උදෑසනින්ම කොලේජ් යන්න සූදානම් වුණු හීසන්ග් සුපුරුදු ලෙස කැඩපත ඉදිරියට ගියා.
හැම දෙයක්ම සර්ව සම්පූර්ණයි.......එක් දෙයක් හැරෙන්නට.
හැම දෙයක්ම හොඳින් තිබුණා......හීසන්ග් කැඩපතින් සිය දෑස් දකින්ට පෙරාතුව.
සිය රතු පැහැති දෑස්.......මින් පෙර මිය යන්න සිටියවුන්ගේ ඔහු දුටු ලෙසම.
ඔහු බිය වුණා අසීමිතව......විකල් සිහි ඇත්තෙක් ලෙසින්.
එය ඇතැම් විට කැඩපතේ වරදක් විය හැකියි. තමා දුටු මායාවක් විය හැකියි.
ඔහු සිතුවේ එලෙස.
කලබලයෙන්ම ඔහු ලාච්චු පිරික්සුවේ ඔහු සතුව තිබූ කුඩා කණ්ණාඩිය සොයා ගැන්මට.
අවසානයේ බොහෝ ලාච්චු පිරික්සා එහි වූ දෑ අසිහියෙන් මෙන් විසි කර ඔහු එය සොයාගත්තා.
එහෙත් ප්‍රතිඵලය.......,
එය පෙර පරිදිමයි. රතු ඇස්........මරණයට නියම වූවෙකුට හිමි රතු ඇස් මෙවෙලෙහි ඔහුට හිමිව තිබුණා.
හීසන්ග් සයනය මතට ඇද වැටුණේ පණ නැත්තෙකු සේ යි.
මරණය........?
එය දැන්මම තමාට උරුමද?
මතකයි ඔහුට පෙර සිදු වූ රිය අනතුර නිසා තම මව දුක් වූ තරම.......ඔහු දන්නවා ඈ තමාට කොපමණ ප්‍රේම කරනවාද යන වග.
අනෙකා යූහි........ඇය කියනා පරිද්දෙන් මින් පෙර ඔහුට පෙම්වතියක් නොසිටියා ලු. එහි අරුත තම සිතේ ඇති වූ කුලුඳුල් ප්‍රේමය ඇයට හිමි බව නොවේද?
ප්‍රේමය අතහැර මෙතරම් ඉක්මනින්......මෙතරම් ඉක්මනින් කෙසේ යන්නද ඔහු.
ලාච්චුවලින් ඇද දැමූ දෑ බිම විසිර තිබෙන අයුරු ඔහු බලා සිටියේ හිස් හැඟීමෙන්. ඒ අතර තිබූ කුඩා පෙට්ටියක් මත ඔහුගේ දෑස් නතර වුණේ නිතැතින්ම.
ඔහු එය අතට ගෙන විවර කළා. එහි තිබූ කාන්තා විලාසිතාවේ කුඩා මුදුව දුටු විට ඔහුට හැඟුණේ අපහැදිලි රූපරාමු පෙළක් මනසේ හොල්මන් කරන බව.
ඔහුට දැනුණේ වේදනාවක්. දෑතින්ම හිස බදාගෙන ඔහු නැවතත් සයනයට වාරු වුණා.
තවත් සුලු වෙලාවකින් ඔහු ගියා නිවසේ මුලුතැන්ගෙට. මේ අවසන් වතාව නම්.......ඔහුට තමන් ප්‍රේම කරන්නාවුන් දැක ගැන්මට ලැබෙන අවසන් වතාව නම් එය අත් හරිනුයේ කිමද?
පාතරාසය පිළියෙළ කරමින් උන් මව ළඟට ගිය ඔහු ඇගේ බඳ වටා දෑත් යවා පිටුපසින් ඇයව වැළඳගනිමින් ඇගේ උරහිසට හිස බර කළා.
-"අයිගෝ මෙන්න නාකි හුරතලේ. කෝ එහාට වෙන්න මට පරක්කු වෙලා."
