(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාව...

By -Honey_Quinn-

53K 7.6K 3.2K

අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බ... More

අලුපාට ගැන !
පිදුමක් !?
01 ¡ !
02 ¡ !
03 ¡ !
04 ¡ !
05 ¡ !
06 ¡!
07 ¡ !
08 ¡ !
09 ¡ !
ස්ථාවර ¡ ! !
10 ¡ !
11 ¡ !
පසුවදනක් !!
අලුපාටට තෑගි !?
හමුවක් !!

(අ)ස්ථාවරයක ස්ථාවරය ¡ !

3.3K 463 595
By -Honey_Quinn-


' ලොකු අප්පච්චි.... තව කාපන් මගෙ මැනිකෙ...උඹ මේ මාසෙට ඇදිලා ගිහින්ද මන්දා..'

' බෙදාගෙන කන්නකො මයෙ පුතේ...කෝ ඉන්ට තව කිරිබත් කෑල්ලක් දාන්ට '



' බුදුඅම්මේ ඇති ඇති නැන්දෙ...දැන් කීයක් දැම්මද...කාලා කාලා බඩ උස්සගන්න බෑ '

' රෑට පොලොස් ඇඹුලක් ඕන ඈ... ආ අර මඤ්ඤොක්කා කොල කොටලා මැල්ලුමත් ඕනෙ ... '

රැහැනා කාපු පිඟානත් උස්සගෙන සින්ක් එක දිහාවට යන ගමන් රෑ ලිස්ට් එක අම්මට දෙනවා..සුදු අම්මත් මහ මැනිකෙ වගේ හිනාවෙවී ඌ දිහා බලාගෙන ඔලුව වනනවා...

මාස්පතා ලැබුනු නිර්නාමිකව ලැබුනු ස්කොලර්ශිප් එකටයි , රියැලිටියෙන් ලැබුනු සල්ලි වලටයි පින් සිද්ද වෙන්න කිසිම වෙලාවක සල්ලි වලින් කරදරයක් නොවුනු නිසාම මගෙ අහිංසක අම්මා , මල්ලි දැන් සුර සැප විඳිනකොට හිත අස්සෙන් යන්තමට එන අහිංසක සතුට විඳින්න ලෑස්ති උනත් කොහේදෝ ඉඳලා අලුපාටට හිරි වැටිලා යන එයාගෙ මතක එක්ක මම ආයෙමත් අන අන හිටපු කිරිබත් කට අස්සෙන් කල්පනාවට වැටුනා...

' ඕක ඉක්මනට කාපන් ..දැනටමත් අටට කාලයි..නමය හමාර වෙද්දි එතන ඉන්නත් ඕන.. '

' අල්ල අල්ල ඉන්නෙ ඇයි දෙයියං ...? පිරියක් නෑ වගේද ? උඹ මේ දවස් දෙකේම පිරියකින් කෑවෙ නැති නිසා මම මේ කිරිබත් ටිකක් හැදුවෙත්...ඇයි මගෙ අප්පච්චි !! උඹට අසනීපයක් වත්ද ? අම්මා කවන්නද ? '


" නෑ අම්මා මං කෑවානෙ..මේ ඇති.."
අන අන හිටපු බත් කට දිහා බලන් ඉඳලා අම්මා මගෙ ඔලුව අතගාන ගමන් අහද්දි මට හිතේ පිරියකින් කන්න බැරි කම නිසාම අම්මට බොරුවක් කියන ගමන් මං පුටුවෙන් නැගිට්ටා...

" ගිහින් එන්නම් සුදු අම්මා .. "


' නැන්දම්මේ... ගිහින් එන්නම් ඈ... එනකල් පරිස්සමෙන් ඉන්ටෝනි ඈ.. '


' හා මගෙ රත්තරං කොල්ලො දෙන්නට බුදු සරණයි !!'
' අනේ ලොකු අප්පච්චි ... අද පොඩි අම්මා නිවාඩුවට එනවා කිව්වනේද..පොඩ්ඩක් කෝල් කරලා බලලා උඹලා එක්කම එක්කන් වරෙල්ලා ... හෙන ලොකු බෑග් එකක් උස්සන් එනවා ඇත්තෙ... '


" හා හා අම්මෙ "


' ඕකෙ ලොකු මැඩම් !! එහෙනක් අපි ගියා ඈ '

රැහැනා ශටර් එකෙන් හොම්බ දාගෙන කෑ ගහගෙන අම්මට සැලුට් දාන අතරෙ මං, කාර් එක ගේට් එකෙන් එලියට දාද්දි මං දැක්කා ...
සුදු අම්මත් කාර් එක පස්සෙන් ඇවිදගෙන ගේට් එක පැත්තට ඇවිදගෙන ආවා...

ගෙදරටම ඇවිත් තිබුනු ඉන්විටේශන් කාර්ඩ් එකත් එක්ක ඇවිත් තිබුනු පාර්සල් එකේ තිබුනු කලු පාට කුර්තාවක් වගේ දණහිස ළඟට දිග කලු පාර ශර්ට් එකේ සයිඩ් එකකින් ඇතුකට හඟවපු සාක්කුවකුත් තිබුනා....

අඳින්න ඕන කරන ඇඳුමත් එවපු එක ගැන රැහැනායි මායි මූනෙන් මූන දිහා බලන ගමන්,
උගෙ අතේ තියෙන එන ගමන් අලුතින් ගත්ත කුර්තා එකයි , මගෙ අතේ තියෙන යුනිවර්සිටි එකෙන් එවපු කුර්තා එකයි දිහා බලාගෙන අපබ්‍රංසයක් වෙලා ටිකක් වෙලා එහෙමම හිටියා...

ඒත් ඊටත් වඩා පුදුම වෙන්න දෙයක් ඉන්විටේශන් කාර්ඩ් එකේ තියෙද්දි වෙන්නෙ මොකද්ද කියලවත් හිතාගන්න බැරි උන මම ඒ කාර්ඩ් එක දිහා බලාගෙනත් මහ විකාරයක් වගේ කල්පනා කරන්න අරගත්තා...

මම තවත් කල්පනා කරනවා...මෙච්චර ලොකු යුනිවර්සිටි එකක චීෆ් ගෙස්ට් විදියට ඉන්වයිට් එකක් ලැබුනෙ මොකටද !? එහෙම ශීට් එකකට සුදුසු ද කියලාවත් කිසිම අදහසක් නැති මම කාර් එක ඩ්‍රයිව් කරන අතරෙත් කල්පනා කරනවා...
.
.
.

කාර් එක පේරාවෙ ආර්ට් එක ඉස්සරහින් නතර කරලා මං බහිද්දි රැහැනා කාර් එක අරගෙන ආපිට එතනින් යන්න ගියා...

නාඳුනන ලමයි පිරිසක් වටේට ඇවිදන් යද්දි , මාව පිළිගන්න ඈතින් තියෙටර් ඩෝර් එක ළඟ මල් පොකුරු අරන් හිටගෙන ඉන්නවා පෙනෙද්දි !!,
මම ඔලුව පහලට නවාගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා...
ෆෝන් එක විතරක් අතේ තිබුන මට තිගැස්මටම මගෙ අතින් ෆෝන් එක මිරිකෙන අතරෙ හිතේ නුහුරු ගතිය හිතාමතාම මකාගන්න උවමනාවට , මං තියටර් එකේ දොර ළඟටම ඇවිදින ගමන් හිමින් ඔලුව ඉස්සුවා .

හෝල් එකේ දොර ළඟම සයිඩ් එකකින් ලොකුවට ගහපු මටත් වඩා උස බැනර් එකක් !! සුදුපාටට හුරු ඒ අමුතු අකුරු අස්සෙන් පේන මගෙම ප්‍රින්ට් කරලා තිබුනු අලුම අලුපාට ෆොටෝ එක දැකපු මගෙ කකුල් එකපාරම එක තැන ලොකු වෙලා යද්දිත් මගෙ ඉස්සරහින් එල්ලලා තියෙන ඒ බැනර් එක දිහා මං බලාගෙන හිටියා..

ගාලු මුවදොරේ ග්‍රවුන්ඩ් එකට වෙලා ඉඳගෙන උඩ බලාගෙන හුස්ම බර කරපු වෙලාවක ,
මටත් හොරෙන් අරගත්ත මගෙම ෆොටෝවක් මේ විදියට බැනර් එකක් අස්සෙන් පෙනෙද්දි ,
අහම්බෙන් උනත් තාත්විකව වැදිලා තිබුන ෆොටෝ එක ගැන කල්පනාව පිටම ඊට උඩින් සුදු පාටින් ගලපලා තිබුනු ඒ වචන ටික මම හිතින් කියවන්න අරගත්තා ....

