දුක හිතෙන මතක කතාවක් කරලා තව කෙනෙක්ට කියද්දි අපිටත් නොදැනිම කදුළු ඉස්සර වෙනවා.මට ආදරය, උණුසුම,ආරක්ෂාව, සැනසීම හැම දෙයක්ම දැනෙන යශ් අයියගෙ පපුවට ගුලි වෙලා ඒ කතාව කියද්දිත් මගේ කම්මුල් දිගේ කදුළු වැල් ගැලුවා.
"එයා මට ආදරේ කරා කියල අනිත් අයියලත් දන්නවා. සමහර විට මං එක්ක නොකිව්වට එයාලා එක්ක කියන්න ඇති. ඒ උනාට එයාගෙ පොතක් ඇතුලේ දෙයක් ලියල තිබ්බ. මං හිතනවා ඒ මං ගැන කියල"
"ඒ මොකක්ද"
මං ෆෝන් එක අරගෙන එයාට ෆොටෝ එකක් පෙන්නුවා.සදී අයියා කවදාවත් වචනෙන් නොකියපු, ඒත් එයාගෙ පොතක අන්තිම පිටුවක ලියවුණු ඒ ආදරේ. මං එදා ඒක ෆෝන් එකට ෆොටෝ එකක් ගහ ගත්ත.මොකද එදා යශ් අයියා නිසා කැඩිලා ගිහින් තිබ්බ හිත ටිකක් හරි සැනසුණේ ඒ වචන ටික නිසා........
"නේත්‍ර"
"ම්ම්ම්"
"මං උඹට මගේ පණටත් වඩා ආදරෙයි බං, උඹව මෙහෙම මගේ පපුවේ තියන් ඉද්දී උඹ වෙන කෙනෙක් ගැන කියද්දි මට පොඩ්ඩක් දරා ගන්න අමාරුයි.ඒත් ඉතින් උඹවත් ඒ කොල්ලා වත් වැරදි නෑ බං. මට ටිකක් දුකයි තමයි, ඒත් උඹ ඇත්ත කතා කරපු එක ගැන සතුටුයි. දැන් උඹේ හිතේ ඉන්නෙ මං විතරයි නේද මැණික"
"ඔව් අය්යේ, මමත් ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි. මගේ හිතේ ඉන්නෙ ඔයා විතරයි.ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ"
මෙච්චර දවස් යශ් අයියා මට ආදරේ කරත් මං හරියට එයාට ආදරේ කරේ නැද්ද කියලා මට හිතුනා. එයාගෙ ආදරේ වින්දා මිසක් පෙරළා එයා වෙනුවෙන් දැනෙන්න ආදරේ දුන්නද කියල වත් මට මතක නෑ. මොකද මමත් හිටියෙ ප්‍රශ්න ගොඩක, තාමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක.ඒ නිසාම මට එයාව මඟ ඇරෙයි කියල බයයි. එයාගෙ පපුවට තියන් හිටිය ඔළුව උස්සලා මං ඒ කම්මුල් දෙකටම හාදු තිබ්බ. කලුවරේ උනත් මට පෙනුනා එයා ඇස් දෙකෙන් හිනා වෙනවා.
"ඔයා මගේ ජීවිතේට ආවේ නැත්නම් මට මොනව වෙයිද කියලා හිතා ගන්න බෑ අයියෙ. මං සැනසීමෙන් හුස්ම ගන්නෙත් ඔයා ඉන්නවා කියල මතක් වෙද්දි අය්යේ"
"මං උඹ ළඟින්ම ඉන්නවා මැණික"
"මගේ ජීවිතේ ප්‍රශ්නම විතරයි අයියෙ. දැන් තවත් ප්‍රශ්නයක්. මං නිසා මගේ වටේ ඉන්න අයටත් කරදරයක් වෙයි කියල මට බයයි"
"ඒ මොකක්ද ඒ කතාව"
මං කේශ් අයියා ගැන, රුකී අයියා ගැන වගේම ජූඩ් අයියයි, තුහින සරුයි කියපු දේවල් යශ් අයියත් එක්ක කිව්ව.
