යෙහාරගෙ pov 💚
"දිව්රලා...දුන් පොරොන්දූ....
ඉටුකලා...නම් මිනිස්සූ...
ලෝකේ නෑ මං වගේ හිනාවෙන්...
කදුළු හංගන මිනිස්සූ......
පිටිපස්සෙන් ඇහෙන ටකරං කටහඩ හින්දා මම බීරිවෙන්න ඔන්න මෙන්න...
මම ගෙදර ඇවිත් ඇදුමක්වත් මාරු නොකර දොර පඩිය උඩ වාඩි වෙලා කලින් මොකද්ද ඒ සිද්ධ වුණේ කියලා කල්පනා කර කර හිටියෙ....
හරියට හුස්මක්වත් ගන්නෙ නැතුව දුවගෙන ගෙදර ආවා......
ගෙදර එනකොට ගෙදර එකී බූට් සිංදුවක් කිය කිය සාලෙ මැද්දෙ ටෝජාවත් වඩාගෙන නටනවා...
ඔච්චර වෙලා තරහා තිබ්බෙ ශෙනාල් සර් එක්ක විතරයි....
දැන් මරන්න හිතෙන්නෙ මේකිව....
"මම මේ රැවුල ගිනි අරන් ඉන්නවා... පින්සිද්ධ වෙයි කටවහගනිංකො නංගි....."
"ඔයාට ගිනි ගන්න රැවුලක් තියෙන්න එපැයි අයියේ..."
මේකි කටේ දිවේ නොගෑවී කියලා දැම්මා...
"යන්නම් ඔබ ගාවින් මං...
ඉන්නෑ කරදරයක් වෙලා...
සත්තයි මං දිව්රන්නං..
යනවා ඔබෙන් ඈත්වෙලා....ආආආආආ"
"අම්මේ....මේකිට කටවහන් ඉන්න කියන්නකෝ....මේ නංගි මටත් රැවුල තියෙනවා හරිද....වවන්නෑ... එච්චරයි..."
මම කේන්තියෙන්ම කාමරේට ගිහින් ඇදුම් පිටින්ම පැදුරෙ පතබෑවුණා....
"ආයේ... මගෙ හිනාව බලන්න...
ආසා කෙරුවත් ඔයා.....
සමාවෙන්න රත්තරනේ මං...
හිදීවි මේ ලෝකෙන් එහා.....
රැවුලක් ආවාම කියන්න ඈ...මම ගිනි තියලා දෙන්නං..."
මම කොට්ටෙන් කන් වහගත්තා....
මූසිල වීණා තත් කඩනවා වගේ නිකං..
හිටපිය මං වවනවා රැවුලක් විරාත් කෝලි වගේ...මේකිටයි ශෙනාල් සර්ටයි දෙන්නටම හික් ගෑවෙන්න....
ශෙනාල් සර් සමහර දවසට රැවුල කපන්නෙ නැතුව එනවා...යාන්තමට මෝදු වුණු රැවුල එක්ක එයාට එන්නෙ හරි පරිණත පෙනුමක්...
රැවුල කැපුවාම නං එයා හරිම ළාබාල පාටයි.....
අදනං එයාගෙ කම්මුල් සිනිදුවට තිබ්බෙ...අද උදේ ෂේව් කරන්න ඇති......ඒකනෙ සිනිදුවට දැනුනෙ මට....
යෙහාරයො උඹ මොනවද මේ හිතන්නෙ...මොලේ වයර් මාරුවෙලාද.....
මම තදට ඇස් පියාගෙන හුස්මක් ගත්තා....
මගේ මොලේ එක එක කල්පනා වලින් පිරිලා....
එක පැත්තකින් මට තරහයි කේන්තියි...
සර් ගැනයි මං ගැනයි දෙන්නා ගැනම...
කොහොමද සර් එහෙම දෙයක් කරේ......
මම සර්ගෙ දේපලක් නෙවෙයිනෙ ඔහොම හිතෙන හිතෙන වෙලාවට කට කන්න.....
