ජන්ග්කුක් අද අවදි වුණේ තරමක් ප්‍රමාද වෙලා.. වෙනද නම් මේ වෙලාවෙ ජිමින් අනිවාර්යයෙන්ම ජන්ග්කුක් ව අවදි කරත් අද ජිමින් හිටියේ නැති එක ජන්ග්කුක් ට ප්‍රශ්නයක් වුණා..
ඇදෙන් බැස්ස ජන්ග්කුක් පහලට ආවේ තමන්ගේ මිතුරා සොයාගෙන..
" ගුඩ් මෝනින් ජන්ග්කුක් පුතා.. "
ජිමින් ගේ අත්තම්මා හිනාවෙලා ජන්ග්කුක් ට සුබ පැතුවා.. ජන්ග්කුක් ත් පෙරලා සුබ පතන්න අමතක කරේ නෑ.. ඒත් කොහොද ජිමින්.. සමහරවිට එයා දිය කඩිත්තට ගිහින් වෙන්න ඇති..
" ග්‍රැනී ජිමින් කෝ.. "
ජන්ග්කුක් ඇහුවේ බලන් ඉන්න බැරි තැන..
" ඇයි පුතා දන්නෙ නැද්ද.. ජිමින් අද උදේම ටවුන් එකට ගියානේ.. එයාට හදිසි වැඩක් වැටිලා කියලා ඊයේ රෑ ටෙලිග්‍රෑම් එකක් ආවා.. "
ජන්ග්කුක් ඒ ගැන දැනගෙන හිටියේ නෑ.. ඇත්තටම ජන්ග්කුක් ට තරහා ගියා ජිමින් මේ කරපු දේ ගැන.. ඇයි එයාට කියන්න බැරි වුණේ තමන්ගේ හොඳම යාළුවා ට ඒ ගැන..
" නෑ ග්‍රැනී.. "
" ආහ් මේ කොල්ලා නම්... "
ජන්ග්කුක් ආයෙමත් එයාගේ කාමරයට ගියේ දිය කඩිත්තට යන්න ඕන නිසා.. තමන්ගේ ඇදුම් පැළදුම් අරගෙන සූදානම් වෙනකොට තමයි එයා දැක්කේ මේසේ උඩ තියලා තිබ්බ කොල කෑල්ල..
ජන්ග්කුක් ඒක අතට අරගෙන හෙමීට බැලුවා.. ඒ ජිමින්. හදිසියේ ම එයාට ආයෙමත් නගරයට යන්න වීම නිසා නොකියාම පිටත් වන බවත් ජිමින් නැවත එනකම් ඔහුගේ මිත්තණිය සමඟ එතන රැඳී ඉන්න ලෙසත් ජන්ග්කුක් ගෙන් ජිමින් ඉල්ලා තිබුණා..
කොහොමත් ජන්ග්කුක් මේ නිවාඩුව අනිවාර්යයෙන්ම ඒ ගම්මානයේ ගත කරයි.. මොකද මේ දවස් කීපය ඇතුලත එයා ඒ ගැන තීරණය කරා..
" ග්‍රැනී මං පොඩ්ඩක් එලියට යන්නම්.. "
ජිමින් එක්ක ගත කරපු මේ සතියේ ජන්ග්කුක් උදේම ජිමින් එක්ක ගම්මානයේ තමන්ගේ අලුත් යාළුවන් එක්ක ඇවිදින්නත් හවස ජිමින් ගේ අත්තම්මා එක්ක ඇයගේ ගෙවත්තෙ වැඩ වලට උදව් කරන්නත් පුරුදු වුණා...
මේ ගෙවුන දවස් කීපයේ ජන්ග්කුක් ට තවත් අලුත් මිතුරන් ඇසුරු කරන්න ජිමින් නිසා පුළුවන් වුණා.. ඒ අයත් ඉක්මණින් ම ජන්ග්කුක් ව තමන්ගේ මිතුරෙක් බවට පත් කරගත්තා..
