දවස් ගෙවිලා ගියේ ඉබි ගමනින් වගේ... අදට දේව් කොළඹ ගිහින් දවස් තුනක් වෙනකොට ගියපු දවසේ ඇරෙන්න එයාගෙන් ආයේ කෝල් එකක් ආවේ නෑ... ඒකට හේතුව උනේ එයාගේ මිෂන් එක වෙනකොට මම ඒ හැම දෙයක්ම ඉවසගෙන දවස් ගෙවාගත්තේ අමාරුවෙන්....
"උඹ ඔහොම කල්පනා කර කර ඉන්න එපා තේජුවෝ... ඊළඟට අසනීපයක් එහෙම උනොත්....."
කල්පනා කර කර හිටපු මගේ ළඟට ඇවිත් අභි කියද්දී මම ලොකු හුස්මක් ගත්තා....
"හිතලා කරන් නෑ බං.... ඒත් හිත කලබලයි දේව් ගැන දැන ගන්න විදිහක් නැතුව....."
"ඒක මට නොතේරෙනවා නෙමෙයි බං... මම උනත් ඉන්නේ කලබලෙන් ඇසළගේ කෝල් එකක් නැතුව... ඒත් අපි එහෙම වෙන්න හේතුව දැන දැන කලබල වෙන්න ඕන නෑ.... ශාක්‍ය අයියා කියපු විදිහට ඉතුරු තව දවස් දෙකයිනේ... අපි බලන් ඉමු.... "
මේ ගෙවුන දවස් තුනම ඔහොමයි... මම කල්පනා කර කර තැවෙනකොට අභියා හැම වෙලේම කරේ මගේ හිත සනසපු එක... ඌ කියන කතාව ඇත්ත... දේව් මට පොරොන්දු උනා... මම දන්නවා එයා ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ඨ කරනවා කියලා.....
"ඇත්ත මොකක් උනත් අවුරුදු එකහමාරකට කලින් වෙච්ච දේ ගැන උඹට දුකක් නැද්ද තේජු???"
අභියා එක පාරටම අහපු ප්‍රශ්නෙට මම ගැස්සුනා....
ඇත්තටම මට දුකක් නැද්ද???
මගේ හිතත් ඒ ප්‍රශ්නෙම මගෙන් අහනවා...
"ඒක ගැන කිව්වොත් මට එදා දුකක් දැනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්... දුක හිතුනා.... ගොඩාක් දුක හිතුනා.. මොකද මම එයාට පණටත් වඩා ආදරෙයි... එයත් එහෙමයි.. ඒත් එහෙම තියෙද්දි එයා කියපු හැම වචනයක්ම ගිහින් නතර උනේ මගේ පපුවේ ගැඹුරුම තැන.. එතකොට මට දැනුනේ දුකකට වඩා කලකිරීමක්... හැබැයි එහෙමයි කියලා මට කවදාවත් දේව් ට වෛර කරන්න හිතුනේ නෑ... මම එයාගෙන් ඈත් වෙලා ආවේ උනත් මගේ හිත හදා ගන්න... මොකද මම බය උනා එයාගේ වචන එක්ක ඉස්සරහට එයාගේ හැසිරීම එක්ක මට එයාව එපා වෙයි කියලා.. මොකද මොන හේතුවක් උනත් මම කැමති උනේ නෑ මගේ හිතේ එයාට තියෙන ආදරේ නැති කර ගන්න.. බොළඳයි කියලා හිතෙන්න පුළුවන්... හැබැයි ඒකට හේතුව අදටත් මට හිතා ගන්න බෑ...... "
මම කිව්වේ මට දැනෙන ඇත්තම හැඟීම... හේතුවක් නොදන්නවා උනත් මට කවදාවත් දේව් ව නැති කර ගන්න ඕන උනේ නෑ... මොකද මම එයාට පුදුම තරම් ආදරේ කලා... එදා ඒ තරම් දේවල් කියලා බැන්නත් කෑ ගැහුවත් ඒ මොහොතෙත් මම එයාට ආදරේ කලා... එච්චර දේවල් කියපු එකා ළඟටම ආපහු ගියා කියනකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මම ආත්ම ගෞරවේ බල්ලට දැම්මා කියලා... ඒත් නැති කර ගන්න බැරි තරමටම ආදරේ කරනකොට මිනිස්සු එහෙමයි... හැබැයි එහෙමයි කියලා අන්තිම කැත වැඩ කරන එකෙක් ළඟට යන්න ඕනයි කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ...