නතරකරගන්න බැරි තරම් වේගයකින් පපුව ගැහෙද්දිත් මං බලන් හිටියා ... නහය අගිසෙන් මහම මහ විකාර විදියෙ දැවිල්ලක් දැනෙන්න අරගනිද්දිත් මං මේ පේන විකාර බැනර් එකෙන් පේන මගෙම ෆොටෝ එකත් , එයා මට දුන්න ඒ විකාර නමත් ,
ඊට යටින් පේන්න තියෙන නාදුනන තනතුරක් තියෙන අඳුනන නමත් දිහා මල විකාරයක් වෙන ගමන් බලන් හිටියා....

පොතක් !!! .
උත්තර නමින් ම වෙන් වෙච්ච විකාර විදියෙ අලුම අලු පාට පොතක් !!! .
අවසානෙ ඒ බැනර් එකෙන් සම්පූර්ණයෙන්ම දිස් වෙද්දි මගෙ ඉස්සරහට ඇවිදින් මාව පිලිඅරගන්න හදන කෙල්ලො දෙතුන් දෙනාට බොරුවට හිනාවෙන්න උවමනාවට හිනාවෙන පේශී බලෙන්ම දෙපැත්තට අදින ගමන් මම වටපිට බැලුවා...

වටවෙලා ඉන්න ලමයි , වගේම නාදුනන ලෙක්චරර්ස්ලා පවා මං දිහා බලන් ඉන්න.. බලන් ඉන්න ,
මහ විකාර කහපාටක් එකපාරටම ඔලුවට ගහපු මං ලැජ්ජාව කියන හැඟීමකටද මන්දා ආපිට ඔලුව බිමට නවාගත්තා....

උත්තර නමට ගහපු පොත් එකපිට එක මේසයක් මත ගොඩගහලා තියෙන තැන වටවෙලා ඉන්න ඈයො පොතේ පිටකවරෙ ඉන්න මගෙම පින්තූරෙ දිහාවයි , මාවයි බලන ගමන් මොනවදෝ කුටු කුටු ගාන සද්දෙ මගෙ කනට දැනෙද්දි , මම කරගන්න දෙයක් හිතාගන්න බැරි කමට මගෙ කලු පාට කලිසම දිහා බලාගෙන ආයෙම මහ විකාර දේවල් හිත හිත එක පිට එක මතක් කරන්න අරගත්තා...

' අකිල සර් මෙච්චර කාලයක් පේන්න නොහිටියෙ මේ නිසාද !? '



' ඒ මං හිතුවෙම සර් ඇත්තටම රට ගිහින් කියලා .. '




' නෑ සමහර විට රට ඉන්න ඇති...මේ පොත එහෙදි ලිව්වා වෙන්න පුලුවන් නෙ '



' මෝඩියේ උඹ පොත කියෙව්වෙ නැද්ද..යකෝ සර් අවුරුද්දක් විතර හිඟන්නෙක් විදියට වෙස් වලාගෙන ඉඳලා.. '


' ඒත් සර් ඇයි එහෙම කරන්නෙ ? '

' ඒක සර්ගෙ රිසර්ච් එකටලු...ඒත් සර්ටම වැඩේ වැරදිලා !! ' .
මං ඉඳගෙන උන්නු පළවෙනිම පේලියට පුටු පේලි දෙකක් ඈතින් ඉඳගෙන උන්නු ලමයි කීපදෙනෙක් කුටුකුටුගාන අතරෙ මට ඇහුනා..
එහෙම කියන ගමන් එක කෙල්ලෙක් ලාවට ලැජ්ජ හිනාවක් එක්ක මිමිණුවා..

' වැරදිලා!! '


' හ්ම්ම්...අන්තිමට සර් කරන්න ගිය රිසර්ච් එක නෙමෙයි කරලා තියෙන්නෙ...වෙනමම එකක් !! '
' පොතේ නමයි පිදුමයි බලහන්කො '
දොරෙන් ඇතුල් වෙනකොටම මල් පොකුරක් එක්කම ලැබුනු එයාගෙ පොතේ මුල්ම පිටපත ,
පුටුවෙ ඉඳගත්තට පස්සෙ වත් පෙරලලා නොබලපු මම ඒ ඇහුන දේත් එක්කම නිකමට වගේ උඩින් පල්ලෙන් පිදුමට පෙරලුවා..


පිදුම

උත්තර නොමැති
ප්‍රශ්න කන්දක සිරව ❟
මනුෂ්‍යත්වය
සොයා යන ගමනේදී
හැරවුම් ලක්ෂයක්ව
හද කිනිතුවටම
උත්තරයක් වූ
ආත්මීය උත්තර ට ❟ !!


මං දන්නෙ නෑ....මට දැනෙන මේ විකාරම විකාර හැඟීම විස්තර කරගන්නවත් අඩුම මට තේරුමක් නැහැ..සිද්ද වෙන්නෙ මොකක්ද කියලාවත් තවම ඔලුවට ප්‍රොසෙස් කරගන්න බැරුව ස්ටේජ් එකේ ප්‍රොජෙක්ටර් එකෙන් තිරයක් උඩ දිස්වෙන පොතේ පිටකවරෙ ඉන්න මගෙම ෆොටෝ එක දිහා මම ඉවරයක් නැතුව තවමත් බලන් ඉන්නවා....

උත්තර !!! ???
මගෙ නමට පොතක් !!??

ප්‍රොෆෙසර් !!??
නාදුනන තනතුරක් දරන අඳුනන මනුස්සයෙක් !!?

මේක විකාරයක් නෙවෙයිද? තනිකරම විකාරයක් !! සමහර විට මම තවමත් විකාර හීනයක් ඇතුලෙ විකාර විදියට රස්තියාදු ගහනවා වෙන්න පුලුවන්...
මං ඒක හරියටම තහවුරු කරගන්න උවමනාවට මගෙ කම්මුලට මමම ගහගත්තා...
නැහැ...මේක රියැලිටියක් !!!
මාව කරකවලා අතෑරියා වගේ හැඟීමක් දැනුනත් මේක අමුම අමු රියැලිටියක් !!!

.
.
මුලු තියෙටර් එක තනිකරම ලමයින්ගෙන් පිරෙන්න ගිය කෙටි කාලය ඇතුලත මං ඉන්න පෝලිමේ , මට එහායින් හිස්ව තිබුනු පුටුවල ලෙක්චරර්ස්ලා කියලා හිතන්න පුලුවන් තරමට හැඳ පැලඳගත්තු අයගෙන් පිරෙද්දි මගෙ පුටුවට එහා පුටුවෙන් ඇවිත් ඉඳගත්තු වයස අවුරුදු හැට ගානක පුද්ගලයාව දැකපු හැටියෙ මට මගෙ පුටුවෙන් ඉබේටම නැගිටුනා...

" සර් !! "
ඉබේටම මගෙ දණහිස් දෙක ඉද්දමල්ගොඩ සර් ඉස්සරහ නැවිලා යද්දි සර්ටත් ඉබේටම පුටුවෙන් නැගිටුනා...මගෙ දකුණු අත සර්ගෙ කකුල් දෙකේ තියලා ආයෙම මගෙ පපුවෙන් තියාගෙන මම සර් දිහා බලද්දි ,
ලාවට ඒ මූනෙ හිනාවක් රඳවපු ඉද්දමල්ගොඩ සර් ආයෙම පුටුවෙන් වාඩි උනා...

සර් වයසට ගියත් සර් තවමත් හැන්ඩි ලුක් එකෙන් ඉන්නවා..කොන්ඩෙ තැනින් තැන සුදු කෙස් ගස් තිබුනත් සර්ගෙ හිත වගේම කටහඬ වයසට ගියෙම නැති තරම්...සර්ට මාව මතක නැහැ..සර්ගෙන් ඉගෙන ගන්න දහස් ගනන් ලමයි අතරෙ මාව මතක තියෙන්න කොහොමත් විදියක් නැහැ.....ඒත් සර් ඉස්සරහ දණ ගහලා මම වඳින ටිකට සර් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිට්ටෙ සර්ගෙ තිබුනු අමුතුම විදියෙ ගුරු ගතිගුණේකට !!!.

සර් උසයි !! මටත් වඩා උසයි !!...මං හිතන්නෙ සර්ගෙ ආරෙට වෙන්න ඕන එයත් සෑහෙන්න උසයි !!!!
එයත් !?
සමාවෙන්න...මම එයා කිව්වට මට දැන් ඇත්තටම මේ වෙලාවෙ මගෙ ඇස් දෙකෙන් ඒ මනුස්සයව මවාගන්න අමාරුයි...මට හිතාගන්න බැරි තරම් මගෙ හිත දැන් විකරයි !! ..

ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක මාස ගානක් ගාලු මුවදොරේ විකාර විදියට කල් මැරුවා කියලා හිතන එකම දැන් මහ විකාරයි !!
අල්ලන්නවත් බැරි මැයි මාර ගහක මුදුන් අත්තකට හීන මැව්වා කියන එක හිතද්දිත් මගෙ පපුව විකාරයි ...