"ඒ ගමන තව එකෙක් උඹ වටේ කැරකෙන්න ගත්තද, හරි ඕකට මෙහෙට එන්න කියපන්කෝ යහතින් යයිද බලන්න. හෙට ඉදල උබ කොහේ ගියත් යන්නෙ මගෙත් එක්ක... හරිද"
"හරි අයියෙ"
"උබ ඔය නිල් ඇස් දෙක කරකෝ කරකෝ මායම් දාලා ඌව පස්සෙන් ගෙන්න ගත්තේ නෑ නේද"
"අනේ අයියේ... රුකී අයියා වැල්ලට එන වෙලාවට මං පුළුවන් තරම් එයාව මඟ ඇරිය. එයාගෙ බැල්මට මං හරි බයයි "
"විහිළුවක් කරේ බං.ඌ ඒ තරම් ලොක්කෙක්ද බං එහෙ ඉඳන් මෙහෙට එන්නේ උබව හොයාගෙන, බලමුකෝ ඕකා මෙහෙට ඇවිත් යහතින් යන හැටි. මගේ උගේ ෆොටෝ එකක් කොහෙන් හරි හොයල දීපන් නේත්‍ර, ෆේස්බුක් ඉන්නව ඇතිනේ"
"මං ජූඩ් අය්යලාගෙන් ඉල්ලලා එවන්නම් අයියෙ"
"ම්ම්ම්, ඔය ජූඩ්ල එක්ක මං කතා කරන්නද, තුහිනව දන්නවා කිව්ව නිසා එයාට උනත් කතා කරන්න පුළුවන්නෙ"
"මං නම්බර් එක දෙන්නම් අයියෙ"
"ම්ම්ම්, උබ බය නැතුව ඉඳපන් මැණික. මෙහෙට ඇවිත් උබට අතක් වත් තියන්න මං ඕකට ඉඩ දෙන්නෙ නෑ"
මටත් විස්වාසයි එයා මාව ඕනම දේකින් ආරක්ෂා කරයි කියල.මං ප්‍රාර්ථනා කරන්නේ මට වත් මං නිසා මගේ වටේ ඉන්න අයටවත් කිසිම කරදරයක් වෙන්න එපා කියලා.
"මට එක්ටැම් ගෙයක් වත් හදන්න වෙයිද බං උඹව පරිස්සම් කර ගන්න"
"ඒ කියන්නෙ ඔයා මාව හිර කරනවද"
"තත්වෙ දරුණු උනොත් මට උඹව පරිස්සම් කර ගන්න වෙන්නේ එහෙම තමයි මැණික.මගේ නිල් හඳ .... මගේ අහසෙම විතරක් පායපන්"
කණා මැදිරි එළි වලින් වටපිටාව එළිය වෙද්දි යශ් අයියා හෙමින් හෙමින් මගේ තොල් පෙති එයාගෙ තොල් වලින් අල්ල ගත්තා.එයාව හම්බවෙන හැම වෙලාවෙම දැන් මේ හාදුව අනිවාර්යෙන්ම ලැබෙනවා. හැගීම් දැනීම් තියෙන මනුස්සයෙක් උනත් යශ් අයියා ඒ හාදුවෙන් විතරක් සැනසෙනවා. මගේ හිතේ එයාට තියෙන ආදරය, ගෞරවය වැඩි වෙන්නේ මේ දේවල් නිසා. වෙන කෙනෙක් උනා නම් මෙලහට තමන්ගේ ඕනෑ එපාකම් හැම දෙයක්ම කරගෙන. ඒත් යශ් අයියා මට ආදරේ විතරක් දීලා මාව පරිස්සම් කරද්දි මේ පපුව මට සැනසීමෙන් හුස්ම ගන්න පුළුවන් එකම තැන උනා.
"මගේ කාමරේ දැන් වැඩිපුරම තියෙන්නේ උඹේ චිත්‍ර බං,මේ නිල් ඇස් මායාවක්"
තොල් පෙති වලින් ඈත් උන එයා එහෙම කියලා මගේ පියවිලා තියෙන ඇහි පියන් උඩින් හාදු තිබ්බා.
"අනේ අය්යේ මට ඒවා බලන්න ඕන"
"යාළුවෝ දෙන්නත් එක්ක එන්න දවසක, අපේ අක්කත් කිව්ව මස්සිනා පොඩ්ඩව ආයෙත් එක්ක එන්න කියලා"
"චූටි බබත් ෂෝක් නේද, ඔයාට පාළුවක් නැතුව ඇති එයා ඉන්න නිසා"
"අපෝ ඔව් බාපි බාපී ගගා මගේ පස්සෙන්මයි"
යශ් අයියා ෆෝන් එක අරන් එයාගෙ ලොක් ස්ක්‍රීන් එකයි හෝම් ස්ක්‍රීන් එකයි පෙන්නුවා.ලොක් ස්ක්‍රීන් එකේ තිබුණේ එයා ඇන්ද මගේ චිත්‍රයක් ෆොටෝ අරන්. හෝම් ස්ක්‍රීන් එකේ තිබුණේ එයා චූටි බබාව වඩාගෙන ගත්ත ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේම පැත්තක චූටියට තිබ්බෙ යශ් අයියා සින්දු කෑල්ලක් ටයිප් කරල ෆේස්බුක් එකට දැම්ම ෆොටෝ එක.........
