"Done"
වෙලාව රෑ අටයි තිස් නවයයි... කැන්වස් එක ටිකක් ඩ්‍රයි වෙන්න ඇරලා මන් ටූල්ස් ටික ඔක්කොම බොක්ස් එකට දාලා පැක් කරගත්තා.. මන් ඒ ටික කරන අතරේ ගවේෂ් අයියා ලිප පත්තු කරලා චූටි තාච්චියක දෙන්නටම නූඩ්ල්ස් හදන ගමන් හිටියේ... මන් හිතුවේ එකත් මටම කරන්න වෙයි කියලා. බලද්දි ඩයල් එකට උයන්නත් පුළුවන්...
"වැඩේ හරිද?"
"තව ටිකයි මට අර සෝස් එක දෙන්න.."
"ආහ් වැඩිය දාන්න එපා"
"ඇයි සැර කන්න බැයිද... කටනම් තියෙනවා"
"සැර.. මට ඕන සැරක්.. මේ හයිකින් ඇවිල්ලා බඩ පුපුරන්න සැර කන්නෑ.. ඊට පස්සේ බඩේ අමාරුවක් ආවම පියාඹලා තමා යන්න වෙන්නේ.. කොහෙද ඉතින් මීට කලින් කන්දක් වත් නැග්ග මිනිහෙක්ද... කෝ අහකට වෙනවා මන් කරන්නම්.. අහකට අහකට"
"තමුසෙට ඔච්චර ඩෝන් යන්න මොකක්ද මන් කිව්වේ... උබෙත් කට වැඩී ඈ"
"ඇයි අඩු කරන්නද ආ"
"හැන්ද මට දික්කරන්නේ නැතුව ඕක කූරු ගාපාන්"
"කරනවා තමා රෙද්ද.."
"කඩනවා උබේ අඩු ටික..."
"කඩනකම් මන් බලං ඉදී"
නොදන්න දෙයක් කියලා දෙද්දි අනම් මනන් කියවන් ආව නිසා මට තද වෙච්ච පාර හැන්ද උදුරලා අරන් මන්ම කෑම හදලා ඉවර කරා.. ආවා මෙතන මට උගන්නන්න.. මේ මනුස්සයා සොසේජස් වෙනම බදින්නේ නැතුව මේකටම දාලා... හැබැයි ඒකත් අවුලක්ම නෑ..
අන්තිමට කෑම ටිකත් ප්ලේට් දෙක්කට දාගෙන අපි උදේ කන්න ඉදගත්ත පොට් එකේ ඉදලම කන්න ගත්තා..
"තමුසෙගේ අර ඇට යාළුවා.."
"කව්ද ගෙමිදුද?"
"ම්ම්ම්... මැනේජ්මන්ට් එකේ උන්ගෙන් පරිස්සම් කරගන්නවා"
"ඇයි එකපාරටම"
"මන් දන්නේ එච්චරයි"
"ඒ කිව්වේ.."
"උබලයේ ෆැකල්ටි දෙකේ කේස් එක නොදන්නවා නෙවේනේ.. ඇරත් ඒ පොඩි පගයට මොලේ නැද්ද උන් එක්ක- මන් දන්නෑ උබලා ඕනි දෙයක් කරගනිල්ලා අපිට අදාල කේස් නෙවේනේ"
"මන් බලන්නම්කෝ"
නිදහසේ කකා ඉන්න කොට ගවේෂ් අයියා දුන්නේ සුපිරිම නිවුස් එකක්... මුට එකපාරටම ඇයි දන්නෑ අපේ එකාගැන සත්ත්ව කරුණාව පහල වෙලා.. දැන් මේක ගිහින් අපේ පවිරුවගේ කනේ තියලා ඌව ෆෝම් කරනකම් ඉවසිල්ලක් නෑ.. කෝමත් ගෙමිදුවා උන් එක්ක නටාගෙන යනවා වැඩි... අපේ එකාගේ වැරැද්ද.. පවිරුවත් දවසක් දෙකක් කිව්වා උන් එක්ක වැඩිය යන්න එපා කියලත්.. ඒත් ගෙමිහාමිත් මන් වගේමයි කියන දේ අහන්නෙම නෑනේ..
අපිට කොහොමත් ඒ කාලේ ඉදලම මැනේජ්මන්ට් එකත් එක්ක ලොකූ ඇරියස් එකක් තියෙනවා... එහෙම තමා කැම්පස් වල.. සමහරක් ෆැකල්ටි අතර අවුරුදු ගණන් හේතුවක් නැතුව ප්‍රශ්න ඇදෙනවා.. අපෙත් ඒ වගේ සීන් එකක් තියෙන්නේ.. මුළු කැම්පස් එකම දන්නවා ෆැකල්ටි දෙක නයාට අදුකොල වගේ කියලා.. අහුවෙන චාන්ස් එක්කින් ඇරගන්නම තමා බලන්නේ
මේ සම්බන්ධව ගවේෂ් අයියගෙන් තව කොච්චර හාර හාර ඇහුවත් මීට වඩා දෙයක් අහගන්න බෑ. ගලෙන් පට්ටයක් ගන්නවා ඊට වඩා ලේසි.. නැත්තම් හිල් බාජනයක් පිරෙන්න වතුර පුරෝනවා.. පිස්සු මකුනා..
අපි දෙන්නා අයේ කතාවක් නැතුව කාලා බීලා එතන ටිකක් අස්පස් කරලා දැම්මා... ඊට පස්සේ හන්තානේ රෑ පානේ ලව් කරන්න ගිය කපල් එක වගේ තණබිස්සේ දිහා වෙලා අහසේ තරු දිහා බැලුවා.. මගේ තමා අයිඩියා එක.. නැත්තං ළමාතැනී නිදාගන්න ලැස්ති උනේ.
අදනම් අහස පිරෙන්නම තරු වැහි වැහැලා වගේ.. මන් උඩු අතට පෙරලිලා ඔලුවට යටින් අත්දෙක තියාගත්තම එයාත් මන් වගේම ඔලුවට යටින් අත් දෙක තියාගෙන බිම දිගා උනා...
දැන්නම් අපි ටිකක් ළග පාතින් ඉන්නවා.. මොකද බැනගෙන ඇනගෙන හරි අපි දැන් කලින්ට වඩා ටිකක් එකට ඉන්න තරම් කම්ෆර්ටබල්... ඒ උනාට මන් තාම තරහවල් අමතක කරලා නෑ... ඒවා එහෙම ලේසියෙන් අමතක කරන්නෙත් නෑ..
"තමුසේ මට කලින් කාව හරි කිස් කරලා තියෙනවද?"
"හහ්..??"
එකපාරටම ගහෙන් ගෙඩි එන්නා වගේ ගවේෂ් අයියා මගේ පැත්තට ඔලුව හරවලා අහද්දි මට ඒකට එකපාරටම දෙන්න උත්තරයක් නැතුව ගියා.. මේ වගේ වෙලාවක ඒ ගැන කතා කරන්න මන් කොහොමටවත් ලෑස්ති වෙලා හිටියේ නෑ.. අනික මන් හිතුවෙත් නෑ ඒ ගැන අයෙත් කතා කරන්න.. මොකද දවස් දෙක තුනක් ගියාම මටම ඒක අමතක වෙලා ගිහින් තිබ්බේ...
"මීට කලින් කිස් කරලා තියෙනවද?"
"නෑ..!! ඒක මගේ ෆස්ට් කිස් එක.. එතකොට ඔයා?"
"මන් කරලා තියෙනවා.."
"....."
ඒකටනම් මට සැරින් සැරේ එන පපුවේ අමාරුවත් ආවද කොහෙද...
එයා මගේ දිහා හොදට බලලා කට කොනේ හිනාවක් එක්ක ආයෙත් අහස දිහා බැලුවා.. මාත් ඉක්මනට උඩ බලාගත්තා.. මේ අහසත් නිකන් මෙලෝ රහක් නැති චිත්‍රයක් වගේ..
