සලාං...... සලාං......
හිස් වෙලා තිබුණ පුංචි ටින් එකකට කාසි එක දෙක වැටෙන්න පටන් ගත්තේ ඒක අතේ තිබුණ කෙනාගෙ මූණට ලස්සනම හිනාවකුත් ගේන ගමන්. දූවිලි වලින් නෑවිලා තැනින් තැන ඉරිලා ගිහින් තිබුණ කිලිටි ඇඳුමක් ඇඳ ගත්ත පුංචි පිරිමි ළමයෙක් මහ පාරේ යන එන මිනිස්සු දිහාවට අත දික් කරේ තමන්ගේ අතේ තියෙන ටින් එක කාසි වලින් පුරවගන්න හිතාගෙන. ඒ කොරියාවේ සෝල් නගරයේ තවත් කාර්යබහුල දිනයක අවසානය. වැඩිහරියක්ම තම තමන්ගේ රාජකාරි ස්ථාන වලින් බැහැර වෙලා යන මිනිසුන්ගෙන් නගරයේ පාරවල් පිරෙන්නට වුනා. කඩිසරව ඇවිදින මිනිස්සු ,රථවාහන පේළි , විශාල ගොඩනැගිලි නිසා මුළු නගරයේම දකින්නට ලැබුණේ බොහොම කලබලකාරී ස්වභාවයක්.හැමදාම වගේ සෝල් නගරයේ මේ දකින්නට ලැබෙන සුලභ දර්ශනය පුදුමයක් නොවුන වයසක සීයා කෙනෙකුත් පාරේ කොනක වාඩි වෙලා තමන්ගේ මහන්සිය නිවෙනකං යන එන වාහන දිහා ඔහේ බලාගෙන හිටියා.
"අහකට පලයන් පොඩි එකෝ. හැමදාම එනව හිඟමන් ඉල්ලන්න. උඹට දැන් දවස් කීයක් නං දුන්නද? උදේ පාන්දරටත් එනවා අත දික් කරන් මූසලකමට. අපි සල්ලි හම්බකරන්නේ මේ හිඟන්නන්ට දෙන්නද? උඹ ආයි සැරයක් මගෙ ඉස්සරහට ඇවිල්ලා අහුවෙන්න එපා. පලයන් යන්න."
ටින් එකක් බිම වැටුණු සද්දෙත් එක්ක එක්වරම ඇහුනු ඒ කෑගැහිල්ල දිහාවට සීයා හැරිල බැලුවා.
පාරේ හිඟමන් ඉල්ලමින් හිටපු පුංචි කොල්ලාට කවුදෝ මනුස්සයෙක් කෑ ගහනවා. සීයා ඉක්මනින්ම නැගිටලා එතනට දුවලා ගියා. ඔහුට මුලින්ම බැලුනේ පොඩි එකාගේ මූණ දිහා.ඒ පුංචි බෝල ඇස්වල කදුළු පිරිලා තියෙන හැටි ඔහු දැක්කා. කොල්ලගෙ අතේ තිබුණ ටින් එකත් බිම පෙරළිලා කාසි පාරේ විසිරිලා තිබුණා.
"අනේ සමාවෙන්න මහත්තයෝ පුංචි එකාට කෑ ගහන්න එපා."
"ආ..මේ උඹේ ළමයද..ලැජ්ජ නැද්ද මිනිහෝ ළමයගෙන් හම්බ කරන් කන්න.රස්සාවක් කරලා ළමයට කන්න දීපන්. හිඟමන් එවන්නැතුව..නොදකින් කාලකන්නි..ශිට්..මුන් මගේ මූඩ් එකත් කෑවා..එන්න බබා අපි යමු."
සීයා දිහාත් පොඩි එකා දිහාත් පිළිකුලෙන් බලපු ඒ මනුස්සයා තමන්ගේ පසෙකින් හිටපු ලස්සන කාන්තාවගේ බඳ වටේ අතක් දමාගෙන එතනින් යන්නට ගියා.
