නාඹර (onhold)

By tae_tao

3.5K 477 154

අම්මා කිව්වා පොඩි කාලෙ මායි; අර පර සුද්දයි... අපෙ අහවල් එව්වා අල්ල අල්ල අර කජු ගහ යට හිටිය කියලා. හැබැයි දැන්... More

1
2
3
5
6
7
8
9
10

4

303 46 16
By tae_tao

අවුරුදු උත්සවේ ඉවර වෙද්දි තුන විතර වුනා. අපේ නංගි තමා සිඟිති අවුරුදු කුමාරි.. ඒකිට සතුට වැඩිකමට තෑගි පෙට්ටියත් මට දීලා යාළුවො එක්කලා නට නටා හිටියා.

අර බැලුම් තරඟෙන් පස්සෙ පර සුද්දා අතුරුදහන් වුනා කියහන්කො. සමහන් කිව්වා ඌ වැව පැත්තට යනව දැක්කා කියලා. ඒ හින්ද මං ඒකා ගෙදර යන්නැතියි කියල හිතන් හිටියා. මොකද මේ පැත්තෙ ඉදල වැව පැත්තට ගියාම අපේ ගෙවල් පාර.. වැව පහු කරන් යන්න ඕනා ගෙදරට යන්න. ගෙදර පිටිපස්සෙ වැව. අහ් වැව හම්බවෙන්න කලින් සමහන්ලගෙ ගෙදර හම්බවෙනව​ා. ඒ කියන්නෙ අපේ ගෙදරයි උන්ගෙ ගෙදරයි අතරෙ තමා වැව තියෙන්නෙ. හැබැයි සමහන්ලගෙ ගෙදරයි වැවයි අතර දුර ටිකක් වැඩියි. අපේ ගෙදර පිටිපස්සෙම වගේ වැව.

ඒ හින්ද ඉතින් මමයි නංගියි, ලහිරුවයි සමහන්ලෑ ගෙදර හිටියා ටිකක් හවස් වෙනකම්. උන්ගෙ අම්මා අපිට තේ හදල දීලා කැවිලිත් දුන්නා. සමහනානම් ඉතින් උගේ ජාතික පානය වන සමහන්ම තමා බිව්වෙ. ඌ සමහන්වලට පට්ට පෙරේතයෙක්. තේරෙනවනෙ ඉතින් ඇයි මූට සමහන් කියන්නෙ කියල.

මං නංගිවත් එක්කන් ගෙදරට එද්දි කලුවර වැටීගෙන එනවා. ගෙදර පිටිපස්සෙන්නෙ ආවෙ.. ගෙදර මනුස්සයො එක්කෙනෙක්වත් පේන්න හිටියෙ නැති නිසා මම ඉස්සරහ පැත්තට ගියා. ඇත්තටම කිව්වොත් ඉතින් මට අර පරයාව දකින්නයි ඕන වුනේ. මං යද්දි ඔක්කොම කට්ටිය ඉස්තෝප්පුවට එකතු වෙලා හිටියා කලබලේකින් වගේ. මට ආච්චි වේදනාවෙන් වගේ කෑගහන සද්දෙ ඇහුනා.

ආච්චිගෙ කාමරේ තිබ්බෙ ඉස්තෝප්පුවට යාබදව. අම්මා එතන හිටන් ඉද්දි මම අම්මා ළඟට කිට්ටු කළා. එතකොටම වගේ අප්පච්චියි පර සුද්දයි කාමරෙන් එළියට ආවෙ ආච්චිව දෙපැත්තෙන් අල්ලන්. ආච්චිට හිටගන්නවත් පණක් නැති ගානයි. ඒත් එයා දිගටම අතඅරින්න කියල කෑගැහුවා.

" මාව අතෑරපියව්.. මේනකයෝ.. සොරොව්ව කඩා දාපිය ඉක්කන්ට... ගම්බාර දෙයියො කෝපවෙලා.. උබලෑ අත්තා මේ ගෙදර ලේ විලක් කරාවි... උන්දැගෙ ආත්මෙ නිධා-"

" අම්මේ .. ටිකක් ඉවසන්නකෝ.. ඉක්මනට ඉස්පිරිතාලෙට යන්.."