"අහන්නැද්ද කවුද කියලා"
"මට මොකද තමුසෙ කාව කිස් කරත්..!!!"
"ඒකත් ඇත්ත.."
"හරි දැන් කවුද තමුසෙව ඔය කිස් කරපු කුණ්ඩවාලේ..?"
"තිවාන්"
"ආහ්........ ඒක මිසක්"
"ම්ම්ම්..."
"එයා ඔයාගේ අයියද මල්ලිද?"
"අයියා"
අන්න අන්න අහසේ ලස්සන තරුවක් දිලිසෙනවා.. මෙච්චර වෙලා කොහෙද පැටියෝ ඔයා හැංගිලා හිටියේ.. දැන්නේ අහස උනත් ලස්සනට පෙන්නේ.. ඔයානම් තරුවක් නෙවේ ග්‍රහලෝකයක්ද කොහෙදෝ.. පිස්සු ග්‍රහයා..
"දැන් බෙහෙත් බොනවද තමුසේ.. ආපහු අමාරුවක් එහෙම ආවේ නෑනේ?"
"නෑ දැන් අවුලක් නෑ. බෙහෙත් ඉවරයි දැන්"
"වෙලාවට කනවා ලෙඩ දාගන්නැතුව"
කතාව හොස්පිටල් එකටම ඇදිලා ආව එකේ මේක තමා හොදම වෙලාව පෙර වැරදි වලට සමාව පාපොච්චාරණය කරන්න... ගානට බොලේ බැස්සුවනම් හරි..
"මේ... එක නෙවේ... එදා කියවන් ආවට සොරි. මන් දැනන් හිටියේ නෑ කිසි දෙයක්... බීලා කරදර කරාටත් සොරී.. මට හොස්පිටල් එකේදී කරපු උදව්වට හරියට තෑන්ක්ස් කරන්න බැරි උනා. ඒකටත් තෑන්ක්ස්.. එදා වලිය මැද්දටත් පැනලා මාව බේරගත්තනේ. ඒකටත් තෑන්ක්ස්"
"ඔහ්....!! මන් එච්චර දේවල් කරලද? කමක්නෑ ඒවා අමතක කරන්න. ඇත්තටම ඔයාලා අපේ exhibition එකට ගොඩක් මහන්සි උනානේ.. අපියි හරිනම් තෑන්ස් කරන්න ඕන.."
"අන්නේකයි තෑන්ක්ස් කරන්න ඕනි ඔයාලා"
"හැබැයි ඔයා ඕල් රෙඩි තෑන්ක්ස් කරානේ ලස්සන ඩ්‍රෝවින් එකක් දීලා.. Its absolutely precious.."
"Precious උනාට වැඩක් නෑ.. තමුසෙට වැඩක් නෑනේ ඒක හොරකම් කරන්න"
"කවුද හොරකම් කරේ.. ඔයාමනේ මට ගන්න කිව්වේ.."
"මොකක්...!! කොයි වෙලේද??"
මන් ඔලුව පිටිපස්සට බැදලා තියෙන අත් දෙක අයින් කරගෙන පටස් ගාලා මුනින් අතට පෙරලුනා. මන් කෙලින්ම දැන් ගවේෂ් අයියගේ මූණ ඉස්සරහා. මෙතන මන් නොදන්න දේවල් වෙලා තියෙනවා වගේ....
"මතක නැද්ද...?"
ගවේෂ් අයියත් මගේ පැත්තට ඇලවුනා. දැන් අපි කෙලින්ම මූණෙන් මූණ බලන් තුන්සිය හැට දේශපාලන සංවාදේ වගේ.. මන් ඇස් දෙක හීනී කරන් බැලුවා.. ඩයල් එක දැම්මා මහ කුපාඩි හිනාවක්..
මන් හොද ආතල් එකක් දීලා වගේ..
