𝐀𝐛𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐤𝐲 ⋆⁺₊⋆...

By Yazwi_03

455 58 166

අවසානයේදි ඔවුහු මිලිසුසුමකින් පවා එකිනෙකා හොඳින් හඳුනන ආගන්තුකයෝ වූහ..!! . . . 20231029 ABOVE THE SKY @යස්වි More

දවසක් !!

455 58 166
By Yazwi_03

ඒ ඉර බැහැලා යන්න අකමැති හවසක්.. ඉර අඬද්දි අහස නළවන හවසක්.. ඉරේ කඳුළු පාට එක්ක දිය වෙලා වළාකුළු පුරා පැතිරිලා ගිහින් ප්‍රේමයක මළගම අණබෙර ගහලා ලෝකෙට දැනුම් දෙන හවසක්.. කුරුල්ලෝ රංචු පිටින් ඉර සනසන්න අහසේ කරක් ගහන හවසක්.. ඉරේ කඳුළු පිහින පාට වළාකුළු ටික වේගෙන් වේගෙන් අයින් කරලා අලුත් වළාකුළු ටිකක් කඳුළු පිහින්න ළං කරන්න හිතාගෙන හුළඟ ටිකක් වැඩිම නැති මැදි වේගෙකින් ගලන් යන හවසක්....

ඉතින් ඔය කියන හවස.. මන් හිටියේ කැෆේ එකක් ඇතුළේ.. ඒක ඇතුළේ හුස්ම ගන්නකොට දැනෙන්නේ හොඳ කෝපි සුවඳක්.. තව පොඩියට වැනිලා සුවඳක් එක්ක බටර් සුවඳක්. හොඳට පිහපු කැෆේ එකේ වීදුරු බිත්ති අස්සෙන් අහස දිහා බලන් ඉඳලා ඉස්පාසුවක් ලැබුණු හැටියේ මන් ඇස් කරකවන්නේ මන් ඉස්සරහා තියෙන ඩේලියා මල් දෙකක් දාපු වතුර වීදුරුව පැත්තට..

දවසම හිනාවෙලා ඉඳලා මහන්සි වැඩිකමට දැන් උන් හිනාවෙන්නේ හිනානොවී බැරිකමටද මන්දා... කොච්චර කොහොම උනත් ඒ හිනාව ලස්සනයි..!!

මගේ හිත මේ වෙලාවේ ටිකක් නොසන්සුන්.. කලබලයි.. මගේ දකුණු අතේ දබර ඇඟිල්ල මගේ ඉස්සරහා තියෙන වීදුරු කප් එකේ මුදුන් දාරේ උඩ රවුමට චලිත වෙන වේගේ මැනගත්තොත් මන් හිතන්නේ අර කලබල ගතිය යාන්තමට මිනුම් කරගන්න තිබුණා..

මන් අද පළවෙනි වතාවට පාවිච්චි කරපු ලැවෙන්ඩර් මල් සුවඳ පර්ෆියුම් එක සැරට මගේ නහයට දැනෙන්නේ අර බටර් කෝපි සුවඳ කපාගෙන... සුවඳ වැඩිද මන්දා.. මන් කැෆේ එක ඇතුළේ ඉඳපු දෙතුන් දෙනාට වැඩිය නොපෙන්නෙන්න ශර්ට් එක යන්තමට ඉව කරලා බැලුවා..

ටිකක් සුවඳ වැඩියි !!

මන් ඒ එක්කම වම් අතේ බැඳලා තිබුණු ඔරලෝසු පටියත් නිකමට වගේ එහෙ මෙහෙ කරා.. ඇදවෙලාද මන්දා.. ආ.. පස්සේ දැක්කේ මේසේ උඩ තිබුණු ටිශූ බොක්ස් එකෙන් ටිශූ හතරක්ම මගේ එක අතක පොඩි වෙලා.. ඒ ඇයි කියන එකට හේතුව ටිශූ දිහා බැලුවාමවත් මට හිතාගන්න බෑ.. මොකද ප්‍රයෝජනයක් ගත්තු වගට සාක්ෂි ඒ උදවිය ළඟ තිබුණේ නෑ...

ඒ අස්සේ කැෆේ එකේ දොර දෙපාරක් ඇරුණා.. ඒ දෙපාරෙම මගේ ඇස් දොර ගාව.. වින්ඩ් චිම් එකේ සද්දෙ යන්තමට කනට ඇහෙද්දිම වගේ ඇස් යන්නේ දොර ගාවට.. දොර ඇරන් ඇතුළට එන මනුස්සයා ගාවට.. දැන් දෙපාරක් මන් අසාර්ථක වුණා.. මාව විහිළුවකට ගන්න අර හුළං සීනුව.. පොඩි හුළඟටත් පැද්දිලා සද්ද දානවා..

මිනිස්සු ආපු දෙවතාවයි.. බොරුවට මාව රවට්ටන්න අඬපු හතර වතාවයි බෙල්ල හරවලා බලපු සම්පූර්ණ වාර හතකට පස්සේ මට හීනියට වගේ වින්ඩ් චිම් එකේ සද්දේ ඇහෙන්න ගත්තා.. ඒක ඇහෙන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවක් කිව්වත් මන් වැරදි නෑ...

හරි..!!

මේ පාර හරිම කෙනා.. පපුව හයියෙන් හයියෙන් ගැහෙද්දි ඒ සද්දේ පිටට ඇහේදෝ කියලත් මට බයයි... ඇස් දෙක නිකන් දිලිසීගෙන වගේ ආවද කොහෙද... තොවිල් නටන හිතේ විලක්කු එළිදෝ මන්දා ඒ ඇස්වලින් දිස්නේ දිදි පිටට පේන්නේ.. එනපාටක් නෑ එයා තාම දොර ගාව ඉඳන් මාව හොයනවා..

හොයනවා !!

එයාගේ ඇස් කෙළින්ම කොනේ මේසේ ගාවට එන්නෙ නැතුව කොනින් කොනට එක එක මේස දිහාවට යනවා දකිනකොටම මගේ පපුවට මොකක්දෝ වෙලා ගියා.. දුකක් කියලා කියන්න පුළුවන් දෙයක් දැනුනා.. මාව හොයන්න වෙන තරමටම අමතක වෙලා එහෙනම්..

මේස අංක හය ගාවට එයාගේ ඇස් එනකන්ම මන් බලන් හිටියා.. ඒ අස්සේ මන් ලස්සනට හිනාවෙන්න.. අලුත් විදියට හිනාවෙන්න උත්සාහයක් දුන්නා..

අන්තිමට මාව හොයපු ඇස් මාව හොයාගත්තා..

ඊටපස්සේ හිනාව..!!

ඒක උණුසුම්.. සීතලට ගල් ගැහුණු මලක් එහෙම නැත්තන් කළුවරට නිදාගත්තු මලක් කූද්දන්න පුළුවන් රත් කරවලා ගන්න පුළුවන්.. හරි උණුසුම් හිනාවක්.. මහ සනීපයක් දෙන හිනාවක් ඒක.. හිනාවෙද්දි එයාගේ ඇස් හීනිවෙනවා... ගොඩාක්ම.. ඒක හරියට ඇත්තටම එයා හිනාවෙන්නේ මොන හේතුවක් හින්දද කියන එක නොපෙන්වන්න ගන්න එක්තරා උත්සාහයක්දෝ මන්දා... මොකද එහෙම හීනිවෙන ඇස්වලින් කියන දේවල් ටිකක් අපැහැදිලි...

මන් ගාවට හෙමි  හෙමින් මේ උණුහුම් හිනාකාරයා ආවා.. මගේ ඉස්සරහින්ම තිබුණු පුටුව ඇදගෙන වාඩිවෙලා ලොකු හුස්මක් පහළට දැම්මා.. ඒක හරියට ගඟක් කඳුහෙල් මිටයාවත් නිම්න සානු මැද්දෙන් හැපි හැපි වැටි වැටි ඇවිල්ලා උල්පත් දාස් ගාණක් එක්ක හාදවෙලා ඇවිල්ලා...අන්තිමට මෝය කටේදි 'ඩොග්' ගාලා වතුර ටික මූදට අතෑරලා දානවා වගේ වැඩක්.. හිත එයා හෑල්ලු කරගත්තද මන්දා...