අප්පච්චි කිව්වෙ මැරෙන්න වගේ හති දාන ආච්චිව වත්තම් කරගන්න. මම අම්මගෙ අත තද කරල අල්ලගත්තෙ ආච්චි එකපාර මගෙ පැත්ත හැරෙද්දි. බොරු කියන්න ඕන්නෑනෙ ආච්චිගෙ සුදු පුළුන් කෑල්ල වගේ කොණ්ඩෙත් කඩාගෙන අර පිරිමි දෙන්නගෙ අතින් ගැලවෙන්න දගලන ගමන් මගේ ළඟට ඇවිත් මූණට එබුනම මට වයසක උන්දැව පෙනුනෙම යකින්නක් වගේ වෙද්දි මම බය වුනා. ආච්චිගෙ මේ යකා වැහිල්ල හින්දා තමා අම්මා එයා එක්ක කතාවට යන්නෙපා කියල මටයි නංගිටයි කියල තියෙන්නෙ වගේම එයාව ගෙදර ඉස්සරහම කාමරෙන් දාලා තියෙන්නෙත්.

" පුංච්චප්පු... පුංච්චප්පු... කොලු ගැටයව ඇන්න යාවි.. සොරොව්ව කඩා දාපිය.. "
ආච්චි කියල ඉවර වෙනවත් එක්කම මගෙ අතින් අල්ලගත්තා. මට හික් ගෑවුනේ ඒ අත යකඩයක් වගේ නිසා. ආච්චිගේ නහර පෑදිලා ඇටේටම ඇලිල තිබ්බ කළුවන් ගැහිච්ච අතට මෙහෙම අසනීපෙන් ඉද්දිත් මෙච්චර හයියක් කොහෙන්ද කියල මම කල්පනා කළේ ඒ අත මගෙ අතත් එක්කම වේගෙන් වෙව්ලන දිහා බලාගෙන.
නංගි බයටද කොහෙද මගේ කලිසම කොනක් මිරිකගෙන මාව පස්සට ඇද්දා. අම්මත් මාව පස්සට අදින ගමන් හිටියා.
අප්පච්චි ආච්චිව වැටෙන්න නොදී කොන්දෙන් අල්ලගනිද්දි පර සුද්දා මගේ අතින් අල්ලන් ඉන්න ආච්චිගේ අත අල්ලගත්තා.

"පුංචප්.. පුංචප්පු.." දිගටම මගෙ මූණ දිහා බලාගෙන මතුර මතුර හිටිය ආච්චි බැලුවෙ පර සුද්දා දිහාව. මාත් ඌ දිහා බලද්දි ඌ හිටියෙ හකු තද කරගෙන. ඒත් ඊළඟට උගේ අර අමුතු පාට ඇහිබෝල කළුම කළු පාට වුනාම ඒත් එක්කලා මම දැක්කා හරිද කියල හිතාගන්න බැරුව මම ඇස් පිල්ලම් ගහද්දි ආච්චිගෙ යකඩ වගේ අතින් මාව අතෑරුනහම ඒ නිදහසත් එක්ක මම මගේ අතේ තද වුන තැන අතගෑවෙ ආයෙම අර ඇස් දිහා බලන ගමන්. ඒත් ඒ ඇස් හරි සාමාන්‍ය විදිහට ආයෙම අර අමුතු පාට වෙලා තිබ්බා.

ආච්චි එකපාරටම සිහිනැතුව තාත්තගෙ අත් දෙක උඩට වැටුනා. පර සුද්දා ආච්චිව අත් දෙකට වඩාගෙන ගිහින් කාර් එකේ ඉන්දව ගනිද්දි අප්පච්චි අම්මට කියල ශර්ට් එකක් ගේ ඇතුලෙන් ගෙන්නගෙන ඒකත් දාන් ඉක්මනින් කාර් එකේ නැගල මිදුලෙන් අතුරුදහන් වුනා. ඒ ගමන්ම අම්මා මගේ පැත්ත හැරුනේ මගෙ මූණම දෝතට අරගෙන.

" උබට කරදරයක් නෑ නේද මගෙ පුතේ.. ඇඟට අමාරුයි වගේද?" අම්මා අහද්දි මම අම්මා දිහා බැලුවෙ පුදුමෙන්. ඇයි එයා එහෙම අහන්නෙ. මෙතන අසනීප වුන කෙනා මම නෙමේනෙ.
ඊට පස්සෙ ගෙවුන කාලෙ ගෙවුනෙ ගෙදර හරිම නිශ්ශබ්දව. අම්මා අප්පච්චිගෙන් කෝල් එකක් එනකම් සාලෙ සැටිය උඩට වැටිලා ඔහේ බලන් හිටියා. මමයි නංගියි අම්මා හූල්ලන දිහා බලන් ඉදල හොරෙන් වගේ කතා කළේ කලින් මම නාගෙන ඇවිල්ලා පුරුද්දට වගේ විසිල් එකක් ගහන්ම කාමරේට යන්න යද්දි අම්මා බැනපු බලු බැනිල්ල මතක් වෙලා. මට තේරෙන්නෑ අද මේ ගෙදර මිනිස්සුන්ට මොකක් වෙලාද කියල. අම්මා එහෙම තරහ අරන් මූඩ් ගහල ඉන්නෙ ආච්චි අසනීප වුන නිසා කියලයි මම හිතුවෙ.