"නැහැ විසල්...උඹ වැරදි නැහැ...උඹ ආදරේ කලේ ඒ මිනිහට !!
දාඩිය නාගෙන පාරක් ගානෙ යකඩ කොටුවක් තල්ලු කරගෙන ඇවිද්ද ඒ දරදඩු මනුස්සයට !!
උඹ පලුයන්න ආදරෙන් පිපිරුණේ ඒ අලුපාට මිනිහට මිසක ප්‍රොෆෙසර් කෙනෙක්ට නෙමෙයි විසල් !!"

මමම මගෙ හිත සනසගන්න උත්සහ කරනවා..ඒ අස්සෙ එයාගෙ දරදඩු හාදුව මැවි මැවී මනසෙ ඇඳෙද්දි කන්දෙකේ ඉඳලම ලේ පාටට හැරීගෙන එන මම හිත යටින් දහස් වාරයක් මාවම සාධාරණීකරණය කලා...

" උඹ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ විසල්..උඹ හාදුව වින්දෙ අලුපාට මිනිහෙක්ගෙන් මිසක් මැයි මාර පාට මනුස්සයෙක්ගෙන් නෙමෙයි..."

එයාටවත් පාලනය ගිලිහුන එයාගෙ හාදුව මගෙ මනසෙ ආයෙ ආයෙ ඇඳෙද්දි ඉදිරියට ඒ මූන දිහා බලාගන්න බැරි තරම් කහපාට හැඟීමක් දැනෙන වාරයක් ගානට මම ඉඳගෙන ඉන්න පුටු ඇන්ද පුලුවන් තරම් තදට මගෙ අතින් මිරිකගත්තා.

"ඒත් උඹ අමාරුවෙන් උනත් පිලිගන්න ලෑස්ති වෙයන් ... ඒ දෙන්නම එක්කෙනෙක් විසල් !! උඹ නොදැනුවත්ව හරි ඉගෙන ගෙන තියෙන්නෙත් ඒ මැයි මාර පාට මිනිහාගෙන් .."

මට නිකමට හොයන්න තිබුනා....
ඉද්දමල්ගොඩ සර්ගෙ පුතා කියද්දි මට තව හොයන්න තිබුනා....
අවුරුදු තිස් පහයි කියද්දි මට තව හොයන්න තිබුනා...
දරුවා අවුරුදු දෙකක් වයස වෙනකොට අවුරුදු තිස් පහක මිනිහෙක් භාගෙට ඩිග්‍රි එකක් කරන්නෙ කොහොමද කියන එක ගැන මට හිතන්න තිබුනා...

ගිතාරා මිස් ඉද්දමල්ගොඩ අයියා කියද්දි මට හිතන්න තිබුනා..
කර්ණාටික් කලා කියද්දි මට තව හිතන්න තිබුනා..
නෑ මම හිතුවා...
ඒත් ඒ හැමදේටම වඩා ඒ ඇස් දෙක අතරෙ මම මහ විකාර විදියට ගිලිලා හිටියා...
අවසානෙ මගෙ හිතත් එක්ක තර්ක කරන එක නතර කරලා මමත් හිත හොයන උණුහුමක් හොය හොයා එයා ඉදිරියේ විකාර විදියට විකෘතියක් උනා...

හැමදේම එක පිට එක පිට ඔලුවට එද්දි ලොකුම ප්‍රශ්නයක් උන පැංචි ගැන කල්පනා කරන්න අරගත්තා විතරයි !!
මුලු හෝල් එකේම ලයිට්ස් නිවිලා ගිහින් ස්ටේජ් එකේ විතරක්ම ලයිට්ස් ඉතුරු වෙනකොට ස්ටේජ් එකට ආපු ලමයි දෙන්නෙක් අනවුස්මන්ට් එක පටන් අරගත්තා...

එයාලා කියන කිසිම වචනෙකට අවදානයක් දීගන්න බැරි උනු මම තවමත් බලාගෙන ඉන්නෙ ප්‍රොජෙක්ටර් තිරේ එහෙට මෙහෙට යන ස්ලයිඩ්ස් දිහා විතරයි !!

පොතේ අන්තර්ගතය පුලුවන් තරම් කෙටියෙන් විස්තර කරන ඒ ගෑනු ලමයා හිනාවෙන ගමන් මැදදි මගෙ දිහාවට අත දික් කරන ගමන් ගෞරවයක් එක්ක මාව පිලිගනිද්දි ඉබේටම පුටුවෙන් ටිකක් ඉස්සිලා ආපිට ඉදගත්තු මම ලා හිනාවක් දුන්නා ඇරෙන්න මම කිසිම දෙයක් කලේ නැහැ...

මට ඇහුනා...
විසල් අනුත්තර කියලා මහ සද්දෙන් ස්ටේජ් මයික් එකෙන් මගෙ හඬ ඇහෙද්දි ඒ ගෑනු ලමයාගෙ ඇස් එක්කම මුලු හෝල් එකේම ඇස් මං වෙතට මේ වෙලාවෙ යොමුවෙලා කියලා දැනෙද්දිත් ගැහෙන පපුව දරාගන්න බැරි කමට මම ලා හිනාවක් එක්ක ස්ටේජ් එක දිහා විතරක්ම බලන් හිටියා...

අඩ අඳුරෙන් විතරක්ම වැහිලා තියෙන හෝල් එක ඇතුලෙ එලිය වැටිලා තියෙන ස්ටේජ් එකේ ලයිට්ස් එලි දැල්වුනත් , නාදුනන පිරිසක් මැද්දෙ ප්‍රධාන පුටුවක ඉඳගෙන ඉන්න මගෙ හිතට දැනෙන මහ අමුතු මූසල පාලු හැඟීම නිසා මම තප්පර ගානකට ඇස් පියාගෙන මගෙම අභ්‍යන්තරය එක්ක මම මොහිතකට තනිවෙන්න අරගත්තා ...

ඒ අතරින් නිහඬ ශාලාව මැද්දෙන් සද්දෙට ඇහෙන මයික් වොයිස් එකෙන් Prof.Akila Iddamalgoda නම ආයෙම වතාවක් මගෙ කන් අතරෙන් රිංගගද්දි නිහඬව තිබුනු ශාලාව එකපාර අත්පොලසන් , උද්යෝගී කෑ ගැහිම් හඬවල් වලින් පිරෙන්න පිරෙන්න තවත් ඇස් පියන් වහගෙන ඉන්න බැරි තත්වෙක ඉඳපු මම ආයෙමත් ඇස් ඇරියා...
.
.
හෝල් එකේ සයිඩ් එකේ දොරකින් එකපාර ඇතුල් උනු අඳුනන, නාදුනන මනුස්සයෙක් !!
ඇඳගෙන උන්නු දණහිස ළඟට දිග තනි සුදු පාට කුර්තාවෙ සයිඩ් එකේ සාක්කුවකට අතක් දාගෙන ,
අනිත් හිස් අතෙන් පොතක් අල්ලගෙන ,
සයිඩ් එකේ පඩි නැගලා ස්ටේජ් එකට ගොඩවෙද්දි ,
මම අඳුනන....ඒත් නාදුනන එයා දිහා බලාගෙනම මහ විකාර විදියට හිරිවැටෙන්න අරගත්තු මගෙම පපුව එකපාර තදකරලා මිරිකගන්න ගමන් අනික් අතින් ඉඳගෙන උන්නු පුටු ඇන්ද තද කරලා මිරිකගත්තා...
ස්ටේජ් එකේ මයික් එකට ළං වෙන අතරෙ එයාම දාගත්තු එයාගෙ කණ්ණාඩි කුට්ටමත් එක්ක වෙනස් උන එයාගෙ තියුණු පෙනුම දිහා මම අදහගන්න බැරි විකාර හැඟීමක් එක්ක බලන් හිටියා..

මැදින් බෙදුනු කලු කොන්ඩෙ පිටිපස්සට පීරලා තිබුනා.ඇඳගෙන උන්නු සුදු පාට කුර්තාවෙ අත් දෙක වැලමිටෙන් ටිකක් පහලට තිබුනා..කුර්තාවටම ඇඳගෙන ඉන්න සුදු පාට කලිසම එක්ක දාගෙන උන්නු සෙරෙප්පු දෙකත් එක්ක එයාගෙන් ඕනවටත් වඩා පෙනෙන මේ අමුතු දැඩි පෙනුම දිහා බලන අතරෙ ඉවසන්නම බැරි උවමනාවට මම ඇස් උස්සලා ඒ මූන දිහා ආයෙම වතාවක් බලන් හිටියා ...

ප්‍රොෆෙසර් !!!???
ඒ දැඩි ගති එක්ක මට නිකමට ඒ ගැන හිතන්න තිබුනා...
මට අදහගන්න තවම අමාරුයි !!
මගෙ ඉස්සරහපිට පෙනෙන මේ මනුස්ස රූපෙ පිලිමයක්ද , සිතුවමක්ද, රියැලිටියක්ද කියන එක කල්පනා කරන අතරෙත් මම බලන් හිටියා....

