දෙවන දිගහැරුම

465 82 9
                                    

මෙයාකාරී ලෙස නොවනවතිමින් ගලා ගිය කවචයට ලෝභයෙන් වූ ක්‍රියාදාමය දෙස බලා සිටි මා හට උමතු සිනාහඬක් ඇසුණි.
මම වටපිට බලමින් ඒ කවරෙක්ද යන්න සොයා ගැනීමට උත්සාහ කළ ද සතර දෙසින්ම මා දුටුවේ කවචය වෙත ළඟාවීමට උත්සාහ කළ සටන්කරුවන් පිරිසයි. මදෙකින් මා හට පසක් වූයේ ඒ උමතු සිනහව මා වෙතින් නික්මෙන බවයි.
ඕහ්.... මම උමතුවෙන් මෙන් සිනහවෙමින් සිටියෙමි. අඳුරු ආත්මයන් පාලනය කිරීම සඳහා චෙන්චිනය වාදනය කිරීම නිසාවෙන් පෙර මා මුවින් වැගිරුණු රුධිරය නිකට දිගේ වෑස්සෙමින් තිබුණි. මාගේ දෑස්වල කඳුළු පිරී පැවතුණි. ක්ෂණයකින් මා හැඬීමට පටන් ගත්තේ මා ද විමතියට පත් කරවමිනි. මා හට මා පිළිබඳ වූ පාලනය ද ගිලිහී ගොසිනි. අවසන් නොවන අරගලය දෙස වරෙක උමතුවෙන් මෙන් සිනහසෙමින් සහ වරෙක හඬමින් බලා සිටි මම මාහට තවදුරටත් ජීවත් වීමට අවශ්‍යතාවයක් නොමැති බව වටහා ගත්තෙමි. නිරාත්‍රී නගරයේ කොනක වූ කඳුගැටයෙහි අග දෙස බැලූ මම අවසන් වරට චෙන්චිනය දෙස බැල්මක් හෙළා එය පසෙකට විසි කර දමා මා සතුවූ අවසාන ආත්මීය ශක්තිය එක් කොට මා බැලූ දෙස වෙත පියාසර කළෙමි. මා නෙත් කොණින් දුටුවේ මා වෙත දිව එන ශ්වේත පැහැ රුවකි.
කඳු ගැටය අග වෙත ගමන් කළ මම එතැනට පැමිණ සිටි ඔහු දෙසට හැරී, “මට සමාවෙන්න, ලන්චන්. මට මහන්සියි.” යි පැවසුවෙමි. ඒ ක්ෂණයේම මා නෙත් වසාගෙන මා මාගේ සිරුර කඳු ගැටයෙන් පහළට ඇද වැටීමට ඉඩ හැරියෙමි. මා ඉහළ යමක් මත රැඳී ඇති බව වැටහුණු මම නැවත නෙත් හැර බැලුවෙමි. එවිට මා දුටුවේ ලන් චන් මා ඔහුගේ අතින් ග්‍රහණය කරගෙන පහළට පතිත වීමට නොදී රඳවා ගෙන සිටින ආකාරයයි. ඔහුගේ හිසකෙස් සුළඟේ විසිරී තිබූ අතර ඔහුගේ නළල් පීත්ත පටිය මදක් පහළට රූටා විත් තිබුණි. ඕ... ඔහුගේ පීත්ත පටිය මාහට කිසි විට ස්පර්ශ කිරීමට නොදුන්, නමුත් අප දෙඅත් බැඳි. ඔහු වෙනත් මොහොතක නම් එය සකසා ගැනීමට වෙහෙසවනු ඇත. මා සුසුමක් පිට කළෙමි.
ඔහු දෙස මද වේලාවක් බලා සිටි මා හට මාගේ අත දිගේ ගලා යන උණුසුම් දියරයක පහස දැනුණි. රුධිරය...... ඔහු‌ට දැඩි සේ හානිවී තිබුණි. ඔහු එය නොතකා මා ග්‍රහණය කොටගෙන සිටියේ ය. අපගේ අත් මදක් ලෙස්සා ගිය අතර ඔහු තම වේදනාව නොතක‌ා මා අත මත වූ ග්‍රහණය දැඩි කළේ ය. ‘මට ඔබට තවත් වේදනාවන් දෙන්නට ඇවැසි නැහැ.’ “මට යන්න දෙන්න ලන් චන්. මට මහන්සියි.” මම නැවතත් පැවසුවෙමි. ඔහුගේ නිහඬ ආකල්පය මා මවිත නොකළේ ය. ඔහුගේ සමස්ත අවධානය මා ඉහළට රඳවා ගැනීමට යොමු වී තිබුණි. නමුත් මා ඉහළට යාමට වෑයම් නොකළ අතර සිදුවූයේ ඔහුගේ සිරුරේ හානිවූ කොටසෙන් රුධිරය වහනය වීම පමණි. එය ඔහුව දුර්වල කළේ ය. ඔහුගේ අනෙක් පසින් ජියැන්ග් චෙන්ග්ගේ රුව මතුවිය. ඔහුගේ මුහුණ කෝපයෙන් පිරී තිබූ අතර ඔහුගේ දෑස් පෙර සැලූ  කඳුළුවල ලකුණු පෙන්නුම් කළමුත් සියල්ල අබිබවා ඔහු‌ගේ වෛරය මතුව පෙනිණි. මම “ජියැන්ග් චෙන්ග්”යි ඔහුව ඇමතුවෙමි. මේ ඇතැම්විට මා ඔහුව දකින අවසාන වතාව වේවි. ඔහු ඔහුගේ අසිපත අතට ගත් අතර ලන් චන් “ජියැන්ග් වන්යින්, නවත්වන්න.” යැයි ඔහුගේ දත් අතරින් කෙඳිරුවේ ය. එය නොතැකූ ජියැන්ග් චෙන්ග් “වෙයි වූෂියෑන්... මැරිලාම පලයන්.” යි ගුගුරමින් ඔහුගේ අසිපත මා වෙත එල්ල කළේය. මා හද පසාරු කර ගෙන යන අන්දමේ වේදනාවක් අපේක්ෂාවෙන් මම දෑස් වසාගත්තෙමි. නමුත් ශ්‍රවණය වූයේ අසිපතක තලයක් පාෂාණයක ගැටෙන හඬක් පමණි. මා නැවත දෑස් හැර බැලූ විට දුටුවේ ඔහුගේ අසිපත මා සහ ලන් චන් රැඳී සිටි පාෂාණ ස්තරය මත සිරවී ඇති අන්දමයි. මද වේලාවකින් මා එතැනින් ඉවත් නොවූවහොත් එම පාෂාණ ස්තරය කඩා වැටෙනු ඇති බවට වටහාගත් මම ඔහුගේ අත ගසා දමා පහළට ඇද වැටුණෙමි.මා වෙතම දිගු කරගත් අතක් සහිතව සිටි ඔහු “වෙයි යින්ග්!!!!” යි මොර දුන්නේ ය. ජියැන්ග් චෙන්ග් වෛරය සහ අනුමත නොකරන අන්දමේ බැල්මක් සහිත මුහුණක් සහිතව මා දෙස බලා සිටියේ ය. මා මදෙකින් දෑස් වසාගත්තෙමි.
සුළඟ මා දෙපසින් වේගයෙන් ඉහළට ඇදී ගිය අතර මම නිමක් නොමැති අන්දමේ ආගාධයකට වැටෙමින් සිටියෙමි. මදෙකින් මාගේ සිරුරට උණුසුමක් දැනුණි. මාගේ හිසකෙස් එක් කර බැඳ තිබූ රක්ත වර්ණැති පීත්ත පටිය මරණයට පත්වීමට අවශ්‍ය නොමැති බවක් හඟවමින් මා වෙතින් මිදී වෙනතකට ඉගිලයනු මට දැනුණි. මොහොතෙකින් මම උණුසුම් ලෝ දියෙහි ගිලෙමින් සිටියෙමි. ලෝ දිය අධිකව උණුසුම් වූ අතර මාගේ සිරුර දවාලමින් තිබූමුත් මා මීට පෙර මෙයට වඩා දැවෙමින් සිට ඇති බැවින් සහ මා හට කෑගැසීමට තරම් හෝ ජීවයක් නොවූ බැවින් මම නිහඬව සිටියෙමි. දෑස් විවර කළ මා අවසන් වරට දුටුවේ නීල ආකාශයයි. අවසන් වරට ඇසුණේ “වෙයි යින්ග්!” යනුවෙන් වේදනාවෙන් මොර දුන් ඔහුගේ හඬෙහි දෝංකාරයයි.

ඔහු (Completed)Where stories live. Discover now