ජන්ග්කුක් ගෙදරින් එලියට බැහැලා ගුරු පාර දිගේ ඇවිදගෙන ගියේ වෙල් යාය දිහාට.. අත්තම්මා හදලා දුන්න කප් කේක් ටික රෝස් ට දුන්න ජන්ග්කුක් ඊට එහා පැත්තෙන් හිටපු හෙන්රි ව හම්බවෙන්න ගියා..
" ගුඩ් මෝනින් හෙන්රි.. "
හෙන්රිගේ ගරාජයට ඔලුව දාපු ජන්ග්කුක් හෙන්රිට සුබ පැතුවා.. හෙන්රි ඒ ගම්මානයේ ජීවත් වුණ කාර්මික ශිල්පියෙක්.. ගම්මානයේ තියෙන වාහනවල ඇතිවන කාර්මික දෝෂ නිවැරදි කිරිම හෝ වාහන අලුත්වැඩියාව තමයි හෙන්රිගේ රාජකාරිය..
" ඔහ් හෝ ජන්ග්කුක්.. ඉතින් අදත් උදෙන්ම.. "
ජන්ග්කුක් හැම උදේකම හෙන්රිගේ ගරාජයට ආවේ වාහන ගැන එයාටත් තිබුණු උනන්දුව හින්දා.. ජන්ග්කුක් ගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ජන්ග්කුක් ට මේ දේවල් මග ඇරුනට දැන් ඒ ගැන ජන්ග්කුක් ඉගෙන ගත්තා..
හෙන්රි එක්කම ඒ ආයුධ ගත්ත ජන්ග්කුක් හෙන්රිගේ අධ්‍යනය යටතේ එතන තිබුන වාහනයේ සමහර කොටස් ගැලෙව්වා.. දැන් දැන් ජන්ග්කුක් ටත් ඒවා හුරු වෙලා තිබුණා..
හෙන්රි එක්කම උදේ පැය කීපයක් ගත කරපු ජන්ග්කුක් ආයෙමත් ආවේ දවල් ආහාරයෙන් පස්සේ එයාට අත්තම්මා එක්ක ගෙවත්තට යන්න තියෙන නිසා..
ගෙදර ට ආව ජන්ග්කුක් අත් පය සෝදගෙන කෑම මේසයෙන් වාඩි වුණා ම ආත්තම්මා දවල් ආහාර වේල ජන්ග්කුක් ට ගෙනත් දුන්නා.. ඇත්තටම දැන් ජන්ග්කුක් අත්තම්මා එක්ක ගොඩක් එකතු වෙලා හිටියා..
දවල් කෑමෙන් පස්සේ ටික වෙලාවක් විවේක ගත්ත ජන්ග්කුක් ඊට පස්සේ ආත්තම්මා එක්කම ඇයගේ ගෙවත්තට ගියේ උදැල්ලක් කරේ තියාගෙන.. පලපුරුදු ගොවියෙක් වගේ ජන්ග්කුක් ගෙවත්තට ගියේ හරි ආඩම්බරෙන්..
ජන්ග්කුක් ඇදගෙන හිටපු ඇදුමත්, ඒකට ගැලපෙන්න දාගෙන හිටපු තොප්පිය, උස බූට් සපත්තු දෙක හින්දා ජන්ග්කුක් ව පෙනුනේ ගොවියෙක් වගේ.. ජිමින් ගේ පරණ ඇදුමක් වුනත් ජිමින් ට වඩා ඒ ඇදුම ජන්ග්කුක් ට ගැලපුනා..
" මේ බලන්න දරුවෝ.. ඔයා හදපු තක්කාලි පැල ටික හොඳටම හැදිලා.. පුතාගේ අත්ගුණේ හොඳයි.. "
අත්තම්මා තක්කාලි පැල ටික අතගාලා කිව්වා.. ජන්ග්කුක් අත්තම්මා එක්ක එකතු වෙලා හැම පාත්තියකට ම වතුරත් පොහොර ත් දැම්මා..