හැබැයි මගේ දේව් ඒ හැමෝටම වඩා වෙනස්... අන්න ඒ නිසයි මම දේව් ට, අපේ සම්බන්දෙට තව අවස්ථාවක් දුන්නේ.... මොකද එයා එදා ඒ හැම දෙයක්ම කරේ හේතුවක් ඇතුව... ඉතිං කලින් දුකක් දැනුනත් මට දැන් දුකක් දැනෙන් නෑ... මොකද එදා ඒ දැනුන දුකට වඩා අද මට දැනෙන සතුට ඊට වැඩියි.... අපි හැම වෙලේම ජීවත් වෙන්න ඕන වර්තමානේ මිසක් අතීතේ නෙමෙයි... අපේ අනාගතේ සතුටෙන් තියෙන්න නම් අපි අතීතේ ජීවත් නොවී වර්තමානේ සතුටෙන් ජීවත් වෙන්න ඕන....
"දවල්ට කන්නේ මොනාද බං???"
මම කල්පනා කර කර හිටපු දිහා බලන් ඉඳලා අභියා අහද්දී මම ටික වෙලාවක් බලන් හිටියා...
"පරිප්පුවක් හදලා හාල් මැස්සෙක් තෙල් දාලා ගමු බං.... අපි දෙන්නා විතරනේ....."
පුටුවෙන් නැගිටින ගමන් මම අභියට කියද්දී ඌත් ඒකට හා කියලා අපි දෙන්නා එක්කම කුස්සියට ඇවිත් උයන්න පටන් ගත්තා....
"ඇත්තටම ශාක්‍ය අයියලගේ තාත්තට උඹ එක්ක තියෙන ප්‍රශ්නේ අම්මගේ කේස් එක විතරමද තේජු?? "
කාලා බීලා ඔක්කොම ඉවර වෙලා ආපහු සාලෙටම ඇවිත් වාඩිවෙන අතරේ අභියා මගෙන් එහෙම ඇහුවා...
"එතන තව හැංගිච්ච කතාවකුත් තියෙනවා අභි...."
"ඒ කිව්වේ තේජු....."
"ඒවා දැන් නෙමෙයි... මේ හැම දෙයක්ම විසඳුනහම නිවි සැනසිල්ලේ උඹට කියන්නම්... මමත් හැමදේම දැන ගත්තේ ළඟදි... දේව් ඒ දේවල් කියනකන් මම දැනගෙන හිටියේ හරිම පොඩ්ඩයි.... අම්මගේ ඩයරි එකෙන් කියවපු පොඩි කොටස ගැන විතරයි මම එතකොට දැනගෙන හිටියේ..."
අභි අහපු දේට මම උත්තර දෙනකොට එයා ලොකු හුස්මක් ගත්තා.....
"අභි මම උඹෙන් ප්‍රශ්නයක් අහන්න උඹ මට ඒකට ඇත්තම කියනවද?? "
ගොඩ කාලයක් තිස්සේ හිතට වද දීපු ප්‍රශ්නයක් අදවත් අභිගෙන් අහන්න ඕන කියලා මට හිතුනා....
"මොකද්ද තේජු... අහපන්..... "
"අපි එදා හැමදේම අතෑරලා රත්නපුරේට එනකනුත් මම උඹට අම්මා ගැන ඇත්ත කියලා තිබ්බේ නෑ... ඇවිත් ටික දවසකින් තමයි මම උඹට හැම දෙයක්ම ගැන කිව්වේ.. ඒ දේවල් දැන ගත්තම උඹට හිතුනද අපරාදේ මම වගේ එකෙක් යාලුවෙක් කර ගත්තේ කියලා???"
