ අත තියලා එයා මෙහෙම කිව්වා.
"නුරාධ, මේ ලෝකෙ ඔයා දැනගන්න ඕන දේවල් තියෙනවා. ඒවා දැනගන්න යන්න මහන්සි වෙන්න එපා. ඒවා කොහොම හරි ඔයාට දැනගන්න ලැබෙනවා. එතකන් බලාගෙන ඉන්න!"
"එතකොට ඔයාගේ ප්‍රශ්න, ඒවා දැනගන්න ඕන දේවල් ද? නැත්තං ඕන නැති දේවල් ද?"
"මම දන්නෙ නැහැ."
මේක කියවන්නේ නැහැ කියලා මම දන්නවා.
ඒත් මේක කියවන එක්කෙනෙක් හරි ඉන්නවා, ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි!