"ශෙහාන් නවත්තපන්!"
කවුද අඩේ මේ? විපතට පත් අහිංසක තරුණ ගෑනු ළමයව - වැරදුණා, තරුණ පිරිමි ළමයව බේරගන්න රාජ කුමාරයෙක් ඇවිල්ලා! සැක් මගේ ප්ලෑන කෑවා මේ මූලිකයා.
එකපාරට ශෙහානයාව මොකෙක් හරි ආපස්සට ඇදලා ගන්න කොට, කවුරු හරි මාවත් අල්ල ගත්තා. මාව අල්ල ගත්ත එකා හිටියෙත් කතා කරන ගමන්. ඒ සුමිහිරි ගැඹුරු හඩ මගේ කන ඇතුලේ කීං ගෑවා. "අරන් පලයන් චතුක සර් ගාවට. මුන්ට පොඩ්ඩක් නිදහස දුන්නම එනවා කරේ නගින්න. පොඩි පරයො ටික. උගෙ අම්මගෙ අප්පගෙ ඉස්කෝලනෙ."
මට නම් මේක අම්මගෙ අප්පගෙ ඉස්කෝල තමා අයියෙ. මාපිය දෙපළම ආදි ශිෂ්‍ය සංගමේ සාමාජිකයො. මාත් තව අවුරුදු දෙකකින් විතර ඒකෙ. කවදහරි මගෙ දරුවත් ඒකෙ... මේ අපේ පාසලයි කියන්නෙ කට කහනවට නෙවි... හුම්ම්.
"එතකොට ඔය පොඩි එකා?"
ආ ආ අයියෙ මේ... මං අහිංසක පුංචි ළමයෙක් හරිතෙ. මලකට රිදවන්න බැරි නිසා පැණි නොබී යන ගුණයහපත් බඹරෙක් මම... සකබමරෙ වගේ වටේටම රේඩාර් එක දැම්මට.
"උගේ වැරැද්දක් නෑනෙ. ශෙහානයා පාඩුවේ පන්තියෙ හිටපු එකාව උස්සගෙන ආවෙ."
ආන්න දැක්කද... ආන්න දැක්කද... මේ රාජ කුමාරයට විතරයි මාව තේරුණේ. ඒකනේ මාව බේරගන්නත් ආවේ. හිතුවෙ රගපෑමට කෙළ වුණා කියලා. ඒත් වැඩේ මෙහෙමම ගොඩ දාන්න පුළුවන් වගේ.
"එහෙනම් නළවලා සනසලා ආය පන්තියට ඇරලවපන්. චතුක සර් ඇහුවම මං ඒකම කියන්නම්."
"මං එක්කන් එන්නම්. ඕකව අරන් යමන්."
ඒ මොන කෙහෙල්මලක්ද කිව්වෙ? මූ මට අවස්ථාවෙන් උදව් උපකාර ගන්න දෙන්නැති වෙයිද මන්දා.
ටැප් එක ගාවට යනකල් මං මේක ලිහාගන්න දැගලුවා. මේ යකා ආවේ මාව ශෙහාන්ගෙන් බේරගෙන, අපි දෙන්නව චතුක සර් ගාවට අරන් යන්න ද? මෙදා පාර නම් උඹ ඉවරෙට ඉවරයි පුතෝ.
චතුක කියන්නේ අපේ ඉස්කෝලෙ ඉන්න සැරම සර් කිව්වත් වැරදි නෑ. කළුම කළු, උස මහත මේ උතුමාණෝ, ප්‍රින්සිපල් උතුමා වෙනුවට වේවැල අතේ තියාගෙන ඉස්කෝලෙ වටේ යනවා. වලිවලට එහෙම මිනිහගෙන් පොඩිම සමාවක්වත් නෑ. ඔය වේවැලෙන් අත පය ඉදිමෙන්න ගුටිකාපු වලි කාපරයෙක් හැටියට වගකීමෙන් කියන්නේ... සත්තයි.
"ආයු..." කුචි කුචි සොප්ට් ටෝන් එකක් අර ගැඹුරු හඩ එක්ක යාන්තමට ගෑවෙනකොට, මගේ හාට් බීට් එක වෙනදා යන ප්‍රස්තාරෙන් අපගමනය වෙලා, පොඩි පිස්සුවක් නැටුවා. ඒක කොහොමත් ගැස්සුණාම නටන්නෙ පිස්සු.
හාට් බීට් එක නටපු පිස්සුව ගැන කල්පනා කර කරම මම ඔළුව ඉස්සුවා. "අහ්... ආ?"
