එදා රෑ ගෙදර ආවෙ කොහොමද කියන්න මට මතක නෑ.
හැබැයි උදේ ඇහැරෙද්දි නම් දැනුනෙ ඔළුව උඩ ගල් රෝලක් සෙට් කරලා වගේ.
පුදුම ඔළුවෙ කැක්කුමක් ඒක.
"අම්මේ" කියන්න කට ඇරුනට අමාරුවෙන් ලාවට ඇරගත්ත ඇස් දෙක අස්සෙං මං දැක්කෙ අපේ ගේ නෙමෙයි.
ශැක්!
මං තාම මහසෝනා එක්ක.
එතකොට අපේ පාටියට මොකද වුනේ. ඊයෙ අපි හිතාගෙන හිටියෙ අපේ ගෙදර යන්නනෙ. මං කොහොමද මෙහාට පතබෑවුනේ.
මහසෝනාගෙ කෑම වලට ඉනාවක්වත් දාලා දීලද මන්දා මං මේ ගේ අස්සෙම රිංගන්නෙ.
ඔළුව පැලෙන්න වගේ.
පැනඩෝල් දෙකක්වත් නෑ. කෑගහලා අර යකාගෙන් ඉල්ලන්නත් බෑ.
ඊයෙ මොන සන්තෑසියක් වුනාද දන්නෙත් නෑ.
අයියෝ!!!!
ඕවා හිතන්න බෑ දෙයි හාමුදුරුවනේ, ඔළුව ගැලවිලා අතටවත් එයි මගේ.
ඉන්නම බෑ.
වතුර ටිකක්වත් බොන්න හෙමීට කුස්සිය පැත්තට යන්න බැලුවෙ මං. සද්දෙ නෑහෙන්න යන්න ඕන. අරුන් දෙන්නට කොල් කරලා මොකද වුනේ කියලා දැනගන්නකල් මහසෝනට මුලිච්චි වෙන්න නරකයි.
මං හෙමින් හෙමින් අඩි තිය තිය ගියේ පූස් පැටියෙක් වගේ. කොහොමත් පූස් පැටියා වගේ ස්වීට් කොල්ලෙක්නෙ ඉතින්.
මලා!
මං ඉක්මන්ට බිත්තියට හේත්තු වුනා.
මහසෝනා කුස්සියෙ. උයනවද කොහෙද.
මිනිහටත් මරු වැඩේ හැබයි.
දැන් කන්න දීපියකො මටත් එක්කම උයලා. අපේ අම්මා දන්නවා නම් පපුවෙ අමාරුව හැදෙයි.
හී හී....
කොහොමද කොල්ලගෙ වාසනාව.
ගන්න ඕන ස්වීප් ටිකට් එකක් අදම!
හැබැයි වතුර බොන්න කුස්සියට යන්න හැටියක් නෑ දැන්. කතාව හදාගන්න බෑ වුනේ මොකද්ද නොදැන.
දැනට හෙමීට බාතෲම් එකෙං වතුර බොනවා. ඔය කොයි කොයි ටැප් එකෙන් වැක්කෙරුනත් එකම වතුරනෙ.
ආයෙ මොකටද මල සමයං.
වැටෙන එක්කිං ගිලලා දාන්න තියෙන්නෙ.
මං ශේප් එකේ හැරුනා බාතෲම් එකට.
"ආ! තමුසෙ නැගිට්ටද?
මොකෝ කෙලිං හිටං ඉන්නත් බැරිද බිත්ති අල්ලං බඩගාන්නෙ?"
අම්මෝ සද්දෙ!!!!
මේ මිනිහා බීරිද මන්දා. මගෙ කනත් එක්ක කීං ගානවා.
නරක දසාවක් දෙයියනේ මේක.
"ඕයි, බලනවා මේ පැත්ත.
තමුසෙ නිකං ගෙට වෙච්ච ලමාතැනී වගේ තොඳොල් වෙන්නැතුව"
අහෝ! දෙවියනී....
