Part 1

62 16 32
                                    

"මේක මොකද්ද ඩොක්ටර්?"

ඔෆිස් කාමරේ ඇතුලෙම කොල පාට කර්ට්න් එහෙකින් වහලා තිබ්බ මුල්ලේ තිබ්බ ඇඳ උඩ වාඩි වෙලා, ඇඳන් හිටිය ශර්ට් එක යන්තමට පපුව වැහෙන තරමට උස්සලා රඳවන් හිටිය මාරියාට තිබ්බේ ඒ ප්‍රශ්නෙ විතරමයි. ඒ නිරාවරණය වෙලා තිබ්බ කොටසේ උදරය හරියට වෙන්න තිබ්බේ පොඩි, සියුම්, සිනිඳු ගැටිත්තක්. හරියටම සතියකට කලින් චූට්ටක් අවපැහැ වෙලා තිබ්බ තැනින්, පස්සේ චූටි ගැටිත්තක් ඇවිත් මේ වෙද්දි ඒක ටිකක් තද ගතියකුත් දැනෙන තරමට වැඩිලා තිබ්බා. එක තැනක නොහිට, තමන් හුස්ම ගන්න වාරයක් ගානේ මේ චූටි ගැටිත්ත එහෙට මෙහෙට යනවා වගේ පේන තරමටම මාරියාට ඒක හිසරදයක් උනා.

"මං පොඩ්ඩක් අල්ලලා බලන්නද?"

සුදු පාට අතටම ඇලුණු මෙඩිකල් ග්ලවුස් දෙකක් දාගත්ත තරුණ වෛද්‍යවරිය මාරියාගෙන් අවසර ඉල්ලුවා.

"මට පොඩ්ඩක් මේ ගැටිත්ත වගේ නේචර් එක බලාගන්න ඕනේ. ඔයාට මොකක්ම හරි වේදනාවක් දැනුනොත් කියන්න."

හුරුපුරුදු විදියට ගැටිත්ත වටේට හම අතගාපු වෛද්‍යවරිය ලස්සනට නියපොතු වවලා පාට කරලා හැබැයි දැන් ග්ලවුස් එකට වැහිලා තිබ්බ ඇඟිලි තුඩු දෙකකින් මාරියාගේ උදරයත් පොඩ්ඩක් ඇතුලට ඔබලා බැලුවා.

"රිදෙනවද?"

මාරියා නෑ කියන්න වගේ ඔලුව දෙපැත්තට වැනුවා මිසක් කට ඇරලා ඒක කියන්න උත්සහ කලේවත් නෑ.

"හ්ම්"

ලස්සන ඇඟිලි තුඩුවලින් තව ඇඟිලි තුඩුවක් අනිත් ඇඟිලි අස්සෙම හංගගත්ත වෛද්‍යවරිය එක ඇඟිලි තුඩුවක් විතරක් ගැටිත්ත උඩින් තියලා හිමීට තද කලා. ඇඟිල්ල හමේ ගෑවුණ ගමන්ම ගැටිත්ත ඇඟිල්ලට බයේ වගේ හිමීට ලිස්සලා ගිහින් පොඩ්ඩක් එහාට උනා. ඇඟිල්ල අයින් කරගත්තම ආයෙත් හිමීට තිබ්බ තැනටම ආවා.

"ම්ම්, මේ මොකද්ද මේ?"

කල්පනාකාරී විදියට මාරියා අරන් ආව මේ අලුත් සාමාජිකයා දිහා බලපු වෛද්‍යවරිය ආයෙත් මාරියා දිහා බැලුවා.

"මට ශුවර් එකටම මේ මොකක් නෙවෙයිද කියලා කියන්න පුලුවන් ඔයාට. මේ දියපට්ටයක් වෙන්න බෑ. ගොඩක්ම සොලිඩ් නැති නිසා ෆයිබ්‍රොයිඩ් එකක් කියන්නත් බෑ. හැබැයි මේක සැරව පිරුණ ගැටිත්තක් වෙන්න පුලුවන්. ඔයාට කලින් සැරව ගැටිති ඇවිත් තියෙනවද?"

"මට මතක ඇති කාලෙක නම් නෑ ඩොක්ටර්."

"මං මෙහෙම කරද්දි ඔයාට පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැද්ද?"