ගොඩ කාලයක් ඒ ප්‍රශ්නේ මට වද දුන්නා... මට ඇත්තටම ඒක ගැන අභිට දැනෙන හැටි දැන ගන්න ඕන උනා... ඒත් මම අහපු ප්‍රශ්නෙට එයා කරේ හිනා උන එක....
"ඇයි උඹ හිනා වෙන්නේ?? "
"හිනා යන්නේ නැද්ද මෝඩයෝ උඹ අහන ප්‍රශ්න වලට?? උඹව යාලුවෙක් කර ගත්ත එක අපරාදේ කියලා හිතෙන්න??? ඒකත් මේ මට?? නෑ කවදාවත් නෑ... මගේ ජීවිතේ මට හම්බුන හොඳම යාළුවා උඹ තේජු... මම යාලුවෝ ඕන තරම් ආශ්‍රේ කරලා තියෙනවා හැබැයි ඒ කිසි එකෙක් තරම් මට උඹව ෆිට් උනේ නෑ... එතකොට අම්මගේ ප්‍රශ්නේ ගත්තොත් ලෝකේ අම්මට එහෙම වෙච්ච එකම එකා උඹ නෙමෙයි තේජු... මම ආශ්‍රේ කරන්නේ උඹව නම් අම්මා මොනවා කරත් මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. මොකද ඒක උඹේ අම්මගේ ජීවිතේ.... මට ඒ දේවල් දැන ගත්ත වෙලේ දුකක් දැනුනා නම් දැනුනේ උඹ ඒ හැම ප්‍රශ්නයක්ම තනියම හිතේ තියන් විඳවන කාලේ මට උඹ ළඟ ඉඳලා උඹට හයියක් වෙන්න බැරි උන එකට විතරයි... මම කවදාවත් පසුතැවෙන් නෑ උඹ වගේ යාලුවෙක් ආශ්‍රේ කරපු එකට... මොකද උඹ මට යාලුවෙක් නෙමෙයි සහෝදරයෙක් තේජු...... "
"අභි......... "
ඒ වචන ටික ඇහෙද්දී මට හිතුනා මම තමයි මේ ලෝකේ වාසනාවන්තම මනුස්සයා කියලා... මට මතකයි ඉස්කෝලේ යන කාලේ මම අම්මා ගැන කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ... හැබැයි ඉස්කෝලේ හිටපු සමහර ළමයි මගේ අම්මා හොඳ නෑ කියලා මාව කොන් කරලා දාපු වෙලාවල් ඕන තරම් තිබ්බා.... ඒ නිසාමයි මට කවදාවත් හොඳම යාළුවෙක් කියලා කෙනෙක් හිටියේ නැත්තේ... පලවෙනි වතාවට අභිව ෂොප් එකේදි හම්බෙද්දි එයා මගෙත් එක්ක ෆිට් වෙද්දී මම ඒ වෙනකොට අම්මා ගැන හැම දෙයක්ම දැනගෙන හිටියා උනත් කවදාවත් එයාට ඇත්ත නොකිව්වේ ඉස්කෝලේ යාලුවෝ වගේ අභියවත් මට නැති වෙයි කියලා හිතන නිසයි....
"හැපූ.... ශාක්‍ය අයියගේ අඬන බබා අඬා ගත්ත ගමන්මයි... කෝ පිහද ගනින් ඔය කඳුළු ටික... උඹේ මිනිහා දැන ගත්තොත් ඒකා නැති අතරේ මම උගේ හූචි කුචයියව ඇඬෙව්වා කියලා මට විසුමක් වෙන එකක් නෑ...."
කම්මුල් දිගේ පහලට ඇදෙන මගේ කඳුළුත් පිහද පිහද අභියා කියද්දී ඌ ඒක කියපු විදිහට මට හිනා ගියා....
