මේසය උඩ දිගෑරුණු පොත් එහෙමම තියෙද්දි කම්මුලට අතක් තියාගත්තු ගීතාන් හිටියේ වෙනමම කල්පනා ලෝකෙක.....
දිගෑරපු පොතේ පිටුවක් මැදින් ඇඳපු චිත්‍රයක් වගේම..... පිටුවේ ඉතුරු ඉඩකඩ පුරාවටම කුරුටු බලියෙන් ලියැවිලා තිබුණේ සනුත් කියන නම විතරමයි.....
සනුත්ව මුලින්ම මුණ ගැහුණු දවසේ ඉඳන් තමන්ගේ හිතේ වචන කරගන්න බැරි තරම් හැඟීම් ගොන්නක් තියෙන බව ගීතාන්ට දැනිලයි තිබුණේ..... නමුත් ගතවුණු දවස් කීපයේ දී ඒ තිබුණු හැඟීම් තවත් වැඩි වෙලා පපුව මැදින් කළු ගලක් තිබ්බා තරම් බරක් ගීතාන්ට දැනෙන්න ගත්තා.....මේ දරාගන්න බැරි සිතුවිලි නිසාම ගීතාන්ට රෑ නින්ද අහිමි වුණා විතරක් නෙවේ.... යන්තම් හරි ඇස් පියවුණ මොහොතටත් ඒ ඇස් දෙක ඇවිත් මායම් පාද්දි ගීතාන්ගේ නින්ද නැත්තටම නැතිවුණා.....
මොකද්ද දෙයියනේ මේ දැනෙන දේ..... බැරිවෙලාවත් මම සනුත්ට......... නෑ.... නෑ..... මේක වෙන්න බෑ..... මේක නිකම්ම ආකර්ෂණයක් විතරයි....
ගීතාන් තනියම මුමුණද්දි.... ගීතාන්ගේ උඩු හිතයි යටි හිතයි නම් බරපතළ වාදයක පැටළිලා හිටියේ..... යටි හිතට අනුව ගීතාන්ගේ හිතේ සනුත් ගැන යාලුකමකට එහා ගියපු දෙයක් තිබුනත්.... උඩු හිතට අනුව නම් ඒක නිකම් සනුත්ගේ ඇස් දෙක ගැන ඇතිවුණ ආකර්ෂණයක් ......