මට තරහයි ඒක ගැන...
ඒත් මට ඕනනං සර්ව නවත්තන්නත් තිබ්බා...මට සර්ව තල්ලු කරන්න තිබ්බා.....
ඇයි මම එවලෙ එයාට ඉඩ දුන්නේ...
ඇයි මමත් එයාව අනිත් පැත්තට කිස් කරේ...
මට වෙසමුණියා වැහිලද හිටියෙ....
මම මුනින් අතට හැරිලා නලල බිම තියාගෙන කෙදිරි ගෑවා...
මොන හතරවිලි ලැජ්ජාවක්ද වුණේ..
ඔය විදිහට මගේ හිතේ එක පැත්තක් තරහා ගද්දි ලැජ්ජා වෙද්දි තව එක පැත්තක් සතුටයි දුකයි අතර හැගීමක දෝලනය වෙවී හිටියා...
මෙච්චර දවසක් මම ඒක පාර්ශවිකයි කියලා හිතන් හිටිය හැගීම සර්ගෙ පැත්තෙනුත් තියනවා කියලා දැනගත්තම.....
මාව එයාට ඕනේ....මං වෙනුවෙන් බලන් ඉන්නවා කියන එයාගෙ වචන ඇහුණම....
මගේ උගුරේ මොනවදෝ හිරවෙලා වගේ දැනෙන්න ගත්තා....
කොච්චර තනියම හැමදේම දරාගත්තත්....මම රොමෑන්ටික් නෑ, ආදරේ එපා , ඒ හැගීම් මට තේරෙන්නෑ කියලා කීවත් කෙනෙක් මං වෙනුවෙන් බලන් ඉන්නවා කියලා කියද්දි මට දැනුනෙ හරිම ආරක්ෂිත හැගීමක්....
ඒත් ඒ කොච්චර කාලෙකටද.....
මං කොච්චර වටිනාකමින් අඩුද කියලා දැනගත්තම....මටයි කියලා එයාට දෙන්න මුකුත්ම නෑ කියලා එයාට තේරුණාම.....
ඉගෙනීමකුත් නෑ....සල්ලිත් නෑ...අඩුමගාණේ අහිංසකකමක්, විනීතකමක්වත් මට නෑ...විශේෂ ලස්සනකුත් නෑ.....
එයාට ඒ දේවල් තේරුණාම එයාට මාව එපාවෙලා යයි...
එයා දැන් කියයි අරවා දෙන්නං මේවා දෙන්නං ඉරහද දෙන්නං කියලා...
ඒත් කාට කාටත් අඩුපාඩු පේන්න ගන්නෙ පස්සෙ...
අපේ වත්තෙ කෙල්ලෝ කීයක් පෝසත් මහත්තයෙක් බදින්න යන්නෙ කියලා උජාරුවෙන් කීවද....
ඒත් ඒ හැම පෝසත් මහත්තයෙක්ම අන්තිමේදි බැන්දේ අර සර් බදින්න ඉන්න කෙල්ල වගේ සිනිදු පොෂ් කෙල්ලො මිස වැඩ කරලා කරලා ගෙවිච්ච අත් තියෙන ලාභ සෙන්ට් ගහන , දුක් විදලම ඇට ගැහිච්ච අපේ අහිංසක කෙල්ලො නෙවෙයි...
මම කොල්ලෙක් තමයි.....ඒත් කවුරුහරි බලාපොරොත්තු දීලා ඒ බලාපොරොත්තු බිදලා දාලා අතෑරලා ගියාම ඇතිවෙන වේදනාවට ගෑනු පිරිමි භේදයක් නෑනෙ...
ඇයි සර්ට තේරෙන්නෙ නැත්තේ??
මේක සෙල්ලමක් නෙවෙයි.....
මම සර්ට ළං වුණොත් ආයෙත් ඈත් වෙන්න මට බෑ.....මට එච්චර හයියක් නෑ...