එදා දවසත් ගේ ඇතුලටම ඔහේ ගෙවිලා යද්දී දේව් කියපු දවස් පහෙන් හතරවෙනි දවසට ඉර පැව්වේ වෙනදට වඩා මගේ හිත නොසන්සුන් වෙද්දී....
හේතුවක් දන්නේ නෑ... ඒත් මට ගොඩක් බය හිතෙනවා... දේව් කිව්වා හැම දෙයක්ම විසඳනවා කියලා.. ඒත් හිතට මහ මොකද්දෝ නොතේරෙන බයක් දැනෙනවා... මම මොකද්ද දෙයියනේ මේ දැනෙන හැඟීම නැති කර ගන්න කරන්න ඕන.....
උදේ නැගිට්ට වෙලේ ඉඳන් මම කාමරෙන් එළියටවත් නොයා එහාටයි මෙහාටයි ඇවිද්දේ මාවම සන්සුන් කර ගන්න...
"මොකද මේ උඹේ මූණේ තෙහෙට්ටු පාට?? අසනීපයක්වත්ද???"
වොෂ් එකක් එහෙම දාගෙන කාමරෙන් එළියට එන මගේ දිහා බලලා අභියා අහද්දී මම ඌ ළඟම පුටුවෙන් ඔහේ වාඩිවුනා...
"ඇයි තේජු මේ?? මොකද ප්‍රශ්නේ??"
මම ඉන්න විදිහට බය වෙලාද කොහෙද අභියා මගේ ළඟටම ඇවිත් එහෙම අහද්දී මම මට දැනෙන දේ ඌට කියන්න පටන් ගත්තා...
"මට මහ අමුතු බයක් දැනෙනවා අභි.... හිත හරිම නොසන්සුන්... කල්පනා කරලා කල්පනා කරලා රෑ හරියට නින්ද ගියෙත් නෑ....."
"උඹ ඔය බොරුවට බය වෙලා ඉන්නේ... කිසි දේකට බය වෙන්න එපා... අනික ශාක්‍ය අයියා කියලනේ ගියේ බය වෙන්න එපා කියලා... ඒ නිසා ඕවා නොහිතා හිටපන්.. නැත්නම් අන්තිමට ප්‍රශ්න ඔක්කොම විසඳෙද්දි උඹ ලෙඩ වෙලා ඉඳියි... "
මාව සන්සුන් කරන්න වගේ මගේ ඔලුවත් අත ගාලා අභි කියද්දී මම ලොකු හුස්මක් අර ගත්තා....
"ඔව්... ඒ නිකන් මට හිතෙන හැටි වෙන්න ඇති.... "
ලා හිනාවක් අභියටත් දාලා මම මාවම සනසගෙන කුස්සියට ආවේ මොනා හරි උදේට කන්න හදන්න...
ඊයේ හවස තේ බොන වෙලේ අභිමා පෑන් කේක් කන්න ආසයි කියපු නිසා මම බැලුවේ උදේට කන්න පෑන් කේක් හදන්න... කොහොමත් මේ දවස් ටිකේම අපි උදේට එච්චර ලොකු කෑම කෑවේ නැති නිසාම මම පොල් ගාන්න පටන් ගත්තේ පෑන් කේක් හදන්න... අන්තිමේ පැණි පොල් ටිකත් හදලා ඉවර කරලා පෑන් කේක් එකට ඕන රොටිය හදන්න පටන් ගද්දිම මම ඇඳන් හිටපු ෂෝට් එකේ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තේ අභියත් ඇවිත් මට උදව් කරද්දී....
කෝල් අයි ඩී එක දැක්ක ගමන්ම මගේ මූණේ ලස්සන හිනාවක් ඇඳෙනකොට මගේ හිනාව දැකලා අභියත් හිනා වෙද්දි උදේ ඉඳන් දැනුන බය නැති වෙලා ගිහින් මම ආපු කෝල් එක ආන්සර් කරේ ගොඩක් සතුටෙන්.....