කිමද මෙතරම් දිවියෙ දුක් ගැනවිලී....
දැන් කරන්න දෙයක් නෑ.
මූ කියන එක සද්ද නැතුව අහං ඉඳලා බලනවා.
මං ඉතින් හැරුනා.
මූට මහසෝනා කියන නමත් හොඳ වැඩී අප්පා බලං ඉන්න හැටියට.
බැස්කවිල් දඩ බල්ලා වගේ නමක් තමා ගැලපෙන්නෙ.
කියන්න ගියේ නෑ ඉතින් හිතුවා විතරයි.
"ආ... දැන් කියනවා බලන්න තමුසෙ ඊයෙ කරපු වැඩේ මොකද්ද කියලා?"
මලා!
ඕක නම් ඒ තරම් හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. ඕකට බැට් කලොත් දැවී යාමේ සම්භාවිතාව ඉතාමත් වැඩියි.
සද්ද නැතුවම ඉන්නවා ඔන්නොහෙ.
"කටේ පිට්ටුද ආ..?
මාව යකා කරගන්නැතුව කතා කරපිය"
යකෝ හරි කෙලියක් වුනානෙ මේක.
ඇඟ පත යෝධයගෙ වගේ නොවුනා නම් අද තමයි මූ බලාගන්නෙ මගෙ හැටි.
දෙයියොත් ඉතින් මේ වගේ පුස් ඌරොනටනෙ සවි සක්තිය දීලා තියෙන්නෙ අපි වගේ ගානට ඉන්න හැන්ඩි කොල්ලොන්ට නැතුව.
"හිමාන්!!!!
මට ආයෙ සැරයක් කියන්න තියන්න එපා. මං මේ උපරිම ඉවසීමෙන් ඉන්නෙ තොගේ අම්මා නිසා. කට ඇරලා කියපිය ඊයෙ නටපු නාඩගම මොකද්ද කියලා"
"අහ්!
අනේ අයියේ, අනේ,
මගේ බඩ... අනේ ඉවසගන්න බෑ දෙයියනේ. මොකද්ද වෙනවා වගේ....
ඊයෙ රෑටත් කෑවෙ නෑ මං හිතන්නෙ. බඩ වැලක් පුපුරලාද මන්දා.
අනේ! අම්මේ..."
මං වැටි වැටීම බාතෲම් එක පැත්තට දුවන්න ගත්තා.
"ඇට ප#යො, තොගෙ ඔය මායං දාගනිං කොණ්ඩෙ බැඳපු චීන්නුත් එක්ක.
ඔය ගියාට එලියට එන්නම වෙනවනෙ. ඊට පස්සෙ බලාගම්මු"
අහෝ දුකකි! ඉරකි! තිතකි!
දැන් මං මොකද්ද හැබෑටම කරන්නෙ.
මොනා නැතත් වතුර ටිකක්වත් බීලා ඉන්නෝන. ඇත්තටම බඩත් රිදෙනවා, ඔළුවත් රිදෙනවා.
වතුරත් බීලා මං කල්පනා කරේ පැනලා යන්න. ගෙදෙට්ට යාගත්තා නම් හරි. ගිහිං දොර ලොක් කරගත්තම මූ ආයෙ මොනා කරන්නද?
මං ඔළුව හෙමීට එලියට දැම්මා. නෑ. යකා නෑ.
ෆෝන් එක ගන්නෝන කාමරෙන්. ඉතුරුවා නම් නැතත් කමක් නෑ. අම්මා ආවම හෙමීට බඩු ටික ඉල්ලගත්තැහැකි.
කාමරෙන් එනකං අකරතැබ්බක් නොවුනට මොකද, ෆෝන් එක නෑ.
ඇඳ යට, ජනෙල් උඩ හැමතැනම බැලුවත් නෑ.
දැන් මොකද්ද කරන්නෙ?