අපි ආසම දේ තියෙන්නෙ දුරකනං අපිට ඉවසීමෙන් , අයිතියක් හොයන්නෙ නැතුව බලන් ඉන්න පුලුවන්....
හරියට හද දිහා බලන් ඉන්නවා වගේ...
හද ඉල්ලලා කොච්චර ඇඩුවත් හදට අපි ළගට එන්න බෑනෙ...
ඉතිං දුර ඉදලා හදට ආදරේ කරනකොට හැමදාම ආදරේ කරන්න පුලුවන්...
ඒත් සර් මට ළං වෙද්දි....
එයාට මාව ඕනෙ කියද්දි...
එයා මං වෙනුවෙන් බලන් ඉන්නං කියද්දි මට සර්ව දුරක ඉන්න හද වගේ දකින්න බෑ...
එතකොට මට එයාව මනුස්සයෙක් වගේ පේන්න ගන්නවා...හද වගේ දුරක නැති , අයිතිකරගන්න පුලුවන් කෙනෙක් වගේ පේන්න ගන්නවා....
ඒත් මිනිස්සු වෙනස් වෙන හැටි , කාලයක් හිනාවුණු මිනිස්සු අඩන හැටි...දරුවො එක්ක තනිවෙලා දුක් විදින හැටි නිතරම දකින මම දන්නවා මනුස්සයෙක්ව එහෙම අයිතිකරගන්න හිතුවට ඒක කරන්න බැරි වැඩක් කියලා...
ඉතිං සර් මට ළං වෙනකොට අනිත් පැත්ත හැරිලා දුවන්නත් හිතෙනවා...
කොහෙවත් යන්න නොදී බදාගෙන තුරුල් කරගන්නත් හිතෙනවා....
මම ඕවා හිත හිත ඉන්න ගමන් පැයක් විතර ඔහේ නිදාගෙන ඉන්න ඇති....මට ඇහෙනවා අම්මයි නංගියි සාලෙ කතා කරනවා..
"මොකද පුතේ අර අයියට වෙලා තියෙන්නෙ...ආව වෙලේ ඉදන් නිදි..??"
"එයාට ලෙඩ.....අසාධ්‍ය තත්වෙක ඉන්නෙ..."
නංගි කීවෙ සමච්චලෙන් වගේ...
"උදෙත් හොදට හිටියෙ...උණ නං බෙහෙත් ටිකක් වත් ගන්න වෙයි"
"ආ අම්මා බය වෙන්න එපා, එහෙම අසනීපයක් නෙවේ....ඒක මේ හිතේ ලෙඩක් වගේ මට පේන්නෙ..."
දැන් නං මට මළ පැනලා...මේ ගෙදර නිදහසේ නිදාගන්නවත් නැද්ද කතාවක් නාහා...
මානකොකාත් එකයි ....ගෙදර එකීත් එකයි...
මුං දෙන්නා සහෝදරයොද මන්දා..
දෙන්නගෙම වැඩේ මාව මඩවන එක...
මම දඩබඩ ගාලා නැගිටලා ටවල් එකත් කරේ දාගෙන නාන්න ගියේ සාලෙ මැද්දෙන් යන ගමන් නංගිටත් හොද ගාණට රවලා....
මම නාලා ඇවිත් කකා ඉද්දි ෆෝන් එකට මැසේජ් එකක් ආවා..
ශෙනාල් සර්..??මේ වෙලාවෙ..??
Oyage bag eka man gawa ....eka epada....??
මම බලලා නිකමි හිටියා..
"Rata kalada ???"
මේ මොන මල කරදරයක්ද...මං රෑට කෑවත් නැතත් මූට මොකද.....
"Uru patiyo....ko oya...uththara nodunnoth hoyan enawa honde..."
කකා හිටිය බත් කටත් හිරවෙනවා තව පොඩ්ඩෙන්....
මේ මනුස්සයට මක් වෙලාද....
එතකොටම නංගිගෙ අත මගේ ෆෝන්
එක උදුරලා ගත්තා...