"මට මතක නෑ.. මන් කොයි වෙලේද ඒක ගන්න කිව්වේ"
"එහෙනම් තමුසෙට ගොඩක් දේවල් තාම මතක නෑ... එදා මන් ඇදගෙන ගිහින් ඇදට දැම්මට පස්සේ මාර විදියට බෙරිහන් දෙන්න ගත්තේ."
"මොනවා කියලද?"
"ගවේෂ් බෑග් එකේ එයාව ගන්න, 'ගවේෂ් බෑග් එකෙන් එලියට එන්න' කියලා සෑහෙන වෙලාවක් කියෙව්වා."
"බොරූ......."
"බොරු නෙවේ ඇත්ත!!! මන් ඒත් එච්චර ගනන් ගත්තේ නෑ ඩොප් පිට විකාර කියවනවා ඇති කියලා.
ඊට පස්සේ තමුසේ ඒක කිය කිය එකපාරටම අඩන්න ගත්තා. මන් ඒ නිසා නි ක ම ට වගේ බෑග් එක ඇදලා බැලුවා. එතකොට තමා බඩු හම්බුනේ.."
"ආයිෂ්..!!"
ඔය කොරලා තියෙන්නේ කලාකාරයා ලෙසටම.. මීට වැඩිය හොදයි පස් කාලා මැරෙන එක. අයෙනම් බොන්නෑ ජීවිතේට වැරදිලාවත්. මට මේ එන ලැජ්ජාවට පුළුවන් මුළු නාරංගල කන්දෙම වල් කන්න.. උඹනම් මැටි හරකෙක්..
"මට ඒක දැක්කම හිතාගන්න බැරි උනා.. මාව ඇදලා තිබ්බ නිසා මන් ඒක ගත්තා.. එකපාරටම මාව අදින්න හිතුවේ ඇයි.."
මන් ඉතින් සද්ද නැතුව ඉන්න විදිහටම උඩ බලා ගත්තා.
ඇරත් මන් කොහොමද දෙයියනේ කටක් ඇරලා කියන්නේ ඕක ඇදපු එකක් නෙවේ ඇදිච්ච එකක් කියලා...
"නිකං ඉතින්"
"නිකං වෙන්න බෑ"
"ආයිෂ්...!!! මතකද එදා හොස්පිටල් එකේ මන් එක්ක කතා කර කර හිටිය පොඩි බබා..?"
"මුණනම් ලොකුවට මතක නෑ.. දැක්කොත් මතක් වෙයි. ඇරත් ඒ ළමයා මගේ මූණ දිහා බැලුවෙත් නෑනේ"
"බලන්නේ කොහෙද ගඩාෆි වගේ වටටම නෙලන්න මූණ හදන් ඉද්දි... "
"හරි ඉතින් එයා ගැන මොකටද දැන්?"
"එයා තමා කිව්වේ.."
"මොකක්ද?"
"ටිකට් කපලා යද්දි මන් එයාව ආපහු හම්බෙන්න ගියා.
ඉතින්...මන් ඇහුවා එයාගෙන් සොරි කියන්න පුළුවන් ලේසිම විදිහ මොකක්ද කියලා. එයා තමා කිව්වේ චිත්‍රයක් ඇදලා පාට කරලා සොරි කියලා ලියන්න කියලා. නැතුව මන් ආසාවෙන් කරේ නෑ"
"බුදු අම්මෝ...!!! HAHA....!!'
"යාහ්.....!!!! සතෙක් වගේ හිනාවෙන එක නවත්තනවා අයිසේ. මට ඕනි උනේ සරල දෙයක් කරන්න"
"සරල වෙන්නෝනි නිසාද පොඩි එකෙක්ගෙන් ඇහුවේ. උබත් මරු බඩුව පෘථිවි"
"පලයං යන්න"
ගවේෂ් අයියා උඩු බලන් ගැස්සි ගැස්සි හිනාවෙද්දි මගේ ලේ කුපිත වීගෙන ආවා. මූව මෙතන මරලා දැම්මොත් අහුවෙන්නේ නැති වෙයිද දන්නෑ..
ඕකට ඔච්චර හිනා වෙන්න ඕනිද?
