නමුත් මේ මොහොත, මම ගැහැනු ළමයෙක් විදියට නොමේරූ හීන මැවුව කාලෙන් පසුව කිසි දවසක බලාපොරොත්තු නොවූවක්. මම යළිත් වරක් අඩ අදුර පරයමින් මගේ ඇස් අබියෙස සිත්තම් වූ මම හැමදාමත් ආදරය කළ ඒ රුව දෙස බලාගෙන හිටියේ මෝහන නිද්‍රාවකට පත් වුණා වගෙයි.

" මොකද ටාරා? මම දිහා ඔහොම බලාගෙන ඉන්නෙ?" නම්ජුන් පුදුමයෙන් ඇසුවේ එයාට හුරුපුරුදු සැහැල්ලු පියවර තබමින් මගේ ඉදිරියට එමින්. අපි ඇවිදගෙන ගිය පාරක් මදක් පාලුයි. ඒ නිසා ඒ වෙලාවෙ එතන සිටියේ අපි දෙන්න විතරයි.

" මොකුත් නැ.." මම බිම බලාගනිමින් කිව්වා. " මම කල්පනා කළේ.. අද හැන්දෑව කොච්චර වර්ණවත්ද කියලා. පහුගිය අවුරුදු හයේම මම දැක්කෙ අලු පාට, දිග හැන්දෑවන් විතරයි. ඒත් අද මට ආයෙමත් හැම පාටක්ම පේනවා. අහස, මේ ගස්, මේ පාර.. හැම දෙයක් ම ආයෙත් පාට වෙලා. හියුගෝගෙ සායම් පෙට්ටිය ලෝකෙට විසි වෙලා වගේ... මට හිතා ගන්න බෑ මේ ලෝකෙ මෙච්චර ලස්සනට පාට කරපු චිත්‍රශිල්පියා මෙච්චර කල් කොහෙද හැංගිල හිටියෙ කියලා."

" ඔයා එයාව ඔයාගෙ හදවතින් ඈත් කරල තියන්න ඇති." නම්ජුන් සිහින් හඩින් කිව්වා. ඒ අතර එයාගෙ අත මගේ අත සමග පැටලෙන අයුරු මට දැනුනා. මේක අවුරුදු විස්සක කෙල්ලෙක් කාලෙ වුනානම් මට එතනම සිහිය නැති වෙනවා. නැත්නම් යටිගිරියෙන් කෑගැහෙනවා. ඒත් අද මම අවුරුදු තිස් පහක ගැහැනියක්. අම්මා කෙනෙක්. විශ්වවිද්‍යාල කථිකාචාර්‍ය් වරියක්. ඉතින් ඒ නිසා මාව වෙනස් වෙලා ඇති. මගේ හදවත වේගයෙන් ගැහුණත්, මට එයාගෙ ස්පර්ශය නිසා දැනුනෙ සන්සුන් බවක්. මම හිස ඔසවලා එයා දිහා බැලුවත්, එයාගෙ මුහුණෙනුත් දිස් වුණේ වයසින් වැඩී යාම නිසාත්, ජීවිතයේ නොයෙක් අත්දැකීම් වලට මුහුණ දීපු නිසාත් ඇති වුණු තැන්පත් බ්වක්. වෙනත් හැගීමක් එයාගෙ හිතේ තිබුණද කියන්න මම දන්නෙ නෑ. ඒත් මට අද දැකගන්න ලැබුණේ මීට කාලයකට පෙර වේදිකාව උඩ ගීත ගයමින් නර්තනයේ යෙදුණු ඒ සුපිරි තරුව නෙවෙයි.. සම්පූර්ණයෙන්ම වෙනස් වුන වැඩි වියට පත් තැනැත්තෙක්.

" ඔයා දන්නවද.. මම කවදාවත් වාහන එළවන්න බලපත්‍රයක් ගත්තෙ නැත්තෙ ඇයි කියල?" නම්ජුන් එක්වරම මගෙන් ඇහුවෙ අනපේක්ෂිත ප්‍රශ්නයක්. මම පුදුමයෙන් එයා දිහා බැලුවා.
" නෑ.." මම කිව්වෙ හිස දෙපසට සොලවමින්.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now