"" ආයු බොහෝ වේවා !! ""
ස්ටේජ් මයික් එකට පහත් වෙලා ඕඩියන්ස් එක දිහා බලාගෙන ඒ අත් දෙක එකතු කරන ගමන් ...
දැඩි නමුත් ලා හිනාවක් එක්ක කියන අතරෙ ,
මාසෙකට පස්සෙ ඇහෙන ඒ කටහඬට පවා හිරිවැටෙන්න අරගත්තු මගෙ දෙකම්මුල් වල හිරිගඩු පිපුනා.. මට දැනුනා....

"" මුලින්ම කියන්න උවමනයි !! ""

"" මේක පොතක් විතරක්ම නෙමෙයි ...
මෙච්චර කාලෙකට මගෙ ජීවිතේ මට දැනුනු ලස්සනම හැඟීම් අකුරු අතරෙන් පිට කරපු නිසා මං කියන්නෙම මේ පොතට පන තියෙනවා...""

"" මේක ඇතුලෙ දරාගන්න බැරි තරම් හැඟීම් ජීවත් වෙනවා...""

""මේ අකුරු හුස්ම අරගන්නවා !! ""
එයා අතේ තියෙන පොතක පිටපතක් ඕඩියන්ස් එකට පෙන්නන ගමන් උස්ස උස්ස කියද්දි,
හෝල් එකේ ලමයි ආයෙමත් සද්දෙට කෑ ගහන අතරෙ මම දැක්කා...!!
එයා පොතේ මුල් පිටුව දිහා බලන ගමන් ලාවට තනියමම හිනාඋනා...


"" ප්‍රශ්නාර්ථවාදී හිතක සැරූ අහම්බියානු පිළිතුර ...!! ""
පොතේ පිට කවරෙ දිහා බලන ගමන් ලා හිනාවක් මැදි කරගෙන කියන අතර තුරේ මයික් එක අතට අරගත්තු එයා ස්ටේජ් එක මැද්දට ඇවිදගෙන ඇවිදින් ,




"" උත්තර !!!! ""

පොතේ නම ලොකු හුස්මක් එක්ක කියන ගමන්,
අද දවසෙ ,
අවුරුදු දෙකකට පස්සෙ ,
මහ අමුතු හැඟීමක් එක්කම මං දිහා මහ විකාර විදියට බලන ගමන් මං දිහාවට එයාගෙ අත දික් කරගෙන පොතේ නම සද්දෙන්ම කියෙව්වා...

ඒ කටහඬ පවා දැඩියි ... මෙහෙම මනුස්සයෙක්ගෙ කටහඬක් එහෙම වෙන එකත් අරුමයක් නෙමෙයි ...ඒත් මේ හැමදේම මහ විකාර විදියට මට අමුතුයි !!
ඒ මූන දිහා කෙලින් තප්පරයක් බලන් ඉන්න බැරි තරම් අමුතුයි...
ඒ මහ අමුතු හැඟීම් ගොඩක් පිරුණු ඇස් දිහා බලාගෙන ඉන්න මම කරන්න ඕන මොකක්ද කියලවත් අදහසක් නැතුවම , මූනෙ ආපිට හිනාවක්වත් නැතුවම එයා දිහා මහ විකාර විදියට බලන් ඉඳලා ආපිට ඔලුව නමාගත්තා....

ප්‍රොෆෙසර් කෙනෙක් !!! .
කෙලින් බලන්න බැරි තරම් දැඩි පෙනුම නිසා මම මේ වෙලාවෙ නොසෑහෙන්න අස්ථාවර වෙලා ...අමුතුයි !!!
එයා දිහා බලන් ඉන්න බැරි තරම් එයා අමුතුයි !!!
මාව හිරිවැටිලා රත් වෙලා අවසානෙදි දියරයක් ගානට දියවෙන්න තරම් ඒ පෙනුම අමුතුයි !!!

"" ප්‍රශ්න එකපිට එකපිට ගොඩගහගෙන ඒවා එකිනෙකට පිළිතුරු හොය හොයා කල් මරන එක හිඟන මනුස්සයෙක් හිටියා...
ඒ මනුස්සයට හිටියෙ අවුරුදු දෙකක පෙනුමක් තියෙන පුංචි ගෑනු දරුවෙක් ...
මනුස්සයා කලේම යකඩ කරත්තෙක අතුරපු පැනි බීම විකුණ විකුණ දරුවගෙ බඩ වියත පුරවන්න දවස ගානෙ කකුල් කැඩෙනකල් කොළඹ වීදි ගානෙම ඇවිදපු එක..,

පිටි ගෝනි කරෙන් ඇදපු එක ,

ගාලු මුවදොරට වෙලා මිනිස්සු ගැවසෙන තැනක සින්දුවක් දෙකක් කියපු එක ... ""
ස්ටේජ් එකේ එහාට මෙහාට ඇවිදින ගමන් ප්‍රොජෙක්ටර් එකෙන් පෙන්නන එයාගෙ අලුපාට දවස් වල ගහපු පින්තූර දිහා බලන ගමන් එයා කතාවක් වගේ කියාගෙන යනවා...

තිරයෙ මාරුවෙන මගෙ අලුපාට පිරුණු මනුස්සයා !! ගුරු පාට ලොකු ශර්ට් එකක් ඇඳගෙන , කලුපාට දිග කලිසමක් ඇඳගෙන ගාලු මුවදොර දිහාවට යකඩ කොටුව තල්ලු කරගෙන යනකොට දවසින් දවස අරගත්තු අහඹු ෆොටෝස් පේලියකම තාත්වික රංගනයක යෙදෙන අපූරුව... දිහා මම කල්පනාව පිටම බලන් උන්නා...

"" මේ මනුස්සයා මේ විදියට මාස ගානක්ම මේ වැඩේ සාමාන්‍ය විදියට පාඩුවේ කරගෙන ගියා...
එයාට උවමනා කලේ ඒ විදියේ මිනිහෙක්ට ඒ සමාජෙන් ලැබෙන පිලිගැනීම කොහොම එකක්ද !?

ඒ විදියෙ කෙනෙක් ගැන මිනිස්සු දරන ආකල්ප මොන විදියෙද !? ,
එහෙම මිනිහෙක් දැකපු ගමන් තවත් මනුස්සයෙක් දෙන ප්‍රතිචාර කොයි වගේද !?

එදා වෙලා පිරිමහගෙන දරුවෙකුගෙ බඩ වියත් රකින ඒ වගේ තාත්තෙක්ගෙ දුක්ඛිත ජීවිතේ කොහොම එකක්ද !?

කෙටියෙන්ම කිව්වොත් ,
හිඟාකන මිනිස්සුන්ගෙ එදිනෙදා ගෙවිලා ගන දවස් සති මාස කොයි වගේද !?

හොයන ගමන් මනුෂ්‍යත්වය අඳුනන මිනිස්සුන්ගෙ මනුෂ්‍යත්වය ඇත්තටම කොහොමද කියලා හොයලා ඒ ගැන දවස ගානෙ තීරණය කරන එක !! ""




"" ඉතින් මේ මනුස්සයා දිගින් දිගටම දැක්කෙ එකම විදියෙ ප්‍රතිචාර !!
හිඟාකෑමකට දක්වන සාමාන්‍ය ප්‍රතිචාර ...
හිඟාකෑමකට එහා ගිය හිඟාකෑමෙන්ම ජීවත් වෙන මිනිසුන්ගෙ බිස්නස් කෙරුවාව !! ""


"" හිඟන්නෙක් දැක්කොත් නොදැක්කා වගේ යන ,

අතේ තියෙන ගානකින් ලෝබ නැතුව ගානක් දාලා යන ,

අපිරිසිදු මිනිහෙක්ගෙන් බීම බෝතලයක් මිලට නොගෙන අප්පිරියා සහගත මූනු වලින් බලන ,

තමන්ගෙ දරුවෙක්ට වත් නොපෙන්වන තරමට ළඟින් ගියත් දරුවගෙ ඇස් දෙක බලෙන්ම වහන ...

මහ කාලකණ්ණි සමාජයක් මේ මනුස්සයා දවස ගානෙ දැක්කා...අත්වින්දා..""






"" එක දවසක් !!! ""

"" එක පුංචි කොල්ලෙක් !! ගිටාර් එකක් උස්සගෙන ඇවිදින් අර මනුස්සයා ඉඳගෙන සින්දු කියන ගාලු මුවදොරේ පඩියක ඉඳගෙන ගිටාර් එක ගහන්න අරගත්තා...""

"" මනුස්සයාගෙ උදව්වට ගිටාර් එක ගහපු ඒ කොල්ලා නිසා එදා ඒ මනුස්සයාට වෙනදටත් වඩා සල්ලි ගානක් වැඩිපුර ලැබුනා...""

