දැඩි සත්කාර ඒකකයේ දොරටුවට තම හිස හේත්තු කරගත් සේපාලිකා පුංචි වීදුරු කවුළුවෙන් බලාසිටියේ ඔහු දෙසයි. වයර්, බට පිරුණු යන්ත්‍ර රැසකට ඔහුව සම්බන්ධ කර තිබුණු අතර, ඈ ඔහුගේ රුව මත තම අතැඟිලි ගෙන ගියේ වේදනාවෙනි.

“ආදරෙයි අයියේ මම… ආදරෙයි.. අනේ මට ඔයාට කියන්න බැරිවුණා මම කොච්චර ආදරෙයි ද කියලා… ගොඩක් ආදරෙයි මම.. ඔයා හිතනවට වැඩියෙන් ගොඩක් ආදරෙයි. සියදහස් ගුණයකින් මම ආදරෙයි.. ඇයි මට බැරිවුණේ ඔයා ආස විදිහට ඔයාට ආදරේ කරන්න…. ඇයි මට බැරිවුණේ අයියේ…? අනේ අයියේ… නැගිටින්නකෝ… මම පොරොන්දුවෙනවා.. මම පොරොන්දුවෙනවා.. ඔයා ආයේ ආවම මම නපුරු වෙන්නේ නෑ.. නපුරු වෙන්නෙම නෑ.. මම ඔයාට ගොඩක් ආදරේ පෙන්නන්නම්.. ගොඩාරියක්.. අනේ අයියේ… ඇස් අරින්නකෝ…” සේපාලිකා උමතුවෙන් මෙන් කොඳුරා ගත්ත ද එය ඇසෙන මානයේ යමෙක් නොවීය. අනෙක ඇයගේ නපුරුකම්වලටත් ජනිත් නම් දඟකාරයා පෙම් කෙරූ බව කවුරුන්ද ඇයට පවසන්නේ?

මේ අතර කොරිඩෝව කොනෙන් මතුවූයේ තේජාන්විත රුවකි. කිරි ගරුඩ පැහැති ජාතික ඇඳුමින් සැරසුනු අතිශය තේජාන්විත ගමනකින් පැමිණෙන රුව අදුරගත් අරවින්ද සහ නිරාශා තරමක් කලබල විය. ඔහු සිටියේ තනිව නොවේ. ආරක්ෂක නිළධාරින් දහයකට වැඩි ප්‍රමාණයක් කොරිඩෝව පුරා සමානව ඉඩ තබමින් පිළිවෙලට සිට ගත්තේ ඔහුගේ ආරක්ෂාවටයි.

“මේ.. ආරක්ෂක ඇමති නේද? මංචනායක?” අරවින්ද විමසුවේ නිරාශාගෙනි. දේශපාලනය පිළිබඳව දැනුම අවම වුවත්, නිරාශා වුවත් ඔහුව දැන සිටියේ ඔහුගේ අවංක සේවය සහ, මෙම දිනවල අතිශයින්ම ප්‍රචලිත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දුරලන මෙහෙයුම නිසාවෙනි. ඈ හිස සැලුවෙ අරවින්ද දෙස බලානයි.

“එයා ඇයි මෙහෙ?” ඔහු විමසුවේ කදිම පැනයකි.

“එයාගේ.. කවුරුහරි කෙනෙක් මෙහෙ ඇති අයියේ නතර කරලා…”

“ඒත් සුදූ… මේක අයිසීයූ එක…” අරවින්ද සැනින් නැගී සිටියේ ඔහු සේපාලිකා වෙතට යමින් සිටි නිසාය. ඉතිං ඇමතිවරයාට ඉඩ දීමට සේපාලිකා හට සිදුවේ. නමුත් ඈ සිටිනා තත්ත්වය හමුවේ ඈ කලබලයක් කරනු ඇත.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 | [COMPLETED]Wo Geschichten leben. Entdecke jetzt