"අපේ චූටි මාමගෙ නැන්දටත් මල්ලි කෙනෙක් හම්බ වෙලා තියෙන්නේ. ගෙදර එක්ක ආවම බලන්න යන්න ඕන"
"කොහේ ගියත් යන්නෙ මාත් එක්ක හරිද, මං දෙන්නව මඟට ගිහින් දාන්නම්"
"හා"
"දාල යන්න ලෝබ උනත් මට දැන් යන්න වෙනවා මැණික. ගෙට ගිහින් දොර වහ ගන්න.මං හෙට උදේට එන්නම් හොඳද, මගේ ඇටි කිච්චා හොර කොල්ලෙක් නොවී බත් ටික ඔක්කොම කන්න ඕන හරිද"
"පරිස්සමින් යන්න අය්යේ. ගිහින් මැසේජ් එකක් දාන්න"
"හරි මැණික"
යශ් අයියා කුස්සියේ දොර ලඟටම වෙනකම් මං එක්ක ආවා. ඊට පස්සේ මාව චප්ප චොරු වෙන්නම පපුවට තද කරන් ඉදලා කම්මුලකුත් චුට්ටක් හපල අත ඇරිය......
සදී අයියා ගැන යශ් අයියත් එක්ක කිව්ව නිසා හිතට සැනසීමක් දැනෙනවා. හිතේ තිබ්බ ලොකු බරක් නිදහස් උනා වගේ.
ගේ ඇතුලට ආව ගමන් මං ජූඩ් අයියට මැසේජ් එකක් දාලා තුහින සර්ට එයාගෙ නම්බර් එක දුන්න කිව්ව, එයත් සර් එක්ක කතා කරන්නම් කිව්ව, රුකී අයියගෙ ෆොටෝ එකත් එයාලට යවයිනෙ. වැඩිහිටියෝ ටික එකතු වෙලා මේ පොඩි හිටියගෙ ආරක්ෂාව ගැන තීරණයක් ගනීනෙ......
මාව ආරක්ෂා කරන්න කොච්චර අය හිටියත් හිතට පොඩි බයක් දැනෙනවා ඉතින්.තඹර අයියා මාව බදාගෙන ඉබින්න හදපු ටිකට මං අච්චර බය උනා නම් රුකී අයියා ගැන මතක් වෙද්දි ඒ බය දෙගුණ තෙගුණ වෙනවා. ඔය කවුරුත් යශ් අයියා වගේ මාව පරිස්සම් කරන එකක් නෑ, ආදරේ කරන එකක් නෑ.අඩු ගානේ මං තාම ඉස්කෝලෙ යන ළමයෙක් කියල වත් හිතන එකක් නෑ. මං ගිය ආත්මේ මොකක් හරි ලොකු පවක් කරන්න ඇති. මගේ ළගින් ඉන්න අයත් මට නැති වෙනවා. හිතට සැනසීමක් ඇත්තෙම නෑ. අනේ දෙවියනේ ආයෙත් පාරක් නම් මගේ ළගින් ඉන්න අයව මගෙන් ඈත් කරන්න එපා......
°
°
°
පහුවදා උදේ ඉස්කෝලෙ යන්න එළියට එද්දී මගේ මනුස්සයා ඉන්නවා හසාගේ ගේ ලඟ. මාව කව්රු හරි උස්සන් යයි කියල බයේ දැන් මේකා පුපට ඉර එළිය වැටෙනකන් නිදා ගන්නෙත් නැද්ද කොහෙද,පව් මගේ කොණ්ඩ කුරුල්ලා. ඒත් ඉතින් දැන් ලබන සතියේ ඉඳන් එයාටත් මේ වෙලාවට නැගිටලා ඉස්කෝලෙ යන්න වෙනවනේ.
