Wedding එක කඩාකප්පල් කිරීමේ මගෙ කුමන්ත්‍රනේ තනියම දියත් කරන්න තරම් හමුදා ශක්තියක් නැති නිසා මට සිද්ධ වුණා ඒ වැඩේට මල්ලිගෙන් විදේශ ආධාර ඉල්ලන්න. කොහෙද ඒ යකා අහන අහන වෙලාවට එළුවෙක් වගේ බෑහ් බෑහ් ගානවනෙ. කමක් නෑ.... කොහෙවත් යන එළුවො මොකටද මං තනියම ගේම ගහනවා.
"ලොකූ.... අර ළමයත් එක්ක අද හවසට පන්සලට ගිහින් එන්න."
"ඇයි අද පෝයද..???"
"පෝය? මොන ලෝකෙද ඉන්නෙ ළමයො. පෝය පහුවෙලා දැන් සතියක් වෙනවා.. "
"ආ... එහෙමද... ඇයි එතකොට පන්සල් යන්නෙ?"
"දෙන්නත් එක්ක ගිහින් බුදුන් වැඳලා එන්න... කසාද බඳින්න ඉන්න ජෝඩුවක්නෙ."
මොකක් කසාද බඳින්න....? බුදුන් වඳින්න....? අම්මට නම් මොකක්ම හරි නට් ලූස් එකක් වෙලා තියෙනවා.
.
.
.
කෝ මේ සුදු හූනා... ආපු කෝල් එක ආන්ස්වර් කරලා එන්නම් කියලා ගියා ගියාමයි තාම නෑ. ඒ ටිකට මුල් ඇදලා පැල වුනාවත්ද..?
ඒ අස්සෙ මෙතන ඉන්න පොඩි ඇච්චො බැච්චො ටිකක් මාව බයිට් එකට අරන්.
"ආ නංගී.... තනියමද ආවෙ..." ඊයා.... හැක හැක හැක ගාලා දාපු හිනාවෙ කැත විතරක්.
"නෑ අයියෙ මැරිච්ච ආච්චිත් එක්ක ආවෙ." ඇයි යකෝ... ආවා මෙතන.... පේන විදිහට නම් අපේ මලයටත් වැඩිය පොඩි උන් ටිකක් වගේ.
"අම්මෝ මෙයාගෙ සැර... නංගි මොනවද දවල්ට කෑවේ.." හැක හැක හැක
"චිකන් හොදියි කුකුල් මසුයි. ඇයි ඕනෙද?"
කියලා ඉවර වෙනවත් එක්කම මොකෙක්දෝ එකෙක් මගෙ කර වටේට අතක් දැම්මා. ෆිල්ම් බලලා ඉගෙන ගත්ත චීන අඩි වලින් පාරක් දෙන්න හැරෙනකොට වෙන කවුරුත් නෙවෙයි හිටියෙ මගෙ මනමාල මහත්තයා. මගෙ...? හෑ.... නෑ නෑ මගෙ නෙවෙයි...
"Sorry, it was a little urgent.... Honey, what happened....?" මූ මොනවද මේ කියවන්නේ..... පැණි....? පැණි පෙන්නන්නම්කො මං මෙතනින් ගියාම..
"අ..... No... Nothing...."
මොනවා වුනත් කොල්ලා ඇවිත් මගෙ කරට අත දාගනිද්දි අර පොඩි උන් ටිකගෙ කටවල් නිකන් පොල් බෑ සයිස් එකට ඇරුනා.
උන් ටික පහුවෙනකල් ඉඳලා මං හරියට නිකන් අත ලිස්සලා ගිහින් වැරදිලා වැදුනා වගේ ෂොට් එකකුත් මනමාලස්ගෙ අතට දීලා ඈත් වුනේ අර කලින් කියපු පැණි කතාවට.
ගම බලන්න ඕන කිව්ව හින්දා මං ඉතින් කොල්ලව කිලෝමීටර් දෙකක්ම පයින් එක්කන් ගියා පන්සලට. ආපහු එද්දිත් පයින්ම තමයි. පොරට නම් ඇවිදලා හොඳ ගනන්... හොඳ වැඩේ.. ජපානෙ කෙල්ලො නෑ වගේ මොකටද මාව කසාද බඳින්න ආවේ...