"හෙලෝ දේව්....... ඔයා කෝල් එකක්වත් දුන්නේ නැති උනහම මම බයේ හිටියේ......"
"........................."
"හෙලෝ..... ඇහෙන් නැද්ද අනේ???"
මම කතා කරත් එහා පැත්තෙන් සද්දයක් නැති මම බැලුවේ කෝල් එක කට් වෙලාවත්ද කියලා උනත් තාමත් එයා ලයින් එකේ ඉන්නවා කියලා පේද්දි මම ආපහු කතා කලා....
"හෙලෝ......... "
ඒ එක්කම අහන්න බලාපොරොත්තුවෙන් හිටපු කටහඬ වෙනුවට වෙන කාගෙද හඬක් ඇහෙද්දී මම ගැස්සිලා ගියේ දේව් ගේ ෆෝන් එකෙන් කවුද කතා කරන්නේ කියලා හිතන ගමන්....
"හෙලෝ.... කවුද මේ කතා කරන්නේ?? මේ මගේ මහත්තයගේ ෆෝන් එක...."
"අහ්... මේ මේකයි... කලබල වෙන්න එපා.... මේ ෆෝන් එකේ අයිතිකාරයව දැන් ටිකකට කලින් ඇක්සිඩන්ට් වෙලා කොළඹ නවලෝකෙට අරන් ආවා.... ඉමර්ජන්සි කන්ටැක් ලිස්ට් එකේ උඩම ඔයාගේ නම්බර් එක තිබ්බ නිසයි මම කෝල් කරේ..."
මට ඒ හැම දෙයක්ම ඇහුනේ හීනෙන් වගේ වෙනකොට මගේ අතින් ෆෝන් එක පවා බිමට වැටෙද්දී කලබලෙන් මගේ ළඟට ආපු අභි මාව අල්ල ගත්තේ මොකද කියලා අහන ගමන් උනත් ඒ කිසි දේකට උත්තර දී ගන්න මට සිහියක් තිබ්බේ නෑ....
"තේජු.... තේජු ඇයි මේ??? "
මට කොච්චර කතා කර කර අභි ඇහුවත් මගේ ඔලුවේ තිබ්බෙම ආපු කෝල් එකෙන් ඇහුන වචන ටික වෙනකොට මම බිම වැටුන ෆෝන් එක අරගෙන ආයේ කනේ තියා ගත්තත් කෝල් එක ඒ වෙනකොටත් කට් වෙලා ගිහින් තිබ්බා....
"තේජ.... කතා කරපන් යකෝ.... මොකද්ද වෙලා තියෙන්නේ?? "
පිස්සුවෙන් වගේ අඬන මගේ මූණ අත් දෙකෙන්ම අල්ලන් අභි අහද්දී මම කෑ ගහලා ඇඬුවේ බයටම වෙද්දී මට දැනුනේ ලොකු අසරණකමක්......
"අභි.... අනේ අභි මගේ දේව්.... අපි දැන්මම කොළඹ යන්න ඕන... අනේ අභි... මාව.... මාව දැන්ම එක්....කන් යන්න... මගේ දේව්.... දේව් ව... ඇක්සි....ඩන්....ට්.... වෙලාලු......"
මම ඉකි ගගහම එහෙම කියද්දී මාව අල්ලගෙනම අභි එයාගේ ෆෝන් එක අතට අරගෙන කාටද කෝල් එකක් ගත්තා.. මම හිතන්නේ ඇසළ අයියට වෙන්න ඇති...
"ශිට්..... "
දෙපාරක් තුන් පාරක් ඇසළ අයියට ගත්තත් එයාගෙන් ෆෝන් එක ඕෆ් කියලා වැටෙද්දී අභි මගේ උරහිස් වලින් අල්ල ගත්තා...
"තේජු මේ අහන්න.... මෙවෙලේ කලබල වෙලා වැඩ කරන්න බෑ...."