" පුංචප්පු.. දහයත් පහුවෙලා නංගිවත් එක්කන් ගිහින් බෙදාගෙන කාපං බත් උයලයි තියෙන්නෙ.."

"ඇයි අම්මා කන්නෙ නැද්ද?"

" අප්පච්චි මොකවත් කිව්වෙ නෑනෙ තවම.. මම තව ටිකෙන් කන්නම්ක්කො. හොඳ එකා වගේ නංගිවත් එක්කන් කන්නකෝ.." අම්මා බැගෑපත්ව කියද්දි මම සාලෙ ඉදල කුස්සිය පැත්තට යන්න ගත්තත් මම නැවතුනේ අපි නිදාගන්න කාමරේට කලින් හම්බවෙන කාමරේ ළඟ.

මම හිමින් දොර රෙද්ද මෑත් කරලා කාමරේ ලයිට් එක දාලා බැලුවා. මේ කාමරේ තමා අපේ ගෙදර නිල වශයෙන් ගබඩා කාමරේ බවට පත්වෙලා තිබ්බෙ. ඒ හින්දම මේකට දොරක් දාලා වහලයි තිබ්බෙ මෙච්චර කල්. මගෙයි නංගිගෙයි පොඩි කාලෙ ඉදල එක අකුරක් නෑර ලිව්ව කොළයක් පවා අහක නොදමා ඔක්කොම පොත් පත් මේකෙ කොනක ගොඩ ගහල තිබ්බා. ලංකාවෙ මිනිස්සුන්ට ආවේණික වුන ලට්ට පට්ට එකතුකිරීමෙ පුරුද්ද කියාපාන්න වගේ අපේ ගෙදරත් අපිටයි, ගමටයි, රටටයි වැඩක් වුන්නැති පරණ ප්ලාස්ටික්, යකඩ බඩු, වීදුරු, ලී කෑලි ඔය එකී මෙකී නොකී හැම බඩුවක්ම මේකෙ ගොඩ ගහල තිබ්බා. ඒත් දැන් ඒක තිබ්බෙ සම්පූර්ණයෙන්ම අස් කරලා. පැත්තක ආච්චිට දෑවැද්දට හම්බුනයි කියන අතින් කරකවල මහන මැශිමකුයි ,එක ඇදකුයි, කබඩෙකකුයි විතරක් තිබ්බා.

මට හීල්ලුනේ මේ සේරම අම්මයි අප්පච්චියි අස් කරල කියල තේරුම් ගියහම. ආයෙ දෙකක් නෑ මේ කාමරේ තමා පර සුද්දට ඉන්න අස් කරලා තියෙන්නෙ. මට ඌ එක්කලා තරහා තවත් වැඩි වෙනව මෙව්වා එක්කලා. එක්කෝ ඒකා උදව්වට කියලවත් ඉන්න ඕනෙ මේක අස් කරගන්න. අර මනුස්සයො දෙන්නා මේවා තනියම කොහොම කළාද මන්දා.

මම ලයිට් එකත් වහලා කුස්සියට ආවෙ ආච්චි දිහා අරූ කලින් බලන් ඉද්දි ඒ ඇස්වල පාට වෙනස් වුන විදිහ ගැන කල්පනා කරන ගමන්. මුලින් ඒක වැරදිලා පෙනුන කියල හිතුවත් මට විශ්වාසයි මම එහෙම දෙයක් දැක්කා. මොකක්ද කියල දන්නෑ .. ඒ පරයා මෙහෙට අඩිය තිබ්බ වෙලේ ඉදල මට මෙහෙ ඇඟේ වැදෙන හීතල හුළඟ පවා දැනෙන්නෙ අමුතුවට..

