නෙලී - 1
"සුබ උදෑසනක්, නෙලී."
බිම බලාගෙන ඉක්මන් ගමනින් පිය නගපු නෙලී හිස හරවලා බැලුවේ ඒ කටහඬට. මිසිස් මෙරිවෙදර් හිනා කටක් පුරවාගෙන රෝස මල් පාත්තියට උඩින් එබීගෙන හිටියා.
"සුබ උදෑසනක් මිසිස් මෙරිවෙදර්." නෙලී කිව්වේ ගමන් වේගය බාල කරලා.
"අදත් වහින්න වගේ." මිසිස් මෙරිවෙදර් වැට ළඟට එමින් කියනකොට නෙලීට නවතින්නෙ නැතුව බැරිවුණා. මිසිස් මෙරිවෙදර් ඒ නමට ම ගැලපෙන කාන්තාවක්. හැම වෙලාවෙම ඉන්නේ සතුටෙන් හිනා වෙලා. එයා එක්ක කතා කරනකොට නෙලීටත් හිතේ තියන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙනවා.
නෙලී දුඹුරු පාට දිග කබායේ සාක්කු දෙකට දෑත් ඔබාගෙන උරහිස් හැකිලුවේ හමා ගිය සුළඟේ සීතල කබාය හරහා යාන්තමින් කාන්දු වෙත්දී.
"මම මේ හන්දියට යනවා, මිසිස් මෙරිවෙදර්."
"එහෙනම් වැස්සට කළින් ගිහින් එන්න. අද හවසට බේකරිය අරිනවා නේ?"
"ඔව්, ඔව්."
"මට ඕනේ හොඳට කරවුණු පාන් රාත්තල් හතරක්ම. මම ජෝර්ජ්ව එවන්නම්කෝ හවස් වෙලා."
නෙලී හිස වැණුවා. ආපහු සැරයක් මිසිස් මෙරිවෙදර්ට සුබ පතලා ඉක්මන් ගමනින් හන්දියට ගියා.
නෙලී හිටියේ සමර්ටන් කියලා පුංචි ගමක. හන්දියේ තිබුණේ කඩ තුන හතරක් විතරයි. ඒත් ගම්වාසීන්ගේ එදිනෙදා අවශ්‍යතා වලට ඒ කඩ ටික හොඳටම සෑහුනා. හන්දියේ ඉඳලා විනාඩි දහයක විතර පා ගමනක දුරින් තමයි නෙලීගේ පුංචි බේකරිය තිබුණේ.
ඒක තට්ටු දෙකේ පටු ගොඩනැගිල්ලක්. බේකරිය තිබුණේ පහල මාලේ. උඩ තට්ටුවේ පුංචි කාමර දෙකකුත්, කුස්සියකුත්, නාන කාමරයකුත් තිබුණා. නෙලී ජීවත් වුණේ ඒ උඩ තට්ටුවේ. පහුගිය අවුරුද්ද වෙනකල් ඒ ගෙදර හිටියේ නෙලීයි, නෙලීගේ තාත්තායි. තාත්තා හදිසියේම නැති වෙනකොට නෙලීට අවුරුදු විසි එකයි. සීයාගෙන් තාත්තාට උරුම වෙලා තිබුණ බේකරිය ඊට පස්සේ නෙලීට උරුම වුණා. නෙලීගේ අම්මා නැති වෙලා තිබුණේ එයාට අවුරුදු තුනේ දී. ඊට පස්සේ තාත්තා එක්ක හැදුණු වැඩුණු නෙලී, තාත්තාගේ පාන් හැදීමේ ශිල්පයත් ඉගන ගත්තා. මුලින් මුලින් පෝරණුවට දර කෝටු දාලා ඉගනීම පටන් ගත්ත නෙලී දැන් මුලු ගමටම පාන්, බනිස් හදනවා. ඒත් ගමේ වැඩි දෙනෙක් හිටියේ නැති නිසා නෙලීට ලොකු ආදායමක් ලැබුණේ නෑ. ඒ නිසා එයා ජීවත් වුණේ බොහොම අරපරිස්සමෙන්.