"අනේ මාව කොළඹ එක්කන් යන්න අභි... මාව මැරෙයි මෙතන මෙහෙම හිටියොත්... ඒ මගේ පණ අභි.... එක්කන් යන්න මාව... මම උඹට වඳින්නම්....."
මම ඉකි ගගහා අඬද්දි අභි මාව කොච්චර සන්සුන් කරන්න හැදුවත් එයා කියන කිසි දෙයක් අහන්න පුළුවන් මට්ටමක මම හිටියේ නෑ.....
"හෙලෝ තේමිය අයියේ.... පොඩි කරදරයක් වෙලා තියෙන්නේ අපිට... ඔයාට පුළුවන්ද මේ දැන්ම මම එවන ලොකේෂන් එකට එන්න... අපිට මේ දැන් කොළඹ යන්න වෙලා තියෙනවා....."
ඒ එක්කම අභියා තේමිය අයියට කෝල් එකක් ගන්නවා ඇහෙද්දී මම එහෙමම කාමරේට ඇවිත් අඬ අඬම ඇඳුමක් දා ගත්තේ කොළඹ යන්න....
අනේ දෙවියනේ මගේ දේව් ට කරදරයක් නම් වෙන්න එපා... ඕක තමයි මගේ හිතට හොඳක් දැනුනේ නැත්තේ... මම එනවා දේව්... පුලුවන් ඉක්මනට මම ඔයා ළඟට එනවා...
මම මටම කියා ගන්න ගමන් ලෑස්ති වෙලා සාලෙට එද්දි අභියත් ලෑස්ති වෙලා සාලෙට ඇවිත් හිටියා වගේම ඊට විනාඩි පහලවකට පස්සේ තේමිය අයියගේ වාහනේ අපේ මිදුලේ නතර කරනකොට අපි දෙන්නා එක්ක දොරවල් වහලා දාලා ඇවිත් වාහනේට නැග්ගා....
"ඇයි මේ චූටි අඬන්නේ?? මොකද්ද වෙලා තියෙන්නේ??"
වාහනේට නැගලත් මට මගේ ඇඬිල්ල නවත්ත ගන්න බැරි වෙද්දි වාහනේ ස්ටාට් කරන ගමන් තේමිය අයියා අභිගෙන් එහෙම අහනවත් මට ඇහුනා.....
"ශාක්‍ය අයියව ඇක්සිඩන්ට් වෙලා කියලා කෝල් එකක් ආවා.... ආපු වෙලේ ඉඳන් මට මේකව කන්ට්‍රෝල් කර ගන්න බෑ... ඇසළටත් ගත්තා ඇසළගෙත් ෆෝන් එක ඕෆ්... මම මේ කරන්නම දෙයක් නැති නිසයි අයියට කතා කලේ...."
"කොහෙදිද ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ අභි?"
"ඒක නම් හරියටම දන්නේ නෑ තේමි අයියේ... ශාක්‍ය අයියා මේ ටිකේම හිටියේ කොළඹ... වැඩ වගේකට ගිහින්...."
තේමිය අයියා අහන ඒවට අභියා උත්තර දෙද්දී මම එන මග දිගටම දෙවියෝ බුදුන් සිහි කර කර ආවේ මගේ දේව් ගැන හිතන ගමන්....
"චූටි.... මේ... අඬන එක නවත්තලා මට කියන්න කොහෙ හොස්පිටල් එක කියලද කිව්වේ කියලා??
"කොළඹ.... කොළඹ නවලෝකේ....."
"බය වෙන්න එපා... ඔයාගේ දේව් ට මුකුත් වෙන්නේ නෑ හරිද... අපි පුලුවන් ඉක්මනට හොස්පිටල් එකට යමු...... "
මාව සනසවන්න තේමිය අයියත් එහෙම කියද්දී මම හිටියෙම දේව් ගේ සිහියෙන් වෙද්දී මට ඕන උනේ ඉක්මනට එයා ළඟට යන්න....