නංගියි මමයි බොරුවට රණ්ඩු වෙවී ඉදලා අන්තිමේ අම්මා කෑගහපුවම කෑම කාලා කාමරේට ආවෙ මිදුලෙ වාහනයක් නතර කරන සද්දෙ ඇහෙද්දිමයි. මම ජනේලෙ ඇරලා බැලුවාම අරූගෙ කාර් එක නවත්තලා තියෙනව දැක්කා. ආච්චිව ඉස්පිරිතාලෙට දාලා අප්පච්චි මෙච්චර ඉක්මනින් එයිද.. අනික ආච්චි ළඟ ඉන්න අම්මා යන්න ඕන නැද්ද..

මම ගිහින් මගේ ඇදෙන් ඇල වුනේ නංගි ඒකිගෙ තෑගි පෙට්ටිය එහා ඇදේ ඉදන් ලෙහාගන්න මාර ගේමක් දෙන දිහා බලන්. මායි නංගියි ඒකි ඉපදුන දා ඉදලම නිදාගත්තෙ එක කාමරේ. ඒකිට මාස හයේ ඉදලම මා එක්ක එක ඇදේ මට තුරුල් වෙලා නිදාගත්ත පොඩි එකීව මට අවුරුදු දහ තුනක් දාහතරක් සම්පූර්ණ වෙනවා එක්කම මගෙ තුරුල්ලෙන් ඈත් කරලා අම්මයි අප්පච්චියි එක කාමරේ කෙළවරවල් දෙකේ ඇදවල් දෙකක නිදාගන්න විදිහට හදල දුන්නා.
අම්මා කියනවා මේකි පුංචි කාලෙ අම්මගේ තනේ කිරි බොන්නෙ නැතුව මගේ ගැට උරව උරව අම්මට ඔරවනව කියල. ඒක මතක් වෙලා මට හිනාවක් යද්දි නංගි මගෙ දිහා බලලා මොකෝ උඹ කියල අහන්නා වගේ බකුසු බැල්මක් දැම්මෙ මං තවත් ඒකිව අවුස්සන්න බඩ අල්ලන් හිනාවෙනකොට.

"මොනාද දැන් මහ ලොකු අවුරුදු කුමාරිට හම්බෙලා තියෙන්නෙ?"

"අනේ මේක ගලවලා දෙනවකෝ.. " ඒකි තටම තටම තෑග්ගෙ රිබන් පටියක් ලෙහන්න දගලනවා.

"ඔහොම ඉන්නවා.."
මම ඉතින් උදව්වට ගියා. ඒකෙ තිබ්බෙ වැඩිහරියක් පොත් පෑන් පැන්සල් තොගයක්. එව්වා ලස්සනට විච්චූරන දාලා රෝස පාටින් හැඩ කරපුවා. තව උණ්ඩි කරල පෙට්ටියට ඔබලා තිබ්බෙ මල් පොකුරක් අතින් ගත්ත රෝස පාට ටෙඩියෙක්. මූ නිසා තමා මෙච්චර වෙලා මේ තෑගි පෙට්ටිය පිම්බිලා තිබිලා තියෙන්නෙ. ඔයින් ගියා මදැයි ගමේ අවුරුදු උත්සවේකින්. නංගි නම් හිනාවෙවි ටෙඩියව තුරුල් කරගත්තා. ඒ හිනාව දැක්කම මට හිතුනෙ පොඩි කාලෙ කියන එක කොච්චර නම් සුන්දරද කියන එක. මටත් මතකයි මට කළු පාට සෙල්ලම් කාර් එකක් තිබ්බා පොඩි කාලෙ. පස්සෙ ඒක කැඩිලා ගියා.

ඒකිටත් අහේතුකවම විරිත්තලා මම ඇදට පැන්නෙ අරූ ආවත් හරි කිසිම සද්දයක් නොතිබ්බ නිසා. මම මගේ ඇල්බටල් එකෙන් වෙලාව බැලුවා. හෙහෙ.. ඇල්බටල් එක කියන්නෙ ඒයි මගේ බොත්තම් පෝන් එකට.. අප්පච්චි මගෙ ෆෝන් එක ගත්තනෙ නිවාඩුව දුන්න ගමන්ම නැත්තම් මම ගෙදර කිසි දේකට උදව්වක් කරන්නෑ ඒක ඔබ ඔබා ඉන්නව කියලා. අපේ ගෙදර ඉතින් සන්තකේටම ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්නෙත් මට විතරයි. ඒකත් කොරෝනා වලට පින්සිද්ද වෙන්න. කොහොමත් ඉතින් ඒකෙන් අද්‍යාපනයට අමතරව ඉතින් ඔය වෙන වෙන ප්‍රයෝජනත් ගන්නව මං.. දැන් කාලෙ නව යොවුන් වියේ පසුවන කොලු ගැටයෙක් හැටියට කොන් වෙලා ඉන්නත් බෑනෙ ඒයි. ආහ් පර සුද්ද ගාව නම් ඇතිනෙ සුපිරියක්. ඒත් මං දැක්කෙ නෑනෙ බලමුකො බලමුකෝ.. මේ ගෙදරනේ ඉන්නේ..