"මේං...අයියට ඌරු පැටියලු.....කෝ.. ඔයා...උත්තර ...නොදුන්නොත් හොයන් එනවා...හත්තික්කේ...
අම්මේ...අයියාට මගුලක් හරි ගිහින්...අපිට ළගදිම වෙඩිමක් ගත්තෑකි...."
නංගි ෆෝන් එක අත තියන් හක හක ගාලා හිනාවෙද්දි මම බත් එක පැත්තක තියලා ඉදුල් අත තියාගෙනම පස්සෙන් පැන්නුවා...
"කවුද අයියෙ ඔයා රෑට කෑවද අහන්නෙ...ඉන්න නම බලමු.....මානකොකා...කෝනමකා"
"නංගි...ෆෝන් එක දීපං....."
මම ෆෝන් එක උදුරලා ගත්තා..
"කවුද මානකොකා කියන්නෙ......හාට් එකකුත් තියෙනවා....."
"මේ නිකං ...ඔෆිස් එකේ ඉන්න කෙනෙක්...ඔය යාළුකමට මැසේජ් එවන්නෙ..."
"විහිලුවට නං ඇයි ඔයාගෙ කන් දෙක රතු වෙලා...අනික මං ඇහුවෙ ඒ කවුද කියලා මිසක් චැට් කරන්නෙ යාළුකමටද ආදරේටද කියලා නෙවයිනෙ..."
වෙන ගෙවල් වල නං අයියලා තමා බලේ පතුරන් ඉන්නෙ...ඒකට අපේ ගෙදර....
අම්මයි මමයි නටන්න ඕනෙ මෙයාගෙ පදේට කියලා තමා හිතන් ඉන්නෙ....
මේකිට හොරෙන් බිත්තරයක්වත් තම්බගන්න බෑ...කොහෙන් හරි ඉව වැටෙනවා...
ගිනි බෝම්බේ...
මෙහෙව් නංගිලා කිසිම අයියෙක්ට මුණ ගැහෙන්න හොද නෑ...
මම නංගිට රවලා ආයෙත් නිදාගන්න ගියා....
නිදාගන්න මොහොතෙත් මට මතක් වෙන්නෙ අද හැන්දෑව ....
මම එයාව බිත්තියට තියලා තද කරන් ඉදිද්දි එයාව දැනුන විදිහ....
එයා එයාගෙයි මගෙයි තැන් මාරු කරපු හැටි...
මම නොහිතපු වෙලාවක මාව කිස් කරද්දි මට දැනුන විදිහ...
මට එයාව ඒ තරං දැනුනේ මං එයාට ආදරේ නිසාද??
නැත්තං එයාගෙ ආදරේ මට දැනුන නිසාද....
මේ දේවල් කල්පනා කරාට පලක් තියේද??එයා තාමත් මට ඈතයි...
මිනිස්සු කීවට එක මොහොතක් ළග ඉදලා ගියත් කමක් නෑ කියලා හැමෝම ආදරේ කරන්නෙ ළග තියාගන්නනෙ.....
ඔලුව විකාර වලින් පිරිලා....
මම සර්ට අසාධාරණයක්ද මේ කරන්නේ???
එයත් ආදරෙයි නං මමත් ආදරෙයි නං මෙහෙම ඈත් වෙලා ඉන්න ඕනෙද....
මම මෝඩයෙක්ද ??? නැත්තං හැමදේම ඕනෑවට වඩා හිතන විහින් දුක් වෙන කෙනෙක්ද???
මං ආදරේට බය වෙන එක වැරදිද...
මම ඔලුව පැලෙන්න වගේ එද්දි අමාරුවෙන් ඇස් පියාගත්තා...
පහුවෙනිදා උදේම ගෙදර ඉන්නෙ නැතුව කොල්ලො ටික එක්ක ග්‍රවුන්ඩ් එකට ගියා....