"ඔයාලා කැරපොත්තෙක්ට කියල කවාගෙන නෑ...... කවාගෙන නෑ, හව් සෑඩ්. කැරපොත්තෙක්ට කියල කවාගෙන බලන්න ආස හිතෙයි"
ගුරු පාරේ මඟක් දුර යද්දි අපේ පිටි පස්සෙන් ආව චවියා එහෙම කියාගෙන හසාට පහක් දැම්ම. ඊට පස්සේ දෙන්නත් එක්ක හිචි හිචි ගගා හිනාවෙන්න ගත්ත. ඕක ඇහිච්ච අපිට ඉස්සරහින් ගිය ගුරු ජෝඩුවත් මඟ නැවතිලා කැරපොතු කතාව මොකක්ද කියල දැන ගන්න වෙන්න ඇති හොම්බ දික් කරන් ඉන්නෙ. ඔය කතාව එයාලා දන්නෙ නෑනෙ, අපි හතර දෙනා විතරයිනෙ දන්නෙ. මං දාගෙන අරුන් දෙන්නට රවද්දී යශ් අයියට නම් ගානක් නෑ වගේ හිනාවෙලා මට ඇහැක් ගැහුවා.
"මොකක්ද කොල්ලනේ ඔය කැරපොතු කතාව"
අනූප සර් එහෙම ඇහුව ගමන් චවියා මගෙයි යශ් අයියගෙයි මැදින් ගියේ අත් දෙක දෙපැත්තට කරලා අපි දෙන්නව යන්තමින් තල්ලු කරන් වගේ. හරියට අර පළු දෙකේ දොර රෙද්දක කෑලි දෙක අත් දෙකෙන් දෙපැත්තට කරලා ඇවිදිනවා වගේ. තාලෙට පැද්දි පැද්දී ගිය ඒකා කටත් හද හද කතාව පටන් ගත්ත.
"සර්ට කියන්න සර් මේ ලඟදි අපේ නේත්තරයව ලොකු කැරපොත්තෙක් හපල තිබ්බ.බෙල්ල එහෙමත් රතු වෙලා හරී... යට"
"කැරපොත්තො ගෑවුනොත් හොඳ නෑ කොල්ලො හොඳේ"
යශ් අයියයි හසයි හිනාව කාගෙන බලන් ඉද්දී මං දැක්ක තුහින සර්ගෙ මූණෙත් යන්තමින් හිනාවක් ඇදුනා. ඒ කියන්නේ හල්ක් වගේ ඉන්න අනූප සර්ට නොතේරුණාට අර චූචි බිම් මලට වැඩේ තේරිලා වගේ.කොට උනාට ලෝකෙ කාලා වතුර බීපු බිම් මලක්.
"කැරපොත්තා කිව්වම මට මතක් උනේ, අපි කැම්පස් යන කාලේ හෝටලේක කන්න ගියා යාළුවොත් එක්ක......."
ඔන්න ඉතින් අනූප සර් කැරපොත්තො පිළිබඳ කතා දිග අරින්න ගත්තා. මේ මනුස්සයට මාතෘකාවක් හොයල දෙන්න විතරයි ඕන, ආයෙත් ඉතින් බොරු ගොත ගොතා හරි කියවයි.
ඉස්කෝලෙ ළඟට ආව නිසා කැරපොතු කතාව ඉවර උනා.අපි යශ් අයියට ටටා, බායි කියලා ගේට්ටුවෙන් ඇතුලට ආවා. අනේ ඉතින් මගේ කැරපොත්තා ආපිට ටටා කියල යන්න ගියා.
අද දවසම චවියා කරේ අර අහිංසක සතෙක් අල්ලන් මාව මඩවපු එක. සංගීත කාමරේ ඉඳන් එළියට ඇවිත් හසා එනකන් ඉද්දිත් මේකා අනම් මනන් කියෝ කියෝ මගේ බෙල්ල රතු වෙලාද බලන්න හැදුවා. මං ඒකව තල්ලු කරපු පාර ඒකා දහතුන වසර අක්ක කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා. ඒ අක්කා ආවේ හසාට ඉස්සරහින්.
චවියා ගිහින් අර අක්කව බදා ගද්දී හසා පිටි පස්සෙ ඉඳන් බඩ අල්ලන් හිනාවෙන්න ගත්තා. ඌ බිම පෙරළුනේ නැති ටික විතරයි. අර අක්ක චවියව තල්ලු කරලා දාද්දී ඒකා දෙකට තුනට නැමි නැමී අක්කගෙන් සමාව ඉල්ලනවා.ඒ අක්ක දිගට දිගේ තිබ්බ කොණ්ඩ කරලකුත් පිටි පස්සට විසික් කරගෙන ගස්සන් යන්න ගියා.