සීයා ගොඩක් අසරණ විදියට වටපිට බැලුවා. ඒ සිදුවීම දිහා නැවතිලා බලාගෙන හිටපු සමහර අය එතනින් ඉවත් වෙලා තම තමන්ගේ ගමන් බිමන් නැවත පටන් ගත්තේ ඔවුන්ව ගණනකටවත් නොගෙන. ඒ කිසිම මුහුණක අනුකම්පාවක සේයාවක් වත් තියෙනව ඔහු දැක්කෙ නැහැ. දිගු සුසුමක් හෙලපු ඔහු බිම තිබුණු කාසි හෙමිහිට අහුලලා ආපහු ටින් එකටම දාලා කොල්ලගෙ අතින් තිබ්බා. කොල්ලගෙ ඇස්වලින් තවමත් කදුළු වැටෙනවා. ඒ දිහා බලලා මුකුත්ම නොකියපු සීයා පුංචි කොල්ලගෙ අතිනුත් අල්ලගෙන ආපහු තමන් හිටපු තැනටම ගිහින් කොල්ලවත් වාඩි කරලා ඔහුත් වාඩි වෙලා පාර දිහා බලාගෙන ටිකක් වෙලා හිටියෙ කොල්ලගෙ කදුළු නවතිනකං. මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් අහලා ඔහුට පුරුදු වුනත් පුංචි හිතකට ඒ දේවල් දරාගන්න බැරිබව ඔහු දන්නවා. ටික වෙලාවකට පස්සේ ඇඬිල්ල නවත්තපු පොඩි එකා අතේ තියෙන කාසි ටින් එක දිහා බලන් ඉන්න හැටි දැක්කම ඌව සනසන්න මොනවහරි කියන්න ඕන වුනත් ආයිමත් නැවතුණේ පුංචි එකා කොහොමහරි මේ ජීවිතේට පුරුදු වෙන්න ඕනෙ නේද කියලා හිතුනු නිසා. ඒක තමයි ඔවුන්ට උරුම ජීවිතේ. ඔව් හිඟන්නන්ට උරුම ජීවිතේ.
අම්මෙක්ගෙ තාත්තෙක්ගෙ ආදරේ සෙනෙහස ලැබෙන්න ඕන වයසක ඉන්න මේ පුංචි කොලු පැටියට මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන හිඟමන් යඳින්න වුන එකට පුංචි එකා ගැන හිතේ ලොකු දුකක් ඇතිවුනත් ඒ ගැන තමන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ නේද කියලා සීයා කල්පනා කළා. තමන් නැති කාලෙක කොලුවට කාගේ පිහිටක්ද කියලා හිතනකොට මෙහෙම දරුවෙක්ව අසරණ කරපු ඒ දෙමව්පියෝ කවුරු වුනත් ඔවුන් ගැන සීයාට දැනුනේ ලොකු තරහක්.
තමන්ගේ අතට දැනුණු බරක් නිසා පහළ බලපු ඔහුට දකින්න ලැබුණේ තමන්ගේ අතට බර වෙලා නිදාගෙන ඉන්න කොලු පැටියට. සීයාගේ මුහුණේ යාන්තං හිනාවක් නැගුනත් ඒක ඉක්මනින් නැතිවෙලා ගියේ සද්දෙට නැගුන වාහනේක හෝන් එකකට කොල්ලා නින්දෙන්ම ගැස්සුණු හැටි දැකලා.
"මේ මහ පාරේ නාකි මං ගාව නැතිව සැප පහසු ඇඳක අම්මෙකුගෙ උණුහුමේ නිදාගන්න උඔට වාසනාවක් නැත්තේ උඔ හිඟන කොල්ලෙක් උන නිසා පැටියෝ. ඔව්. උඔ හිඟන කොල්ලෙක්.."
එහෙම කියපු සීයා තවත් දිගු සුසුමක් හෙලුවේ තමන්ගේ හිතේ බර ටිකක් හරි සැහැල්ලු කරගන්නයි. නින්දෙන්ම වගේ පුංචි එකාගෙ ඇහින් රූරා වැටුණු කදුළු බිංදුවක් තමන්ගේ පිටිඅත්ලෙන් පිහදාපු ඔහුත් හෙමීට දෑස් පියාගත්තේ සවස් කාලේ සෝල් නගරය පුරාවට හමාගෙන යන සීතල සුළඟත් ඔවුන්ටම පීඩාදෙද්දියි.
YOU ARE READING
THE BEGGAR BOY
Fanfictionමේ ලෝකෙ මට නොලැබුණ දේකුත් නෑ. ලබාගන්න බැරි දේකුත් නෑ. මුළු ලෝකෙම වුණත් මගේ වෙයි.ඒත් මට ඕනෙ ඔයාගෙ ලෝකෙ. - ජන්ග්කුක් මාව මේ ලෝකෙට අයිතිත් නැහැ. මට අයිති ලෝකයක් ඇත්තෙත් නැහැ. කවදහරි දවසක මගේම කියලා ලෝකය...