මං යනකොට සෙට් එක එකතු වෙලා කදයක් දාන් ඉන්නවා....ඒ හැම එකාම අපේ පවුල් වල අය වගේ තමා....
හරියකට කන්න බොන්න නැතත් තියෙන දේ කාලා හිනාවෙලා ඉන්නවා...
උදෙන්ම කට්ටිය සෙට් වෙන්නෙ ඉරිදට තමා....නිවාඩු දවසනෙ..
මට දැන් ඕනෙ හැමදේම අමතක කරන්න...හිතට දැනෙන අමුතු හැගීම් නැති කරගන්න...
"අඩෝව් රිකී අයියා, අද මොකෝ අපි එක්ක වළ බැහැලා..."
"අද නිවාඩු බං..."
"රිකී අයියා දැන් වෙනස් වෙලා, මම එදා දැක්කා උදේ වැඩට යනවා, කිරිසුදා වගේ නාලා කරලා..කෙල්ලෙක් සෙට් වුණාද..."
ඔන්න ඉතිං තහනං මාතෘකාවකට එනවා....මම ඒ තරමට වෙනස් වුණාද පහුගිය ටිකේ....
"පිස්සුද බං...අපිට මොන කෙල්ලොද..."
කොල්ලො කියලා නෑ මුනුත් හෙණ චීත්ත...
"මේ යසිතයා කෝ බං..."
මම ඇහුවෙ එක පොඩි එකෙක් අඩු නිසා..
"ඒකා දැන් කුඩු අජිත් ගෙ ගුබ්බෑයමේ , ඉස්කෝලෙ යන්න එන්නෙත් නෑ..කට කැඩෙනකං කීවා ඕකාගෙන් ඈත් වෙලා ඉදපන් කියලා..ඌගෙ අක්කා පැනල ගියේ අජිත්ගෙ චක් ගෝලයෙක් එක්කනෙ...මස්සිනා යසිතයවත් වැඩට සෙට් කරන්...සල්ලි තමා ඉතිං...
අජීත් අයියා හැමෝටම හොදට සලකනවලු.."
මං පොඩි එකාගෙ ඔලුවට ගැහුවා පාරක්..
"සලකනවා, උඹලා එහෙම සල්ලි වලට ලෝභවෙලා ඌ ගාවට යනවා නෙවෙයි, පොලිසියට අහුවුණාම උඹලගෙ අම්මලා තමා පස් කන්නෙ....ඒ නැතත් උඹල දැකලා තියේනෙ අජිත් ළග ඉදලා කුඩු වලට පුරුදු වෙලා දැන් දරහැවවල් වගේ වෙලා ඉන්න උං ව...'
"ආව් අයියේ...මම යනවා කීවෙ නෑනෙ....යං යං ක්‍රිකට් අතක් ගහන්න"
උදේ පටන් ගත්තු පාර දවල් වෙනකං සෙල්ලං කරා..එක දෙක වෙනකොට ඉතිං ග්‍රවුන්ඩ් එකේ දූවිලි අපේ ඇගවල් පුරා...ටී ෂර්ට් කරේ....
දාඩිය නාගෙන...
කට්ටියට බඩගිනි වෙද්දි තමා ගෙවල් මතක් වෙන්නෙ...
"ස්ටෙලා අක්කලගෙ ආච්චිගේ බණ තියෙනවා ලබන සතියෙ, ආයෙ වළක් බහිමු..."
කට්ටියම තුනට විතර ආපහු ගෙවල් වලට ගාටද්දි මමත් කරේ තිබ්බ ටී ෂර්ට් එකේ දූවිලි නැති පැත්තකින් දාඩිය පිහ පිහ ගෙදරට ආවා....
"අම්මා....බත් බෙදන්ඩෝ...කාලා නාන්නේ...යකෙක් කන්න බඩගිනියි..."
මම දොර ගාවම ගල්වෙලා නතර වුණේ සාලේ පුටවක් උඩ කකුලක් පිට කකුලක් දාන් ඉදගෙන හිටිය රූපෙ දැකලා.....