"මගේ රතු වෙච්ච තැන් හොයන්න ගිහින් තව ඩින්ගෙන් කම්මුල රතු කර ගන්නවා නේද"
"සුනඛ වැඩ කරන්න එපා බං, තොපි දෙන්නම එකයි, තුරු සුනඛයො දෙන්න. සැක් විතරක් අක්ක බබා මං ගැන මොනව හිතුවද දන්නෙ නෑ"
"හෑ මොකා, අක්ක බබා, මේ බලපන්කෝ හසෝ"
"වේලි වේලි ඉන්න එකේ අක්කා කෙනෙක් හරි සෙට් කර ගන්නෙ නැතෑ බං"
"කියන එකා වේලෙන්නේ නැද්ද එතකොට"
"ඒ මොකටද මං වේලෙන්නෙ අර කොමස් එකේ මගේ කෑල්ල ඉද්දී"
"ඈ ඒ කියන්නේ උබ ශනාෂා ට කැමතිද"
"හිතුනොත් අහනවා ඉතින්"
"එතකොට මං විතරද යකෝ තනිකඩ, හිටපන්කෝ මං එළකිරි කෑල්ලක් හොයා ගන්න"
"උබ කෑලි හොයද්දි අපි නම් සම්පූර්ණ ඒවා හොයන් ඉවරයි"
"අනේ මේ නේත්තරයෝ. කැරපොත්තා කට කෑව දවසෙ ඉඳන් උඹේ කට වැඩි"
හරිනෙ ඉතින් ඔය අහ ගත්තේ........
•
•
"මේ බං අර සින්දුවක් තියෙනවා නේද වැඩිමල් ඔබේ හිතට මං ලං වෙලා ද මොකක්ද එකක්"
ඉස්කෝලෙ ඉවර වෙලා ගේට් එක ළඟට එද්දී චවියා අපෙන් එහෙම අහද්දි අපි කල්පනා කරේ ඇයි එහෙම ඇහුවෙ කියල. මූ දවල් බදා ගත්ත අක්ක බබා අපිට ඉස්සර වෙලා යද්දිනෙ ඉතින් අපිටත් ගොනාට වගේ තේරුනේ අපේ ගොන් පැටියා තැඹිලි පැලයක් නෙවෙයි රන් තැඹිලි ගෙඩියක් කන්න වගේ සැරසෙන්නේ කියල.
මේ දවස් වල අව්ව මාර සැරයි, අපි දෙන්න දෙන්නා එක කුඩේ යටින් යන්න ගත්තෙත් ඒකයි. දැන් මල්ලිලා අපිට ඉස්සර වෙලා යන්නෙ නෑ,එයාලා යන්නෙත් අපිත් එක්ක.
යශ් අයියම තමයි එයාලට කිව්වෙත් අපි එක්ක යන්න ඉන්න කියලා.....
"තුහින අය්යේ ඔය කුඩේ දෙන්න මං අල්ලන්නම් ඔයාගෙ අත රිදෙන්න ගනී"
"දැන් ඔය මං කොටයි කියල අපහාස කරන්නද හදන්නේ"
"පිස්සුද දෙයියනේ එහෙම දෙයක් තුන් හිතක වත් නෑ,ඔයා ලස්සන බිම් මලක්නෙ අනේ"
පිවිතුරු අයියා බිම් මල් කතාවක් කියද්දි මන් එළියට පනින්න ගිය හිනාවක් නවත්ත ගන්න හැදුව නිසා කැස්සකුත් හැදුන. ඒ කියන්නේ මට විතරක් නෙවෙයි එයාව බිම් මලක් වගේ පේන්නේ, මං මෙයාලට හිතෙන් දාන නම් ටික බැරි වෙලා හරි දැන ගත්ත දවසට එක එකා ඇවිත් මගේ කොණ්ඩ ගස් ටික උගුල්ලල දායි. එදාට මට කොණ්ඩ කුරුල්ලාගෙන් තමයි පෙද ටිකක් ඉල්ලන් අලව ගන්න වෙන්නේ.
"ඇයි මැණික ඔළුව රිදෙනවද"
යශ් අයියා අහද්දි තමයි මටත් මතක් උනේ මං ඔළුව අල්ලන් ඉන්නෙ කියලා.
