"ලොකූ, හෙට මල්ලියි පුතයි එක්ක ගමනක් ගිහින් එන්න. මං තැනක් කියන්නම්, එන ගමන් එතනට ගිහින් හදන්න දුන්න ඔයාලගෙ ඇඳුම් ටිකත් අරන් එන්න. ආ... තව චූටිවත් හොස්ටල් එකෙන් එක්කන් එන්න. කොහොමත් ලබන සතිය දිහාට එයාලට නිවාඩු දෙයිනෙ. හෙට උදේම පිටත්........"
"හෝව් හෝව් හෝව්...." අපේ අම්මත් මලයා වගේමයි. කතා කරන්න ගත්තම උඩරට මැණිකෙ ගිලලා වගේ.
"අම්මෙ ප්‍රශ්නයක් තියෙනවා."
"මොකක්ද?"
"අම්මට පුතෙක් ඉන්න එකනම් හරි. ඒත් එකපාරටම කොහෙන්ද මල්ලි කෙනෙක් ආවෙ?"
"මොකක්..?"
"අම්මා දැන් කිව්වේ මල්ලියි පුතයි එක්ක යන්න කියලා. අම්මට මල්ලි කෙනෙක් නෑනෙ. හත්තිලව්වේ දැන් කියන්න එපා මේ හදිස්සියෙ අම්මා මල්ලි කෙනෙක් අරන් හදාගත්තා කියලා. නිකමටවත් ඔයාට හිතුනෙ නැද්ද ඒකට දැන් වයස වැඩියි කියලා."
"ලමයො... මං මල්ලි කියලා කිව්වේ අපේ සුදූ ගැන."
"එතකොට පුතා මොකාද?"
"ඔය ලමයව බඳින්න ඉන්න ලමයා...."
"ආ... ඈ..?"
"ලොකූ, විකාර කියවන්නෙ නැතුව මං කියන දේ අහගන්න."
"පොඩ්ඩක් ඉන්න තව ප්‍රශ්නයක් තියෙනවා."
"ඒ පාර මොකක්ද?"
"ගමනක් කිව්වේ කොහෙද යන්නේ..."
"ගියාම බලාගන්න පුළුවන් ඒක. මතක ඇතුව මං කියපු වැඩ ටික කරන්න. චූටිවත් එක්කන් එන්න."
"අනේ අම්මෙ කොහෙද යන්නෙ කියන්නකො. අනික මොකටද චූටිව එක්කන් එන්නෙ.?"
"ඒ පැහිච්චකම් වැඩක් නෑ. කියපු දේ කරන්න."
මං වහාම ක්‍රියාත්මක වන පරිදි මලයව හොයන්න ගත්තෙ නිව්ස් එක දෙන්න.
ඔය මොන මගුලට ගහ මරා ගත්තත් චූටිගෙ කේස් එකේදි මායි මල්ලියි සාම ගිවිසුම් ගහලා ඉන්නේ. මොකද අපේ නැන්දට දාව ඉපදුණු ඒ දිරිය දියණිය ඉපදුන දවසේ ඉඳලා කලේ මාවයි මල්ලිවයි හූරගෙන කාපු එක. කොච්චර හූරගෙන කෑවද කියනවනම් මටයි මලයටයි කන්න තිබුන දේවලුත් මේකි පුස් ඊරි වගේ කෑවා. දැන් ඉන්නවා නිකන් හුලං වැඩිවුන බැලුම වගේ. ඔව් ඉතින් මුලින්ම දන්න හැටහතර මායම් වැඩිපුරත් එක්ක දාලා අපේ අම්මව අන්ද ගත්තා. අම්මත් ලස්සනට ඇඳගත්තා. ඊට පස්සේ එක වසරෙදි ඉස්කෝලෙට බාර දුන්නම මේකි මර ලතෝනි දුන්නෙ නැතෑ මායි මලයයි යන ඉස්කෝලෙට යන්න ඕන කියලා. කොහොමහරි වදෙන් පොරෙන් මේ වාත බෝට්ටුව අපේ ඉස්කෝලෙටත් ඇවිත් අපි දෙන්නගෙ පාසල් ජීවිතෙත් විනාස කලා.
