මරකත ලෝචන 💚 - 01

647 53 2
                                    


මධ්‍යම රාත්‍රියේ ඇසුණු හඩකින් මම පිබිදුනේ තිගැස්සීයි. මාගේ ගතම රාත්‍රී සිසිලසින් සලිතව ගියේ වැසීමට අමතකව ගිය ජනේලය හේතුවෙනි.

නොදන්නා පලාතකට, නොදන්නා නිවසකට මා පැමිණියේ, මාගේ විදේශගතව සිටිනා මිතුරෙක් හට කරනා උදව්වක් වශයෙනි. ඔහුගේ සීයාගේත් පියාට අයිතිව තිබූ මෙම මහා නිවෙස, කාලයාගේ ඇවෑමෙන් පරම්පරානුගත උරුමයක් ලෙස වර්තමානය වනවිට ඔහුට අයිති වී ඇත.

නමුත්, විවාහ වී තම බිරිඳ සහ දරු දැරියන් සමගම විදේශගතව ජීවත්වන මාගේ මිතුරා හට නම් මේ තරම් වටිනා, පුරාණ නිවෙස ඒ තරම්ම වැදගත් වූයේ නැත. එනිසයි ඔහු නිවාස සහ ඉඩම් වෙළදාම් කටයුතු කරන මාව සම්බන්ධ කරගත්තේ. උසස් පෙළ පන්තියෙන් පසුව වැඩි සබදතාවයක් අපි අතර නොතිබුණත්, ඔහු මාවම මේ සඳහා සම්බන්ධ කරගත්තේ මා ඔහුට විශ්වාස නිසා බව පසුව පවසන ලදී. කෙසේ නමුදු නිවාස සහ ඉඩම් වෙළදාමේ දී මා මාගේ පියා මෙන්ම දක්ෂ වෙළදාම්කාරියකි. මාගේ පියාගේ වියෝවෙන් පසුව මම ද ඔහුගේ රැකියාවෙහි නිරත වීම ආරම්භ කරන ලද්දේ, ඒ වනවිටත් අතොරක් නැතුව සහභාගී වූ රැකියා සඳහා වූ සම්මුඛ පරීක්ෂණ ගණනාවකින්ම මා ප්‍රතික්ෂේප වද්දීයි. එක්තැන් වූ මව සහ තවමත් පාසල් වියෙහි පසු වන මාගේ නැගණිය බලා ගැනීම එයින් පසුව මම මගේ රාජකාරිය කරගතිමි.

කෙසේ නමුදු, මාගේ මිතුරාගේ පෞරාණික වලව් පැලැන්තියේ නිවසටත් මනා ගැනුම්කරුවෙකු සොයා ගැනීමට මට හැකි විය. එය එතරම්ම පහසු කර්තව්‍යයක් නොවුනාත්, මාගේ දක්ෂකම හෝ වාසනාව නිසා පලමු උත්සාහයෙන්ම මාගේ මිතුරාගේ යෝජිත මිලටම එකඟ වූ ගැනුම්කරුවෙකු හමුවිය.

අද දින ඔහු, එනම් ගැනුම්කරු නිවස නිරීක්ෂණය කිරීමට පැමිණියේ මා සමඟින්මයි.

ඔහු මනා පෞරුෂයකින් හෙබි කඩවසම් ඉලන්දාරියෙකි. දේහදාරී සිරුර මා සිත සොලවන්නට සමත්වුවත්, මට වඩා වසර දෙකකින් පමණ ඔහු වයසින් බාල වූ නිසා මම සෙලවෙන මගේ සිතටම තරවටු කරගත්තෙමි.

කෙසේ නමුදු මම ඔහු හා ඔහුගේ සුඛෝපභෝගි රථයෙන්ම මෙම ගම්බද පාළු පරිසරයක තනා තිබූ මහා නිවස වෙත පැමිණියෙමි.

Marakatha Lochana | මරකත ලෝචන | [COMPLETED]Where stories live. Discover now