ආයෙත් ගැටිත්ත උඩින් පොඩ්ඩක් ඇඟිල්ල තියල තද කරපු වෛද්‍යවරිය ඇහුවා.

"නෑ පොඩ්ඩක්වත් රිදෙන්නෙ නෑ. ඒත් පොඩි අපහසුවක් දැනෙනවා."

"තව?"

මාරියා දිග හුස්මක් ගත්තා. ඊට පස්සේ හෙමීට වචන එකතු කරන් තමන්ට ඇත්තටම දැනෙන දේ වෛද්‍යවරියට නිවැරදිවම කියන්න උත්සාහ කලා.

"ඒක හරියට මොකක් හරි මාව ඇතුලෙන් හාරනවා වගේ. ඒත් මට ඒකෙන් කිසිම වේදනාවක් දැනෙන්නෙ නෑ. ඒ උනාට ඒක මට පහසුත් නෑ. හරි අපහසුවක් දැනෙනවා."

ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ට වෛද්‍යවරිය ග්ලවුස් දෙක ගලවලා එතනම අයිනේ තිබ්බ ඩස්ට්බින් එකට දැම්මා. මාරියා උස ඇඳෙන් බැහැලා එයාගේ ශර්ට් එක ආයේ පහලට කරලා කලිසමට යට කරගත්තා.

"අපි තව ටෙස්ට්ස් කීපයක් කරලා බලමු. මං හිතන්නේ මේක non-cancerous එකක්. ඒත් එහෙම්මම කියන්නත් බෑ ඉතින්. ඕකෙන් සැරවවත් ලේවත් ආවේ නෑ නේද?"

"නෑ, නිකන්ම මෙහෙම තිබ්බ විතරයි."

මේසෙ ඉදිරියේ තිබ්බ සැප පහසු කැරකෙන පුටුවෙන් වාඩි උන වෛද්‍යවරිය, පරිඝණකයේ යම්කිසි දෙයක් සොයන බව හැඟෙව්වා. ටික වෙලාවකින් මේසේ එහා කොනේ තිබ්බ ප්‍රින්ටරෙන් මුද්‍රිත කඩදාසියක් එලියට ආවා. කඩදාසියේ දකුණු යට කෙලවරේ තමන්ගේ කුරුටුබලි අත්සන ගහපු වෛද්‍යවරිය ඒක මාරියා දිහාට දිගු කලා.

"මේ බෙහෙත් ටික ෆාමසියෙන් අරන් යන්න. ඇන්ටිබයොටික්ස් ටිකක් තියෙන්නෙ. මේක මොකක් හරි විශබීජ සම්බන්ධ ගැටිත්තක් නම් ඔය බෙහෙත් ටික බිව්වම ඕක තව වැඩි වෙන එකක් නෑ. එතකන් මං ඔය වගේ දේවල් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ට ඔයාව යොමු කරවන්න බලන්නම්."

"තැන්ක් යූ."

එහෙම කියපු මාරියා බෙහෙත් තුණ්ඩුවයි, බෑග් එකයි අරන් කාමරෙන් පිට වෙලා ගියා.

ගෙදර ගිය ගමන්, නාන කාමරේ කණ්නාඩිය ඉස්සරහට ගිය මාරියා, තමන්ගේ ඇඟේ තියෙන මේ අමුතු එහෙට මෙහෙට හෙල්ල්‍ර්න දේ දිහා කණ්නාඩියෙන් බලන් හිටියා. ගැටිත්ත පුංචි සතෙක් වගේ එහෙට මෙහෙට යන එක, යන්තන් ඉස්සෙන එක වෙන්නේ ඇත්තටමද, නැත්තන් මේ ඔක්කොම තමන්ගේ හිතද කියලා හිතාගන්න බැරුව මාරියා අතරමං වෙලා හිටියේ.

"හරි, ඕල් රයිට්. අපි බලමු මේ පාට පාට බෙහෙත් පෙති ටිකට මොනාද කරන්න පුලුවන් කියලා."

වටේම දොර ජනෙල් වහලා තිබ්බ හිස් ගේ ඇතුලේ මාරියාගේ කටහඬ දෝංකාර දුන්නා. එහෙම කියපු මාරියා බෑග් එකෙන් බෙහෙත් පෙති ටික අරන් කටේ දාගත්තා.

FLUKEWhere stories live. Discover now