මන් එහෙම්ම පෙරලිලා අපහු උඩු අතට හැරුනා.. අපරාදේ කිව්වේ.. තොගෙත් කට හොදනෑනේ පෘථිවි... මට ඇහේ කොනෙන් පේනවා මේ මනුස්සයා සැරින් සැරේ ගැස්සි ගැස්සි හිනාවෙනවා..
"ඒක නෙමේ..."
"ම්ම්ම්ම..."
"ඒ ලෙවල් වලට මියුසික් අතෑරලා මැත්ස් කරන්න ගත්තේ ඇමති තාත්තා බල කරපු නිසාද? තමුසෙට බලැපෑම් ඉවසගන්න බැරි උනාද? ඊට පස්සේ කිව්වාද ෆැමිලි බිස්නස් එක බලාගන්න කියලා...??? මන් හරිද??"
මේක මට exhibition එක දවසේ ඉදලම ඔලුවට ආව ප්‍රශ්න ටිකක්.. මොකද මෙච්චර ලස්සනට සින්දු කියන්න පුළුවන් කම තියෙද්දි මොන ලබ්බට බිල්ඩින් හදන්න ඉගන ගන්නවද දන්නෑ කියලා..
මම නන්ස්ටොප් ඒක කියාගෙන ගියාට පස්සේ මේ මනුස්සයා මූණ අමුතු කරන් අමුතු විදිහට බැලුවා. මන් හිතන්නේ මගේ ගෙස් එක හරි වගේ...
මන් කලින් කියවපු නවල් එක්කත් මේ වගේ සිද්දියක් උනා.. ඒකේ කොල්ලත් එහෙමයි. හැබැයි දුක කියන්නේ කතාවේ අන්තිමේට කෙල්ල මැරෙනවා.. මන් ඇඩුවත් එක්ක ඒක කියවලා..
"ඔයාට කවුද එහෙම කිව්වේ"
"ඉවෙන් අනේ ඉවෙන්"
"හුහ්!! මරු ඉව. මන් මැත්ස් කරේ මගේ ආසාවට. මට ඉස්සර ඉදලම මැත්ස් කරන්න ඕනි කමක් තිබ්බා. අනික අපේ තාත්තට බිස්නස් නෑ.. අනික ඔයා ගෙස් කරපු එකෙන් වැරදිම දේ මොක්කද දන්නවද..? කාටවත් මට බලපෑම් කරන්න බෑ"
ඔය කොරේ ඉතින්. නවල් එකේ හැටියට මෙහෙමනේ වෙන්නෝන.. පවිරුවා කිව්වා දවසක් පුස්තකාලෙන් උස්සන නවල් එක්ක ජීවිතේ පටලගන්න එපා කියලා.. සැක්.. උබර්ටත් වෙන කතා කරන්න දෙයක් තිබ්බෙම නෑනේ..
"තමුසේ දන්නවද... අපි දැන් ස්කූල් යන පොඩි ළමයි නෙවේ. අපේ ජිවිතේ වගකීම තියෙන්නේ අපේ අතේ.. එහෙම එක එකාට එහෙම කරන්න බෑ කවුරු උනත්.. ගොබ්බ කතා කියව කියව ඉන්නැතුව තමුසේ උනත් මීට වඩා ජිවිතේ ගැන බරපතලව හිතන්න ගන්නවා. මෝඩයෙක් වගේ පාට උලාගෙන කැම්පස් එක හැම තැනම කෑ ගගහා දිව්වට මෙතනින් එලියට බැස්සම ජිවිතේ තවත් සංකීර්ණයි.. දැන්ම ඉදලා ඒවා ගැනත් හිතනවා"
හොද උපදෙසකුත් හම්බුන නිසා මන් ගොන් කතා නොකියා කට වහන් හිටියා... අනික ඩයල් එක කතා කරෙත් ටිකක් තරහින් වගේ... තරහ යන්න තරම් දෙයක් කිව්වෙත් නෑ.. කැම්පස් ගවේෂ් ආයෙත් මතු වෙනවා වගේ දැනුන නිසා මන් ආයෙත් මුකුත් කියන්න ගියේ නෑ... ඊට පස්සේ පාරක් කන්න උනොත් පවිරුවත් නෑ බේරගන්න.. ඉදපංකෝ කැම්පස් එකට යනකම්.. මන් ආයේ උබර්ව ගණන් ගන්නෙම නෑ..