නැන්දලගෙ ගෙවල් දුර නිසා මේකි මෙහෙ ඇවිත් අපේ ගෙදරම නැවතුනා ඉස්කෝලෙ යන්න ලේසි වෙන්න කියලා. ඒකෙන් මේකෙන් වුනේ අපි දෙන්නගෙ ගෙදර ජීවිතෙත් හබක් වුණ එක. ඕකිගෙ වැඩේ මගෙයි මල්ලිගෙයි මොකක් හරි දෙයක් අරගෙන අපි ඒක ආපහු ඉල්ලනකොට "නැන්ජේ.... මං අර දෙන්නගෙන් මේක දෙන්න පුලුවන්ද කියලා ඇහුවා.... එතකොට එයාලා මට බැනලා ටොක්කකුත් ඇන්ඤා...." කියාගෙන අපේ මෑණියො ලඟට ගිහින් අති උත්කෘෂ්ඨ රංගනයක නිරත වෙනවා. ඊට පස්සෙ ඉතින් මටයි මල්ලිටයි සදා සොත්ති භවන්තුතේ....
කොටින්ම කියනවනම් චූටි කිව්වොත් අපේ අම්මට මායි මල්ලියි කෙසේ වෙතත් එයාගෙ චූටි පුතාව වත් මතක නෑ. මොකද අර යස්සනීගෙ තාඩන පීඩන වලට ඒ අහින්සක ටයිගරයත් අහුවෙන නිසා. ඉතින් චූටි ගෙදර ඉන්නවා කියන්නේ මේ කෙල්ලයි කොල්ලයි බල්ලයි වැඩි හරියක්ම ඉන්නෙ එක්කො කැලේ, නැත්නම් වෙලේ.
ඔය රණ්ඩු වලට අපේ තාත්තගෙනුත් කිසි ප්‍රතිචාරයක් නැති එක තවත් පස්නයක්. ඕකට මහා දැවැන්ත හේතුවක් තියෙනවා. මා පියානෝ චූටිට විරුද්ධ අපේ ටීම් එකේ හිටියත් එයා එයාගෙ ආදරණීය වයිපරේගෙ කටට බයයි. ඒක නිසා එයා ගැන පොඩි බලාපොරොත්තුවක් වත් තියාගන්න බැරුවයි අපි හිටියේ. අනේ ඉතින් මේවා කාට කියන්නද දෙයියනේ.....
කොහොමහරි මලයගෙ දහතුන් වසරක පාසල් ගමනෙන් පස්සෙ මා මෑණියො එයා ජීවිත කාලෙටම ගත්ත බුද්ධිමත්ම තීරණේ ගත්තා. මල්ලිව ගෙදරින් පැන්නුවා කියලද හිතුවේ. නෑ.. නෑ.... අර මල යස්සනීව හොස්ටල් එකට ගිහින් දැම්මා. අන්න එදා ඉඳලා තමයි මායි මලයයි ජීවත් වෙනවා කියන එකේ තේරුම හරියටම දැනගත්තේ..... සරලවම කිව්වොත් චූටි කියන්නෙ ගතින් ඇතින්නක් හිතින් හැපින්නක්. මට බය අර අසරණ මනමාලස්ට මේකි මොනවා කරයිද කියලා. අපොයි බෑ.... ඒ අසරණයව කෙලෙසන්න කලින් අපේ සක්කර වට්ටමගෙන් බේරගන්න ඕන.
ගේ වටේටම කැරකිලා අර බූරුන් වහන්සේව හෙව්වත් ඒ යකා පේන මානෙක වත් හිටියෙ නෑ. බලද්දි අයියා මලෝ ඩබල මාළු අල්ලන්න ඔයට ගිහින්. පුහ්.... ඒ දෙන්නගෙ ආදරේ බලපල්ලකො. වෙන්න වයිෆ් වෙච්ච මට වත් එහෙම සැලකිලි නෑ.