වෙලාව නම් එකොලහයි විස්සට විතර එතකොට. අම්මා කාමරේට ඇවිල්ලා නංගි එක්කම ඒ ඇදේ නිදාගත්තා. අප්පච්චි ඇවිල්ලා තිබ්බෙ නෑ. අම්මා කොහොමත් කවදාවත් අප්පච්චි නැතුව ඒ කාමරේ නිදාගත්තෙ නෑ.

මට නම් නින්ද කියන එක අහලකටවත් ආවෙ නෑ. එහා පැත්තෙ කාමරේ දොර ඇරලා වැහෙන සද්දෙ මට හොඳට ඇහුනෙ මං හිටිය තැන බිත්තියෙන් ඒ කාමරෙයි මේ කාමරෙයි වෙන් වෙලා තියෙද්දි. සිවිලිමක් කියල එකක් ගහල නැති අපේ ගෙදර එක තැනක ලයිට් එකක් දැම්මොත් ඒ එළිය ලාවට හැම තැනින්ම විහිදුනා. ඉතින් ටිකකින් එහා කාමරේ ලයිට් එක වැහෙනවා මම බලාගෙන. ඊළඟට ඇහුන ඇද බරාස් ගාපු සද්දෙන් අරූ නිදියන්න යනවා ඇතියි කියල මම හිතාගත්තා.
මම බිත්තිය පැත්තට හැරිලා බිත්තිය එහා පැත්ත ඇදේ ඉන්න පර සුද්දව මවාගන්න උත්සාහ කළා. තත්පර පහු කරන් විනාඩි ගානක් ගෙවිලා යන්නැති. මට මතක් වුන දෙයක් නිසා ඇද ළඟ මේසෙ කොළය යට දාලා තිබ්බ ඒ ෆොටෝ එක හොයාගත්තෙ ඇල්බටල් එකෙන් ලාවට වැටෙන කහ පාට එළියෙන් අතපත ගාලා..
ඒ එළිය මම ඒ ෆොටෝ එකට ඇල්ලුවා.. හැමදාම වගේ මගෙ මූණට හිනාවක් ආවා.
ඒක මට මම ශිෂ්‍යවත්වෙ ප්‍රතිඵල කියන්න ආච්චිගෙ ඇද ළඟට ගිය වෙලේ ආච්චි මට දුන්න එකක්.
අද වගේ මට මතකයි ආච්චි බලන් හිටියා වගේ මට එච්චර කාලයක් හීනෙන් පෙනුන ඒ සුදු උස කොල්ලා ගැන විස්තර කරපු විදිහ..

ඒ ෆොටෝ එකේ හිටියෙ පර සුද්දයි මායි. මම හෙලුවෙන් ඉද්දි අරූ චූටි කොටු වැටිච්ච කොට කලිසමක් ඇදලා ඌ මාව හරහට වඩාගෙන හිනාවෙවී මා දිහා බලන් ඉද්දි මම බෙල්ල පිටිපස්සට කරන් මැරිලා වගේ අත පය විහිදගෙන රගපාන මොහොතක්..
ආච්චි කියන විදිහට ඒ මට අවුරුදු හතරක පහක විතර කාලෙ. පර සුද්දට ඒකෙ අවුරුදු දහයක විතර පෙනුමක් තිබ්බට ඌ ඊට වඩා වැඩිමල්..

"සුදු අයියා උඹව දාලා ඒරොප්පේ ගියපු දා උඹ මුලු ගම වටේම අඩ අඩා දිව්වා ඌව හොයාන.. උඹ කොච්චර උට බැදිල හිටියද කියනවනම් පුංචො උඹට සතියක්වත් උණ ගැනිලා තිබ්බා පොළොවෙ හැපි හැපි අඩපු ඇඩිල්ලට.. නොකියම ගියාය කියල උඹ මතුර මතුරා ඉදියා ඊටපස්සෙත් වැව පැත්ත බලාන පිලිකන්නට වෙලා කම්මුලේ අතකුත් ගහගෙන වැන්දඹුවක් වාගෙ ... කැතේ බෑ... ඕන් කටින් පණුවෙක් එනවාය කියල මං කිව්වම උඹ තවත් හයියෙන් විලාප තියෙනවා.." එදා ආච්චි එහෙම කියලා දතුත් නැති කට එළියෙ දාගෙන හක හක ගාලා හිනාවුනා. නාකි උන්දැ හෙන ආතල් එකක් අරන් මගෙන්.