ඒත් මන්..!!

මන් ඉන්නේ මාව හේ කරගන්න බැරුව... ආතුර වෙන්න බෑ මට.. හදවත කියන යකැදුරා ගම දෙක වෙන්න බෙර ගැහුවට.. ඒ පදවලට මන් නටන්නේ කොහොමද.. ඒකත් මාසගාණකට පස්සේ හම්බුණු මේ මනුස්සයා ඉස්සරහින් තියාගෙන..

"පරක්කුයි නේ.."

ඒක අහන්නෙත් හිනාවීගෙනමයි.. ඔයා හැමදාම පරක්කු වෙන කෙනා.. මමයි ඉතින් බලන් ඉඳපු කෙනා... හැබැයි ඔයා තමයි ඉස්සෙල්ලම ගියෙත්.. මමයි තවමත් බලන් ඉන්නේ... ජීවිත කාලෙම උනු පරක්කුව එක්ක බලද්දි මේ විනාඩි දෙක තුනක නෑ හරියටම පැය කාලයි තත්පර දහයක පරක්කුව හරි ම සුළු දෙයක් නේ... කියලා කියන්න හිතුනත් මන් අර කලින් පුරුදු වුණු විදියට ඒ කියන්නේ ලස්සන ඇතියි කියලා හිතුණු විදියට හිනාවුණා...

"සොරි සොරි.. ඉතින් ඉතින්..."

කතාවකට මුල පුරන ගමන් එයා එකට බැඳගත්තු අත් දෙක මේසෙ උඩින් තිබ්බා.. බැලුවද බැලුනද මන්දා.. ඒ එක අතක අපේ සීමාව කොතනද තියෙන්න ඕන වග මතක් කරන එක්තරා සටහනක් තිබුණා.. ඒක ඇහැට පෙනුන හැටියේ මන් ආයේම හිනාවෙන මූණ දිහා බැලුවා.. මොකද අර ලෝහ කෑල්ල මගේ හිත හූරනවා...!!

"ඉතින් ඉතින්..."

අපි දෙන්නම හිටියේ පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව.. මට ඒ වෙලාවේ සාධාරණ බයක් දැනුනා හෙට ඉරපායනකන්ම අපිට ඔය අකුරු තුනෙන් එහා දෙයක් පටලවගන්න බැරිවේදෝ කියලා.. ඒත් ඒ බය ඊළඟ නිමේෂයේදි නැතිවෙලා ගියේ.. එයා සංවාදෙට අලුත් වචන කීපයක් එකතු කරපු හින්දා...

"මදාර මොනා හරි ඕඩර් කළාද.."

"නෑ තවම නෑ..."

"ආ..... මල්ලි.. පොඩ්ඩක් මෙහෙ.."

මගෙන් උත්තරේ අරගෙන විහස් වේටර් ළමයට කතා කළා.. ඒ අතරේ යන්තන් හොරෙන් මන් බර හුස්මක් වාතයට මුදා හැරලා දැනෙන පීඩනය පොඩ්ඩක් අඩුකරගන්න උත්සාහ කළා..

"අම්ම්ම්.. ජැස්මින් ටී එකයි.. Espresso ශේක් එකයි.. ආ.. කැරමල් ටිකක් වැඩිපුර දාන්න..."

"නෑ හේසල්නට් සිරප්..."

මන් එහෙම කිව්වාම විහස් ඇස් කරකෝලා මගේ දිහා අමුතු විදියට බැලුවා.. මන් නිකන් මහා අපරාධකාරයෙක් වගේ... ඇත්තටම මට ඕන කැරමල් එක්ක ශේක් එක බොන්න තමයි.. ඒත් බෑ.. මට එයාට ඒත්තු ගන්නන්න ඕන.. මාත් නැවතිලා නෑ කියලා.. මිනිස්සුන්ට වෙනස්වෙන්න පුළුවන් කියන එක මට එයාට පෙන්නන්න ඕන..

"ඇයි දැන් කැරමල් ඇතිවෙලාද.."

"ඔව්.. කාලයත් එක්ක යද්දි මිනිස්සුන්ගේ කැමැත්ත එක එක විදියට වෙනස්වෙනවනේ විහස්.."

"ම්ම්ම් කොල්ලා දැන් පරිණතයි.."

එයා ඇස් හීනි කරලා ආයෙම හිනාවෙද්දි උණුහුම් හිනාව මාව ගල් කරනවා.. මගේ හිත හීතල හින්දා අර හිනාවේ තියෙන උණුහුම උරාගෙන ඒ හිනාවත් සීතල කරවනවද කොහෙද.. මන් ආස නෑ එයාගේ හිනාවට මන් හින්දා සීතල එකහු වෙනවට..

"කාලය එක්ක එහෙම වෙන්න එපැයි..."

"ම්ම්ම්.. කාලය විතරක් නෙමෙයි.. කාලය එක්ක ලැබෙන අත්දැකීම්.. ඒවා තමයි මිනිස්සුන්ව පරිණත කරන්නේ.. කාලය ඔහෙ නිකන් ගහන් යද්දි කෙස් පැහෙනවා විතරයිනේ..."

"මොකද කරන්නේ දැන්..."

"ම්ම්ම්ම් ජීවත් වෙනවා..."

එයා ඒක කිව්වේ හරි අමුතුවට... අර අමාරුවෙන් හිනාවෙන ඩේලියා මලක පෙති සිනිඳුවට අත ගානගමන්..

"ආ.. කවුරුත් ඒක කරනවනේ...ඔයත් කරනවා මාත් කරනවා..."

"ඔයා ඇහුවේ දැන් මොකක්ද කරන්නේ කියලනේ මදාර..."

"ඔව් ඉතින්..."

"ඉතින් ඒක තමයි උත්තරේ..."

එයා මාව පටලවනවා.. මන් එක විදියකට හැඩගස්සවගත්තු හිත ආයෙම වෙන මොකක්දෝ හැඩයකට නම්මගන්න හදනවා... කාලෙකින් මගේ වට්ස්ඇප් නම්බර් එකට දවසක් රෑක ආපු පණිවිඩේ දැකපු වෙලාවේ ඉඳලම මන් හරි බයෙන් හිටියේ.. අමාරුවෙන් කෝටුමස් කරලා එක විදියකට හදාගත්තු හිත ආයෙම වෙනස් වුණොත් කියලා.. ඇත්තටම එහෙම වුණොත්...!!

එහෙම වෙන්න දෙයක් නෑ.. මගේ හිතේ මන් අලවගෙන ඉඳලා තියෙන්නේ තාවකාලික පැලැස්තරයක්.. විහස් ඇවිල්ලා පුටුවක් ඇදන් වාඩිවෙද්දි හුළං සීනුව අඬවගෙන මගේ පැත්තට හමාගෙන ආපු හුළඟේ තිබුණු ජෙරනියම් සුවඳ නාස් පුඩුවලින් ඇතුළට යද්දිම අර අලවපු පැලැස්තරේ ගැලවුණා කියලා මට තේරුණා...ඒකනේ දැන් යකැදුරෝ තොවිල් නටන්නේ හිත අස්සේ... තවත් කතාබහ කරන්න ගියොත් ආයේ අලවගන්න බැරිවෙන්නම දැන් ගැලවිලා කොනකින් එල්ලි එල්ලි තියෙන ප්ලාස්ටර් එක ගැලවිලාම යනවා.. මන් ඒකට බයයි...

තවමත් අපි දෙන්නා ඉන්නේ අතරමං වෙච්ච තැනක.. එයාට අහන්න ප්‍රශ්නවත් මට උත්තර දීලා අහන්න ප්‍රශ්නවත් නෑ.. මට මාව පේන එයාගේ ඇස් දිහා බලන් ඉන්නත් බෑ. මොකද ඒ ඇස්වල මේ විනාඩි දහයකට පහළොවකට මාව පේන්න ඉඳියට.. ජීවිත කාලෙටම ඒක එහෙම නෙමෙයිනේ... ඒ හින්දා මොකටද ඉතින් ඔය තාවකාලික දේවල්...