ටික වෙලාවක් එහෙම්ම වැතිරිලා ඉද්දි මට වෙනදට වඩා කලින් නිදිමතක් වගේ ආවා.. සමහරක් විට ඇගේ මහන්සියට වෙන්නැති.. ගිනි මැලේ ගහලා තිබ්බට තණ ගොල්ල හරිම සීතලයි.. ඒ උනාට සනීපයි... ටෙන්ට් එකට නැගිටලා යන්න කම්මැලි වගේ..
මට බැන්න නිසා මන් ආයේ පැත්තවත් බැලුවෙ නෑ ගවේෂ් අයියගේ.. එයත් සද්ද නැතුව ඇස් දෙක පියාගෙන ඉන්නවා..
ටික වෙලාවක් යන කොට මගේ ඇස් දෙකත් පොඩ්ඩ පොඩ්ඩ පියවිලා යනවා දැනුනා.. ටික ටික නින්ද තද වෙනවත් එක්කම රස්නිය දෙයක් මගේ නලලේ තද වෙනවා වගේත් දැනුනා... මට එහෙම්ම නින්ද ගියා..
පහුවදා උදේ නැගිටිනකොට අපි දෙන්නම හිටියේ තණගොල්ලේ නිදාගෙන.. ටෙන්ට් එක කැලේ.. අපරාදේ උස්සන් ආවේ මීටර් 1500ක්..
හොදම වැඩේ කියන්නේ මන් නිදන් හිටියේ නිකන් නෙවේ.. මගෙ එක කකුලක් ගවේෂ් අයියගේ ඇග උඩින් දාලා පපුව උඩින් ඔලුවත් තියාගෙන... මට කෑගැස්සෙන ගිහිල්ලත් ඉක්මනට හිතලා කට වහගෙන ශේප් එකේ එයාගේ ඇගෙන් නැගිටලා කූඩාරම අස්සට රිංග ගත්තා... ඕකා දැනගත්තොත් මාව අල්ලන් මඩවයි දිගට හරහට... සාමාන්‍යයෙන් මන් ඇදේ පෙල්ලෙන මනුස්සයෙකුත් නෙවේ... මොන මගුලක් කරලා උගේ පපු තුරුලට ගියාද මන්දා... ඇගත් එක්ක රත් වෙලා ගියා මගේ..
මන් ටූත් බ්‍රෂ් එකත් අරන් කූඩාරමෙන් එලියට එනකොට ගවේෂ් අයියා ඇහැරලා හිටියා.. මන් වෙනසක් නැතුවම ගුඩ් මෝනින් කියලා මාරු උනා. ඊට පස්සේ අපි දෙන්නම තියෙන වතුර ටිකෙන් බ්‍රෂ් කරලා මූණ හොදලා කන්න ලෑස්ති කරා...
මන් කැන්වස් එක රැප් කරනකම් එයා වතුර රත් කරලා තේ හැදුවා... ඊට පස්සෙ උදේට ලේසියටත් එක්ක ජෑම් ගලා පාන් කෑවා.. ඒකනම් පොඩි බඩගින්නට සූපර්බ්..
කොමහරි කාලා වතුර බීලා ඒ බඩු ටිකත් අස් කරගෙන කූඩාරමත් අකුලලා පැක් කරගෙන අපි එන්න ලෑස්ති උනා... කැන්වස් බෝඩ් දෙකම අතේ අරන් යන්න අමාරු නිසා ගෙනාවා වගේම ඒක කරේ දාන ට්‍රැවල් බෑග් එකේ කිලිප්ස් වලට සෙට් කරගත්තා.. අතේ ගෙනියනවට වඩා ඒක සේෆ්..