කළුවරේ..... හඳ එලිය දිගේ.... ඈ... හඳ එලිය...? ආ... නෑ නෑ..... පාරෙ ලයිට් කණු වල එලිය...... රැහැයියන්ගෙ සද්දෙ මැද්දෙ..... කොහෙදෝ ගෙදරක වලියකුත් ඇහෙනවා..... අන්න කුමාර මාමා අදත් බීලා අදෝනාව පටන් අරන්..... කුමාර මාමගෙ සුකොමල වොයිස් එකත් මැද්දේ.... මේ වෙලාවේ ලව් කරන්න කොල්ලෙක් හිටියනම්.... ආ මේ ඉන්නෙ ලඟම. ආපෝ... එක්කො කොල්ලො ඕන්නෑ.... මේ තනිකඩ ජීවිතේ හොඳයි. හුම්... තනිකඩ ජීවිතේ මම අයාලේ යමි.
අපේ අම්මගෙ බෑනා පොඩ්ඩට ගමේ අසිරිය පෙන්නලා එද්දි රෑ අටත් පහුවෙලා....
.
.
.
මේ මොකද උදේ පාන්දර චතුරංගනී සේනාව එලි බැහැලා.
"අම්මෙ.. මොකෝ යුද්දෙකට වත් යන්නද...?"
මෙන්න අම්මා දත් තිස්දෙකම පෙන්නලා සිරික්කිය දානවා.... ඒක නම් එච්චර ඇඟට හොඳ නෑ.
"ලොකූ... ඊයෙ රෑ පුතා ඔයාට කැමතියි කිව්වනෙ."
"මොකක්... උට පිස්සු හැදිලද අම්මෙ. මෙච්චර කාලයක් මාත් එක්ක යස අගේට යුද්ධ කර කර හිටියනෙ. එක පාරට මොකද සාම ගිවිසුමක් ගහන්න හිතිලා තියෙන්නේ... ෂුවර් එකටම ඊයෙ රෑ මොනවහරි වැරදි දෙයක් කැවෙන්න ඇති. අම්මෙ, වැරදිලා වගේ බල්ලගෙ බත් එකවත් කෑවද දන්නෙ නෑ නේද...."
"ළමයො... ගෙදරට ආපු මනුස්සයෙක්ට ඔහොමද කතා කරන්නේ.."
"ගෙදරට ආපු...? ආයෙ අමුතුවෙන් එන්න දෙයක් තියෙනවයැ අම්මෙ. මල්ලි කොහොමත් අවුරුදු විසි දෙකක් තිස්සේ මෙහෙනෙ ඉන්නෙ."
"ලොකූ..." අන්න අපේ අම්මගෙ සුපුරුදු රකුසු පෙනුම එලියට පැන්නා.
"මම කතා කරන්නෙ ඔයාව බලන්න ආපු ළමයා ගැන."
"ආ... එයා... ඈ මොකක්... කැමතියි කිව්වා...."
"ඔව් ඔව් ළමයො. අපි දැන් මේ කසාදෙට නැකතක් බලන්න කියලා යන්නෙ. ඒ ගමන්ම තව ගමනකුත් ගිහින් එන්නෙ. .පුතත් එක්ක පරිස්සමින් ගෙදරට වෙලා ඉන්න." නැකැත්... මෙච්චර ඉක්මනට...?
"මොකක්... අනේ අම්මෙ මල්ලිව වත් තියලා යන්නකො."
"පිස්සුද ළමයෝ. තාත්තට තනියම වාහනේ අරන් යන්න බෑ."
"එහෙනම් මාවත් අරන් යන්න. නැත්නම් මාව තියලා අර චීනාව අරන් යන්න."
"විකාර කියවන්නෙ නැතුව ඉන්නවා ලොකූ..."
"අනේ අම්මෙ.... අම්මට බය නැද්ද මේ අහිංසක දුවව දන්නෙවත් නැති කොල්ලෙක් එක්ක තනියම තියලා යන්න."
"බය...? මට බය ඒ ළමයා ගැන. මේ..... ඕන්නැති වැඩ එහෙම කරලා අහුවෙන්න එපා. ආ... උදේට මොකුත් උයලා නෑ. මොනවහරි උයාගන්න පුලුවන් නේද...? මතක ඇතුව බල්ලට කන්න දෙන්න..."
"හා.. හා...😒" දැන් ඉතින් හිටපංකො මේ ජපන් කබරයත් එක්ක දවසක්ම.
අරූ මොකද අර මං දිහා බලලා හිනා වෙන්නේ.. ගිහින් වරෙංකො මලයො. එනකොට ඔහේගෙ යටට අඳින ශෝට් ටික මං ගුවන් ගත කරලා තියන්නම්.
.
.
.
"මට නම් හොඳටම බඩගිනියි. මෙහෙ රාමෙන් නැද්ද..?"
