2

610 205 50
                                    

හෝල් එක ඇතුළට ආව ජිමින් නිල් පාට ලොකර් පේළිය ළඟ නතර වුණා. වම් පැත්තෙ වගේම දකුණු පැත්තෙත් නිල් පාට ලොකර් තිබුණා.

ජිමින්ට මතකයි එයාගෙ ලොකර් එක නිල් පාටයි කියලා. ඒත් එයාට මතක නෑ එයාගෙ ලොකර් අංකෙ මොකක්ද කියල.

-"ඒක 18.... ආ නෑ ඒක 19ද කොහෙද.... නෑ මං හිතන්නෙ, සමහරවිට ඒක 17 වෙන්න ඇති."

ජිමින්ට මතක එයාගෙ ලොකර් එක ඉස්සරහ ඉඳලා හයවෙනි එක කියලා විතරයි. ඒත් ඒ වම් පැත්තෙ ද දකුණු පැත්තෙ ද කියල එයාට මතක තිබ්බෙ නෑ.

අද විතරක් නෙවෙයි. ඒක හැමදාම එහෙමයි.

ජිමින් මුලින්ම වම් පැත්තෙ ඉඳලා හය වෙනි ලොකර් එක ළඟට ගියා. වාසනාවට වගේ අතේ තිබුණු යතුරින් ලොකර් එකේ දොර අන්ලොක් කරගන්න පුලුවන් වුණත් දොර අරිද්දිම ඇතුළෙ තිබිලා එළියට වැටුණු කුණු ගොඩ තමන්ගෙ දෙපා මුල නතර වෙද්දි ජිමින්ගෙ මූණ ඇඹුල් වෙලා යන්න වැඩි වෙලා ගත වුණේ නෑ.

ඒ එක්කම බිත්තිය පිටිපස්සෙන් ඇහුණු අප්‍රසන්න හිනා හඬත් එක්ක හැමදාම වගේ අදත් ජිමින් තේරුම් ගත්තා කුණු ගොඩේ අයිතිකාරයෝ කවුද කියල. නිහඬව ම ලොකර් එක ඇතුළෙ වගේම බිම තිබුණු කුණුත් අයින් කරලා දැම්ම ජිමින් රූෆ් ටොප් එකට ගියේ සන්සුන් ගමනින්.

ඈතින් පේන මන්ස්කාන්ත දර්ශනය නරඹන ගමන් ම බෑග් එක ගලවල පැත්තකට දැම්ම ජිමින් ඇස් පියාගෙන තමන්ගෙ ඉත්තෑකුරු කොණ්ඩෙ අස්සෙන් ඇඟිලි යැව්වා.

ජිමින්ගෙ ඒ නිහඬ, සන්සුන් රූපය තිබුණෙ මොහොතයි. ඊළඟ මොහොතෙම පැළඳ ගෙන හිටිය උපැස් යුවළ පැත්තකට විසි කරල ජිමින් මහ හයියෙන් කෑ ගහන්න ගනිද්දි අත් වැට උඩ ගිමන් හරිමින් හිටිය පරවියො දෙන්නෙකුත් ඉහළට පියාඹලා ගියෙ ඒ තරමටම උනුත් බය වුණු නිසා.

-"ජරා අශික්කිත ඌරො. ආශ්....තනිකර ජරා ගොඩක්. ඈ.......හ්.....ර්......."

ජිමින් වගේ කෙනෙක්ගෙ කටින් පිටවෙයි කියල හිතාගන්නවත් බැරි තරමෙ භයානක නපුරු කැත වචන ගොඩක් එක්ක ජිමින් කෑ ගහන විදිය සමහරවිට ජිමින්ගෙ ලොකර් එක කුණුවලින් පිරෙව්ව අය දැක්කා නම් මොහොතකට තුෂ්ණිම්භූත වෙලා යන්න ඉඩ තිබුණා.

ඇත්ත කතාව නම්, මේක අද විතරක් නෙවෙයි හැමදාම වෙන දෙයක්. පන්තිය ඇතුළෙදි වගේම අනිත් හැම තැනකදිම බයගුල්ලෙක් වගේ ඉන්න ජිමින් නොබියව කෑගහන්නෙ මේ රූෆ්ටොප් එකේදි විතරයි. ඒ වුණත් හැමදාම ඒ කෑගැහිල්ල අහගෙන හිටියෙ අහුලගෙන කන්න එතනට එන පරවියෙක් දෙන්නෙක් විතරයි.