ඒ අයියා මලෝ කපල් එක ආවට පස්සෙ මල්ලිට නිව්ස් එක කිව්වත් උට නම් ඒ ගැන ගානක්වත් නෑ. මේකා හිටියෙ හරියට පා වෙනවා වගේ. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින්... මේ ලෝකේ සිහියකින් නම් නෙවෙයි. හරි කමක් නෑ. උදේට අල්ලගන්නම්කො.
............
උදේ නැගිටපු වෙලේ ඉඳලා චූටි ගැන කිව්වත් මල්ලිට නම් ඒ එකක්වත් ඇහුනද කියලවත් මට ෂුවර් නෑ.... මිනිහා හිටියේ වෙනමම ලෝකෙක. මුට මක් වෙලාද දෙයියනේ ඊයෙ ඉඳන්... හරි නම් කසාද බඳින්න ඉන්න මමනෙ ඔහොම ඉන්න ඕන. නිකන් වත් අපේ අම්මා මුටත් මගුලක් සෙට් කරලාවත්ද...? අනේ වාසනාවන්.... කසාද බන්දලා හරි මූව මෙහෙන් යවාගන්න තියෙනවනම් කොච්චර දෙයක්ද.
මූව යවන්න කලින් අපි යන්නේ කොහෙද කියලා හොයාගන්න ඕන.
මේ වහු පැටියගෙන් ඇහුවට වැඩක් නෑ. අම්මා කියන්නෙත් නෑ. වෙන්න හස්බන්ඩ් කියලා එකෙක් ඉන්නවා. ඊයෙ රෑ ඉඳලා තාම ඇහැටවත් දැක්කෙ නෑ.
ආ.... ඔය එන්නෙ මතක් කරනකොටම සිරික්කිය දාගෙන. මෙයාගෙන් වත් අහලා බලන්න ඕන.....
"මේ... ජං සෝ හොක්...."
අර මොකද අර... මෙච්චර වෙලා ගොවිසෙතක් ඇදිලා වගේ දත් සැට් එකම එලියෙ දාගෙන උඩ පැන පැන හිටපු මනුස්සයා මොකද දැන් මේ ගෑනි මැරිලා වගේ මං දිහා බලන්නේ. මං වැරදි දෙයක් වත් කිව්වද? නෑනෙ... මං නම විතරනෙ කිව්වෙ.
ආ.... මොකක් හරි..
"මේ... අපි කොහෙද යන්නේ කියලා දන්නවද?"
"මොකක් කියලද... කිව්වේ...?" ඒ පාර මෙයාගෙ කන් ඇහෙන්නෙත් නැද්ද.
"අපි කොහෙද යන්නේ කියලා දන්නවද???"
"නෑ... ඊට කලින්..."
"ඔයාගෙ නම...?"
"නම මොකක් කියලද කිව්වේ...?" මෙයාට උදේ පාන්දර මොකක් වෙලාද... ඊයෙ රෑ මලයා මුට මොනවහරි පෙව්වා වත්ද..... අර දවසකුත් මෙයා රා ගැන මොනවදෝ ඇහුවා නේද....? හරි.... මලයා ඔය කොරලා තියෙන්නේ.... හිටපංකො ඕකව අල්ලගන්න.
"ජං.... සෝ... හොක්... ඇයි ඒක නෙවෙයිද?"
"ලොකූ.... මොනවද තාම ඔතනට වෙලා කරන්නේ. යනවා ගිහින් ලෑස්ති වෙනවා. පරක්කු වෙලා තියෙන්නේ...." හුටා. මා පියාට මල පැනලා දැන්නම්.... වැඩේ අබිලික් වෙන්න කලින් වහාම මෙතනින් පලා යා යුතුයි.
............
"මොකෝ මේ වෑන් එකේ යන්නේ? ඇයි කාවවත් කිඩ්නැප් කරන්නවත්ද හදන්නේ?"
"ඔව් ඔව් කිඩ්නැප් කරන්න තමයි යන්නේ..."