එදා මම දැනගත්තා මගේ පුංචි හිතේ හැදුන හිස්තැනට හේතුව. ඌව කාලෙත් එක්කලා මට අමතක වෙලා තිබ්බත් එදා ඉදලා මම ඌව දකින්න පෙරුම් පිරුවා. අම්මයි අප්පච්චියි උන්ගෙ පව්ල ගැන කතා කරද්දි මම හොරෙන් අහන් හිටියා. උගේ නමක්වත් මට මතකයේ තිබ්බෙ නෑ.. 'සුදු අයියා' කියල කට පුරා කියන්න ආස වුනත් දෙයියනේ මේ පර සුද්දා මම හිතන් හිටිය විදිහ නෙමෙයි සම්පූර්ණයෙන්ම වෙනස්.. ඒක මගෙ හිත කලබල කරනවා. කොහොමත් ඌව දැක්කම- විශේෂයෙන්ම අර කොළ පාටට හුරු අළු පාට ඇස් දැක්කම මමවත් නොදන්න හුත්තක් වෙනවා!

කල්පනා ලෝකෙ ගිලිලා ඉද්දි මට ඇහුනෙ එහා කාමරේ දොර ඇරෙන සද්දෙ.... වෙලාව දොළහ පහුවෙලා.. ඈතින් නරියෙක් හූ තියන හඬක් ඇහෙද්දි මම හිමින් ඇදෙන් බැහැලා ඇඟිලි තුඩුවලින් කාමරෙන් එළියට ආවෙ අම්මවයි නංගිවයි ඇහෙරෙන්නෙ නැතිවෙන්න.

මම එහෙම්මම පපුවත් අල්ලන් බිත්තියට මුවා වුනේ එතනින් ඡායාවක් වගේ පෙනෙද්දි. ගොඩක් වෙලා ඇස් ඇරන් ඉදපු හින්දා ඇස් කළුවරට ඒ වෙද්දි හුරු නිසා ඒ ඡායාව පස්සෙන් මම ගියේ ඒ පර සුද්දා කියල ඌ දවාලෙ ඇදන් හිටපු ටීශර්ට් එක අදුරගත්ත නිසා.

ඌ ගියේ කුස්සියට. කුස්සියේ දොර කවදාවත් නැතුව හායි ගාලා ඇරලා දාලා සීතල හුළඟ මගේ ඇගේ වැදීගෙන යද්දි මම ඌ පස්සෙන්ම එළියට ගියේ ශර්ට් එකක්වත් නැතුව. ඌ වැව පැත්තට ඇවිදගෙන යනවා මම දැක්කා. මම සෙරෙප්පු දෙකක්වත් නැතුව සීතල පොළොවෙ ඌ පස්සෙන් ඇවිදන් ගියත් එන්න එන්නම ඒ පැත්තට කළුවර වැඩි නිසාද කොහෙද කජු ගහ හරියෙන් උගේ ඡායාව අතුරුදහන් වුනා.. මම එක තැන නැවතිලා සීතලට අත් දෙක අතුලද්දි කන් දෙක හුළඟෙ සෝ සද්දෙන් පිරිලා ගියෙ මගෙ ඇස් පියවෙද්දි. මගේ ඇඟට පණ නැතිවෙනවා වගේ මට දැනුනත් එක්කම අන්තිමේ සීතල අතක් මගේ නිරුවත් බද වටේ එතුනා මට හීනෙන් වගේ මතකයි.....










Continue Reading

You'll Also Like

3.7K 243 4
A Rajveer Naina Short FF 🎆🎇Diwali 2021 Gift🎇🎆
827 109 43
" අතුරුදහන් වූ මිනිසුන් ශේෂ කළ අතුරුදහන් නොවු හැගිම් මතකෙට ආවඩන විට අතුරුදහන් වීමට අවැසි හිතකගෙ අඳෝනාව..."
6.8K 586 32
මං උඹට ආදරෙයි තේව් ! මගෙ ජීවිතේ තියෙනකල්ම තේව් යුහස් අහිංස මගෙ වෙලා ඉන්නයි ඕනෙ!🍃🖤 -Ayesh Din...