ඊට පස්සේ අපි විශේෂ දෙයක් කතා කරෙත් නෑ පාඩුවේ ආවා වගේම පල්ලම බැස්සා.. අපි පල්ලට බහිනකොට විස්සක විතර සෙට් එකක් උඩට එනවා කෑම්ප් ගහන්න..
කොහොමහරි පැයකින් විතර අපි දෙන්නා පල්ලම බැස්සා.. බහින එක ලේසි නගිනවට වඩා.. අපි කාර් එකට ඇවිත් ටික වෙලාවක් මහන්සි ඇරලා යන්න පිටත් උනා. හයිවේ දාලා ආව නිසා අපිට මහ ලොකු වෙලාවක් ගියේ නෑ කොළඹට එන්න.. මන් නිදාගන්නේ නැතුව එන්න ෆුල් ට්‍රයි එකක් දුන්නා..මගදි පවිරුවා කෝල් කරලා මාව ගන්න ටවුන් එකට එන්නම් කිව්ව නිසා කොළණට ඇවිත් අපි ඌ එනකම් විනාඩි පහක් විතර කාර් එකට වෙලා හිටියා.
මේ වෙනකම් අපි දෙන්නාගෙන් කවුරුත් කතාකරේ නෑ. කතා කරන්න කියලා දෙයක් තිබුනෙත් නෑ.. මට නිකන් තේරුනා එයා මොනවහරි කියන්න ට්‍රයි කරනව කියලත්.. ඒත් මගෙ ඉව මටම ෂුවර් නැති නිසා පාඩුවේ හිටියා. ගොන් කතාවක් කියලා ඉල්ලන් කනවට වඩා ඒක හොදයි..
කෝමහරි විනාඩි පහකින් හරියටම පවිරුවා කිරුලපනට ආව.. ඌ ඇවිල්ලා මාව පරිස්සමට අරන් ආවට අරයට නොසෑහෙන්න ස්තූති කරලා මන් බලු කතාවක් කියලා තිබ්බනම් එකට සොරිත් කිව්වා. මූ නම් මහා මොකෙක්ද මන්දා.. තමන්ගේ යාළුවව සතපහකට විශ්වාස නෑ..
ඊට පස්සේ පවිරුවා මගේ සයිඩ් බෑග් එකයි ස්ටෑන්ඩ් එකයි අරන් බයික් එකට නගිද්දි මන් පපඩම් හෙල්මට් එක දාගෙන බෑග් එක බදන් පිටිපස්සෙන් ඉදගත්තා.
පවිරුව ගවේෂ් අයියට ටටා බායි කියලා වාහනේ ගත්තත් මම නෙවේ වචනයක්වත් කතා කරේ.. බයික් එකෙන් මගක් ගියාට පස්සේ මන් නි ක ම ට වගේ පිටිපස්ස හැරිලා බැලුවා..
එයා තාමත් බොනට් එකට හේත්තුවෙලා අපි යන දිහා බලන් ඉන්නවා... මන් ටාර් ගාලා ඉස්සරහ බලාගත්තා..
කොහොමරි අපි ලේන් එකට එනකොට ෆ්ලැට් එක ඉස්සරහා ලොකුම ලොකු කලබලයක්.. පවිරුව බයික් එක ඉස්සරහට දාන්න බැරි නිසා අයිනකින් පාර්ක් කරා.. පස්සේ දෙන්නම බැහැලා බඩු බෑග් එහෙම්ම දාලා ඉස්සරහට ගිහින් බැලුවා... මිනියක් මරලද දන්නෑ.. එහෙම වෙන්නත් බැරි නෑ..
"අනේ මන් කොහොමද දෙයියනේ ඉවසන්නේ... මන් ඔය මිනිහට කිව්වා... කිව්වා.. කට කැඩෙනකම් කිව්වා ඕකුන්ව අස්සරේ කරන්න යන්නෙපා කියලා.... දැන් මන් කොහොමද මේකිව බලාගන්නේ තනියම..... අනේ දෙයියොම බලාගන්නෝනේ.."