"රා...මොක?" බැරිවෙලාවත් මේ මනුස්සයා මේ අහන්නෙ රා ගැනද... මං දන්නෙ නෑනෙ ජපන්නු රා බොනවා කියලා. මෙයා දන්නෙ නැද්ද දන්නෑ දැන් රා වලට වඩා ගම්වල මිනිස්සු බොන්නෙ කසිප්පු කියලා. දැන් පලයංකො කැලේ මුට කසිප්පු හොයලා දෙන්න.
"රාමෙන්... noodles...."
"ආ... නූඩ්ල්ස්ද..." ඕක ඉතින් තේරෙන ඉංග්‍රීසියෙන් කිව්වනම් ඉවරයිනෙ. හප්පේ... තව පොඩ්ඩෙන් මං කසිප්පු හොයන්නත් යනවා.
"ඔහොම ඉන්න මං කඩේට ගිහින් සුටුස් ගාලා කොත්තු මී පැකට් දෙකක් අරන් එන්නම්."
කාලා බීලා මලයගෙ රෙදි ටිකටත් වැඩේ දීලා දහයට විතර පොඩි නැප් එකක් දාන්න හිතාගෙන ඇඳට ගියා. දෙයියනේ කියලා නින්ද යාගෙන එද්දි අර හූනු පැටියා මගෙ නින්ද කැඩුවා. ඒ අස්සෙ මොකක්දෝ ට්‍රීන් ට්‍රීන් ගාලා වැදෙනවත් ඇහෙනවා.
"ඔෂී... කෝල් එකක්..."
"ආ... ඔතනින් තියලා යන්න.. මං පස්සෙ කන්නම්..."
"What... Oshi... Get up... Just answer the phone..."
"ඈ... කෝල් එකක්... අම්මා වෙන්න ඇති. අරන් බලන්න..."
මනාලස් ගිහින් කෝල් එක ගන්න ටිකට මාත් වැනි වැනීම ඒ පැත්තට ගියා.
"යොබොසෙයෝ..."
මොකක්?? මොකසෙයෝ?? කොල්ලට හදිස්සියට ජපනුන් කියවෙනවද කොහෙද..
ඔන්න ටිකකින් පොර ෆෝන් එක කනේ තියාගෙන මූනත් නිකන් ලොරියකට අහුවුන පපඩමක් වගේ කරගෙන මගෙ දිහා බලනවා. අන්න ෆෝන් එක මගෙ පැත්තට දික් කලා.
කෝල් කරපු එකා මොකා වුනත් උගෙ මී මුත්තගෙ දුවට බැන බැනම මං ෆෝන් එක කනේ තියාගත්තා.
"හෙලෝ.."
"ඉදු මක්කල් වංගියා...? එනක්කු ඔරු කඩන් වාංග වේන්ඩුම්."
මගුලයි... ඒ පාර චීන මදිවට දෙමළත්.. දැන් මූත් එක්ක සන්නිවේදනය කරන්නේ කොහොමද. ඉස්කෝලෙ කාලෙ දෙමළ පීරියඩ් එකේදි කට්ටි පැනපුවගෙ ආනිසංස දැන් තමයි ගෙවන්න වෙලා තියෙන්නේ... කඩවලේ... මක්කයි කරන්නේ දැන්. කරන්න දෙයක් නෑ. මක්කා හරි කියන්න වෙනවා. කියන මලදානයක් තේරෙන්නෙත් නෑ. දන්න දෙමළ ටිකක් ගැටගහගෙන මොකක්හරි කියලා දානවා ඔන්න ඔහෙ.
"වණක්කම් උක්කාරුංගල් පිරන්ද නාල්වාල් තුක්කල්"
"එන්න...?"
"කොහෙටද එන්නේ...?"
"නී යාර..?" ඒ පාර තව එකක් කිව්වා නේද... දැන් නම් බෑ.. දෙමළ දන්නෙ නෑ කියලා මෙහෙමත් දුක් විඳින්න පුළුවන්ද.
"යාර? යාර නෙවෙයි මීටරේ..."
දඩාස් ගාලා මං ෆෝන් එක තිබ්බා. හම්මෝ... ඇති ඔයින් ගියා.
"කවුද ඒ..?"
"අපේ නැන්දා..😒"
"මොනවද කිව්වේ...?" මෙයාටත් ඕන නැති එකක් නෑනෙ. බැරිද දන්නෑ මෙයාවත් අපේ ගමේ ඇන්ටිලගෙ OPDP සංගමේට බඳවගන්න.
.........................
දෙමළෙන් කියපු එක තේරුනේ නැති අය ඉන්නවද😅
ඕවා ඇත්ත සිද්ධි හොඳේ😂
ෆිල්ම් එකේ නම මතක් වුනා. Fidaa කියලා තෙලිඟු ෆිල්ම් එකක්😁