"ස..සර් මෙහේ..."
"ආ අයියෙ එන්න එන්න....ඔයාගෙ අර මානකොකා බෑග් එක දෙන්න ගෙදරටම ආවනෙ ....බලන්න ඉතිං ඒකෙත් හැටි....."
සර්ට එහා පැත්තෙ ඉදන් මේ යස්සනී ඔලොක්කුවට හිනාවෙනවා......
"දැන් නං කිසි කැතක් නැතුව ඌරු පැටියා කියතෑකි....."
සර් මගේ උඩ ඉදලම බලලා කියද්දි මාව රතුවෙනවා වගේ දැනුනා...
මේකා මොනවට මෙහෙ ආවද??
සැක්....මම කොට ෂෝර්ට් එකක් විතරක් ඇදගෙන , උඩට ඇදුමකුත් නැතුව...දාඩිය නාලා...දූවිලි නාලා...
මීටත් වඩා ලොකු ලැජ්ජාවක් වෙන්න තියෙනවද....
පොලොව පලාගෙන යන්න හිතුණ හැගීම යටපත් කරන් මම වෙඩින් සූට් එකක් ඇදන් ඉන්නවා වගේ සයිස් එකෙන් නිකටත් උස්සන් ගේ ඇතුලට ගියා...
"මම ඉක්මනට නාලා එන්නං සර්...නංගි ගිහින් සර්ට තේ එකක් හදන් එනවා..."
මම නංගිටත් සැර දාලා කාමරේ ඇතුලට ගිහින් බිත්තියට හේත්තු වුණා.....
උත්කෘෂ්ටයි විලි ලැජජයි.....
වැලලෙන්න හිතෙනවනෙ....නංගි මානකොකා කතාවක් කියලා...ඒකිටත් ඕන්නැති දෙයක් නෑ...මටමයි වෙන්නෙ.....
සර් මොකටද මෙහෙට එන්නෙ...
මම දඩබඩ ගාලා ටවල් එකත් පටලගෙන නාන්න ගියා...
නාලා විනීත විදිහට එද්දි අම්මත් ඉන්නවා...
තුන්දෙනාම නිකං හැමදාම දන්න අදුනන අය වගේ සතුටු සාමීචියක්...
මමද පුතා මූද පුතා...
"ඔන්න සුදු අයියේ අපේ හඩු අයියා එනවා....මෙයා ඔය හිටියට මට බැනගත්ත ගමන්මයි....ඔයා වගේ නෙවේ..."
ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු වුණා කීවලු...
සුජු ඇයියා...ඇයි අපි කළුද...
මම සර් තරං හැන්ඩි නෑ තමා...ඒත් මං සර්ට වඩා සුදුයි....
එදා අර බිස්නස් ට්‍රිප් එක වෙලාවෙ කොට කලිසම් ඇදන් ඉන්නකොට දැක්කේ...
මූණ සුදුවට තිබ්බට මූගෙ කකුල් වලහෙක්ගෙ වගේ....මගේ වගේ ලස්සන සිනිදු කකුල් නෙවේ......
මූණ සුදුවෙලා තියෙන්නෙ මොනවා හරි උලලද කොහෙද....
"මං මානකොකාටත් රවලා නංගිටත් රවලා ඉදගත්තා..
"මම මේ පුතාට කිය කිය හිටියෙ එයාව මට දැකලා පුරුදුයි කියලා..."
"ඇයි එදා දලදා මාලිගාවෙදි මුණ ගැහුනෙ..."
"නෑ නෑ වෙන මොකක්හරි හුරුවක්...හරියට ඉස්සර කාලෙ දැනන් හිටිය කෙනෙක් වගේ..එහෙම වෙන්නත් බෑනෙ...මේ පුතාගෙ වයසත් එක්ක මම දැනන් හිටිය කෙනෙක් වෙන්න බෑ කොහොමත්..."
"මෙයා ඔහොම හිටියට නාකියි...තිහක්ද කොහෙද.."
