ඔක්කොමත් හොඳයි මෙහේ සීතල තමා දරාගන්න බැරි. හැමතිස්සේම තියන පොද වැස්ස , තෙත ගතිය, සීතල සුවඳ ....මේ හැමදේම මට අලුත් දේවල්. කැන්ටින් දෙකක් තියනවා. එකක් බෙහෙත් ගන්න එන අයට, අනික් එක ස්ටාෆ් එකට. මායි චිරාත් අයියයි කැන්ටින් එකට ගිහින් ඉඳගත්තා. එයා එක්කම මාත් කෝපි එකක් ඉල්ලුවේ මෙහේ කොච්චර කෝපි බිව්වත් ඇති නොවෙන නිසා වගේම කෝපි එක්ක මගේ තියන දැඩි බැඳීම නිසා. ලෝකේ තියන කෝපි වර්ග වලින් අඩුම තරමේ මං බාගයක්වත් ටේස්ට් කරලා තියනවා. ඒ තරම්ම මං කෝපි වලට ආදරෙයි.
පලවෙනි වතාවට මේ මාධ්‍යට කියන්නේ මගේ පලමු ප්‍රේමය තමයි කෝපි !!!!!!
චිරාත් අයියා එනකන් මං සාක්කු දෙකට අත් දෙක දාගෙන වටපිට බල බල හිටියා. සීතල විඳින ගමන් මං කල්පනා කරේ මේ පැත්තේ ජීවත් වෙන මිනිස්සුන්ට ජීවිතේ කොච්චර අමාරු ඇතිද කියලා. ඒ එක්කම මට හිතුනා එයාලට ඒක පුරුදු නිසා අමාරුවක් දැනෙන්නේ නැතුව ඇතී කියලා.
"ආ මෙන්න. නිවෙන්න කලින් බීපන්" චිරාත් අයියා මගේ ඉස්සරහින් කෝප්පේ තියන ගමන් කිව්වා.
"අද උඹ නයිට්ද?" තේක හෙමීට තොල ගාන ගමන් අයියා මගෙන් ඇහුවා.
"ඕ. අයියත් නයිට්ද?"
"හ්ම්ම්." චිරාත් අයියා කම්මැලිකමේ උත්තර දුන්නා. "අද ඉඳන් පෝස්ට්පෝන් කරපු සර්ජරීස් වල කට්ටිය එනවා. ජෙරම් අයියා කිව්වද?"
"ඔව් අයියේ. ගොඩක් ඉන්නවද?"
"ඔව් මං හිතන්නේ 30ක් 35ක් විතර ඉන්නවා."
"දවසකට 5ක් කරත් දවස් 6ක්වත් යනවනේ අයියේ...."
"ඔව් ඉතින්. සර්ජන් කෙනෙක් නැතුව අපිට මයිනර් සර්ජරීස් ඇරෙන්න ඒවට අතගහන්න බෑනේ මල්ලි. මාස තුනක් විතර තිස්සේ එකතු වෙච්ච ඒවා තමා. සමහර විට ඔය අතර ඉන්න අය මැරිලත් ඇති දැන්." චිරාත් අයියා හුස්මක් හෙලන ගමන් හිස් නෙස්කැෆේ කෝප්පේ අතින් පොඩි කරා.
"මෙච්චර ලොකු දිස්ත්‍රික්කෙකට මාස 3 තිස්සේ ජෙනරල් සර්ජන් කෙනෙක් ඉඳලා නෑ කියලා අහනකොට මට මේ රටේ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන පුදුම සතුටක් දැනෙන්නේ අයියේ." මං කලකිරීමෙන් කිව්වා.
"ඕවා ගැන කතා කරලා ඇති වැඩක් නෑ බං. මෙන්න මෙහෙ වරෙන් යන්න." මාත් හිස් කෝප්පේ පොඩි කරන ගමන් චිරාත් අයියගේ පස්සෙන් වැටුනා.
...........................................................................
අපි දෙන්නා වෝඩ් එකට යනකොටත් කොරිඩෝ එකේ පුටු පේලි පිරිලා. එක එක වයස්වල මිනිස්සු, එක එක ලෙඩ වලට, මේ මිනිස්සු මාස තුනක් කිසිම හේතුවක් නැතුව වේදනා විඳලා. ඒ තමා (අ)මුතු ඇටේ විදිය. කමක් නෑ ඉතින් රටට අත්‍යාවශ්‍ය මිනිස්සුන්ට යන්න සිංගප්පූරුවේ ඉස්පිරිතාල තියනවනේ. ඒ ඇති.