මන් ඒ හින්දා ඉර තාම අඬනවද කියලා බලන්න වීදුරුවෙන් පොඩ්ඩක් එළිය බැලුවා... අඬනවා.. හෝ ගාලා අඬනවා..

"ඉතින් ඔයා මොකද කරන්නේ..."

විහස් මන් යවපු ප්‍රශ්නෙම ආයෙ මගේ පිට පාස් කළා..

විශේෂයක් නෑ..හැමදාම රෑට තරුවක් දිහා බලන් නැත්තන් හඳ දිහා.. අමාවකට අහස දිහා එහෙමත් නැත්තන්.. පිච්ච වැලක් දිහා ඒත් නැත්තන් රවුම් ගල් කැටයක් දිහා පායලා පායලා වහින වැස්ස දිහා එතකොට උදේට පායන නැවුම් ඉර.. වරා මල්.. පිණි බේරෙන මිමෝසා මල්  ඔය එකී මෙකී නොකී දේවල් හැම එකක් දිහාම බලාගෙන සමහර මතක කැඩෙන්න බිඳෙන්න නොදී හුණු පිරියම් කර කර පරිස්සමට ඉක්මනට ආයේ එළියට ගන්න බැරි තැනක ගබඩා කරන එක තමයි දැන් මන් කරන්නේ කියලා කියන්න ඕන වුණත්.. ඒ උත්තරේ මේ අවස්ථාවට ගැළපෙන දෙයක් නෙමෙයි.. මොකද අපි අතර ඇතිවෙලා තියෙන පරතරය දැන් ටිකන් වැඩියි....

"වැඩ කරගෙන ඉන්නවා ඉතින්.."

"මම ළඟදිම රට යනවා.."

"රට යනවා ? නොඑන්නම..."

"ඔව්.. ආයේ එන්නේ නෑ..."

"ඔසීද යන්නේ..."

"නෑ.. යූකේ..."

ඉතින්... එයා කරන්නේ අපි අතරේ තියෙන පරතරය තව වැඩි කරන එක.. නැවතුණු මන් නැවතුණු තැනමයි.. කඳුකර කෝච්චිය වගේ එයා කඳු නැගගෙන නැගගෙන උඩටම යනවා.. මාව මාර ඇටයක් සයිස් එකට පේන මට්ටමෙන් නවතින්නේ නැතුව මාව ඇහැටවත් නොපෙනන මට්ටමට එයා යනවා..

ඔය කතාබහ අතරේ අපේ ඕඩර්ස් දෙක මේසෙට ඇවිත් තිබුණා.. එස්ප්‍රෙසෝ ශේක් එකට එහාපැත්තේ තියෙන ජැස්මින් ටී කප් එක... ලස්සන පුංචි මල්වැලක් ලියකම් කරපු සුදු පෝසිල්න් කෝප්පේ දැකපු ගමන් ඔළුව ඇතුළේ මතක පුරවපු බැලුමක් පිපිරුවා වගේ වුණා.. විහස් ගාණක්  නැතුව හිනාවේගෙනම කෝප්ප දෙක දිහා බලන් හිටියා...

මගේ මූණේ තියෙන හැඟීම් මොන වගේද කියන එක ගැන මට හරි හමන් විශ්වාසයක් තිබුණේ නෑ.. මන් ඒ හින්දා ශේක් කප් එක මේසේ මතට එන පරක්කුවට ඒක ඇදලා අරගෙන ලොකු උගුරු දෙකක් බටෙන් ඉහළට ඇදගත්තා...

"බුදු අම්මෝ ඔච්චර තිබහෙන්ද ඉදියේ..."

"මේ සර්... ගොඩක් වෙලාවක් බලන් ඉඳියා මෙතනට වෙලා.. ඉතින් තිබහා නැතුව තියේවියෑ..."

වේටර් කොල්ලා කලින් තරහක් පිරිමහන්නද මන්දා එහෙම කිව්වේ.. වෙන්නැති ඇයි මන් සමහර දාට ඇවිල්ලා මේ නොම්මර හය මේසේ වාඩිවෙලා ටිකක් වෙලා ඉඳලා මොකුත් නොබීම යන්න යනවනේ.. ඒකේ තරහා තමයි ඒ අද පිට කළේ.. ඒත් ඒ නිහඬව මන් නැගිටලා යන්න යන දවස්වල එතනින් වතුර උගුරක් බිව්වත් මට විස වෙන්න තිබුණා.. මොකද මතකවලට ඒ වගේ උත්ප්‍රේරකයක් වැටුණාම.. මාව දරාගන්න මටවත් බෑ....

"ගොඩක් වෙලා බලන් ඉඳියද.."

ඔව්.....!!

"නෑ... එච්චර වෙලා නෑ.. ඒ කොල්ලට පිස්සු..."

"සොරි පූර්ණි එක්ක ආවේ.. එයා ලේස්ති වෙන්න ටිකක් පරක්කු වුණා..."

ඒ වචන..  මන්දා.. මට ඒ හැඟීම විස්තර කරන්නවත් තේරෙන්නේ නෑ... මගේ කතාවේ දැන් මන් අතරමැදි චරිතයක් වෙලා කියලා දැනෙන එක.. ඒක කොයි වගේද දන්නවද.. හරියට කඳු කැලෑ පීරගෙන දියඇල්ලකට උඩ මුදුනටම ගිහින් කවුරු හරි ඔයාව හිනාවෙවී පහළට අත අරිනවා වගේ හැඟීමක්... අර උඩට යද්දි තිබුණු සතුට ඒකෙන් දැනෙන තෘප්තිය.. ඒ ඔක්කොම දියඇල්ලෙන් පහළට වැටෙන්න පටන් ගන්න මොහොතෙදිම අදුරු පටලෙකින් වැහිලා යනවා... දැන් තියෙන්නේ දුක සහ ඒ හා බැඳුණු අනික් හැඟීම් පොදියක්.. මේ වෙලාවේ මට දැනෙන්නෙත් ඒ විදියට..

"කෝ එයත් ආවද.. කාර් එකේද..."

"නෑ නෑ.. එයා නිල්ස් එක ගාවින් ඩ්‍රොප් කළා මන්..."

"ආ ඒ කියන්නේ ඉක්මනට යන්න වෙනවා.."

"නෑ එහෙම එකක් නෑ.. එයා ගෙදර යයි..."

"ඔයත් එක්කම එක්කන් යන්න පුළුවන්නේ ඒක ලේසිනේ..."

"මදාර අපි වෙන දෙයක් කතා කරමුද.. මන් කියන්නේ ඉස්සර වගේ... නිකන් අර අහස දැන් කඩන් වැටුණොත් ඉර අල්ලගන්න යන්නේ කවුද...වළාකුළු ටික කවුරු එකහු කරයිද.. ඒත් නැත්තන්.. මූද වෙරළ දාලා යන්න බෑ කියලා වෙරළටම වෙලා ඉඳියනම් මොකක් වෙයිද... ගඟක් උඩුගම් ගැලුවාම මූදු බලන්න කඳු නගින්න වෙයිද.. ගාලු කොටුවේ පාරවල්වල අල්ලලා තියෙන ඉන්ටර්ලොක් ගල් කැට ගාන කීයද.. අපිට බැරිද ඒ කාලේ විදියට විකාර දෙයක් කතා කරන්න..."

"ඒ ඒකාලේ විහස්... මේ මේකාලේ..."

"ඉතින්.. ඒ කාලේ උනත් මේ කාලේ වුණත් අපි අපිමනේ.."

එයාට වැරදුනා.. අපි කොහෙද අපි වෙලා තියෙන්නේ.. දැන් අපි දෙන්නම වෙනස්... අපි කරන්නේ පිටපතකට රඟපාන එක..