"විසි නවයයි තව මාසෙකින්..."
මානකොකා හිනාවෙවී හිටියා....වෙනදට ෆුල් සූට් අදින එයා අද නං ටී ෂර්ට් එකට දිග කලිසමක් ඇදලා...සාමාන්‍ය ඔෆිස් යන මධ්‍යම පාන්තික කොල්ලෙක් වගේ පෙනුමක් තිබ්බෙ...
එයා එක්ක අම්මයි නංගියි මෙච්චර කිට්ටුවෙන් කතා කරන්නෙ ඒකයි...
මගේ යාළුවෙක් කියලා වැදගත් කොල්ලෙක් ඉන්නවට එයාලා කැමතියි.....ඒත් සර් සාමාන්‍ය කොල්ලෙක් කියලා හිතනකං විතරයි...
ඒ ලොකු බිස්නස් එකක අයිතිකාරයෙක් කියලා දැනගත්තොත් අම්මා කියයි ඈත් වෙන්න කියලා...
එයාට ලොකු ලොකු බිස්නස්කාරයො ඔක්කොම හොරු , රැවටිලිකාරයෝ....
ඒත් ඉතිං ගොඩක් වෙලාවට අම්මා හරි තමා....
මට අපේ ගෙදර අඩුපාඩු වෙනදට පේනවා අඩුයි...ඒත් කල්පෙකින් විතර තීන්ත ගාලා නැති බිත්ති...තැනින් තැන බිත්තියේ තියන හිල්...
සාලෙටම කියලා තියෙන පරණ අව පාට වුණු ප්ලාස්ටික් පුටු හතර....
පරණ මේසෙ....
ඔය හැමදේම එක්ක මට පොඩි ලැජ්ජාවක් දැනුනත් ඇත්තටම මම ලැජ්ජා වෙන්න ඕනෙ නෑ...
මේ තමයි මම.....ජීවිතේ කියන්නෙ සුරංගනා ලෝකයක් නෙවෙයිනෙ....
අම්මයි නංගියි පොඩ්ඩක් එහාට යනකං ඉදලා මම සර්ට රැව්වා...
"ඇයි සර් මෙහෙට ආවෙ....සර් ආවෙ අර අම්මයි නංගියි හිතනවා වගේ යාළුවෙක් බලන්න නෙවෙයිනෙ.....සර් මේ කරන දේවල් වගකීමක් ඇතුවද කරන්නෙ??? අම්මවත් මුණ ගැහෙන්න එන්නේ...."
"යෙහාර...මම ඔයාගෙ අතින් අල්ලගන්න ඉල්ලන්නෙ ආයෙත් අතාරින්න නෙවෙයි.....ඔයාගෙ අම්මට නෙවේ ඕන කෙනෙක්ට කියන්න පුලුවන් ඔයා මගේ කියලා..."
"සර්...ඒත්...."
"මට උත්තර ඕන නෑ යෙහාර....ඔයා තාම ආදරේ කරන්න ලෑස්ති නෑ...ඒක මට තේරෙනවා....ඒත් මම ඔයා එක්ක ඉන්නවා....හැමදාම...ඔයා එපා කීවත්.."
"සර්....."
"සර් සර් කියන්නෙ අර නංගි කියනවා වගේ සුදු අයියා කියන්නකො..."
සර් කීවෙ කට උල් කරගෙන....
"කෝලං නැතුව ඉන්න සර්......අපේ නංගිවත් අල්ලගෙන...."
සර් මගේ කනෙන් අල්ලලා ඇද්දා..
"ආව්....අතාරින්න...අතාරින්න...."
"කන නෙවේ අල්ලන්න වටින්නෙ...මොකද්ද අර නම....මානකොකා...මං තමුන්ගෙ බොස් නේද..."
"බොස් වුණාට මාන කොකෙක් තමා..."
මම සර් දිහාට නැමිලා කියද්දි එයා මාව එයාගෙ පැත්තට ඇද්දා....