මං ගිහින් මගේ ටේබල් එකේ ඉඳගෙන නර්ස්ට කිව්වා කට්ටිය එවන්න කියලා.
දවල් 3 විතර වෙනකන් මං එකදිගට ලෙඩ්ඩු බැලුවා. ස්ටාෆ් එක අඩු නිසා අපිටම මේවත් කරන්න වෙලා. නැත්තන් සාමාන්‍යෙන් සර්ජන් කෙනෙක් කියන්නේ තියටර් එකට එන ඔපරේශන්ස් කරන කෙනෙක්. මටත් ටිකක් හොස්පිට්ල් එක පුරුදු වෙන්නත් එක්ක වගේම කට්ටියත් අඩු නිසා මං මේකත් ටිකක් කරන්න සතුටෙන් භාරගත්තා. ලොකූ අවුලක් නෑ ගොඩක් වෙලාවට ලෙඩ්ඩු බලන්නේ ඉන්ටර්න් ඉන්න දෙන්නා තමයි. ඩේට්ස් දෙන ඒවා, එයාලට හැන්ඩ්ල් කරගන්න අමාරු කේසස් එහෙම ආවම අපිට කතා කරනවා. මං වෙලාව බලනකොට 3 පහුවෙලා ටිකක් වෙලා ගිහිල්ලා. වතුර ටිකක් බීලා මං නැගිට්ටා. චිරාත් අයියා වෝඩ් රවුන්ඩ් එකක් යන ගමන්. ජෙරම් අයියා ඩ්‍රෙසින් එකක්. අද වාට්ටුවේ ඇඳන් 40න් 35ක විතර ලෙඩ්ඩු ඉන්නවා. මං එක එක දේවල් හිතන ගමන් ජෙරම් අයියා හිටපු තැනට ගියා.
"මල්ලි...දැන්ද ඉවර වුනේ?"
"ඔව් අයියේ. දැන් චුට්ටක් වෙලා."
"කෑවද මල්ලි?"
"නෑ අයියා කාලද?"
"නෑ බං. යමං එහෙනම්...." ජෙරම් අයියා අරන් ආපු බඩු ටික එකතු කරලා නර්ස් අතට දුන්නා. "සීයේ.....දඟලන්නේ නැතුව ඉන්න හරිද.....මැහුම් කැඩුනොත් එහෙම ආයේ දාන්න වෙයි." ඇඳේ හිටපු සීයාට එහෙම කියලා ජෙරම් අයියා මාත් එක්ක ඩොක්ටර්ස් රූම් එකට ආවා. වෙලාව 4ට විතර ඇති. පොඩ්ඩ පොඩ්ඩ වහින්නත් පටන් අරන්. අපි එනකොට චිරාත් අයියා මේසෙට ඔලුව තියාගෙන ඉන්නවා. නිදිද මන්දා.
"මල්ලි....චිරාත්...කාලද ඔයා?" ජෙරම් අයියා එයාව නැගිට්ටවන ගමන් ඇහුවා.
"නෑ අයියේ. යංද?" චිරාත් අයියා නිදිමත ඇස් පිහිදනවා. අපි තුන්දෙනාම කැන්ටින් එක පැත්තට යන්න ගත්තා. ජෙරම් අයියගේ අතේ නම් බොක්ස් එකක් තිබුනා.
"මං කිව්වේ උඹට.....කෑවද බිව්වද අසනීපද....ඔක්කොම මගුල් හොයන්න ඉන්නේ මෙයා තමා. පියාණෝ කියන්නේ නිකන්ද ඉතීන්." චිරාත් අයියා හිනාවෙන ගමන් මගේ කනට කෙඳිරුවා.
"මොකද්ද මොකද්ද උඹ කියන්නේ....?"
"ආව් ආව්ව් අප්පා.....රිදෙනවා..."
"තොගේ ඔක්කොම හොඳයි බෝක්කු කට තමා අවුල." අවසානයේ චිරාත් අයියා ජෙරම් අයියගෙන් හොඳ ගුටි දෙක තුනක් කෑවා.