"මොකක්.... මේ... මේ.... කරන අට මගලක් තනියම කරගන්නවා මේ අහිංසක මාව ගාව ගන්නෙ නැතුව.. ඒක තමයි කවුරුත් මට යන තැනක් කිව්වෙ නැත්තේ... ඔය කරන පාපතර ක්‍රියා වලට මාව මොන එකකටද ගාව ගන්නෙ. ඔන්න ඔය ඉස්සරහා ලෑලි කඩේ ගාවින් නවත්තනවා. මං බැහැලා ගෙදර යනවා."
ඇයි යකෝ... මුන්ට හිරේ යන්න ආසාවක් තියෙනවනම් තනියම යන්න ඕන. අහවල් කෙංගෙඩියකටද කොහෙවත් ඉන්න මාව ඕවට ඇදලා ගන්නෙ.
ඒ පාර මං මොනවා කිව්වටද මූ හිනාවෙන්නෙ.
"අක්කෙ.... මී ටූ..." අප්පට සිරි. එතකොට මලයත් අකමැත්තෙන්ද මේ වැඩේට යන්නෙ. කවුද එතකොට මේ කුමන්ත්‍රනේ මහමොළකරු? කවුද? මේ චීනාද? මූ මොකටද කාවවත් කිඩ්නැප් කරන්නෙ? එතකොට මොකද දැන් මේ අයියා මලෝ ජෝඩුව කැකිරි පලන්නෙ. කැකිරි නෙවෙයි පිපිඤ්ඤත් පලනවද මන්දා. සැක්. හිනාවෙන කැත විතරක්. මලයත් එකයි උගෙ මස්සිනාත් එකයි.
"මොකක්ද ඕයි ඔච්චර හිනාවෙන්න තරම් වුනේ....?"
"නෑ අක්කෙ මේකයි. අක්කා අර දවසක් මී ටූ කියලා පණිවිඩයක් යවන්න කිව්වේ.... අන්න ඒක මතක් වෙලා හිනා ගියේ.."
"ඒකෙ මොනවද ඔච්චර හිනාවෙන්න තියෙන්නේ පුස් ඌරො"
"එන්න එපා මං ලඟට.... යනවා යන්න... ෂූ... ෂූ... ලඟට ආවොත් 119 එකට කෝල් කරනවා..." මූ බලපල්ලකො. වාහන එලවිල්ල පැත්තකින් තියලා අත් කකුල් දික් කර කර අභිරූපන ශෝ එකක් කරනවා. ඉස්කෝලෙ නාට්‍ය මිස්ව මතක් වෙලා මයෙ හිතේ.
මොකක්... මොකක්... මූ මේ සේක්ස්පියර්ගෙ නාට්‍යයක් රඟපානවා වගේ දඟල දඟල කරන්නෙ එදා රෑ මං මනාලස් ඉස්සරහා කියවපුවා නේද?
වනාසයි. මලයා කොහොමද ඒවා දන්නේ... ෂුවර් එකටම මේ ඇටකටුස් එදා වුන දේවල් මලයට කියන්න ඇති.... ඉවරයි. මං ජීවත් වෙලා ඉවරයි. මේ මොන නවනිංගිරාවක්ද? ලැජ්ජාවේ බවේ දුකා සම්බෝලයි බතුයි කකා කිව්වලු. දැන් ඉතින් මලයා ඔය සීන් එක ඔහොම්මම අපේ හත්මුතු පරම්පරාවටම රඟපාලා පෙන්නයි. දැන් තමයි වෑන් එක ඇතුලේ කියලා බලන්නෙ නැතුව බෙල්ලෙ වැල දාගන්න හිතෙන්නේ....
.
.
.
හරි හරි මං දන්නවා මේක අවුල් තමයි. හදිස්සියේ ලියලා දැම්මේ. Surprise එක ඊලඟ කොටසින් දෙන්නම්. ඒකත් මේකටම දාන්න හිතුවත් එහෙම දැම්මොත් මේ කොටස ගොඩක් දික් වෙනවා. එහෙම වුණොත් මට ටයිප් කරන්න ගොඩක් කල් යනවා. ඒ නිසා මේ කොටස දෙකට කඩලා දාන්න මං හිතුවා. හී.. හී... කාටද ගෙස් කරන්න පුලුවන් ඊලඟ එකේ මොකද වෙන්නේ කියලා.