"" සින්දුව අවසාන වෙනවත් එක්කම ස්තූතියි කියන්නත් කලින් එතනින් නැගිටලා ගිය පුදුමාකර කොල්ලා ආයෙම ඒ ඇස් දෙකට පේන්න නැතුව කොහාටද අතුරුදන් උනා..""

"" ඔය අතරෙ පික් පොකට් කාරයෙක් හිඟන්නාගෙ සල්ලි දාපු බෑග් එක උස්සගෙන දුවන්න අරගත්තා විතරයි !!!
ආයෙම කොහෙන්දෝ මතු උන අර ආගන්තුක කොල්ලා...
පික් පොකට් කාරයගෙ පස්සෙන් පන්නගෙන ගිහින් අවසානෙ පර්ස් එක අරන් දීලා හරියට ස්තූතියක් බලාපොරොත්තු නොවීම ආපිට යන්න ගියා... ""






"" ඉතින් එදා....
මේ මනුස්සයාගෙ රිසර්ච් ඩයරි එකේ පිටු දෙකක් පුරාවටම ලොකු අකුරින් ,

' අද , අලුපාට පිරුණු සංගීතකාරයෙක්ගෙ විනිවිද පේන පපුවකින් වෙනස් උත්තරයක් ලැබුනා... '

එහෙම ලියවුනා...""

එයා එහෙම කියනකොටම මෙච්චරක් වෙලා ඔලුව නවාගෙන උන්නු මම එක පාර තිරය දිහා බලනකොට ,
එයා එදා ඩයරි එකේ ලියපු ඒ වචන ටිකේ ෆොටෝ එකක් තිරයෙ එයාගෙ අකුරෙන් ලොකුවට දිස් උනා...



"" එදා තමයි එයාලා පලවෙනි වතාවට එයාලගෙ ඇස් කියවන්න අරගත්තෙ ... ""
ස්ක්‍රීන් එකෙන් ඊළඟට වෙනස් උනේ එයායි මමයි ගාලු මුවදොරේ එදා රෑක අපි දෙන්නාගෙ ඇස් දිහා බලන් ඉද්දි කව්රු හරි පිටිපස්සෙන් හොරෙන් අරගත්තු පින්තූරයක් !!

"" ඔට්ටුයි එදා උත්තරට බැරි උනා..හරියටම තිතටම ඇස් දෙකක් කියවගන්න..""


"" එහෙම නොවුනා නම් ,
සමහර විට එදා උත්තර හරියටම ඒ ඇස් දෙක කියෙව්වා නම් ,
අද මගේ ඉස්සරහපිට මේ විදියට උත්තර කෙනෙක් ඉඳගෙන ඉන්න එකකුත් නැහැ !! ""


"" එහෙනම් අද මම මේ විදියට පොතක් එක්ක මෙතන කතා කරන එකකුත් නෑ...නමුත් ලොකුම දේ උනේ ..
එදා උත්තර මගෙ ඇස් වැරදියට කියවපු එක!! ""


"" මනුෂ්‍යත්වය ගැන ප්‍රශ්න දාහක් ඔලුවෙ තියාගෙන ඒවා එකිනෙකට උත්තර හොයන්න ගියපු අර මනුස්සයාට එතනින් එහාට තවදුරටත් ඒක කරගෙන යන්න බැරි උනා..""

"" ඒ වෙනුවට වෙනම විදියෙ උත්තර ගොඩක් !! ඒ මනුස්සයා අතින් දවස ගානෙම ඒ රිසර්ච් ඩයරි එකේ ලියවුනා..""

එතනින් එහාට එයා ඩයරි එකේ ලියපු ගොඩක් දේවල් වල තනිකරම මාතෘකාව මම වෙලා තිබුනා..




"" අද ඒ ඇස් දෙකෙන් වේගවත් පපුවක ගැහෙන සද්දයක් ඇහුනා ""




"" ඒ ඇස් අග දියරයක් දැක්කා ""





"" බලාපොරොත්තුවක සේයාවක් නැතුවම බලාපොරොත්තුවක් !!.
අද මං වෙනුවෙන් බලන් ඉඳලා ""
""[එක්සෑම් දවස්වල ලමයෙක්ව රස්තියාදු කරවන එක ගුරුවරයෙක්ට අකැප දෙයක් අකිල !! ]""

"" අකැප !! කැප !! එයාගෙන් ලස්සන වචනයක් ඉගෙනගත්තා !! ""





"" හොරවැඩ අංක 1 : සාර්ථකයි !! [ඔඩිශන් එකෙන් තේරිලා ] ""





"" කාලෙකට පස්සෙ කෝපි එකකට රස නහර ඇවිස්සුනා...
ආයෙ ආයෙ බොන්න උවමනයි ...ඒත් සූපවේදියා ආයෙම කවදාඅ මුණගැහේවිද කියන්න සැකයි ""





"" හොරවැඩ අංක 2 : සාර්ථකයි !! ""





"" බලාපොරොත්තු විරහිත හැඟීමක් තිබුනා ""





"" පපුවක් නොකියන ලස්සන හැඟීමක් අද ඇස් වලින් කියවගත්තා..""
( නෑ ! එයා තවම මගෙ ඇස් කියවන්න උත්සහ කරලාවත් නැහැ )





"" මාව අතරමං කරවන්න බයයි කිව්වා ""
[අතරමං උනාට පස්සෙත් ? ]




"" bwjahsueqpiyajak ..... speechless !!!!!! ""
"" ජීවිතේ පලවෙනි වතාවට පාලනය ගිලිහෙ -- ""
[ දැනට මම යන්න ඕනි ]

ඩයරි එකේ සමහර තැන් එක දිගට ස්ලයිඩ් ශෝ එකකින් පෙන්නද්දි ,
ඒ අකුරු හැම එකකටම හේතුවක් වෙලා තිබුනු මම !!
ඒ වචන වලින් මම ඒක තේරුම් අරගත්තා...

"" එතනින් එහාට පොතේ අන්තර්ගතය කියවන එක ඔයාලට භාරයි !!
ප්‍රශ්නවලට උත්තරයක් උන මනුස්සයෙක්ව පොතකට ගන්න එක විකාර හැඟීමක් කියලා මෙතන ඉන්න ඕනම කෙනෙකුට හිතෙන එක සාමාන්‍ය දෙයක් !! ""

"" නමුත් අසාමාන්‍ය දේ මේකයි !! ""

"" බලාපොරොත්තු විරහිතව දෙන සමහර හැඟීම් අතරෙන් ආපිට නොලැබෙන දේ නිසාම රිදෙන පපුවට එයාම තනියම බෙහෙත් කරගන්න එක !!

අවසානය පෙනි පෙනී කිසි වෙනසක් නැතුව හැඟීමකින් අනෙකාව පුරවන එක !!

අතේ තියෙන්නෙ රුපියලද !! ඒකත් අත මිටි කරලා මේක අරගනින් කියන එක !!

ගෙවපු අමාරුම ජීවිතේ උනත් අනෙකා වෙනුවෙන් හැමදේම දරාගෙන ඉවසන එක !!

ඒක අසාමාන්‍යයි !!!
එහෙම මිනිස්සු අසාමාන්‍යයි !!! ""


"" මුණගැහිලා තියෙනවා නම් ඒ වගේ මනුස්සයෙක් !!? මඟහැරගන්න හිතන්නවත් එපා...ඒක සම්පූර්ණයෙන්ම අකැපයි !! ""


එයා කියන ගමන් ස්ටේජ් එකේ ඉඳලා මට අත දික් කරලා කතා කරද්දි , මම ස්ටේජ් නගිනවද නැද්ද කියන එක ගැන හිතනවට වඩා මට දැන් මේ දැනෙන මහ අමුතු හැඟීම නතර කර ගන්න එක වැදගත්...
ඒ අතරෙ එයා මං එනකල් ස්ටේජ් එකේ ඉඳලා බලාගෙන ඉද්දි විකෘතියක් වෙන්න ඔන්න මෙන්න ගැහෙන පපුව පුලුවන් තරම් සාමාන්‍ය කරගන්න උත්සහ කරන ගමන් මම හිමින් ඇවිදගෙන ගිහින් ඒ ස්ටේජිය උඩට නැග්ගා ...

" විසල් !!!උඹ රතු පාට ගැහිලා !! "

" විසල් උඹ ඔහොම ලස්සනයි .. ඔහොම පාට ගැහෙනකොට එයාට උඹ ගැන මොනවා හිතෙයිද "

"විකාරයක් කරන්න ලෑස්ති වෙන්න එපා...
උඹට තේරෙන් නැද්ද ..මාව දියවෙලා වැක්කෙරෙන්න හදනවා.."

" විසල් !! ඒ මූන දිහා බලන්න නම් එපා !! කරුණාකරලා එපා..ඔලුව උස්සන්න හිතන්නවත් එපා "

මගෙ හිත කියවන විකාර වලට කන්දෙන අතරෙ මමත් ගිහින් එයා ලඟින් හිටගත්තත් මම බලන් හිටියෙ ඉස්සරහ පේන අඳුරු ඕඩියන්ස් එක දිහා මිසක් !! වෙන කිසිම දිහාවක නෙමෙයි...

