මනෝහර ඇමතුම නිමකළේ කල්පනාවක ගිලෙමිනි. තම ජ්‍යේෂ්ඨ සහෝදරයෙකු වූ වෛද්‍ය පාලිත සමරසිංහ අහේතුකව ඇමතුම් ගන්නා පුද්ගලයෙකු නොවන බව හෙතෙම දන්නේ ය. ඇතීනාගේත්, තමාගේත් නීත්‍යානුකූල වෙන්වීම එතෙක් ඔහුගේ ක්ෂේත්‍ර සගයන් නොදැන සිටි කරුණක් විය. අනෙක් සමීපතම මිතුරන් අතුරෙන් ද ඒ බැව් දැනසිටියේ ප්‍රභානිගේ ඥාති සොහොයුරා වූ මනෝහරගේ පාසැල් මිතුරු, මිලාන් පමණි.
පාලිත විමසුවේ ඇතීනා පිළිබඳව ය. ඔහු පැවසූ පරිදි ඔහුට එදින ඇතීනාව මුණගැසී ඇත. වෛද්‍ය පාලිත වැන්නෙකු හට පවා ඇතීනා වරක්-දෙවරක් දුටු පමාවට මතකයෙහි රැඳීම අරුමයක් නොවන බව මනෝහර දන්නේ ය. වසර ගණනාවක් පුරා ප්‍රභානිගෙන් පිරී තිබූ ඔහුගේ හදවතෙහි යම් හෝ ඉඩක් වෙන් කරගන්නට හැකි වූ එකම ගැහැනිය ඇතීනා ය. ඔහු බොහෝවිට ඇතීනා අගය කළේ ය. ආදරයට වඩා ඔහුට ඇතීනා පිළිබඳව වූයේ දුටු මතින් ඇති වූ ගැඹුරු ආකර්ෂණයකි. එය කාලානුරූපීව ඇබ්බැහියකට පෙරළුණා විනා ප්‍රභානි පිළිබඳව ළාබාල වියේ හටගත් ආදරය පරයා නැගීසිටියේ නැති බව මනෝහරට විශ්වාස ය. ඔහු ඇතීනා තම බිරිඳ වීම පිළිබඳව ආඩම්බර වූයේ ය. විවාහයෙන් අනතුරුව ඔහුට හැකි පමණින් ඈට ආදරයත්, අවධානයත් ලබාදුන්නේ ය. ඇතීනා වනාහි පිරිමියෙකුගේ රැකවරණය පතන ගැහැනියක ලෙස ඔහුට කෙදිනක හෝ නොදැනිණි. ඈ සතුව ඇයට ම උරුම ස්වාධීනත්වයක් වන බව මනෝහර විශ්වාස කළේ ය. එය බිඳීමට ඔහුට අවැසි නොවුණි. එබැවින් එම හේතුව ම ඇතීනාත්, ඔහුත් අතර වෛවාහක බන්ධනය තුළ විසල් හිඩැසක් ඇති කර ඇති බව ඔහු ඒ වනතෙක් නොදුටුවේ ය.
ගැහැනුන් වනාහි සැඩ සුළඟකට කඩාවැටෙන රූස්ස ගස් නොවේ. ගැහැනුන් ලතාවන් සදිසි ය. කෙතරම් චණ්ඩ මාරුතයක වුව නොසැලී, නොබිඳී සිටින්නට ඔවුන්ට හැකි ය. නමුත් ඔවුන් යමක් හෝ යමෙක් අල්වාගත් වහා එය ධාරකය කොටගෙන එතෙන්නට තරම් මෘදු ය. මටසිළුටු ය. ඒ ගැහැනු ගතිය යි. කෙතරම් නිර්දය ගැහැනියක වුව ආදරය හමුවේ සිය ස්වාධීනත්වය, පරාධීන බවකට පෙරළන්නට නොපැකිලෙන්නේ ඔවුන් සතු එකී ගුණාංගය හෙයිනි. එයට ගැහැනුකම යැයි ද කිව නොහැක්කේ නොවේ. නමුත් පිරිමින් සහජයෙන් ම එකී සියුම් තැන් හඳුනාගන්නේ නැත. එය ඔවුන්ගේ වරදක් ද නොවේ. ඒ පිරිමි ගතිය යි. ඔවුන් සියල්ල දෙස බලන්නේ එක්තරා සීමාවක් තුළ පමණි. ගැහැනිය වෙත තරම් සංස්කෘතිකමය බරක් සමාජය විසින් පිරිමියා මත පටවා නොමැත. එහෙයින් බොහෝ පිරිමින් මෙන් මනෝහර ද ඇතීනාගේ එම ගැහැනුකම හඳුනානොගත්තේ ය. ඔහු එය හඳුනාගන්නා විට ඔවුනොවුන් නීතියෙන් එකිනෙකාගෙන් වෙන්වීමට පිඹුරුපත් සකස් වී අවසන් ය.
YOU ARE READING
අවතැන් හදේ ⚡️|| Ongoing
Romanceහරස්පද ප්‍රහේලිකාවක පරස්පර විරෝධී ඉඟි... ⚡️ Genre - Contemporary Melodrama Age Range - 18+ Language - Sinhala Type - Novel Trigger Points - Age-Gap, Betrayal, Revenge, Social Taboos Episodes - ✍🏻 සකුනි හතරසිංහ (Ongoing) from 08.02.2026 to