"අවුලක් නෑනේ කොල්ලො?"
"අර්... නෑ. කිසි අවුලක් නෑ. මම හොදටම හොදින්." මගේ සිස්ටම් එකේ බරපතල වැරැද්දක් වෙලා කියලා රතු බල්බ් අස්සෙ නළා සද්ද කෑ ගහනකොට, මම සුපිරිම එකෙන් ඉල්ලන් කෑවදෝ කියලා මට හිතුණා.
ඒත් නෑ, මගේ ඉස්සරහා හිටි කෙනා දාපු හිනාව, බග් එක අයින් කරලා දාලා සිස්ටම් එක යථා තත්වෙට පත් කළා. හාට් බීට් එකයි බ්ලඩ් ප්‍රෙශර් එකයි නෝමල් වෙනකොට මගේ ගැලවුම්කාර රාජ කුමාරයා දිහා බලන්න තරම් මට සිහියක් ආවා.
උත්කෘෂ්ටයි! රාජ කුමාරයා මේ පාර මිස්ටර් වර්ල්ඩ් මියැසියේ!
දිලිසෙන කළු ඇස්වල වටේට විහිදුණ පුංචි පුංචි ඉරි, දියමන්ති ඔප දාන්න ගන්න සයිස් එකේ හනු, ලා රෝස පාට හීනි තොල්, මුරණ්ඩු කළු කොණ්ඩේ... එක දෙයක් අඩුයි. මං හෙමීට ෂර්ට් එකේ කොලර් එක දිහාට ඇස් පාත් කළා. බඩු හෑව්! සිම්පල් කළු රාමුව තියෙන, හැරී පොටර් වගේ ලස්සන රවුම් කණ්ණාඩි කුට්ටම ගාණට ඒකට අමුණගෙන තිබුණා.
මාව බේරගෙන තියෙන්නේ අපේ ලිහිණි අයියා. ලිහිණි කුරුල්ලා නෙමෙයි. ඒක තමයි මේ මනුස්සයාගේ නම. යශේන් ලිහිණි ප්‍රභාෂ්වර දිසානායක. දිසා නායක කෙසේ වෙතත් මිනිහා අපේ බාලදක්ෂ ඛණ්ඩයේ නායක.
"ලි- ලිහිණි අයියේ..." පුරුදු විදියට 'බුග් බුග්' සද්දෙට ඇහිපිල්ලම් ගහපු මං, දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා. "තෑන්ක්ස් හොදේ!"
"මොකටද ශෙහාන් එක්ක ගියේ?"
"හිතලා ගියායෑ. පන්තියට ඇවිල්ලා වගීෂා මිස්ටත් කියලා එළියට ගත්තෙ."
"මොකටද දැන් වලි දාගත්තේ?"
ආන්න කේලම කනේ තියන්න මට අවස්ථාව උදා වුණා. මියැසිගෙ නාමෙන් දෙන්නම් මං ගොබිල ශෙහාන්ට.
"බලන්න ලිහිණි අයියෙ හරිද... ඊයෙ අපි ක්ලාස් යන අස්සේ අර ශෙහානයගේ යාළුවා ඉන්නෙ... සුචිත්... ඕකා අපේ මියැසිට බලහත්කාරකම් කරන්න හැදුවා. කියලා බැරි තැන ළාවට කන අතගෑවා. ඒකට තමා ඔය... අපි පලිද හලොව් එව්වට... ඇයි අප්පා."
"මහලොකුවට ගහන්න පුළුවන් නම් ඒ විදියට කතා කරනවකො ආයු. මොකද මේ නැළවෙන්නෙ... මගෙ දතුත් එක්ක හිරි වැටෙනවා."
"ඒ නම් දන්ත සංවේදීතාවට හොදේ... ඉක්මනට තත්පර දහයෙ සැනසීම ටූත්පේස්ට් එකෙන් මදින්න. ඒ බැරිවුණොත් මං ඩෙන්ටල් ගිහින් ඔයාගෙ දත ගලවන්නම් හොදේ."
"දත්ම ගලවයි." ලිහිණි අයියට ඇස් රෝල් කරන්නැතුව ඉන්නම බැරි වුණා ඒ පාර නම්. අර කළු පාට ලස්සන ඇස් දෙක පෙනී නොපෙනී යනකොටත් ලස්සනයි. "තමුසෙ අඬුව දාලා අල්ලන් ඉන්නකොට පිටිපස්සෙන් තුන් හතර දෙනෙක්ට අදින්න වෙයි දතක් ගලවන්න. දෙදාස් පන්සීයට පාඩුයි."