එයා ළඟින් එන මැයි මාර සුවඳ නිසා විකාර විදියට මත් වෙන්න අරගෙන උන්න මම මේ සිද්ද වෙන හැමදේම තවම හීනයක්දෝ හිතන ගමන් ඔහේ බලන් හිටියා..

"" රිසර්ච් එකක් කරන එක සෙල්ලමක් නෙවෙයි ..කරගෙන යන්න ගිය එකක් මඟින් හලලා වෙනකට මාරු වෙලා ඒ ගැන කරගෙන ගිය තැනදි අවසානෙ වෙනස් උනොත් ,! එතනදි මාව සෑහෙන්න අතරමං වෙන්න ඉඩ තිබුනා...""



"" මනුස්සයෙක්ගෙ අමාරු කාලෙක ජීවත් උන විදිය ,
ඒ මනුස්සයා සාර්ථක උනාම අමතක වෙන මිනිස්සු උන්නු කාලෙක ,
මේ විදියෙ මුල මතක තියෙන මිනිස්සු ඉන්නෙ අතලොස්සක් !! ඉතින් අකිල කියන මනුස්සයා එදා කලේ ,
මෙච්චර රිස්ක් එකක් අරන් පොතකට ලියපු ඒ උත්තර චරිතෙ සාර්ථක උනාම කොහොමද කියලා හොයලා බලන එක !!! ""

"" ඒත් ආඩම්බර වෙන්න තියෙන ලොකුම කාරණය !! මේ මනුස්සයා මාව අතරමං කලේ නැහැ... ""



"" උත්තර !! වෙනවිදියකට කිව්වොත් ඔයාලා අඳුනන විසල් අනුත්තර !! ""
"" මීට මාසෙකට උඩදි කැම්පස් එක මැද පිස්සුවක් නැටුවා !! ...""

"" එදා !! එදා තමයි අවුරුදු දෙකකට පස්සෙ මේ මනුස්සයාගෙ හිතේ හැඟීම් පිට කරපු පලවෙනිම දවස !! ""

"" අකිල සම්පූර්ණයෙන්ම වැරදියි එහෙමද !? පිස්සෙක් වගේ හැසිරිලා මේ මනුස්සයාගෙ හැඟීම් එලියට ඇදලා ගත්තු එක වැරදියි !? ඔව් දැන් මෙතන හැමෝම කියන්නෙ ඒක නම් , හරි !!
අකිල වැරදියි !! ""

"" පොතේ සාර්ථක අසාර්ථක බව අවසානයෙන් තීරණය වෙනවා නම් ...
එදා මම රඟපෑව විකෘති උන පිස්සු චරිතයෙන් පවා මාව අඳුනගත්ත මේ මනුස්සයා වෙනුවෙන් පොතක් එලිදක්වන එක නොවටින කාරණයක්ද ?? ""

මුලු හෝල් එකෙන්ම ඇහුනෙ ධනාත්මක ප්‍රතිචාරයක් විතරක් වෙනකොට ස්ටේජ් එකේ මෙතෙක් වෙලා හිටගෙන උන්නු මම කරගන්න දෙයක් නැති තැන එයා දිහා ඔලුව උස්සලා බලනකොට මම දැක්කා....
ඒ උපැස් යුවල අස්සෙන් දිලිසෙන තියුණු ඇස් දෙකක් මගෙ මූන දිහාවට එල්ල වෙලා තියෙද්දි ,
ඒ බැල්ම දරාගන්න බැරි කමට මම ආපිට ඔලුව බිමට හරවගත්තා..

.
.
ස්ටේජ් එක මැදදිම එයාගෙ අතින් මට දුන්නු එයාගෙ පොතේ මුල්ම පිටපත මගෙ අතට එද්දි දැනෙන හැඟීම දරාගන්න බැරි උන මට දැනුනා...මගෙ බොඳ උන ඇහැක් ආයෙම සාමාන්‍යය වෙන අතරෙ ටොක් සද්දෙන් කදුලු බිඳුවක් පොතේ පිටකවරෙ උඩට වැටුනා....

__________________________________________

උත්සවේ ඉවර වෙලා ... හෝල් එක ටිකින් ටික හිස් වෙන්න අරගනිද්දි ස්ටේජ් එක උඩ තිබුනු ටේබල් එකක් ළඟ හිටගෙන උන්නු මං,
එයාගෙ හැඟීම් වලින් ලියලා තිබුනු ඒ පොත අකුරක් නෑර මුල ඉඳලා කියවමින් හිටියා...

ඒ අතරෙ එයා , ඇවිල්ලා උන්නු ලෙක්චරර්ස්ලා වගේම අමුත්තො එක්ක කතා කරනවා....සමහර තැන් වලදි "" උත්තර !! "" කියන ගමන් මාව එතනට එක්කන් ගිහින් එයාලට අඳුන්වලා දෙනවා..

' excuse me , '
මං ළඟට ඇවිදන් ආපු ලමයි ටිකක් මට කතා කරන්න අර අදිද්දි ආපිට ඔලුව උස්සලා බලපු මම එයාලට හිනාවකින් උත්තර දුන්නා..

' sign එකක් අරගන්න පුලුවන්ද !? '
පොතේ පිටපත් අරගෙන ඇවිත් පොතේ පිදුමට පෙරලන ගමන් එක ලමයෙක් මගෙ සයින් එක ඉල්ලද්දි පොත අතට අරගත්තු මම පෑන අතින් අල්ලගෙන සයින් එක ගහන්න ලෑස්ති උනා විතරයි !!

එකපාරටම මං ළඟට වේගෙන් ඇවිදන් ආපු එයා මගෙ පිටිපස්සෙන් හිටගෙන පොතට නැවෙන ගමන් , සයින් කරන්න යන මගෙ අත අල්ලගෙන පොඩි ලමයෙක්ට අකුරු ලියවන්න හදනවා වගේ මගෙ අතත් එක්ක එයාගෙ අතින් ලියන්න අරගත්තා...

කිසිම දෙයක් නොකරපු මම , එයාගෙන් දැන් දැනෙන මැයි මාර සුවඳ විඳින ගමන් අත පණ නැති ගානට තියාගෙන එයා ගහන සයින් එක දිහා බලන් හිටියා...

සිංහලෙන් වැල් අකුරෙන් ලියවෙන විසල් නමත් එක්ක යටින් ලියවෙන්න අරගත්තු ඉද්දමල්ගොඩ නම දකිද්දි එකපාර ගැස්සිලා ගිය මං ඔලුව ආපිට හරවලා එයාගෙ මූන දිහා බලන්න හදනවත් එක්කම ,
මගෙ කනට ළං වෙන අතරෙ ,
"" උඹට ඒක කැපයි !! ""

කියපු එයාගෙ ගෝරනාඩු දැඩි හඬත් එක්ක හිරිවැටිලා ගිය මං අල්ලන් උන්නු මේසෙ දාරෙ තද කරලා මිරිකගත්තා...

________________________________


සම්පූර්ණයෙන්ම හිස් නොවුනු හෝල් එකේ ස්ටේජ් එකේ ඉඳගෙන එක දිගට සයින් දාන මගෙ අතැඟිලි දැන් හිරිවැටීගෙන එන්න ළඟයි..ඊටත් වඩා මෙච්චර වෙලාවක් මං ළඟ හිටගෙන උන්නු එයාගෙන් උණුහුමට දැනුනු, සැර නමුත් මෘදු පාවෙන හැඟීමක් දැනෙන සුවඳ නිසාම උදේ ඉඳලා විකාරයක් උන මගෙ හිත දැනටමත් යන්තමට සන්සුන් වෙලා තිබුනා...

ඔලුව උස්සන්නෙ නැතුවම දිගින් දිගටම විසල් ඉද්දමල්ගොඩ නමින් ගහන සයින් එක දැනටමත් මගෙ අතට හුරු වෙලා..

ඒ නමින් තනියම සයින් කරන්න පුරුදු වෙනකල්ම මගෙ අතින් අල්ලගෙන සයින් එක හුරු කරවපු එයාගෙ හුස්ම බෙල්ලෙ වැදිලම මට ඒ වෙලාවෙ දැනුන හිරිවැටිලා යන විකාර හැඟීම ආයෙම මතක් වෙන ගානෙ මට දැනෙද්දි ,
මගෙ අත එකපාර නලියන නිසා සයින් එක වැරදේවි බයට මමම දැඩිව පාලනය කරගන්න ගමන් ...