කැන්ටින් එකට ඇවිත් මායි ජෙරම් අයියයි වාඩි වෙලා ඉද්දී චිරාත් අයියා මටත් එක්ක කෑම දෙකක් අරගෙන ආවා. ජෙරම් අයියාගේ වයිෆ්ට නම් හොඳට උයන්න පුලුවන් වගේ. ඒ කෑම සුවඳ මට අම්මව මතක් කරා. ඒ එක්කම මං දැක්කේ ජෙරම් අයියා චිරාත් අයියට බත් කටක් කවලා මටත් කටක් දික්කරන් ඉන්න හැටි. අනිච්ඡානුගවම මාත් කට ඇරියා. සුවඳ වගේම රස තියන කෑම උයන්න පුලුවන් හරි පොඩ්ඩ දෙනාටයි. මට කඳුළු පිරුනේ අම්මගේ කෑම වල රස මතක් වෙලා.
"ආ..ආ...මේ මොකෝ මේ කොල්ලගේ ඇස්වල කඳුලු....?" චිරාත් අයියා මගේ දිහා බලන ගමන් මට විහිලු කරන්න ගත්තා.
"ගෙදර මතක් වුනාද මල්ලි?"
"හ්ම්ම්. අම්මගේ කෑමයි අයියලා 3 දෙනාවයි මතක් වුනා"
"යකොහ් අයියලා 3 දෙනෙක්?" චිරාත් අයියා ඇසුත් ලොකු කරගෙන අහපු විදියට මට හිනා ගියා.
"ඕ. අයියලාම 3 ඉන්නවා මට."
"ඒක තමා උඹව ඔච්චර හුරතලේට හදලා තියෙන්නේ." ජෙරම් අයියා ඔලුවත් වනන ගමන් කියනකොට මට ආයෙම හිනා ගියා. තව ටිකෙන් පිට උගුරේ ගිහින් මේ ඉස්පිරිතාලෙන්ම බෙහෙත් ගන්න වෙන්නේ.
"කෝමද අපේ ජෙරම් අයියගෙ කෑම එක....සුපිරි නේ" චිරාත් අයියා මගෙන් ඇහුවා.
"ඔව් අයියේ. මාර රහයිනේ."
"ඒම තමා. මෙහේ ඉතින් මෙයාගේ කෑම එක වැඩිපුර අපේ බඩවල් වලට තමා යන්නේ"
"පව් අප්පා. අක්කා උදේ ඉදන් නැගිටන් හදන කෑම එක යන්නේ උගුඩුවන්ගෙ බඩට කියලා අක්කා දන්නවනම් නේද....ආ...ආ..ආ.." මං තාලෙට කිව්වේ චිරාත් අයියව අවුස්සන්න හිතාගෙන.
"යකෝ...මූත් ලේසි පුතෙක් නෙමේ....තෝ හුරතල් කිව්ව එක මං ඉල්ලා අස් කරගන්නවා." චිරාත් අයියා මූණට හෙන කලකිරිලා වගේ ලුක් එකක් ගන්නකොට ජෙරම් අයියා හයියෙන් හිනා වෙන්න ගත්තා.
...........................................................................
හොස්පිට්ල් එකේ වැඩට ඇවිල්ලා දැන් සති දෙකක් විතර වෙනවා. මේ සති දෙකට මට අලුත්ම දේවල් ගොඩාක් හම්බෙලා කියලයි මට හිතෙන්නේ. ඩියෝන් මගේ හොඳම යාලුවා වෙලා. චිරාත් අයියා ජෙරම් අයියා මට හුඟක් ලංවෙලා......අයියලාගේ කෝල්ස් අම්මගේ දුක් ගැනවිලි...එන්න එන්න කියලා කරන බලකිරීම්.....මේ හැමදේම මට අලුත්ම ජීවිත පරිච්ඡේදයක් ලියන්න එකතු වෙච්ච දේවල්.......
ඩියෝන් ඇත්තටම හොඳ යාලුවෙක්. ආගන්තුක බවක් දැනෙන්නෙම නැති තරම් එයා එක්ක ඉද්දි. මට කවදාවත් ජීවිතේ එහෙම ලොකූවට යාලුවෝ කියලා කට්ටිය හිටියේ නෑ. අයියලා 3 දෙනා එක්කම හිටපු නිසා එහෙම ලොකුවට කෙනෙක්ට ලං වෙන්න මට බැරි වුනා. ජිවිතේ තිබ්බ හිස්තැනක් ඒ විදියට පිරුණා. මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමා ඩියෝන් වැඩි වැඩක් නැති හැමවෙලාවම අපේ වාට්ටුවේ ගත කරන එක. ඒකටත් වඩා තිබ්බ ප්‍රශ්නේ අනික් අය ඒකට කිසිම පුදුමයක් දක්වන්නේ නැති එක. පොඩි පොඩි දේවල් වගයක් මට දැනෙමින් තිබුනත්, ඩියෝන්ම ඒ ගැන මට කියනකන් මං සද්ද නැතුව හිටියා.