සැක් ඒක කිව්ව හැටි! මේ රාජ කුමාරයා දන්නේ විපතට පත්වුණ තරුණිය - වැරදුණා, තරුණයා බේරගන්න විතරයි. තරුණයාව ටෝක් කර ගන්න නම් දන්නෙම නෑ. මං වගේ දාහකින් හොයාගන්න බැරි කොල්ලෙක් ටෝක් කරගත්තම පාඩු වෙයි වගේ.
"දැන් මොකක්ද මියැසි නංගිට බලහත්කාරකම් කරන්න ගිය කතාව?"
මම හොද හුස්මක් ගත්තා. තුරු සුනඛයගෙ හැසිරීම මතක් වෙනකොටත් මගේ ඇගේ මාළු ගගේ නටනවා. "එහා පැත්තෙන් හිටගෙන අතින් අල්ලනවයි, හේත්තු වෙනවයි, පැණි හලනවයි... බස් එකම හැරි හැරි බලනවා. සුචිත්ට නම් කොහොමත් ලැජ්ජාවක් කියලා එකක් නෑනෙ. මියැසිටනේ අයියේ ලැජ්ජාවයි නරක නාමෙයි ඔක්කොම. ගෑනු එහෙම මියැසි දිහා බල බල කුටු කුටු ගානකොට එයා මාර අපහසුතාවෙකට පත් වුණේ. එච්චර එහෙම වෙද්දිත් මට අහක බලන් යන්නද කියන්නෙ... ඒකි මගේ යාළුවනේ."
"දැන් ඔය ඉස්කෝලෙන් එළියෙ වෙච්ච එකටද ශෙහානයා ඉස්කෝලෙ ඇතුළෙ පලිගන්න ගියේ."
"ඒක තමයි දෙයියනේ මං මේ කට කැඩෙනකල් කියන්නෙ. තේරුම් ගනින්කො අයියෙ." මං අර රතු ඇදගත්ත පූසා වගේ අත් දෙකත් දික් කරන් කියනකොට, ලිහිණි අයියගේ රෝස පාට තොල්වල ලා හිනාවක් ඇදිලා මැකිලා යනවා මට යාන්තමට පෙනුණා. උබර් මට හිනාවෙනවා නේත ඈ අයියෙ... හිනාවෙයන් තව හිනාවෙයන්... දෙන්නම් බොටත් මං.
"සිද්ධිය වුණේ ඔහොමම නම්, චතුක සර් ඉස්සරහත් ඕකම කියපන්. ශෙහානයට ප්‍රිෆෙක්ට් කියලා ඕන විදියට නටන්න බලපත්‍රයක් දීලා නෑනෙ. අනිකා සුචිත්. ඔය විදියට ඉස්කෝලෙ අනිත් කෙල්ලො ඉස්සරහත් හැසිරුණොත් මොකද වෙන්නෙ?"
ආන්න ඒකයි මාත් කියන්නේ. ඔය මූලිකයා උඩ පනිනවා වැඩී. දැන් තේරෙයි අලි-ඔළු-බේසමාට. යාළුවො ටික හදාගන්න දැනගන්නෙපැයි ඔක්කොටම කලින්. අනිත් තෝල්කයත් එච්චර තමා. මට ඔය සුචිතයා නම් කෑලි ගලවලා පංචිකාවත්තෙ සේල් දාන්න යවන්න තරම් කේන්තියි. ආආහ්!!
"ආයු..."
"ආයු කියන්න එපා මට. ඒක කවුරුත් කියන්නෙ නෑ."
"ඒ හින්දා තමයි මං ඒක කියන්නේ." ලිහිණි අයියා ආය හිනාවෙනවා. මගේ ඇගේ මාළු ගගේ නටද්දි මේ යකා ඒ මාළු බාගෙන කනවා. තේරුම් ගනින්කො අයියෙ මට කේන්තියි!
"එපා!"
"ආයු... ආයුවෝ..."
ඒ පාර මාව විහිළුවක් වෙලා මුන්දැට. මියැසිගේ මාමණ්ඩි පල්ලයි... ආය සිස්ටම් ඩවුන් වුණොත් මං ඔහේව බාගෙන කනවා!
"ආ...යු..."
"කිව්වනේ ආයු කියන්න එපා කියලා!!"
***
ආයු කියන්න එපා ලිහිණි අයියේ!! XD
කතාව ගැන අදහසක් කියාගෙන යන්න.
-ගෙත්
27/03/24