ඇය සූදානම් වුණේ ඔහුගේ දෑත් ලිහිල් කර ඉක්මනින් පාතරාසය පිළියෙළ කෙරුමට. එහෙත් ඔහු තවත් තදින් ඇයව වැළඳ ගත්තේ දෑස්වලට පිරුණු කඳුළු ගලා යා නොදීමට වෑයම් කරමින්.
ඔහු දෙසට හැරුණු මව ඔහුගේ දෙකොපුල්වලින් දෑත් තබා දෑස් දෙස බැලුවා.
-"ප්‍රශ්නයක්ද........ම්ම්ම්?"
-"මුකුත් නෑ. මං හොඳින්."
හීසන්ග් ඇගේ දෑත් ඉවත් කරමින් කිව්වේ ව්‍යාජ සිනහවක් මවා ගන්නා අතරේ.
-"මං යනවා."
එලෙස පැවසූ ඔහු තවත් කිසිවක් ඇයට පැවසීමට ඉඩ නොතබාම නිවසින් එළියට ගියා.
-"මේ කෑම කාලා යන්න."
-"මං කැන්ටින් එකෙන් කන්නම්."
උස් හඬින් පැවසූ ඔහු පය ඉක්මන් කළේ තවත් එක් වතාවක් නිවස දෙසට බැල්මක් හෙළමින්.
මෙතෙක් වෙලා දෑස් තුළ සඟවා ගෙන සිටි කඳුලු තවදුරටත් රඳවා තබා ගැනීමට ඔහුට හැකියාවක් නොතිබුණා. ඔහුගේ අවසරයකින් තොරවම කඳුළු කැට පහළට කඩා හැලුණා. මඟ දිගටම හඬමින් යන හීසන්ග්ව ඇතැමුන් දුටුවේ පිස්සෙකු ලෙසින්.
තව දුරටත් ඒ ගැන සිතන්නට ඔහුට අවශ්‍ය නොවුණා.
පාලම අසළ නැවතුණු ඔහු පහළින් ගලා යන ගඟ දෙස බලා සිටියා.
විනාඩියක්.......විනාඩි දෙකක්......
නැහැ......විනාඩි 10ක් පමණ ඔහු එලෙස සිටියා.
තවත් කෙනෙක් පාලමේ අත් වැටට වාරු වනු දැනී ඔහු එදෙසට නෙත් හෙළුවා.
ඔහු හීසන්ග් සමඟ සිනා සුණා. හීසන්ග් ද ඔවුන් සමඟ සිනාසුණේ සිනා නොවී බැරිකමට.
නැවතත් හීසන්ග් ගඟ දෙසට බැල්ම යොමු කළේ බර සුසුමක් වාතලයට මුදා හරිමින්.
විනාඩි කීපයක් ගෙවී ගියා.
"ජබොඃ"
බරැති යමක් ජලයට පතිත වුණු හඬින් හීසන්ග් තිගැස්සුණා. ක්‍ෂණයෙන් ඔහුගේ නෙත් ඒ වෙත යොමු වුණා.
ඒ සමගම ඔහුගේ දෑස් විසල් වුණේ පුදුමයෙන්.
මොහොතකට පෙර ඔහු සමඟ සිනා සුණු තැනැත්තා ගඟේ ගිලෙමින් හිටියා.
තව සුලු මොහොතකින් ඔහු ගිලී මිය යනු නියතයි. උපකාර පැතීමටවත් කිසිවෙක් නැහැ අසලින්.
තවත් බලා සිටීමට නොහැකියි. හීසන්ග් උරමත රැඳුණු බෑගය පසෙකට විසි කර දෙවරක් නොසිතා ගඟට පැන්නේ ගිලී යන පුද්ගලයාගේ දිවි බේරා ගැනීමේ අරමුණින්.
I never thought that I would find a way out
I never thought I'd hear my heartbeat so loud
I can't believe there's something left in my chest anymore
Ooh, goddamn, you got me in love again
✍Choco Bee