"මන් අදහස් කළේ ප්‍රශ්නය තියෙන්නේ කාලය ඇතුළේ කියන එක නෙමෙයි.."

"එහෙනම්.."

"අපි කල් ඉකුත් වෙලා..."

"ඔයා එහෙම හිතනවද..."

"ඔව්... අනිවාර්‍යෙන්ම..."

ඊටපස්සේ කෙටි නිහඬබවක්.. හුළඟ නැති ලෝකේක හරි කෙළින් හිටන් ඉන්න පොප්ලර් ගහක් වගේ තේ උගුරක සුවඳ බලලා විහස් මගේ දිහා බලන් හිටියා.. ඒක මට හරි අපහසුවක්.. පොඩි ම හුළඟක් හරි එනවනම්.. මේ පොප්ලර් හාදයගේ නිහඬබව ටිකක් නැතිකරන්න..

පොප්ලර් ගහක් කියන්නේ බලාපොරොත්තුවේ සංකේතයක් ලු.. ඒ වගේම මන් කියවපු තව පොතක තිබුණා ඒක මරණයේ සංකේතයක්.. නෑ ඒකේ තිබුණේ වයසක මිනිහෙක් ගැන මයේ හිතේ.... තව එකක දේවාර්ශිවාදය ලබපු කෙනෙක් කියලත් තිබුණා.. මට මුලින් ඒක විකාරයක් කියලා හිතුණට දැන් ඇත්ත තේරෙනවා. විහස්ව දැක්කාම.. මගේ පරණ පෙම්වතා දැක්කාම !!

කාලයක් එයා මගේ ජීවිතේ තිබුණු එක්තරා බලාපොරොත්තුවක්.. බලාපොරොත්තුවක් කියන්නේ ළඟ තියෙන දෙයක් නෙමෙයිනේ.. ළඟට ගන්න බලන් ඉන්න දෙයක් නැත්තන් කෙනෙක්.. නැත්තන් කරන්න බලන් ඉන්න දෙයක් ලැබෙයි කියලා බලන් ඉන්න දෙයක්..

අන්න හරි...

එතන තියෙන්නේ බලා හිඳීමක්.. එතකොට තව කාලෙක එයා මට ලැබුණු දේවාශිර්වාදයක්.. අත් පැටලෙන හුස්ම එකතුවෙන පපුවේ සද්දේ ඇහෙන හැම මොහොතකම මන් එහෙම හිතුවා..

විහස් කියන බලාපොරොත්තුව බලා හිඳීමෙ කටුක සෘතුව අවසනක් කරලා මට දෙවියන් වහන්සේ විසින් එවපු තෑග්ගක් කියලා මන් හිතුවා..

ඒත් දැන්...

දැන් මේ පොප්ලර් හාදයා.. වයසට ගියපු මිනිහෙක්.. භෞතිකව නෙමෙයි.. මගේ හිත ඇතුළේ.. දේවශිර්වාදී තෑග්ග දේවතාවියක් උදුරගත්තා.. දේවතාවියක්..!!

ආ.. ඔව් එහෙම කියමු එයා එහෙම වෙන්න ඇති.. එතකොට මගේ ළඟ ඉතුරු වුණේ මතක.. වයසක මිනිහෙක් ගාව තියෙන මතක වගේ ඒවා.. මතක ලියපු පොතේ ජෙරනියම් සුවඳ තැවරුණු මුල් පිටු දෙක තුන.. අල්ලන්නත් ආසයි.. කියවන එක කෙසේ වෙතත්.. මැදට යන්න යන්න තිත්ත කෝපියි.. කැරමල් කෝටියකුයි වගේ.. හරිම රසවත්.. ඒත් ඉවරවෙන්න ළං වෙද්දි.. තිත්ත දොඩම් ඇටයක් වගේ.. හැපෙන්න හැපෙන්න.. ඒ කියන්නේ පිටු පෙරළෙන්න පෙරළෙන්න තිත්තයි..

දන්නවද.. ඒ අන්තිම පරිච්ඡේදවල තමයි ජීවිත කාලයක් මතක හිටින ජෙරනියම් සුවඳයි පිච්ච තේවල සුවඳයි හොඳටම තියෙන්නේ. මොකද මන් ඒවා වැඩිය පෙරළන්නේ නෑනේ.. වයසක මිනිහෙක් ගාව තියෙන වයසක මතක ඕන්න ඔය වගෙයි.. තව මතක එකහු කරගන්න එයාට කාලෙත් නෑ අවස්ථාවකුත් නෑ... දැන් එතකොට මට.. කාලය තිබ්බට අවස්ථාව නෑ.. දැන් බලන් ගියාම.. පොප්ලර් ගස් හාදයා නෙමෙයි වයසක මිනිහා.. මමයි වයසක මිනිහා.. 

පොප්ලර් අතු දිහා බලන් ඉඳලා පිස්සු හැදුණු වයසක මිනිහා මන් !!

"ඔයාට හිතෙන්නේ නැද්ද.. අපි දෙන්නගෙම මේ කතා කරන හුස්ම ටික හොඳට වාතාශ්‍රය ලැබෙන තැනකට නිදහස් කරන්න තිබුණනම් හොඳයි කියලා.. මොකද අපේ මේ වාත අංශු මේ බිත්ති හතර ඇතුළේ කොටු වෙලා තෙරපිලා තෙරපිලා මෙතන පීඩනය වැඩි කරනවා.. අනික අපි දෙන්නා විතරක් නෙමෙයිනේ මෙතන හුස්මවලින් කතා කරන්නේ.."

පොප්ලර් හාදයා මොනවදෝ දොඩවද්දි.. මන් ගියේ අවුරුදු පහක් විතර ඈතට..  ඉස්සර කුප්පි දාද්දි විහස් කළල විද්‍යාව ගැන හරි අපූරුවට අපිව වට කරගෙන පැහැදිලි කරලා දෙද්දි.. ඒ වගේම තව වෙලාවකට ස්නායු පද්ධතිය ගැන පැහැදිලි කරලා දෙද්දි මන් අහන් හිටියේ මුල් කළලයේ හැදෙන ප්‍රාථමික විෂබීජ ස්ථර ගැන නෙමෙයි. බලන් හිටියේ එයා කොළේක සංක්ෂිප්ත කරලා පෙන්නපු මධ්‍ය ස්නායු පද්ධතියේ කතන්දරේ දිහාත් නෙමෙයි..

මන්  එකදිගට සමවැදිලා වගේ බලන් හිටියේ වචනෙන් වචනෙට එක එක හැඩතල මවන විහස්ගේ පච්චපෙරුමාල් හාල්වල පාට තොල් දිහා.. ඉතින් දැන් කියලා වෙනසක් නෑ.. මන් අදත් එයා කියන ඒවා අහන් ඉන්න එක පැත්තකින් තියලා කලු හීනටි පාටට හැරෙන්න අර අදිමින් ඉන්න එයාගේ තොල් දිහාම බලන් හිටියා. ඒ වැටෙන එක එක වචන අහුලගනිමින්...

කළු හීනටි හාල් කළු පාට ම නෑ.. පච්චපෙරුමාල්වලට වඩා ටිකක් අඳුරු රතු පාටක් තියෙන්නේ.. මන් කියන්නේ එයාගේ තොල් අඳුරුවෙන්න ඇවිල්ලා... මායාකාරියෙක් එයාගේ තොල්වල දිලිසෙන ලා රතුපාට ගතිය උරාගෙනද මන්දා !!

"හෝව් හෝව්.. මන් හිතන්නේ ඔය යන තැනකින් හැරිලා ආයේ මෙතනට ආවා නම් හොඳයි වගේ නේ..."

විහස්ගේ කටහඬින් මන් ආය පියවි සිහිය ලැබුවා.. ඒ එක්කම හේසල්නට් සිරප් ගොඩකුත් එක්ක තව ලොකු උගුරු දෙක තුනක්ම ශේක් එකෙන් මන් උදුරලා වගේ අරගත්තා...

"යන්ද..."

"කොහෙද..."

"කොහෙ හරි..."

"මොකටද..."