ඒ වත්තේ කෙලවර තිබුණේ ටිකක ලොකුවට තිබුන ස්ට්‍රෝබෙරි පාත්තියක්.. රතට රතේ දිලිසෙන පුංචි පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩි ගොඩක් ඒ පාත්තියේ තිබ්බා.. අත්තම්මා ගේ අදහස වුණේ අද ඒ ස්ට්‍රෝබෙරි කඩන්න ඕන කියලා.. ජන්ග්කුක් අත්තම්මා ට විවේක ගන්න කියලා කූඩයත් අරගෙන ස්ට්‍රෝබෙරි පාත්තියට ගියේ ඒවා කඩන්න..
පලවෙනි ගෙඩිය කඩා ගත්ත ජන්ග්කුක් අත්තම්මා දිහා බලාගෙන ඒ ගෙඩිය කටට දා ගත්තේ අත්තම්මා දබරැගිල්ල දික් කරලා විහිළුවෙන් ජන්ග්කුක් ට තරවටු කරද්දී..
" මේවා හරිම රසයි!!!... "
ජන්ග්කුක් හෙමිහිට පාත්තියේ ස්ට්‍රෝබෙරි කඩන්න පටන් ගත්තා.. ජන්ග්කුක් හරිම සතුටින් ඒ දේවල් කරේ.. එයාට නම් එයාගේ පරණ ජීවිතේ මේ දවස් ටිකේ අමතක වෙලාද කොහෙද..
" ග්‍රැනී.. තව ගොඩක් තියෙනවා.. මං බාගයක් ම කැඩුවා.. "
" ඉතිරි ටික හෙට කඩමු දරුවෝ.. දැන් එන්න හවස් වෙන්න කලින් ගෙදර යන්න ඕන.. "
ජන්ග්කුක් හිටියේ ඒ ස්ට්‍රෝබෙරි පාත්තියේ හරි මැද්දෙන්.. ජන්ග්කුක් නැගිටලා අනික් පැත්ත හැරුනේ ආපහු යන්න වුනත් අහම්බෙන් දෙයක් එයාගේ ඇහැ ගැටුනා..
ගොවිපලක්..
අත්තම්මා ගේ ගෙවත්තට එහා පැත්තෙන් ගොවිපලක්.. ඒක විශ්වාස කරන්න බෑ.. ටිකක් පරණයි වගේ පෙනුනත් හරි ලස්සන හුරුබුහුටි ගොවිපලක්..
ජන්ග්කුක් කල්පනා කරේ ඇයි ජිමින් ඒ ගැන කිව්වේ නැත්තේ කියලා..
ඒ ගැන හිතන එක නතර කරලා ජන්ග්කුක් ආයෙමත් ස්ට්‍රෝබෙරි කූඩයයි උදැල්ලයි අරගෙන අත්තම්මා ගාවට ගියේ ඒ ගැන ඇයගෙන් අහනවා කියලා හිතාගෙන..
" ග්‍රැනි අර එහා පැත්තේ තියන ෆාර්ම් එක ඒක කාගෙද "
" මොන ෆාර්ම් එකද දරුවෝ.. "
" අර ස්ට්‍රෝබෙරි පාත්තියට එහා පැත්තෙන් තියෙන්නේ.. "
" එතන තියෙන්නේ ඉඩමක් කොල්ලො.. මොන ෆාර්ම් එකක් ද "
අත්තම්මා හිනාවුණේ ජන්ග්කුක් ව තුෂ්නිම්භූත කරවලා.. දෙයියනේ එතකොට එයා දැක්ක ලස්සන ගොවිපල.. පොඩ්ඩක් ඉන්න වයස නිසා ඇත්තටම ජිමින් ගේ අත්තම්මාට සමහර දේවල් අමතක යි. ඒ ගොවිපල තියෙන්නේ ටිකක් ඈතින් හින්දා එයාට ඒ ගැන අමතක ඇති.. අනික් කොහොමත් එතන පේන්නේ ඈතට නිකං ඉඩමක් වගේ තමයි..