සාගරි අක්කා ෆ්ලැට් එකේ ඉස්සරහ බිම වැටීගෙන සිමෙන්ති ගඩොල් බදාගෙන අඩනවා. මේක ඉතින් මාර ලොකු සීන් එකක් නෙවේ. හැබැයි මේ පාරනම් මාර ලොකුයි වගේ පෙන්නේ... කට්ටියම වට වෙලා හූල්ලනවා.. මොකක්ද දන්නෑ උනේ..
"අඩේ අච්චුවා මෙහේ වරෙන්.."
මන් සෙනග අස්සේ වටපිට බලලා පොඩි එකෙක්ව අඩගහත්තා.. ඌ ආවා මන් ලගට.. ඇස් දෙකත් හිනී කරලා බලනවා මාව අදුරගන්න බැරුව..
"මොකෝ කේස් එක"
"ආ.. කැම්පස් අයියානේ මේ අදුර ගන්න බැරි උනා හෙල්මට් එකට... අර රංජියව ජිප් එකේ දාගෙන ගියා අයියා ඊයේ කුඩුත් එක්කම... අද නිව්ස් එක ආවා අවුරුදු දහයකට කියලා.."
""සිරාවටම!!!""
මටයි පවිරුටයි කෑ ගැස්සිලා මූණෙන් මූණ බැලුනා... මෙව්වනේ සප්‍රයිස්..ඒ කියන්නේ මේ එරියා එකේ එක වයිරස් එකක් ඉවරයි. පුදුමයි මූ මෙච්චර කල් හිටියා. එකපාරටම මට්ටු වෙන්න තරම් මොකද දන්නෑ උනේ.. අනික මේ පාර චන්දේ ඉල්ලන මොකෙක්ට හරි මූ පුක දීගෙන හිටියේ..
සාගරි ගැනනම් දුක නෑ ඒත් අර ස්කෝලේ යන පොඩි එකී පව්.. මොනා නැතත් මට කරන්න හදපු දේට තමා උබර්ට මේම වෙන්නැත්තේ.. මන් නම් කියන්නේ හොදම වැඩේ..
මටදුන්නදුක්ගින්නඇවිලෙයිතොටලෙසටම
"ඔන්න එහෙනම් උබට ෆ්ලැට් එක මාරු කරන්න ඕන්නෑ... වරෙන් වරෙන් අපි යන් යන්න... අර බඩු ටිකත් අතන. මෙතන හිටියා කියලා උබ රංජිගේ ගෑණි බාරගන්නද..."
පවිරුවා මගේ කනට විතරක් ඇහෙන්න කියලා මාවත් ඇදගෙන ආපහු බයික් එක ගාවට එක්කන් ආවා. මන් බෑග්ස් කරට දාගන්න ගමන් කල්පනා කරේ එකපාරටම ඇයි මූව පොලිසියෙන් කුදලන් ගියේ කියලා.. අමුතුයි තමා හැබැයි පරක්කු වෙලා හරි සාදාරණයක් උනානේ.. ඒකත් අවුරුදු දහයකට ලග්ගන්න තරම් දුර ගිය එක තමා ලෝක පුදුමේ.. නැත්තං මෙහෙ උන් කෝවිලේ යනව වගේනේ පොලිස්සි ගිහින් එන්නේ.. අපරාදේ එදා මට තව එකක් අල්ලන් දීගන්න තිබ්බේ... කමක් නෑ උට දැන් එහෙන් සලකයිනේ..
වෙලාවක ගිහින් බලලා එන්නෝන.
මොනා නැතත් දීර්ඝ ගමනකට පස්සේ සුබ ආරංචියක්.. මන් කියන්නේ රංජියව හිරේ යවන්න වචනෙකින් හරි දායකත්වය දුන් අය ඉන්නවනම් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නෝන අම්මපා...
======================================
ලස්සනම ලස්සන රිවීව් එකත් තිබ්බා කතාවට 😻🥀
තැන්ක් යූ 😘
හැපි රීඩින්..👉👈