"මෙතන පීඩනය වැඩි... ඉතින් පීඩනය වැඩි වුණාම අංශු කරන්නේ පීඩනය අඩු තැනක් හොයන් යන එක අපිත් ඒ වගේ යන්.."

"යන් එහෙනම්..."

"කොහෙටද යන්නේ..."

"ඔයා කැමති තැනකට .."

හැම තීරණේකම අයිතිය මන් විහස්ට  භාරදීලා පැත්තකට වුණා.. නෑ ඒක හොඳයි.. මොකද මේ රිදෙන තරම එයාට කොහෙත්ම දරාගන්න බැරිවෙයි.. ගල් මාළුවෙක් විද්දා වගේ... හරි අමාරුයි රෑට රෑට විහස්ගේ ඉඹුල් ගස්වලින් ඉහිරුණු තරු ඇස් මතක් වෙද්දි පපුව කකියන එක දරාගන්න එක..

එයාට එහෙම වේදනාවක් දැනෙන්න හොඳ නෑ.. මමම ඒක විඳගත්තාවේ.. එයා ගන්න තීරණවලින් කවදත් මටම රිදුනාවේ...!!

එයා කවදාවත් ජැස්මින් ටී එක බොන්නේ නෑ.. සුවඳ බලනවා විතරයි. මන් කිව්වේ ඒ කාලේ තමුසෙට හොඳටම පිස්සු කියලා.. සල්ලි දීලා අරගන්නේ නිකන් සුවඳ බලන්න නෙමෙයිනේ..

එතකොට එයා අර හැමවෙලාවෙම දාන උණුහුම් හිනාව පෙන්නලා මෙහෙම කියනවා...

"මදාර.. මන් මේ පිච්ච තේ එකේ සුවඳට හරි ආදරෙයි.. ඒ සුවඳෙන් දිවේ  රසාංකුර උත්තේජනය වුණාම දිවට දැනෙන අමුතු පලතුරු මිශ්‍රිත රහට මන් හරිම ආදරෙයි.. ඉතින් උගුඩුවා වගේ එකපාර මේක බීලා දැම්මොත් කොහොමද ඉතින් මන් ඕවා විඳින්නේ.. අනික මේවා උගුරෙන් පල්ලෙහාට අන්නස්‍රෝතය දිගේ ආහාර මාර්ගයට එකතුවුණාට පස්සේ ඔය සංවේදන ආයේ දැනෙන එකක් කියලද..  ඉතින් මන් සුවඳ බලලා තේක තියලා පැත්තකට වෙනවා..."

හරි අමුතු උත්තරයක් තමයි ඒක.. එයා මටත් කළේ ඒක..!!

ඉතින් ඉවර නොකරපු පිච්ච තේ කෝප්පෙයි සම්පූර්ණෙන් අඩියටම ඉවර කරපු එස්ප්‍රෙසෝ ශේක් එකයි මේසෙ උඩින් තියලා අපි දෙන්නා එළියට බැස්සා... ඉරේ ඇඬිල්ල හොඳටෝම වැඩිවෙලා දැන් අහස හරිම පාටයි.. ඔය අස්සේ අපි දෙන්නා ගාලු කොටුවේ ඉන්ටලොක් ගල් අල්ලපු පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා..

ඒ නිදහස.. අවුරුදු තුනකට පස්සේ ආයෙම.. !! අපි ඉස්සරහින් මැවෙන හෙවනැලි එකට ළං වෙලා තුරුල්වෙලා වගේ යන්නේ.. මොකද මන් පිටිපස්සෙන් එන හින්දා... ඒත් අපි ඈත්වෙලා.. අර ලෝහ කෑල්ල දාපු අත එල්ලෙන්නේ මගේ පැත්තෙන්.. හිත හදන් ඕක අල්ලන් පුළුවන්ද මට.. හිත විතරක් නෙමෙයි අතත් හීරෙයි ඒපාර ඕකට...!!

අපි දෙන්නා ටිකක් දුර ඇවිදගෙන ගිහින් කොටු බැම්ම උඩින් වාඩිවුණා... ලස්සනට මූද පේනවා.. ඉර අහස බදන් අඬද්දි හඳ පැත්තකට වෙලා බලන් ඉන්න විදිය පේනවා.. හදට එහයින් චූටි තරුවක් පේනවා.. එතන තියෙන්නේ.. සිව්කොන් ප්‍රේමයක්ද මන්දා.. මොනවා වුණත් හරි දුක්බරයි..

"දැනෙනවද දැන්..."

"මොකක්ද..."

"නිදහස..."

ඉස්සර නම් ඒ නිදහස තිබුණේ මේ උණුහුම් හිනාකාරයා ගාව තමයි.. ඒත් දැන්.. නෑ.. මන් දැන් ඒ මනුස්සයා ඉස්සරහදි තමයි වැඩිපුරම කොටුවෙන්නේ.. වැඩිපුරම හිරවෙන්නේ...

"මට නම් දැනෙනවා..."

මගේ උත්තරේ නොලැබෙන හින්දා එයා ආයෙම ඉස්සර වුණා.. ඒත් එයාගේ නිදහස තියෙන්නේ එයා ඇස් අලවගෙන ඉන්න ඈත මූද ළඟද.. එහෙමත් නැත්තන් එයාගේ එහාපැත්තෙ ඉන්න මන් ගාවද කියන එක හැබෑටම මටත් ප්‍රශ්නාර්ථයක් !!

"අවුරුදු තුනට සෑහෙන දේවල් වෙනස්වෙලා නේද..."

"ඔව් සෑහෙන දේවල්..."

"එක දෙයක් ඇර..."

"අර මොකක්ද..."

ආයේ හිනාවක්...

"අවුරුදු තුනකට කලින් ඔයා මන් ඉස්සරහා ඉද්දි කලබලෙන් ඇහිපිය ගහපු විදිය.. ඒක තාම වෙනස් වෙලා නෑ.."

"ආ මේ... නෑ ඇහැට රොඩ්ඩක් ගියා.."

"ඔය රොඩු යන හැටියට ඔයාගේ ඇස් දෙක කුණුගොඩක් වෙයි බලාගෙන..."

මගේ දිහා බලන් ඒක කියපු විහස් ආයෙම මූද දිහා බලන් හිටියා..

මන් ඇහිපිය ගහන රටාවත් අඳුනගෙන හිටපු මේ පුදුමාකාර මනුස්සයා... කොහොමද ඒ වගේ තීරණයක් ගත්තේ....!!

"මිනිස්සු ජීවිතේදි ගන්නේ හරි තීරණම නෙමෙයි මදාර.."

හිත කියෙව්වා වගේ එයා එහෙම කිව්වාම මන් විහස් දිහා බැලුවා.. මට එයාගේ මූණෙන් භාගයක් පේන්නේ.. කොහොමත් මේ වගේ වෙලාවට විහස් එයාගේ ඇස් හංගගන්නවා..

"වැරදි බව දැනදැනත් අපි ඒ තීරණ ගන්නේ තියෙන අසරණකමට.. මන් නම් කියන්නේ ජීවිතේ කිසිම වෙලාවක කිසිම මනුස්සයෙක් ඒවගේ අසරණකම හින්දා තීරණ ගන්න හොඳ නෑ.. එතකොට වරදිනවා.. අනිවාර්‍යෙන්.."

ආපිට හරවන්න බැරි වැරදි තීරණයක් ගැන කතා කරන එකෙත් ප්‍රයෝජනයක් නැහැයි කියලා කියන්න උවමනාවක් මට තිබුණත් මන් නිශ්ශබ්දව හිටියා.. රළ ගෙඩි අඬාගෙන ඈතට යද්දි නිහඬව දරාගෙන ඉන්න වෙරළ වගේ...