අදත් මමයි මල්ලියි එද්දී අර ගෑණු කෙනා ගේට්ටුව ළඟ, අනේ මන්දා මොනව හරි ඉල්ල ගන්න ආව කෙනෙක් නම් ලොකු නැන්දගෙන් බැනුම් අහල ආයෙත් එන්නේ නෑනෙ.මට නිකමට කතා කරලා බලන්න හිතුනා.
"කාව හම්බ වෙන්නද නැන්දේ"
"ලීලා නෝනව හම්බ වෙන්න චූටි මහත්තයෝ කමක් නෑ මං වෙන වෙලාවක එන්නම්"
ඒ නැන්දා එහෙම කියාගෙන යන්න යද්දි අපි දෙන්නා ටිකක් එයා දිහා බලන් ඉදලා එන්න ආවත්. එයා ඇවිද්දෙත් හරි අමාරුවෙන්. ඔලුවෙ තැනින් තැන තට්ටේ පෑදිලා, මූණේ පැත්තක්ම බෙල්ලත් එක්ක පිච්චිලා.
"ඊයේත් හිටිය නේද අය්යේ, කව්ද දන්නෙ නෑ නේද"
"ම්ම්ම්, මං දැක්ක ලීලා නැන්දා එයාට බනිනවා"
"පව් නේද අය්යේ, මට අම්මව මතක් උනා. ආයෙත් ආවොත් අපි කීයක් හරි දෙමුද"
"මටත් ඒක නම් හිතුනා, අම්මට හරි පිං සිද්ධ වෙයිනේ"
අද නිවාඩුවක් දාන්න හිතුවට එහෙම කරන්න ඕන උනේ නෑ, මොකද ඊයේ නිවාඩු ඉල්ලන්න ගිය වෙලේ පොඩි මහත්තයා කිව්වනේ අපිට දඬු කපන්න කැලේට යන්න එපා එයා කාට හරි කියල කපලා ගේ ළඟට ගෙනත් දෙන්නම් කියලා, මල්ලිලාට වත් තනියම යන්න දෙන්න එපා කියලයි එයා කිව්වෙ. හොරෙන් ගස් කපන මිනිස්සු,කසිප්පු පෙරන මිනිස්සු ඔය කැලෑ වල ඉන්නවලු, ඒ කතාව නම් යශ් අයියත් මට කිව්වනේ.පොඩි මහත්තයත් ඒ අවවාදේම දීලා තමයි ගෙදර යද්දි සේන මහත්තයා ලඟ පෝර උරයක් ඇති ඒක අරන් යන්න කියල කිව්වෙත්.
මං වැඩට යන්න ගේට්ටුවෙන් එළියට එද්දිත් යශ් අයියා බයික් එක නවත්තන් බලා ඉන්නවා.
"මං නිසා ඔයාටත් හරි කරදරේ අය්යේ. හැමදාම ඕක කරන්න පුළුවන්ද ඔයාට"
"මං ගැන දුකයි නම් වැඩට නොයා ගෙදර ඉන්න එකනෙ තියෙන්නේ. උබව මට කරදරයක් නෙවෙයි නේත්‍ර,මං උබව ආරක්ෂා කරන්නේ මගේ කැමැත්තෙන්"
"ඒ උනත් අය්යේ"
"අනේ මේ ඇටි කිච්චෝ පණ්ඩිතකම් කියවන්න ඇවිත් මට කියල මෙතන කට කවා ගන්නෙ නැතුව හිටු, අන්න යාළුවත් එනවා. පරිස්සමින් වැඩ කරනවා ගිහින්. මං මෙහෙම්ම පන්සලට යනවා,ලොකු හාමුදුරුවෝ එන්න කිව්වා, බලලා එන්නම්"
"හරි අයියෙ පරිස්සමින්"
"වැඩ ඉවර වෙලා පාරට එන්න කලින් මට කියන්න, දැන් යන්න මැණික, මං මෙතන ඉන්නම් යනකම්"
අපි පාරෙන් නියරට ආවත් යශ් අයියා දිගටම බලන් හිටිය. නියර දිගේ ඇවිත් පොල් වත්තට අඩිය තිබ්බම තමයි එයාගෙ බයික් එක ස්ටාට් කරන් යන සද්දෙ ඇහුනෙ.
______________________________________
දඬු මොණරු යළිත් ඉගිල්ලෙන තුරු 🏍️
කතාව කියවන වෝට්, කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතියි ආදරෙයි
❤️💐
✍️ යුචි