" ආහ් හරි.. ඒ ඉඩම කාගෙද ග්‍රැනි.. "
" ඒක අයිති කාටද කියන්න දන්නේ නෑ පුතේ.. මට ඒ ඉඩමේ අයිතිකාරයා මීට කලින් මුණ ගැහිලා නෑ.. "
ජන්ග්කුක් පුදුම වුණා.. ඒක නම් හරිම වෙනස්..
ජන්ග්කුක් ඒ ගැන අමතක කරලා අත්තම්මා එක්ක ආපහු ගෙදර ගියේ හොඳටම හවස් වෙලා තිබ්බ නිසා.. ගෙදර ගිහින් දිය කඩිත්තට ගියපු ජන්ග්කුක් ඒ වතුර පාරට බැහැලා කල්පනා කරේ එයා ඒ අහම්බෙන් දැක්ක ඒ ගොවිපල ගැන..
ඒක හරිම වෙනස්...
හොදට නා ගත්ත ජන්ග්කුක් කොණ්ඩෙත් පිහිදන ගමන් දිව්වේ එයාට බඩගිනි නිසා.. අත්තම්මා ඒ වෙනකොට රෑ කෑම හදලා තිබුණා.. හොඳට රෑ කෑම ගත්ත ජන්ග්කුක් ගේ ඇතුලේ ගිනි මැලේ ගාව ඉදගත්තේ එතන තිබුන පැද්දෙන පුටුවේ වාඩි වෙලා අත්තම්මා ස්කාෆ් එකක් ගොතනකොට..
" කොහොම ද පුතා මෙහෙ.. "
" මං මෙහෙට හරි ආසයි ග්‍රැනී.. මෙහෙ ගොඩක් වෙනස්.. හරිම නිදහස්.. "
ජන්ග්කුක් බිමින් වාඩි වුණා..
" ග්‍රැනී මට මෙහෙ ගැන තවත් විස්තර කියන්නකෝ.. "
ජන්ග්කුක් ඉදගත්තේ සුපුරුදු පරිදි අත්තම්මා ගේ රස කතා අහන්න... අත්තම්මා ත් හරි ආසාවෙන් ජන්ග්කුක් ට ඒවා ගැන කියලා දුන්නා..
" පුතා දන්නවද අපි පොඩි කාලේ හිටියා එක අංකල් කෙනෙක්.. අපි හැමෝම එයාට කිව්වේ මිස්ටර් ඒන්ජල් කියලා... එයා ඇත්තටම ඒන්ජල් කෙනෙක්..
ඔයා විශ්වාස කරයි ද දන්නේ නෑ ඒත් මං මගේ ජීවිතේ ට ම දැක්ක ලස්සන ම පිරිමි කෙනා තමයි ඒ.. අපි පොඩි කාලේ එයා ගොඩක් තරුණයි.. මං හිතන්නේ අවුරුදු විසි ගණන්වල විතර.. "
" මිස්ටර් ඒන්ජල්.. ඕ එයා තාම නැද්ද ග්‍රැනී.. "
" නෑ පුතා.. අපි පොඩි කාලේ එයා හිටිහැටියේ අතුරුදන් වුණා.. එයා ට මේ ගමේ හැමෝම ආදරේ කරා.. එයා ඒ තරම් හොඳ ගතිගුණ තිබ්බ කෙනෙක්.. "
" එයාව හොයාගන්න බැරි වුණා ද "
" හ්ම්.. හැමෝම එයාව හෙව්වා.. ඒත් එයාව කිසිම කෙනෙක් ට හොයාගන්න බැරි වුණා.. "
" හ්ම් පව් එයා.. "
ජන්ග්කුක් ට මිස්ටර් ඒන්ජල් ගැන ඇත්තටම දුක් හිතුනා.. එයා කවුද කියලා දන්නේ නැති වුණත් ජන්ග්කුක් ට දුක් හිතුනා.. අත්තම්මා කියපු විදිහට නම්,
' එයා ඇත්තටම ඒන්ජල් කෙනෙක් '