නෙතිඳුගේ දෙපා වෙව්ලන්නට වූයේ එක් වරම ඇති වූ කම්පනය හේතුවෙනි.

'නා... නාදන්?' ඔහුගේ මුවින් එම වදනේ අකුරක් පාසා පිට වූයේ නොනවතින වෙව්ලිල්ලක් සමගිනි.

නාදන් තමාගේ අත වූ අවිය පසෙකින් තබා නෙතිඳු දෙසට සෙමෙන් පිය නැගීය. ඔහුගේ මුහුණේ වූයේ හැඟීම් විරහිත බැල්මකි. 

නෙතිඳු බියෙන් වේගවත් සුසුම් ගන්නට වූ අතර නාදන් තමාට ලං වද්දී ඔහුටත් නොදැනී ඔහුගේ පා පසු පසට යන්නට විය. 

'ඇයි ඔයා මගෙන් ඈත් වෙන්නේ? නෙතිඳු?' නාදන් එක් වරම ඇසූ විට නෙතිඳු මෙපමණ වේලා සිරකර ගෙන සිටි කඳුළු ඔහුගේ දෑසින් ගලා යන්නට විය.

නෙතිඳු තමා අසල වූ බිත්තියකට පිට දී ගල් වූවාක් මෙන් නාදන් දෙසම බලා සිටියේය. නාදන්ගේ හඬ දැඩි සේ ගැඹුරු වී තිබිණි.

'ඔයා... වෙනස් වෙලා නාදන්...' ඔහු වෙව්ලමින් පැවසීය. 

නාදන් තමාගේ අතකින් තමාගේ හිසකෙස් අවුල් කර ගත්තේය. 'ඔයත් වෙනස් වෙලා. කලින්ට වඩා කෙට්ටු, හීනි, ලස්සන කොල්ලෙක් වෙලා. නෙතිඳු... ඔයා දැන් ලස්සනයි.' 

නෙතිඳු යටි තොළක් සපා ගෙන නාදන් දෙස බලා සිටියේය. නාදන්‍ට එම බැල්ම තමාගේ අරමුණට තල්ලුවක් වූවාක් වැනි විය. ඔහු තමාගේ අතක් නෙතිඳුගේ ඉණ වටා යවා නෙතිඳුව බිත්තියට දැඩි ලෙස තද කළේය.

ඔහුගේ අනෙක් අත ඉහළට ඇදී ආවේ නෙතිඳුගේ මුහුණ මතටයි. නාදන්ගේ මහපටැඟිල්ල තමාගේ මුහුණ පුරා ඇදී යද්දී නෙතිඳු දෑස් පියා ගත්තේ ඊට විරුද්ධ වීමට තරම් කායික හෝ මානසික ශක්තියක් ඔහුට නොතිබූ නිසාවෙනි. 

'ලස්සනයි... ගොඩක් ලස්සනයි.' නාදන් මෘදු ලෙස නෙතිඳුගේ කනට කර මැතිරීය. 

නෙතිඳු‍ තමාගේම අතෙන් තමාගේම කකුලක් මිරිකා ගත්තේ කළ යුත්තක් සිතා ගත නොහැකිවය. 

නාදන්ගේ දෙතොල් තමාගේ දෙතොල් මතින් තද වද්දී ඔහුගේ හුස්ම හිර නොවුණා පමණි. 

ඔවුන් මිතුරන් පමණි.

කුඩා කල සිට එකට විසූ සහෝදරයන් වැනි හොඳම මිතුරන් පමණි.

මුලාව | The Lost [✅]On viuen les histories. Descobreix ara