මම තව පොඩ්ඩෙන් එයාගෙ ඇගට වැටෙනවා...
"අයියේ.....මේ එන්නකෝ...."
"සර්...අත් කකුල් හරියට තියාගන්න...පස්සෙ මගෙන් පාරක් කෑවට පස්සෙ මම නරක මිනිහයි කියන්න එපා..බොස් ඔෆිස් එකට විතරයිනෙ...මෙතනදි ඒවා අදාල නෑ.."
මම එයාගෙන් ඈත් වෙලා කුස්සිය දිහාට යනගමන් කීවා...
අම්මා කෑම හදලා......පොලොස් හදලා.....පරිප්පු තෙලට...ගෝවා මැල්ලුමක් එක්ක සැමන් හදලා...පපඩම් බැදලා..
සර්ට හොද මදිද නං දන්නෙ නෑ....
ඒත් කරන්න දේකුත් නෑ......
ලොකා ලොකු දේවල් නොතිබුණාට අපේ අම්මගෙ කෑම දිව්‍යලෝක රහයි...
අම්මා කවුරුහරි ආවම දෙන්න අරන් තියපු සුදු වීදුරු පිගානකුයි කෝප්පෙකුයි එළියට අරන්....
මම මගේ අතින්ම එයාට උණු බත් බෙදද්දි මට මහ අමුතු හැගීමක් ආවා...
ඒ හැගීම හරිම නුහුරුයි.....
රහසේ හැර එළිපිට විදින්න අමාරු හැගීමක් වගේ ඒක...
මොකද මම කොල්ලෙක් වෙච්චිකොට තාම මට යන්තමට හිතෙනවා මගේ මේ හැගීම වැරදිදෝ කියලා....
හරියට මේක කෙල්ලෙක්ට දැනෙන හැගීමක් වගේද කියලා මට මාවම පහත් කරගන්න හිතෙනවා...
හරියට හස්බන්ඩ්ට කෑම බෙදලා දෙනවා වගේ දැනෙන එක .....
ඒත් එහෙම නෑනෙ නේද?? මෘදු හැගීම් වලට ගෑනු , පිරිමි භේදයක් නෑනෙ....
මම සුදු බත් බෙදලා එළවළු වටේට බෙදලා සර්ට ගිහින් දුන්නා...
එයා කෑම එක අතින් ගද්දි මාත් එක්ක හිනාවෙද්දි මට ඕනෙ වුණා බිම බලාගන්න.....
ඒත් එහෙම නොකර මමත් එයා එක්ක හිනාවෙලා එහා පැත්තෙන් ඉදගත්තා...
ඈතින් ඇහෙනවා කවුදෝ කාටදෝ බනිනවත්....කොහෙදෝ වතුර වැටෙන සද්දෙකුත්....අම්මෙක් ළමයෙක්ට කන්න කතා කරනවත්...
ඒත් ඒ මොන ඝෝෂාව මැද්දෙ වුණත් මට දැනුනෙ හැමදේම නිශ්ශබ්දයි වගේ.....
"බත් කටක් කවන්නද...."
එයා එහෙම අහද්දි මම එපා කියලා ඔලුව වැනුවා....
"නංගි එයි...ඕකි රොයිටර් වගේ...මම ඉදලා ඉවරයි..."
"එකම එකක්..."
"සරුත් හුරතල් වෙන්න තියාගත්තනෙ, කටවහන් කන්නකො..."
මට ආසයි එයාගෙන් බත් කවාගන්න...
ඇත්තටම ආසයි.....
ඒත් කොච්චර ආස වුණත් හිත පැකිලෙනවා එයාට ළං වෙන්න.....
එයාට මගේ මේ මුරණ්ඩුකම් එපාවෙයිද?? මම හිත හදාගෙන එයාට කැමැත්ත දෙන්න හිතද්දි එයා මගෙන් එහාට හැරෙයිද...
කාලය හැමදේම තීරණය කරයිනෙ...
මතුසම්බන්ධයි~