"left !! right!!! left !! right!!!left !! right!!!" හැමදාම උදේට ඇහෙන සද්දේ එක්ක ඒ දර්ශනේ බලන ගමන් මං ක්වාටස් වල උඩ හරියට වෙන්න තිබ්බ ගහක් යට පොතක් අතේ තියාගෙන ඉඳගෙන හිටියා. ඒ ඇහෙන්නේ හොස්පිට්ල් එක එහා පැත්තෙ තියන ආමි කෑම්ප් එකේ කට්ටිය උදේට ෆිසිකල් ට්‍රේනින් වලට පාර දිගේ දුවන සද්දේ. මං පොතෙන් ඔලුව උස්සලා ඒ දිහා බලාගෙන හිටියා. උදේ පාන්දර කොහොම සීතලේ දුවනවද මන්දා......
"අහ් කොල්ලා මොකද කරන්නේ පාර දිහා බලාගෙන?" ඩියෝන් මගේ ඔලුවට තට්ටුවක් දාන ගමන් මගේ එහා පැත්තේන් ඉඳගත්තා. අද අපි දෙන්නටම ඕෆ් දවසක්. කළුනික හොයන්න වගේ හම්බෙන ඕෆ් දවස් වලට එක්කෝ අපි දෙන්නා ඔහේ ඇවිදිනවා. නැත්තන් හොඳට කාලා බීලා නිදියගන්නවා. අද ඒ දෙවනි කැටගරි එකට වැටෙන දවසක් වගේ.
"කෝමද බං අරුන් මේ සීතලේ දුවන්නේ උදේ පාන්දර?" මං ඩියෝන්ගේ උරහිසෙන් ඔලුව තියාගන්න ගමන් ඇහුවා.
"උන්ට ඕක පුරුදුයි බං. අපෝ ආපු මුල් කාලේ මං හිටියේ ඔය අයිනෙම රූම් එකේනේ. මල කංකරච්චලේ උදේ පාන්දරට. උඩ ගිහින් ඇහැරෙන්නේ" ඩියෝන් එහෙම කියන ගමන් මගේ අතේ තිබ්බ පොත අරගෙන පෙරලලා බැලුවා.
"ඒ කෑම්ප් එකේ අය මෙඩිකල් වලට එන්නේ මෙහේද බං?"
"ඕ. ඉස්සර නම් කෑම්ප් එකට ඩොක්ටර් කෙනෙක් හිටියා. ටික කාලයක් යද්දි එයාව අයින් කරා හොස්පිට්ල් එක එහා පැත්තේ නිසා. ඕක භාරව ඉන්න බ්‍රිගේඩියර් හෙනම ටෆ්ලු බං."
"සිරාවට...!!! උඹට හම්බෙලා තියද?"
"ඔව් දවස් දෙකක් විතර මෙහේ ආවා. එක සැරයක් ඕකට ආපු අලුත්ම සෝල්ඩ්ජර්ස්ලා දෙන්නෙක් තුවාල කරගෙන මෙහේ ඇඩ්මීට් කරලා ඉන්නකොට බලන්න ආවා. අම්බෝ පිරිවර පිරිවරාගෙන එන්නේ. එච්චර වයසකුත් නෑ. අපේ වයසෙම වගේ ඇති. කෙසේ වෙතත් ඌ මාර හැන්ඩියා." ඩියෝන් එහෙම කියද්දි මටත් එයාව බලන්න ආසාවක් ආවා.
"අඩේහ්....මටත් බලන්නෝනේ ඌව"
"අනේ මේ මෙන්න මෙහේ වරෙන්. යමන් මොනාහරි කාලා එන්න." ඩියෝන් මගේ අතින් ඇද්දා.
"යකෝ උඹ කන ඒවා කොහේටද බං යන්නේ.? කන එකමයි වැඩේ කොයි වෙලේ බැලුවත්. ඒ වුනාට කැහැටු ඇඟ"
"කන ඒවා යනවා ප####. කියන්නෑ මං උඹට. යමංකෝ චිරාත් අයියත් බලන් ඉන්නෝ අපි එනකන්."
Vote if you like. Comment if you felt.
_Monalisa