"හැමවෙලාවෙම මන් දිහා ඔහොම කන්න වගේ බලන් ඉන්න එපා මදාර.. ඔයා ඔය ඇහිපිය ගහන වේගෙට මාව ඔයාගේ ලොකු ඇස් අස්සට ඇදිලා යනවා වගේ... මන් එහෙම ඇදිලා ගියොත් මට ආයේ එළියට එන්න කවදාවත් බැරි වෙයි...කවදාවත්ම..!! මට ඔයාගේ ඇස්වලින් ලස්සනට ලෝකේ බලන්න පුළුවන් වෙනවා තමයි.. හැබැයි ඔයාට ඇස් කෙවෙන්න ගනිවී.. නොනවත්වා හැමදාම කඳුළු ඒවි.. මන් ඒකට ආස නෑ..."

විහස් අන්තිම ටික කිව්වේ මූදට අලවන් ඉඳපු ඇස් මගේ පැත්තට හරවන ගමන්...

දන්නවද මේ පරිසරය සමහර සිද්ධි මවන්නෙ තිරපිටපතක් බලාගෙන..

මට මෙතනින් නැගිටලා බැම්ම උඩ හිටගෙන මුළු ලෝකෙටම ඇහෙන්න.. අර මූදු හතෙන් එහාටම ඇහෙන්න.. විහස්ගේ මායාකාරිට ඇහෙන්න.. කන් බීරිවෙන තරම් සද්දෙන් හයියෙන් කෑගහලා කියන්න ඕන...

"තමුසෙව ඇස් අස්සේ තියාගෙන තමයි යකෝ මන් මෙච්චර කල් ජීවත්වුණේ..."

කියලා...!!

බෑ.. කියාගන්න බෑ මට...

"අපි දෙන්නා මෙහෙම ඉද්දි මන් කියවපු කතාවක් මතක් වෙනවා..."

විහස්ගේ ක්ෂණික මාතෘකා වෙනස්කිරීමක්

"ඒකේ ඉඳපු කොල්ලෝ දෙන්නත් මෙහෙම ඉර බහින හවසක කොටු බැම්ම උඩ වාඩිවෙලා කතා කර කර හිටියා.. එක්කෙනෙක් අන්ශ්.. අනිකා මනස්... ටිකක් අපි වගේ.."

"ඒ කිව්වේ..."

"වැරදි තීරණ සහ කෙවෙන ඇස්.."

"මොකක්.."

"වෙන්වීමක්.."

"ආහ්.."

"මොකුත් කියන්නැද්ද ඉතින්.. අවුරුදු තුනකට පස්සේ අපි මුණ ගැහුණේ.. මගෙන් අහන්න දෙයක්වත් නැද්ද.."

විහස් ඒක ඇහුවේ ආයාචනයක් කරන හඬකින්.. කොහෙත්ම එයාට ඒවගේ කටහඬක් ගැළපෙන්නේ නෑ...

"ඔයා අහලා තියෙනවද විහස් මාල පොප්ලර් ගහේ කතන්දරේ..."

"මාල පොප්ලර්.. කිව්වේ.."

"කොට්න්වුඩ් ගස් උතුරු ඇමරිකාවේ පහළ මිසිසිපි ගං ඉවුරුවල හැදෙන හරි යෝධ ගස් ජාතියක්.."

"ආ.. නෙක්ලස් පොප්ලර් !!"

"දන්නවද.."

"නෑ නෑ.. අහලා  නෑ කියන්නකෝ ඉතින් මොකක්ද ඒ කතාව..."

"ඔයා හිතන්නේ තරු කොහේ ඉපදුනා කියලද විහස්.. අහසේ ඉපදුනා කියලද.. නෑ... ඒක වැරදි.. මේ ලෝකේ තියෙන හැමදේම දරාගන්නේ මහපොළොව.. මහපොළොව තමයි මේ ලෝකේ හැමදෙයකටම උත්පත්තිය දුන්නේ... ඉතින් තරු උපන්නෙත් පොළොවෙන්..."

මන් ලොකු හුස්මක් ගත්තා මොකද කතාව ටිකක් දිගයි.. අපි දෙන්නම බලන් ඉන්නේ ඈත දියඹ දිහා.. නිකමට එහෙම ඔයා මේ ලෝකේ කැමතිම මනුස්සයා එක්ක වාඩිවෙලා ඔය වගේ ලස්සන මායා කතාවක් ගැන පොඩ්ඩක් කතා කරලා බලන්න.. වගකීමෙන් කියන්නේ ඔයාගේ මොළේ රසායනය අවුල් වෙලා පිස්සු වැටෙන්න තරම් හැඟීමක් දැනෙනවා.. ඒක ඔයාව පිස්සුවට්ටනවා... ආයේ කතාවට..

"ඉතින් තරු පොළොවේ ගැඹුරුම තැනක ඉඳන් පස දිගේ උඩට ආවා.. මාල පොප්ලර් ගස්වල මුල් මුණගැහෙනකන්.. ඊටපස්සේ.. අර පුංචි තරු මුල් හරහා ගහ දිගේ උඩට යන්න පටන් ගත්තා.. මහ පොළොව පසාරු කරන් උඩට ඇවිල්ලා මහන්සි හින්දා එයාලා අර ගහේ අතුරිකිලිවල විවේක ගන්න පටන් ගත්තා.. ටිකක් නිදාගත්තා... බොහොම සැහැල්ලුවෙන්.. හරිම නිදහසේ පිච්චෙන්නැතුව නිදාගත්තා..

පස්සේ දවසක් රෑ අහසේ මායාකාරිට අහසේ තියෙන හඳ විතරක් මදි වුණා.. එයාට ඕන වුණා අහසේ හැමතැනම පුංචි පුංචි බල්බ් එල්ලලා එයාගේ මායාලෝකේ එළිය කරගන්න.."

"ඉතින්..."

"ඉතින් ඒ මායාකාරි හුළඟට කතා කළා.. කතා කරලා කිව්වා අර මාල පොප්ලර් ගහේ අතුකොනේ රිකිලිවල නිදන් ඉන්න පුංචි තරු ටික උස්සගෙන ඇවිල්ලා අහසට අත අරින්න කියලා..
හුළඟ වේගෙන් වේගෙන් හැමුවා.. ගස් කඩාගෙන අඹරවගෙන හීතල හුළං හරිම වේගෙන් හැමුවා.. මාල පොප්ලර් ගස්වල අතු රිකිලි කැඩිලා ගියා.. අර නිදන් හිටපු තරු ටික හුළඟ කුදලන් ගිහින් අහසට භාරදුන්නා.. එළිය නිවන් ඉඳපු තරු ලස්සනට එළිය විහිදුවන්න ගත්තා.. හඳ එක්ක එකතුවෙලා ලෝකෙම එළිය කරන්න ගත්තා...

ඒත්.. දන්නවද.. තරු ඉන්නේ සතුටෙන් නෙමෙයි... එයාලා පිච්චෙනවා.. මාල පොප්ලර් ගහේ තුරුලෙන් ඈතට ගියාට පස්සේ හැමදාම එයාලට පිච්චි පිච්චි වෙන කාවදෝ සරසන්න වෙලා..  ඇයි දන්නවද අර සමහර තරු නිවි නිවී පත්තුවෙන්නේ.. ඒ එයාලා මාල පොප්ලර් ගස් දිහා බලන් ඇහිපිය ගහනවා.. එයාලා අඬනවා කියලා පෙන්නන්නවා.. 

විහස් ඔයා දැකලා තියෙනවද.. සමහර සීතල කාලවලට.. නෑ සීතල වෙන්නම ඕන්නෑ සමහර රැයවල් තියෙනවා අහසේ එක තරුවක්වත් නැති.. හඳ තිබ්බට තරු නැති.. අන්න ඒ වගේ රැයවල්වලදි තරු ආයේ යනවා මාල පොප්ලර් ගහේ අතුවලට තුරුලු වෙන්න.. පිච්චෙන්නේ නැතුව දවසක් හරි ඉන්න එයාලා ඒ අතු බදාගෙන සැපට නිදාගන්නවා..

