අග්නි 55

Magsimula sa umpisa
                                    

ඔහු නැවතත් අශ්ව ස්තාලයේ පිදුරු ගොඩ මත ඇද වැටුණි . භීෂගේ රුධිරයෙන් නැහැවී ගිය ප්‍රාණය නිරුද්ධ සිරුර ඔහුගේ පසෙකින් විය. ඔහු සිය දෙපා ද තමා අසලට ගෙන ගුලි විය. ඔහු කිසිවක් නොදැන සිටියේ ය. ඔහු කිසිවක් නොසිතා සිටීමට වෑයම් කළේ ය.

ඔහු ඔහේ භීෂගේ සිරුර දෙස බලා සිටියේ ය. දැඩි අසරණකමක් හා සීතලක් ඔහුව වෙලාගෙන තිබුණි . ඔහුගේ මනස ව්‍යාකුල විය. මිධුනාථ බේරීමට තමා මිය යා යුතුනම් ඔහු එය කිසිදු පැකිලීමකින් සිදු කරන වග අග්නිට විශ්වාස විය. ඔහුට එය මින් පෙර කල්පනා නොවූයේ මන්දැයි ඔහු කල්පනා කළේ ය. ඔහු තමාටම දෝෂාරෝපණය කළේ ය.

'' අග්නි..... '' ඛාදී දේවියගේ ශබ්දයට අග්නි අසිරුවෙන් හිස ඔසවා බැලී ය. ඇය කලබලයෙන් ස්තාලය තුළට දිව ආවා ය. අග්නි ව්‍යාකුල මනසින් ඇය දෙස බැලුවේ ය.

ඇයගේ පෙනුම දැඩිව වෙහෙසකර විය. කෙස් වැටිය ද අවුල්ව ගොසින් තිබූ අතර, ඇයගේ වස්ත්‍රයන් සියල්ලම පාහේ රුධිරයෙන් නැහැවී ගොසින් තිබෙනු අග්නිගේ දෑසට හසුවූ මුත් ඒ පිළිබදව කිසිවක් සිතීමට තරම් ඔහුගේ මනස සන්සුන් නොවී ය. ඛාදී දේවිය සුදු පැහැ රෙදිකඩකින් ඔතන ලද යමක් සිය පපුවට තුරුළු කරගෙන සිටියා ය.

ස්තාලය තුල වූ භීෂගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දැකීමෙන් ඇය තිගැස්සී ගියා ය. ඇයගේ දෑස් ද චංචල ලෙස චලනය වනුත් ප්‍රථම වරට ඇයගේ කොපුල් ඔස්සේ කදුළු ගලා යනු ද අග්නි විස්මයෙන් එහෙත් හිස් බැල්මෙන් බලා සිටියේ ය.

ඇය පියවර පැකිළෙමින් භීෂ වෙත ඇවිද ආවා ය. අනතුරුව ඔහු අසලින් දණ ගසා ගනු අග්නි අවසිහියෙන් බලා සිටියේ ය. ඔහුට කිසිවක් නිසි පරිදි තේරුම් ගත නොහැකි විය.

'' භීෂ.. '' ඇය මෘදුව ඇමතුවේ භීෂගේ කම්මුල වෙත ඇයගේ වෙව්ලන හස්තය තබමිනි. අග්නි නැවතත් අැය දෙසට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවේ ය. නමුත් ඔහු ඇයගෙන් කිසිවක් නොවිමසුවේ ය.

'' ඇයට මිගාර යනුවෙන් නම් තැබිය නොහැකියි.. භීෂ...  ....ඇය ගැහැනු දරුවෙක්.... ඔබේ සීහශාලී... '' ඛාදී දේවිය මෘදුව පැවසුවේ භීෂගේ ප්‍රාණය නිරුද්ධ සීතල සිරුර වෙත  සිය පපුවට තුරුළු කරගෙන සිටි පොදිය පහත් කරමිනි.

♛ අග්නි ♛Tahanan ng mga kuwento. Tumuklas ngayon