"" උත්තර !! ""
එකපාරම ටිකක් මෑතින් ඇහුනු එයාගෙ හඬත් එක්ක ගැස්සිලා ඔලුව උස්සපු මං එක්කම හිටපු ලමයි ටිකත් බලද්දි , පුංචි කෙල්ලෙක්ව වඩාගෙන උන්නු එයා තව දෙන්නෙ එක්ක මං දිහාවට ඇවිදන් ආවා...
ඉක්මනින් ගහපු සයින් එක ආපිට දෙන ගමන් එතනින් එක්ස්කියුස් කරපු මම එයා දිහාවට ඇවිදගෙන යන අතරෙ කෙල්ලව අඳුනගත්ත මගෙ හිත මහ සද්දෙන් බෙරිහන් දෙන්න අරගත්තා..

" විසල් මගෙ කෙල්ල..ඒකි දැන් ඇවිදිනවා !! "
" දුවගෙන ගිහින් වඩාගෙන ඇතිවෙනකල් ඉඹපන් විසල් ... ඒ ඉන්නෙ උඹෙ පලවෙනි දරුවා !! "

" ඉවසගෙන ඉඳපන් විසල්.. මේක උඹ ඉවසගෙන බලන් ඉන්නම ඕනි වෙලාවක් !! "
" උඹ විකාරයක් වගේ හැසිරුනොත් එයාට හොඳ නෑ..උඹ දැන් අසාමාන්‍යයි !! ඒ මනුස්සයා උඹව දැනටමත් අසාමාන්‍ය මිනිහෙක්
කරලා ඉවරයි !! "
ඉවසපන් ..."

ඉතින් හිත කියනදේම ආපිට අහගෙන බලන් ඉඳියා ඇරෙන්න වෙන කරන්න දෙයක් හිතාගන්න බැරි උන මම !!
එයාගෙ සුලඟිල්ලෙ එල්ලිලා ඇවිදගෙන එන පුංචි සුරංගනාවි දිහා බොඳ උනු ඇස් වලින් බලන් හිටියා...

මේ ඉන්නෙ පැංචි කියලා එයා කියන්නත් කලියෙන් කෙල්ල ළඟින් දණගහගත්තු මං ,
පුංචි කෙල්ලගෙ පුංචි අතක් අල්ලගන්න ගමන් මං දිහා බලන් ඉන්න ඒ බෝල ඇස් දිහා මම හිනාවෙන ගමන් බලන් හිටියා...

" නම මොකක්ද ම්ම්ම් ? "
කෙල්ලට එහායින් හිටගෙන හිටපු දරුවාගෙ අම්මයි අප්පච්චියි දැක්කත් චූටි ඇඟිලි වලින් අල්ලගෙන කෙල්ලට අවදානය දෙන්න විතරක් හදපු මම එයාගෙන් අහද්දි ,

' මිතඳි ටීඩුමා.... තටට්තන්ද '
කියවගන්නත් බැරි ගාතෙ කටත් උල් කර කර කියන පුංචි කෙල්ල දිහා බලන් ඇස් දෙක ලොකු කරගත්තු මං ,
හුරතල් කෙල්ලගෙ නිකටින් මිරිකලා මගෙ අත් දෙකෙන් වඩාගද්දි,
කෙල්ලගෙ අම්මා හිනාවෙන ගමන් ,

' මිසඳි කිවිඳුමා සරත්චන්ද්‍ර '

පැංචිගෙ නම ආපිට කියවද්දි ඒ අක්කව දැකලා හුරුවක් තිබුනු නිසා ඒ ගමන්ම ඒ අයියා දිහා බලද්දි මට එකපාර මීටර් උනා....

" එදා !!! "
එදා රෑ තෙමි තෙමී ආපු වෙලාවෙ රටා !! කියන ගමන් දොරට ගහලා කෙල්ලට කිරි දීලා ගියෙ එයාලා !!

' කොහොමද මල්ලි !! අඳුරගත්තා එහෙනම් '



" ඒ කියන්නෙ ? "



'යාලුවෝ !! මායි රටායි එක බැජ් එකේ '


" රටා ? "
" කාර්ඩ් එක ? "
මම ප්‍රශ්නාර්ථ විදියට ඒ අයියා දිහා බලලා කිසි හිනාවක් නැති ඒ දැඩි මූන දිහා බලලා ඉක්මනින් ආපිට ඒ අයියා දිහා බලද්දි ඒ අයියා ඔව් කියන්න ඔලුව වැනුවා..

ඒ කියන්නෙ එදා රටා කියලා කතා කලේ එයාගෙ කාර්ඩ් එකෙන්...
මං ආපිට පැංචි දිහා බලන ගමන් කෙල්ලගෙ හුරතල් කම්මුලක් ලාවට සිපගද්දි දැනුන බේබි ක්‍රීම් සුවඳට ලෝභ කමට මම ආයෙමත් ඒ කම්මුලක තද හාදුවක් තිව්වා...

" මගෙ කෙල්ල දැන් ඉස්කෝලෙ යනවද ම්ම් ? "


' ඕ පේ පාසල් '


' කෙල්ල කතා කරන්න පටන් ගත්තෙ පහු වෙලා ...ඒකයි ඔහොම !'

' අම්මි වඩා '
ඒ අක්කා එහෙම කියද්දි මගේ අතේ ඉන්න කෙල්ල අත් දික් කරන ගමන් අක්කා දිහාවට ඇදෙද්දි කෙල්ලව ආපිට දුන්නු මං හිනාවෙලා බලන් හිටියා...

නිකමට ආපිට ඒ මූන දිහා බලන්න උවමනාව නිසාම එකපාර එයා දිහා බලපු මම ආපිට ඒ ඇස් මඟඇරලා බිම බලාගත්තෙ ,එතකොටත් එයා මං දිහා බලන් ඉඳපු විදියට ඒ ඇස් මගෙ ඇස් වල යා වුනු හැටියෙ මගෙ ඇඟට දැනුනු විකාර හිරිවැටිල්ල නිසා...

මට හිතාගන්න බැහැ.. මෙතන ඉඳලා මේ අමුතු මැයි මාර පාට මනුස්සයට මූන දෙන විදියක් ගැන මට තවම අදහසක් නෑ...
ඒත් එක දෙයක් හොඳටම විශ්වාසයි !!!.

මගෙ ආත්මෙම වහගෙන උන්නු ඒ අලුපාට පැල්ලම් මැකීගෙන එන තරමටම මාව මැයි මාර පාටින් සම්පූර්ණ වෙන්න අරගෙන නිසා මාව දැනටමත් අසාමාන්‍ය විකාරයක් වෙන තරමටම ඒ මනුස්සයාගෙ අමුතු පාට ආදරෙන් මම වැහිලම ගිහින් ඉවරයි !!!

.
.
.
.
.
"" උත්තර ... ""
හෝල් එක සම්පූර්ණයෙන්ම හිස් වෙලා ... එයයි මායි විතරක්ම ඉතුරු වෙලා ඉද්දි ආපිට කලුවරේම යන්න ලෑස්ති උන මගෙ පිටිපස්සෙන් ඇහුනු දරදඬු හඬට මගෙ කකුල් ඉබේම මාවා නතර කලා..

"" උත්තර තරහින් !!? ? ""
මගෙ පිටිපස්සෙන් ගෑවෙන නොගෑවෙන තරමට ලං වෙලා උන්නු එයා හිමින්න් මුමුණද්දි , ඒ පාතාල වොයිස් එකට තවත් විකාරයක් උන මම කරන්න දෙයක් හිතාගන්න බැරුව නෑ කියන්න එයාට ආපිට ඔලුව වැනුවා..
ඒත් මගෙ පපුව අමුතුයි.. ඒක කියගන්න බැරි තරමට මහ විකාරයි ....

"" නෑ උත්තර තරහින් .. ""
මාව ආපිට හරවලා අරගන්න ගමන් ඒ ඇස් වලින් මගෙ ඇස් කියවන්න හදන එයාගෙ ඇස් මඟෑරපු මං පැත්තක බලාගත්තා...

"" මං කරපු දේ වැරදියි ... ඒත් උත්තරගෙන් සමාවක් මම ඉල්ලන්නෙ නැහැ ..""
එයා මාව විකාර කරවන කටහඬින් මගෙ ඉස්සරහ මුමුණද්දි තව තවත් විකාර උන මම හිමින් සීරුවට හොරාට , උපැස් යුවල අස්සෙන් පේන ඒ ඇස් දිහා බැලුවා..

"" උඹේ ඔය ඇස් මුමුණන ඒ වචනෙ..උඹේ කටින් සද්දෙට අහගන්න බැරි තරමටම , මට ඒ වචනෙ අකැපද මගෙ උත්තර !? ""

"" මං කරපු දේ වැරැද්දක් නම් , මට කවදාවත්ම ඒ වචනෙ කියන්න එපා ... මම අහන්නෙත් නෑ ""

"" ඒත් උඹට මගෙ ඇස් දෙක තවමත් කියවගන්න බැරි උන එකේ ...
මම කටින් නොකියා කොහොමද !? "".
.
.
.
.
.
.
එයා මගෙ ඇස් දිහා විකාර විදියට බලන ගමන් විකාර විදියට මුමුණද්දි ,
ආයෙමත් පපුව ගැලවෙන්න හදන පපුව පාලනය කරගන්න මම දැඩිව උත්සහයක හිටියා....