මාල පොප්ලර් ගස් ඒ දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා.. හුළඟ උදුරගෙන ගිහින් අහසේ ඉන්න මායාකාරිට භාරදුන්නු පුංචි තරු එයා ගාවට ඇවිත් නිදහස සැනසීම හොයද්දි මාල පොප්ලර් ගස්වලට ඇඬෙනවා.. හුළඟ එක්ක රණ්ඩු කර රහසේම පොප්ලර් ගස් අඬනවා.. ඉතින් ආයෙම තරු ටික අහසට යනවා.. තරු අයිති අහසට..  ඒ උනාට අර මාල පොප්ලර් ගස් තරුවලට කැමතිවෙලාවක ඇවිල්ලා ආයේ යන්න ඉඩහදලා දීලා බලන් ඉන්නවා.. හුඟක්ම පාළු දැනෙන වළාකුළුවලින් තරුවැහෙන හුඟක්ම හුළඟ වැඩි රෑ කාලවල්වලදි ආයෙම මාල පොප්ලර් ගස් අඬනවා...!!

"ඔයා කියන්නේ මාල පොප්ලර් තරු එනකන් බලන් ඉන්නවා කියලා නේ..."

"ඔව් සදාකාලිකවම...!!"

එයා තේරුම්ගත්තා නම් ඒ කතාවේ භාගෙකම තියෙන්නේ අපේ කතාව.. කොටින්ම කියනවනම් අපිට උනු දේ.. සමාජ සම්මතය.. තත්ත්වය.. නම්බුව වගේ හුළං ඇවිත් අතු කඩලා දාලා තරු කුදලගෙන ගිහින් මායාකාරිට භාර දුන්නා.. දැන් අමාවක කාලෙට තරු ඇවිත් මාල පොප්ලර් ගහ බලන්න.. තරු කියන එක විහස් කියන නමින් විස්ථාපන කළොත් ඒ අපේ කතාව....!!

ආයෙම කතා නැති හිස්තැනක්.. එයත් නිහඬයි මාත් නිහඬයි.. මූද කෑගගහා අහස බදන් ඉන්න ඉර ඉල්ලනවා එච්චරයි...

"ඔයාගේ වයිෆ් මොකද කරන්නේ.."

කිසිම සම්බන්ධයක් නැති ප්‍රශ්නයක් විහස්ගෙන්...!!

හරිම ලස්සන විහිළුව විහස්.. මන් කලින්ම කිව්වා මාව කැලේ මැද අතරමං කරලා ඔයා වෙන පාරක හැරිලා ගියාට මට ආයේ යන්න පාරක් හොයාගන්න බැරි වුණු වග.. ඉතින් තව ඒකම අහන ලස්සන...

"වයිෆ් ? "

"ආ.. ගර්ල්ෆ්‍රෙන්ඩ්.."

"ගර්ල්ෆ්‍රෙන්ඩ්..?"

"එහෙනම් බෝයිෆ්‍රෙන්ඩ්"

"බෝයිෆ්‍රෙන්ඩ්....?"

"බොරු....!!"

"ඇත්ත..!!"

"තවම එතනද..."

මන් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නෑ... මන් හිනාවුණා... එයාගේ හිනාව තරම් ලස්සන නැතුව ඇති.. හැබැයි මන් හිනාවුණා... පපුව පැලෙන්න තරම් කකියද්දි හරිම රස්නේ වාත ධාරාවක් උගුරට ඇතුළුවෙලා දඟලද්දි.. මන් ඉතින් හිනාවුණා...

"හිනාවෙන්න එපා මදාර මන් ඇහුවේ ප්‍රශ්නයක්..."

"සක්‍ර දෙයියෝ බුදුන්ට පූජ කරපු මදාරා මල් හැමෝ ළඟම පිපෙන්නේ නෑ විහස්.. අයිතිකාරයෝ අත ඇරලා දාලා ගියාට පස්සේ එයාලා පරවෙලා යනවා මිසක්.. වෙන කොහෙවත් පිපෙන්න යන්නේ නෑ..."

එයාගේ ඇස් දිලිසෙනවා.. මන් ආසම හීනි ඇස් දෙක..

ඉඳලා ඉඳලා මන් කිව්ව වචන ටික හින්දා කළු හීනටි පාට තොල් වෙව්ලනවා.. එයා කලබල වෙලා අත මිට මොළවලා වගේ අරගෙන නහයට යටින් තද කරලා තියාගත්තේ.. ඒ හුස්මවලින් මන් එයාගේ හිත අඳුනගනී කියලා බය වුණු හින්දද මන්දා...

වාඩිවෙලා හිටපු විහස් නැගිටලා යන්න ගියා එකපාරටම.. මන් එයා යනදිහා බලන් හිටියේ නෑ.. බලන් ඉන්නත් බෑ මට.. මන් ඉතින් කලින් ඉඳපු විදියටම මූද දිහා බලන් හිටියා.. අර කලින් කිව්ව වෙරළ වගේ රළ ගෙඩි අඩාගෙන යද්දි මන් ඒ දිහා නොබලම ඇස් පිය ගැහුවා කලින්ටත් වඩා වේගෙන්.. ඉර අඬන කඳුළු පිහිදාන්න වළාකුළු හිටියට මන් අඬද්දි කඳුළු පිහිදාන්න තියෙන්නේ මගේ අත විතරනේ...

විහස්.. ඔයා කාලෙන් කාලෙට මගේ ජීවිතේට ඇවිල්ල මොකකද්දෝ දෙයක් මතක් කරලා දීලා ආයෙම යන්න යනවා... අර කතාවේ තරු වගෙ..

ඒත් එකපාරට හිතුනෙවත් නැති  හිතුවෙවත් නැති දෙයක්..  මෙන්න හුළඟට ආයේම ජෙරනියම් සුවඳ මිශ්‍ර වෙලා.. ඒ කොහොමද..

හිත් සෝදිසියට මන් පිටිපස්ස හැරිලා බලන්න යද්දිම.. සීතලම සීතල අත් දෙකක් මැදට මගේ මූණ මැදිවුණා.. ඊළඟ තත්පරේ හීනි ඇස් දෙකක් පියවිලා මගේ ඇස් ඉස්සරහා.. නෑ අඟලක් විතර පහළින් කියමුකෝ...

මගේ හිත කෑගහනවා..

"ඔහොම කරන්න එපා මනුස්සයෝ.. තව ටිකකින් තමුසෙව හුළඟට ගහන් ගියාම මට මැරෙන්න හිතෙනවා.."

කියලා...!!

කොහෙද හිතුවිලි වචන කරන්න අවසරයක් නෑ මේ වෙලාවේ.. වචනයක් උපද්දවන්න ස්වර තන්තු කැළඹෙන්න පොඩි වාතධාරාවකටවත් එන්න ඉඩක් නැති වෙන්න විහස් එයාගේ කළුහීනටිපාට තොල්වලින් ඒ වාතය ඇතුළු කරගන්න දොරටුව වහගෙන.. අවුරුදු තුනකට ඉහත අතීතයේ නම් මේවා මහ දේවල් නෙමෙයි.. ඒත් දැන් මේක අරුමයක්.. අවුරුදු හාරසීයකට පන්සීයකට සැරයක් පොළොවට වැටෙන වල්ගා තරුවක් දකින්න ලැබෙනවා වගේ දුර්ලභ දෙයක් ඒක..

මමත් නිකන් ඉඳියේ නෑ ගල් ගැහිලා වගේ බලන් හිටියෙත් නෑ.. මටත් ඕන වුණා මායාකාරි විහස්ගේ තොල්වලට එකහු කරපු විෂ පාට කළුහීනටි හාල්වල පාට උරලා ගන්න.. ආයෙම අර ළා ත් නැති තදත් නැති දිලිසෙන පච්චපෙරුමාල් හාල්වල පාට එයාගේ තොල් වලට අරන් දෙන්න...මොකද ඒවා තමයි එයාගේ හීනි ඇස්වලට ගැළපෙන්නෙම...

