තේව්,තේනු දෙන්න ගෙදර යන්න කලින් සන්තූර් අංකල් හම්බවෙන්න ලෑස්ති උනේ ගෙදර ගියොත් ආයේ එන එක බොරු නිසා.තේනු නම් දිසෙත් ගෙ ඇදුමක් ඇදන් නළුවා වගේ ආවේ, පොඩි එකා අපි තරම් උස මහත නිසාම හොදයි. අරුල් අයියා එන නිසානෙ ඉතින් තේනුව හැඩ වෙලා යන්නෙ.තේව් මගේ ඇදුමක් ඇද ගත්ත....
මහ පාර දිගේ උඩහ පැත්තට ගිහින් අඩි පාරකින් ගඟ ලඟට ඇවිත් ආයෙත් ගං ඉවුර දිගේ පහළට එන්න ඕන අපිට ඕන තැනට එන්න නම්.උදේ නිසා මීදුමත් තාම තියෙද්දී අපි ගස් වැල් වලින් හෙවන වෙච්ච ගං ඉවුර දිගේ පහළට ආවා. උදේට වැටෙන ලා ඉර එළිය ගස් අස්සෙන් යන්තම් පෙරිලා ආවත් ගං ඉවුරෙ තිබ්බෙ තෙත බරිත අඳුරක්, ඒක මූසල පාටක්ද කියලත් වෙලාවකට හිතෙනවා. මේ ගඟ, ගං ඉවුර උනත් මොන තරම් රහස් කතා හංගගෙන දරාගෙන ඉන්නව ඇතිද.ඒ අතරේ අභිමන්ගෙයි,දේව්ගෙයි ලස්සන ආදර මතකත් ඇති.ඒ ආදරේ අද නැතත් ඒ මතක උඩින් අදටත් ගඟ ගලනවා. ඒ වගේ ආදර කතා ගොඩක් මේ ගං ඉවුරේ ලිය වෙන්න ඇති. හරියට මේ ගඟටම අවසන් හුස්ම දුන්න දේව්ගෙ බාප්පගෙ ආදර කතාව වගේ......
කළු ගල් උඩින් වගේම බිම පුරා පලස් එළපු මල් පෙති උඩිනුත් අඩි තිය තියා අපි එතනට ආවා.අපි ආවා වේලාසන වැඩිද මන්දා, අපි ඇවිත් විනාඩි දහයක් විතර උනත් අංකල් ආවේ නෑ.
"එන එකක් නැද්ද"
තේව් නම් හිටියෙ ඉවසිමේ සීමාවේ අන්තිම අඩියේ.
"තව චුට්ටක් බලමු නේද,අංකල් මේ සීතලේ ආයෙත් නිදිද දන්නෙත් නෑ"
"අපි මේ පාරෙන් චුට්ටක් උඩට යමුද"
"අය්යේ චුට්ටක් ඉවසනවකෝ"
"මං වලව්වට යමු කිව්වෙ නෑනෙ, චුට්ටක් උඩට ගිහින් බලමු.තූර්ය ඔයාට වත් එන්න බැරිද"
තොල් දෙකත් පිට පෙරළන් හුරතල් වෙවී අහද්දි කොහොමද දෙයියනේ බෑ කියන්නේ.අපායට ගියත් එනවා කියලා පොරොන්දුවකුත් දීලා තියෙද්දී නොයා කොහොමද.පොරොන්දු උනත් නැතත් මං එයා එක්ක ඕන තැනකට යනවා.
"යමු"
ඒ අතින් අල්ලන් කියද්දි ඒ මූණේ ලස්සන හිනාවක් ඇදුනා. වැඩිපුරම හිනා උනේ ඒ ඇස් දෙක.තේව් හැම තිස්සෙම මගේ ඇස් වලට එබිලා කියන දෙයක් තමයි මට තියෙන්නේ දිලිසෙන ඇස් කියල.ඒත් තේව්ට තියෙන්නේ කතා කරන, හිනා වෙන ඇස්.තද කළු ඇහි බැමි, කළු පාට දිග ඇහි පිහාටු එක්ක ඒ කළු ඇස් වලින් හිනා වෙද්දි හැමදාම වගේ අදත් දැනුනා මගෙ ඇස් හෙමින් ගැස්සෙනවා.......
YOU ARE READING
ආයෙමත් ආදරෙන් (වසීගරා 2)✅
Non-Fictionපෙර ආත්මයේදිත් පතා ආ නිසාමයි මේ ආත්මයේ හමුවුණේ අපි මේ ආත්මයේ හමුවුණේ