පැය තුනක විතර ගමන අපි තේමිය අයියගේ ඩ්‍රයිවින් වලට පින් සිද්ධ වෙන්න පැය දෙකහමාරෙන් එද්දි අනිත් අය වාහනෙන් බහින්නත් කලින් මම බැහැලා පිස්සෙක් වගේ දුවන් ගියේ හොස්පිටල් එක ඇතුලට....
"තේජු ඔහොම ඉන්න... කලබල වෙන්න එපා...."
මම දුවනවත් එක්කම වාහනෙන් බහින අභියා කෑ ගහන සද්දේ ඇහුනත් මම ඒක නෑසුන ගාණට ඇවිත් නතර උනේ රිසෙප්ෂන් එක ළඟ.....
"දැන් පැය දෙක තුනකට කලින් ඇක්සිඩන්ට් එකක් වෙලා පේෂන්ට් කෙනෙක් ගෙනාවද?? අනේ මට එයා කොහෙද කියලා දැන ගන්න පුළුවන්ද?? "
ඉවරයක් නැතුවම කම්මුල් දිගේ කඳුළු ගලාගෙන යද්දී මගේ දිහා බලපු ඒ රිසෙප්ෂන් එකේ හිටපු මිස් ටික වෙලාවක් කම්පියුටර් එක චෙක් කරලා කතා කරා....
"දැන් පැය තුනහමාරකට කලින් ගෙනාපු පේෂන්ට් ගැන වෙන්න ඇති මිස්ටර් කියනවා ඇත්තේ... ෆිෆ්ත් ෆ්ලෝ එකේ තියෙන අයි සී යූ එකේ තමයි දැනට එයාට ට්‍රීට්මන්ට්ස් කරන්නේ....."
නර්ස් කියනවත් එක්කම මම දුවගෙන ගිහින් ලිෆ්ට් එකට නැග්ගේ අභිලා ගැනවත් සිහියක් නැති වෙද්දී වෙනකොට මම කලබලෙන් ලිෆ්ට් එකේ තිබ්බ පහ කියන බට්න් එක එබුවේ මාත් එක්කම ලිෆ්ට් එකට නැගපු මනුස්සයා ගැනවත් ගාණක් නොවෙද්දි...
ලිෆ්ට් එක ෆ්ෆෝ එකෙන් ෆ්ලෝ එකට උඩට යද්දී මම හිටියේ නොසන්සුන්ව... මම හැම තප්පරේම ප්‍රාර්ථනා කරේ මගේ දේව් ට කරදරයක් නම් වෙලා තියෙන්න එපා කියන එක වෙනකොටත් තර්ඩ් ෆ්ලෝ එකෙන් ලිෆ්ට් එක ෆෝත් ෆ්ලෝ එකට එනකොටම මට දැනුනේ මගේ හුස්ම හිර වේගන එනවා වගේ වෙනකොට මම බැලුවේ මට එහා පැත්තේ හිටපු මනුස්සයා දිහා...
මාස්ක් එකක් දාගෙන හිටපු ඒ මනුස්සයා මගේ දිහා බලනවත් එක්කම මට දැනුනේ මගේ වටේම කැරකෙනවා වගේ වෙනකොට අභිලා නැතුව තනියම දුවගෙන ආපු එක ගැන මට පසුතැවීමක් ඇති උනේ සිහියක් අසිහියත් අතර හිටපු මගේ නහයට ලේංසුවක් තද වෙනවා දැනෙද්දි....
~
~
~
~
~
~
~
මතු සම්බන්ධයි....
හායිම් මම ආවා...
✍️දේව්....... 🥲
✍️වෙන්ඩ යන දේ හරියටම ගෙස් කරන්න පුළුවන් කාටද කියන්න??
කතාව කියවලා vote කරන comment කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි 💚❤️
💕හුදෙක්ම fan fiction එකක් පමනයි..
💕මෙහි ඇතුළත් චරිත සැබෑ ජීවිතය හා කිසිදු සම්බන්ධයක් නැත..
🖋️සෙනා🖋️