ඊයෙ මං කොහේහරි වට්ටගත්තාවත්ද?
නැත්තම් මහසෝනාවත් ගත්‍තද?
දැන් මොකද දෙයියනේ කරන්නෙ?
හෙමීට සාලෙට ගිහින් බලනවා.
නැති වුනොත් ඔන්නොහෙ කියලා එහෙම්ම ගෙදර යනවා. මේ භූත බංගලාවෙ හිටියොත්, අද මගේ ලේ ටිකත් බීලා තමා අර යක්ශයා නවතින්නෙ.
කොහේ බැලුවත් ෆෝන් එක පේන මානෙක නෑ. කරන්න දෙයක් නෑ. මෙතනින් චුතවෙන එක ඊට වටිනවා.
දොර හෙමීට ඇරගෙන, දකුණු කකුල පෙරට තිබ්බා විතරයි,
මාව නිකං පාවෙලා ගියේ පිටිපස්සට. එතකොටමයි නිකං ගිය ආත්මෙන් වගේ මට මතක් වුනේ ඊයෙ රෑත් මෙහෙම්මම වුනා නේද කියලා.
ඊට පස්සෙ මොකද වුනේ කියලා මතක් කරගන්න ඕන වුනත් මේ ඒකට වෙලාව නෙමෙයි වගේ.
ඇදලා ගත්ත පාර එහෙම්ම මං ඉන්දුනේ බිම. අර යකා ඉතින් දෙයියන්නාන්සෙ වගේ හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.
"හිමාන් මේ, තමුසෙ ලිස්සලා යන්න නම් හැදුවෙ ඒවා හඳේ හරි?
තමුසෙගෙ අම්මා මට කියලා ගියේ තමුසෙ මෙහේ ඉඳී කියලා. ඉතින් කවදා කීයටහරි තමුසෙගෙ අම්මා මෙහාට ඇවිත් තමුසෙව ගෙනියන කල්, තමුසෙ ඉන්නෙ මෙහේ.
ආයෙ මට කියන්න තියන්න එපා, මොකද මං දෙවෙනි පාර කියන්නෙ මෙහෙමෙ නෙමෙයි.
දැන් ඔතන උනහපුළුවා වගේ බලා නොයිද ගිහින් ලෑස්ති වෙනවා"
එතකොටයි මට මතක් වුනේ.
අද නිවාඩු කියලා මේ යකා දන්නෑ. මං ලෑස්ති වෙලා පැනගත්තා නම් හරි.
යකාව ආයෙම අවුස්ස නොගෙන හොඳ ළමයා වගේ කෑම කාලා ඇඳගෙන සාලෙට ආවා විතරයි,
"යකෝ, උඹ ඔහොමද එන්නෙ වැඩට යන්න? ෆුල් කිට ගහගෙන?"
ඇහ්, මුට මඤ්ඤංද මන්දා. මෙහෙම නැතුව කොහොමද වැඩට යන්නෙ?
මං උගේ දිහා ඇස් දෙකත් හීනි කරං බලං හිටියා.
"ආ!!!
මට දැන්නෙ තේරුනේ,
තමුසෙ හිතං ඉන්නෙ මට කොලේ වහලා අද කඩේ නිවාඩු දවසෙත් බොරුවට වැඩ කියලා පෙන්නලා පැනගන්න නම් ඒවා හඳේ හරි?
මං තමුසෙට ඇඳගන්න කිව්වෙ ගරාජ් එකේ වැඩට.
මට පිස්සු නෑනෙ ගෙවල් අස්සට එක එකා දාගෙන උන්ට කන්න උය උය පිනට කෑම දෙන්න.
ලෑස්ති වෙනවා අර දූවිලි වැදිලා තියෙන වාහන ටික හෝදලා දාන්න...!!!"
අනේ අම්මේ...
කවද්ද මාව මේ හැකර මකරගෙන් බේරගන්න එන්නේ...???