මටත් තිබුණා ප්‍රේමයක් Chapter 2- The everlasting memories of love

280 26 0
                                    

ලොකු අම්මලා මහප්පලා නැන්දලා මාමලා හැමෝමයි ඥාති සහෝදර සහෝදරියෝ හැමෝමයි එක්ක ගෙට ගොඩවුණු අපි ආගිය තොරතුරු කතා බහ කරමින් දවල් කෑමට වාඩි වුණා. ඒ අතරේ තවමත් මගේ ඇස් සොනාශ් අයියාව හෙව්වත් එයා කොහෙද කියලා කටක් ඇරලා කාගෙන් හරි අහන්න තරම් වත් එදා මගේ හිතට හයියක් තිබුණේ නෑ. ඒ ඉතිං මගේ හැටි. මගේ හිත මොන තරම් කටකාර වුණත් ඒ කිසිම හැඟීමක් එළියට පෙන්නන්නේ නැතිව ඉන්න පුළුවන් පුදුම හැකියාවක් තමයි මට තියෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති ගෙදර අයයි නෑදෑයෝ හැමෝමයි මට හොර පූසි කියලා නමකුත් දාලා තියෙන්නේ.


"‍ මම උඹ එනකන්මයි බං හිටියේ "‍ සැටියේ කොණකට වෙලා නිදහසේ බත් කටක් සපමින් හිටපු මං ගාවින් ඇවිත් වාඩි වුණ ඒන්ජල් අක්කා මගේ කණට ලං වෙලා කිව්වේ හොර රහසින්. අක්කා කියන්න හදන්නේ මොකක් ගැනද කියලා මට අමුතුවෙන් කියන්න දෙයක් තිබුනේ නෑ.

"‍ ඇයි මොකද සීන් එක ? කොල්ලෙක් ගැනවත් ද ?"‍ නොතේරුණ ගානට මම අක්කා දිහා බලාගෙන ඇහුවේ දඟකාර හිනාවකින්.

"‍ දන්නවද අළුත්ම සීන් එක ?"‍ "‍ මොකද්ද බං අක්කේ ? කියපන්කෝ තටමන්නේ නැතුව!"‍

"‍ සොනාශ් අයියා කැම්පස් එකේ කෙල්ලෙක්ට ට්‍රයි කියන්නේ!"‍

හිතුවත් වගේ ඒන්ජල් අක්කා සුපුරුදු පරිදි සොනාශ් අයියා ගැන කියවන්න ගත්තත් ඒ පිටවුණු වචන කිහිපය මගේ හිත එහෙන් පිටින්ම කැබැලි වලට කඩලා දාන්න සමත් වුණා. හිතට දැනුනේ හරියට කොල්ලෙක් ගෙන් බූට් එකක් කෑවා වගේ. ඊට කලින් බූට් කාලා තියා කොල්ලෙක් එක්ක හිනා වෙලා කතාවක් වත් කරලා නොතිබුණ මට එදා දැනුනේ එහෙමයි.

"‍ ඉතිං උඹට දුකයි ද ? මම එදත් කිව්වානේ.... හිතේ තියං ඉන්නේ නැතිව සොනාශ් අයියාට ඔක්කොම කියන්න කියලා. දැන් මෙතන මූණ බෙරි කරන් ඉඳලා හරියනවද?"‍

සුපුරුදු විදිහට මගේ හිතේ තිබුණ හැඟීම් හංගාගෙන මම ඒන්ජල් අක්කාව සනසන්න පටන් ගත්තා. ඒන්ජල් අක්කා කියන්නේ මගේ අම්මිගේ දෙවෙනි අක්කාගේ දුව. අපි දෙන්නාගේ වයස් පරතරය අවුරුදු දෙකයි. පුංචි කාලේ ඉඳන්ම අපි හැදුනේ එකට. අපි අතරේ කොටින්ම කිව්වොත් රහස් නැති තරම්. අක්කා සොනාශ් අයියාට කැමැත්තක් දක්වන බව මට මුලින්ම තේරුම් ගියේ අයියා ඉස්සරහා එයා හැසිරුණ විදිහෙන්. අක්කා මං වගේ නෙවෙයි. හිතේ තියෙන හැම බහුබූතයක්ම මුළු ඇඟෙන්ම පේනවා. හැබැයි ඒ හැම එකක්ම ලොකු අම්මාගේ ඇස් වලින් වසන් කරන්න නම් අක්කා හරිම දක්ෂයි. ඒන්ජල් අක්කා ඒ ලෙවල් සමත් වුණාට පස්සේ සොනාශ් අයියා එක්ක චාටඞ් පංති යන්න පටන් අරගෙන තිබුණා. එදා ඉඳන් අක්කාගේ හිතේ අයියා ගැන ආදරයක් ඇති වුණ බව මට ඉවෙන් වගේ තේරුණත් ඒ ගැන අක්කාගේ කටින්ම මම අහගත්තේ මීට අවුරුද්දකට විතර උඩදී.

The everlasting memories of love ( Sinhala Romance)Where stories live. Discover now