ඒත් අද....,

-"ඒ ගමන මොන යකෙක්ද? ආ......ශ්...හෙන ගහපන්. ඔය කෑ ගහන එකා කවුරු වුනත් තමුන්ටයි මං මේ කියන්නෙ..., තමුන්ට පේන්නැද්ද මාත් මෙතන ඉන්නවා කියල."

ජිමින්ගෙ හඬත් පරයා ඇහුණු ඒ බැන වැදීම ජිමින්ව ආයෙමත් යථා තත්ත්වයට පත් කරවන්න සමත් වුණා. ආයෙමත් පරණ පුරුදු බියගුලු ස්වභාවයෙන්ම වටපිට බැලුව ජිමින්ට බිත්තියකුයි, පරණ කබඩ් එකකටයි මැදි වෙලා තියෙන පුංචි ඉඩක නිදාගෙන ඉන්න කෙනෙක්ව දැක බලා ගන්න පුලුවන් වුණා.

-"ආ...සමාවෙන්න. මං හිතුවෙ නෑ මෙතන තව කෙනෙක් ඉන්නවා කියල. ඇත්තටම මං එහෙම කෑ ගැහුවෙ හිතල නෙවෙයි. ඒ නිසා කරුණාකරල මට  සමාවෙන්න."

හිස නවමින් සමාව අයැද්ද ජිමින් හිස ඔසවන්නෙ නැතුවම බිම බලාගෙන හිටියෙ නිදාගෙන හිටිය කෙනා නැගිටලා තමන් ළඟට එන විදිය සෙවණැල්ලෙන් දැක්ක නිසා. සෙවණැල්ල ටිකෙන් ටික තමන්ට ළං වෙද්දි අත් මිට මොළවගෙන තදින් ඇස් පියාගත්තෙ අතුල් පහරක් හරි එහෙම නැත්තං අවම වශයෙන් බැනුම් වරුසාවක් හරි බලාපොරොත්තුවෙන්.

ඒත් ටික වෙලාවක් ගිහිනුත් මුකුත්ම වුණේ නැති නිසා ජිමින් හිමින් සැරේ ඇස් ඇරලා බැලුවා. සෙවණැල්ල තමන්ව හිරු රැසින් මුවා කරගෙන ඉන්න විදියත්, සෙවණැල්ල හිමිකරුගෙ දිලිසෙන සපත්තුවලින් පේන තමන්ගෙ ම ප්‍රතිබිම්බයත් ඔහු දැක්කා.

ඊළඟ මොහොතෙ දි ඒ කෙනා ජිමින් පෙර දි විසි කළ උපැස් යුවළ ජිමින්ගෙ සාක්කුවේ රැඳවුවෙත්, ජිමින් ඒ සීතල ස්පර්ශයට තිගැස්සුණෙත් එකටම වගේ.

බලාපොරොත්තු වුණු විදියට ප්‍රචණ්ඩ ප්‍රතිචාරයක් නොලැබුණු එක ගැන පුදුමයෙන් හිස එසෙව්ව ජිමින්ට යාන්තමින් ඒ කෙනාගෙ නිල ඇඳුමෙ සටහන් කර තිබුණු මින් යුන්ගි කියන නම විතරක් කියවගන්න පුලුවන් වුණේ ඒ කෙනා ඒ වෙද්දිත් එතනින් යන්න හදපු නිසා.

ආගන්තුකයා රූෆ්ටොප් එකෙන් පහළට යන පඩිපෙළ දිගේ අතුරුදහන් වෙනකල්ම ඒ දිහා බලාගෙන හිටිය ජිමින් මොහොතකට පස්සෙ තමන්ගෙ දෙපා මුල වැටිලා තිබුණු අත් ලේන්සුවක් දැක්කා. සුදු පාට පසුබිමේ රතුපාට ඉදුණු  තක්කාලි මෝස්තරයක් ගිහින් තිබුණු ලේන්සුවෙ මහලා තිබුණු M.Y.G කියන අකුරු තුන දිහාත් පඩිපෙළ දිහාත් මාරුවෙන් මාරුවට ඔහු නෙත් යැව්වෙ චකිතය මුසු හැඟීමකින්.

Geesh_

Tomatoes | YoonMin | ✅Where stories live. Discover now