මම හිස දෙපසට සොලවා හිස කෙළින් තබා ගෙන ඉදිරියට ගමන් කළා. පසු පස හැරී බැලීමෙන් කිසිම දෙයක් වෙනස් නොවන බව මම දන්නවා. මේ ජිවිතය දැන් වියළි කාන්තාරයක්. මට සැනසෙන්න එකම හෙවණක් හෝ පේනතෙක් මානයක නැහැ. ඒත් මම ඉදිරියට යා යුතුයි.... දෙපා ඉරි තැලී ගියත්.

මේ විදිය දිගේ අපි කොයිතරම් අත් පටලන් ඇවිදින්න ඇද්ද....මාත් එක්ක ඉන්නකොට එයාගෙ ඇස් දිලිසෙන හැටි මට තාමත් මතකයි. මගේ අතින් අල්ලන හැම වෙලාවකම එයා ඒක කළේ ගොඩක් පරිස්සමින්. ..මම මොන වගේ ප්‍රතිචාරයක් ඒකට දක්වයිද කියල කල්පනා කරමින්. මට මේ දේවල් මතක් වෙනකොට ගොඩක් දුකයි. මට කවදාවත් එයාට මුලු හදවතින්ම ආදරේ කරන්න බැරිවුණා. මම දිහා සායම් තැවරුණු පින්සලත් අතින් අරන් හිනාවෙවි බලන් හිටපු ඒ පිස්සු කොල්ලව මට ගොඩක් මතක් වෙනවා. ඒත් දැන් පරක්කු වැඩියි

පරක්කු වැඩියි.. ඒක කොච්චර භයානක වචන පෙළක්ද.. ආදරේ කරන්න පරක්කු වැඩියි සමාවෙන්න කියන්න පරක්කු වැඩියි...

මම නොදැනුවත්වම මගේ ගමනාන්තය වෙත ළගා වුණා. උදේ පාන්දර නිසාම එහි ඒ තරම් සෙනගක් හිටියෙ නැ. අනික සතියෙ දවසක් වීමත් ඒකට එක හේතුවක් වුණා. මම සුදු පැහැ බිත්ති සහිත විශාල ශාලාවට ඇතුල් වුණේ දේවාලෙකට යන තරම් භක්තිමත් හැගීමකින්.

" ටාරා... මම කොහොම හරි මගේ චිත්‍රයක් මේ කලාභවනේ ප්‍රදර්ශනය කරනවා." එයා මාත් එක්ක මෙහි ආපු පළවෙනි දවසේ ආඩම්බරෙන් එහෙම කියපු හැටි මට මතක් වෙනවා . තද කලු පාට කොණ්ඩ කැරළි නළලට වැටෙද්දි ඒවා පිටුපසට තල්ලුකරමින්, ස්පාඤ්ඤ භාෂාව සමග ඉංග්‍රීසි භාෂාව මුසු කරමින් එයා ඒක කිව්වෙ සින්දුවක් කියනව වගේ.

මට මුලින්ම එයාව හමුවුණේ මම ලංකාවෙන් ඇමරිකාවට ඇවිත් මාස හයකට පස්සෙ. තනියම, පාලුවේ දවස ගත කළ මම, මම ඉගෙන ගත් නිවියෝක් විශ්වවිද්‍යාලයේ දේශන අවසන් වුණාම සෙන්ට්‍රල් පාක් එකේ ඇවිදින්න යන සිරිතක් තිබුණා. මම තනියම ඔහේ ඇවිදගෙන යනකොට පදුරුවලින් වැසුණු කුඩා බංකුවක් වෙත ආවා. එයා එතන වාඩි වෙලා තනියම චිත්‍ර අදිනවා. ඒ ඇන්දේ පාක් එකේ ලස්සන දර්ශනයක්. මම නොදැනුවත්වම මට පුදුමයෙන් කෑගැසුණා. ඒ චිත්‍රය ඒ තරම් ලස්සනයි. එයාට ඒක ඇහිල මාත් එක්ක ගිනා වුණා. ඊලගට තමයි අපි කතා කරන්න ගත්තේ.

The Invisible Wings  ❤ [ COMPLETED ]Where stories live. Discover now