"" මෙතුවක් කාලෙකට මගෙ පපුවට නොදැනුන මේ පිරුණු හැඟීම නිසා ,
උඹව වහලා දාන්න උනත් පුලුවන් තරමටම ...

මං උඹට හරියට ආදරෙයි මගෙ උත්තර !!!! ""
.
.
.
එයාගෙ ඇස් දිහා බලාගෙන මෙච්චර වෙලාවක් හුස්ම ඉහලට අරන් පහලට දාන්න තරම් ලෝබ කමින් උන්න මම ,
එයාගෙ වචන දෙක තුනත් එක්ක මැරෙන්න පන අඳින මිනිහෙක් ගානට හුස්ම පිට කරද්දි බැලන්ස් නැතුව ගිය මගෙ පිටෙන් ආපිට අල්ලගත්තු එයා ,
ඒ ගැඹුරු ඇස් වලින් පවා හිනාවෙන ගමන් මං දිහා බලන් හිටියා...

" ම් මගෙ පපුව රිදෙනවා "
ඒ ඇස් දිහා බලාගෙන මුමුණපු මාව එයාට තවත් තද කර ගත්තු එයා ,

"" මං බේත් කරන්නම් .. ""
මගෙ ගැහෙන පපුවෙන් අත තියන ගමන් හිමින් මිමිණුවා...

" මගෙ පපුව හිරිවැටෙනවා "
මම කිව්වෙ මේ වෙලාවෙ මට දැනෙන ඇත්තම හැඟීම්...

"" මං උනුහුම් කරන්නම් .. ""



" මගෙ කකුල් පන නැහැ"


"" මං වාරු වෙන්නම් ""


" මට මැරෙන්න උවමනයි !! ".


"" උඹේ හුස්ම හිරවෙනකල් මගෙ ආදරෙන් වහන්නම්""


" මං දැනටමත් පේ වෙලා ඉවරයි "



"" ගාලු මුවදොරේදි හමුවුන අලුපාට මිනිහෙක්ට ? """



" හ්ම්ම්ම්ම් "



"" ඒ මනුස්සයත් උඹට පේ වෙලා ඉවරයි උත්තර !! ""

එයාගෙ පපුව උඩින් මගෙ අතක් අරගෙන තියාගන්න අතරෙ කියන එයාගෙ ඇස් දිහා බලන් උන්න මම එයාගෙ විකාර විදියට ගැහෙන පපුවෙ සද්දෙට විතරක් අවදානෙ දුන්නා...
.
.
.
.
.

" උත්තර ත් උඹට පලුයන්න ආදරෙයි මගෙ අයියේ !! "
.
.
.
.

එයාගෙ ගැහෙන පපුවට කන් තියන ගමන් එයාට ඇහෙන්න ලාවට මිමිණුවා... .
ඒක ඇහුනු හැටියෙම ඒ පපුව තවත් විකාර විදියට ගැහෙන්න අරගද්දි ඒ දැඩි අත් දෙකෙන් මාව තදකරලා අල්ලගෙන,
ටිකක් පාත් වෙන ගමන් මගෙ නලලෙ කෙස් රොඳක තවරපු එයාගෙ හාදුවේ උණුසුම නිසා ඉබේටම මමත් ඇස් දෙක පියාගෙන ඒ හාදුව මගෙ ආත්මෙන්ම විඳගත්තා...




නාඳුනන ක්ෂිතිජයක් ... හිත ළඟම වැතිරුනා.....

_____සමාප්තයි_____

• ° • ° • ° • ° • ° •







අස්ථාවර ස්වර රටාවකට වහ වැටුනු,
අලුපාටට හුස්ම අල්ලන පිරිමි පපුවකට...
බලාපොරොත්තු විරහිතව හුස්ම පිඹපු ,
ආදරණීය විසල් පපුවක විකාරරූපී සිතුවිලි අතරෙ
නිදහසේ කල්මැරූ හිතවත ❟
ඉතින් අවසරයි !!!
අලුපාට කතාවක ...
මැයි මාර අවසානෙකට !!!


- සනී
(අ)ස්ථාවර




_________________________________________________

A/N

විසල් විඳවද්දිත් අකිල යන්න ගිය හේතුව ?

අකිල අවුරුදු 35ක තරුණයෙක් !! විසල් නිසා එක වතාවක් ගිලිහුන එයාගෙ පාලනය ආයෙම වතාවක් විසල් ඉස්සරහදි නැති උනොත් , අකිලගෙ වැඩේ අසාර්ථක වෙනවා...
අනිත් එක විසල් ළඟදි අකිලට පාලනය වෙන්න අමාරුයි !!

අනිත් එක අකිල විසල් වෙනුවෙන් නිර්ණාමිකව වියදම් කරවලා ,
විසල්ව රියැලිටියකට කාර්‍යබහුල කරවන්නෙ විසල්ව ගොඩ දාන්න ඕනි නිසා..
එහෙම බැලුවොත් විසල්ව ලොකු මිනිහෙක් කරවන්නෙත් අකිල !!

විසල් ළඟ අකිල නැති කාලෙ අකිල විසල්ව තනි කරන්නෙ නැහැ..එයා ඉන්නවා..ඒත් විසල් දන්නෙ නැහැ....

අවුරුදු දෙකකට පස්සෙ විසල්ට යුනිවර්සිටි එකේ උත්සවේකට සින්ග් කරන්න ඉන්වයිට් එක දෙන්නෙත් වක්‍රාකාරව බැලුවොත් , ඒත් අකිලම තමයි...අකිලට ඕනි විසල්ව එයාට මුණගස්සන්න...

එදා අකිල පිස්සෙක් විදියට හැසිරෙන්නෙ , විසල්ව අමතක විදියට හැසිරෙන්නෙ විසල් අකිලව අඳුරගන්නවද බලන්න...
අනික විසල් ප්‍රසිද්ධ උනාට පස්සෙ විසල් කොහොම හැසිරේවිද බලන්න...
බලාපොරොත්තු උන විදියටම විසල් එදා අකිලව අඳුනගන්නවා..වගේම අකිලව බලෙන්ම කාර් එකට දාගෙන අරන් යනවා...

ඒ වෙද්දිත් අකිල පොතේ අවසානයටම ලියලා ඉවරයි...බැරිවෙලාවත් පහුවදා විසල් අකිලව කොළඹ අරන් ගියානම් අකිල අහුවෙනවා...ඇරත් අකිල එදා දාගෙන ඉන්නෙ බොරු රැවුලක්..ඒකයි එයා කොන්ඩෙ රැවුල කපන්න නොදෙන්නෙ...

විසල් නැගිටින්න කලින් එදා රෑම අකිල බෝනික්කා එක්ක මල් පොකුර තියලා යන්නෙ විසල්ට ඉඟියක් දෙන්න..ඒත් විසල්ට ඒක අඳුනගන්න බැරි වෙනවා..
එදා රෑ නින්දෙන් දැනෙන කිස් එක විසල්ට ඒක ඇත්තටම දැනෙන්නෙ අකිල යන්න කලින් විසල්ව කිස් කරපු නිසා...

අකිල එදා යන්නෙ පොත ඉක්මනින්ම ඉවර කරලා ආපිට විසල්ව එයා ළඟට අරගන්න..ඉක්මන් කරන තරමට හොඳ නිසා එයා ගියත් ඒ මාසෙ ඇතුලත විසල් වෙනස් වෙන විදිය පවා අකිල දකිනවා...
එයා විසල්ට නොපෙනුනත් එයා නිතරම විසල් පස්සෙන් ඉන්නවා...

.....

ඉතින් මම ආයෙමත් අහන්නම්...
දැන් මේ කතාව මොන පාටද !?

කතාව පුරාවට දැනුන ප්‍රශ්න සේරම දැන් අහන්න ..
මම ලෑස්තියි උත්තර බඳින්න...

අස්ථාවර එක්ක ඉඳපු මගෙ අලුපාට ලමයි හැමෝටම සනී ගොඩක් ආදරෙයි !!...
මගෙ වචන අතරේ රෝන්දෙ ගහන්න හැමදාම වගේ එකතු උනාට ආයෙමත් ස්තූතියි !!


කතාව දැනුනනම් ....
ඔයාලාට දැන් අවස්ථාව !!!







පසුවදන ඉදිරියට .......❟



-සනී
2023.11.24

Continue Reading

You'll Also Like

943K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.
2.7K 359 14
වැස්ස වැහැලා ඉවර වුන ගමන්ම තියන අදුරු රෑක ඔයත් එක්ක කැලේ පාරක් දිගේ තනියම ඇවිදන් යන ගමන් " ආගිව්‍ය අයියෙ එදා දවසක් හොල්මන් ..." කියලා මම පටන් අර ග...
1.3K 177 26
යුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයා...
44.4K 1.3K 18
Regina and Ruby have a heart to heart that turns them into best friends. Or more?