කළු හීනටි සාමාන්‍යෙන් විෂ නොවුණට මට හිතෙනවා විහස්ටයි මටයි දෙන්නටම ඒවා විස ඇති... මන් ඒ විස උරාගෙන මැරිලා ගියත් කමක් නෑ...මට ඕන වුණේ ඒ මොහොතකට විතරක් හරි පරණ විහස්ව දකින්න... පරණ විහස්ව හයියෙන් බදාගන්න.. ඉස්සර එයාගේ ශර්ට් පපුවෙන් ආපු ජෙරනියම් සුවඳ බලන්න.. එයා ගාව තිබුණු සනීප උණුහුම විඳින්න..

අර මැජික් එක ඉවර වුණාට පස්සේ ඒ දේවල් ටිකත් ඒ විදියටම සිද්ද වුණා...ඒත් අද මට ඒ ශර්ට් එකෙන් එනවා වෙනදා නාපු සේදුම්කුඩු වර්ගයක සුවඳක්.. ලෙමන් සුවඳයි ජෙරනියම් සුවඳයි ගැළපෙන්නෙ නෑ... ඒත් මන් ලෙමන් මල් පෙති සුවඳ පැත්තකින් තියලා ජෙරනියම් සුවඳ හොඳ හැටි ආඝ්‍රාණය කළා..

පැණිරසක් වගේ ඉබේටම දැනෙන.. මින්ට් වල පොඟවපු රෝස පෙත්තක තියෙන සුවඳ.. මන් මේ ලෝකේ විඳින්න ආසම සුවඳ...!!

විහස් මාව බදාගත්තේ ආයේ ජීවිතේට අත අරින්නේ නැති ගාණට..

අවසන් හාදුවකයි.. අවසන් වැළඳගැනීමකයි තියෙන්නේ පුදුම පිවිතුරු බවක්.. එතන නෑනේ ආයේ මුණ ගැහෙන්න පොරොන්දුවක්... කවදාහරි දවසක මතක් කරද්දි දුක් වෙන්න කාරණාවක් එතන නෑ.. නැත්තේ නෑ තියෙනවා.. ඒත් මන්දා මට හරි නිදහසක් දැනෙනවා ඒකේ...

"මදාර...!!"

විහස් මාව අතඇරියා.. අත ඇරිලා මගේ ඇස් දිහාම බලාගෙන දෙයක් කියන්න වචන ඇහිලුවා..

ඒ ඇස්වලින් මට මාව පේන්නේ දිලිසි දිලිසි.. කඳුළු පිරෙන්න ඔන්න මෙන්න වගේ.. එයා තාම වචන ඇහිදිනවා.. මන් ඉතින් පුරුද්දටම බලන් හිටියා...

"මන් තාමත් උඹට ආදරෙයි බන්.... මන් දන්නේ එච්චරයි...!!"

එහෙම කියපු හැටියේ විහස්ගේ අත් ආයෙම මාව හොයන් දුවන් ආවා.. ආයෙම ඔන්න ජෙරනියම් සුවඳ... මටත් කෑගහලා කියන්න තිබුණා.. ඔව් යකෝ මාත් එහෙමයි කියලා.. නෑ ඕන්නෑ... මාල පොප්ලර් ගස් කවදාවත් තරු තමන්ගේ ළඟ නවත්තගත්තේ නෑ.. යන තැනක යන්න දුන්නා.. මාත් එහෙමයි.. ආයේ විහස්ට නවතින්න හේතු හදන්න ඕන වුණේ නෑ මට..

මන් ඒ හින්දා හෙමීට විහස්ගේ උරහිසට දෙතුන් පාරක් තට්ටු කළා.. එතනත් සැනසීම නෑ.. මොකද.. ඒ තට්ටුවේ පවා අපි දෙන්නටම ලියවුණු අනන්‍යතාවයක් තිබුණා.. ඉතින්.. මොනවා කරන්නද.. හැමදේම දැන් ඉවර වුණු නාට්‍යක්.....!!

"මන් යන්නම්..."

අන්තිමේදි පපුව ගලවලා පැත්තකින් තියන්න වෙන වචන දෙක එයාගේ කටින් වාතලයට මුසු වෙද්දිම මගේ කන් දෙක ඉස්සරවෙලා ම ගිහින් තත්පරේකවත් සුනංගුවක් නැතුව ඒ වචන දෙක අල්ලගත්තා...

"ආයේ එන්න නෙමෙයිනේ..."

"මල් පොප්ලර් ගස් හොයාගෙන තරු එන්නේ කලින් කියලා නෙමෙයිනේ මදාර...!!"

එහෙම කියලා ආයෙම අර හවස මුණගැහෙද්දිම එයාගේ මූණේ තිබුණු උණුහුම් හිනාව මගේ ගාවින් තියලා මගේ කොණ්ඩෙත් පුරුදු විදියට අවුල් කරලා යන්න හැරුණා....

කොණ්ඩෙ අවුල් කරද්දි අවුරුදු තුන හතරක් පස්සට ගියපු මන් ආයේ හරි සිහියට ගත්තේ අර එයාගේ අතේ දාගෙන ඉඳපු ලෝහ කෑල්ලේ සීතල..

මොකද මීට කලින් විහස් ඔය විදියට දස දහස්වතාවක්.. මගේ කොණ්ඩේ ඔහොම අවුල් කරන්න ඇති.. ඒත් ඒ කිසිම වෙලාවක නොදැනුනු සීතල වෙනසක් මට අද දැනුනා.. ඒකෙන් ආයෙම මගේ කනට ගහලා යථාර්තය මොකක්ද කියලා පෙන්නලා දුන්නා....!!

එයා ඈතට ඈතට යද්දි මට ඇහුණා මහා හයියෙන් රළගෙඩියක් බිඳෙන සද්දයක්.. දෙයියනේ මෙච්චර වෙලා අහසෙන් ඉර උදුර ගන්න දෝතපාගෙන හිටපු මූද කොහොම හරි අහසෙන් ඉර උදුරගෙන... අහස එන්න එන්න පාට අයින් කරලා කළු පාට වේගෙන එනවා.... මූද ඕක මට කියන්නද මන්දා මහ හයියෙන් බෙරිහන් දෙනවා..

විහස් නොපෙනී යන වීදි ලාම්පු එක දෙකක් දැල්විලා තොබුණු පාර දිහාවෙන් ඇස් අහකට අරගෙන මන් ආයෙම මූද දිහා බැලුවා.. ඒ ඈතින් ඇහෙන සින්දුවක පද පේළි දෙක තුනක් හොඳට කන අස්සට දාගන්න ගමන්.. !!!
.
.
.
.
.

ඉතින් සඳවත

යන්න හෙමිහිට මන් දුරක යනවා..

අඳුරු කුටියක තනි රකින්නට

පඬුරු නළියනවා...

කඳුළු හංගාගෙනම හිටියත්

පපුව උණුවෙනවා...

වහින්නට පෙර යන්න හනිකට මලක් නිදියනවා...!!

ඉදින් අවසානයේ දි ඔවුහු මිලි සුසුමකින් පවා එකිනෙකා හොඳින් හඳුනන ආගන්තුකයෝ වූහ..!!

.

.

.
ආය කියවද්දි මටත් හෙන ගොන් ගතියක් එනවා.  දන්නැද්ද කාලෙන් කාලෙට...
.
.

ට්‍රැක් බන් ට්‍රැක්... දෙන්නෙම නෑ කිය කිය වෙන මල මගුල් දානවනේ.. ගැත්තාට කමා කරනු මැනවි.. මාල පොප්ලර් ගස්වල තරු නිදාගන්න තැන් පහළින් බලාගන්ට.. අදහස් කියන් ගියානම් වටිනවා ඉතින්.. බොහොම ස්තූතියි !!

යස්වි..

Continue Reading

You'll Also Like

18.6K 500 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
48.7K 6.5K 55
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
12.4K 1.1K 86
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
15K 1.4K 17
" ඇයි අයියෙ ඔයා කොයි වෙලෙත් මාව සුදු අරලිය මලකට සමාන කරන්නෙ.." මං අයියගෙ මූන දිහා බලන් අහනකොට එයා මගෙ ඇස් දෙක දිහා බැලුවා.. මගෙ අයියගෙ මූනෙ ඇඳිලා තිබ...