"හැඩූදා කදුලයි දකින්නේ...
සිනහවේ සරදම්...
වියෝ වූ පසුවයි දැනෙන්නේ
ප්‍රේමයේ අභිමන්............"
ස්කෝලෙ ඉස්සරහම මේ ඇහෙන ගීත රාවය කාගෙද කියලද බැලුවේ...මගෙ අතිජාත මිත්‍ර පරාණෙ...ස්කෝලෙ ඉවර වෙලා මොකුන්ද රෑන වගේ ඉස්සෙල්ලම ස්කෝලෙන් එළියට පනින්නෙ ඒලෙවල් ආර්ට්ස් සෙට් එක...එකයි තිහ පැන්න ගමන් අපි එළියෙ...විශාකයා නම් පාර පැනලා ස්කෝලේ ඉස්සරහ තාප්පෙට හේත්තුවක් දාගෙනමයි හිටියෙ...
සින්දුවකුත් මුමුණන ගමන් පැත්තකට වෙලා පාර දිහා බලාගෙන ඉදපු විශාකයා මෙච්චර වෙලා මුමුණ මුමුණ හිටපු සින්දුව හිමිහිට කියාගෙන ආවත් මොකද මට ඇහෙන්නමද මන්දා අභිමන් කියලා උච්ච ස්වරයෙන් කියන ගමන් ඉණට අත් දෙකත් ගහගෙන එහෙට මෙහෙට ඇවිද්දා... මුගෙත් මල කෝළං වෙලාවකට... වෙලාවට මෙතන වෙන මොකෙක්වත් හිටියෙ නැත්තෙ. මට ඉතින් ඕවා පුරුදු නිසා හොඳයි... නැත්නම් මුගෙ අදෝනාව අහන් ඉදලා අනික් උන් මෙතනම කලන්තෙ දානවා... උන් ඉස්පිරිතාලෙ අරන් යන්න වෙන්නෙත් ඊළගට මට....
"ඕක නවත්තපන්කො.."
පත බූටක් කාලා වගේ වියෝ ගීත ගායනා කරන විශාකට කටවහගන්න කියපු මන් අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා....වෙලාව 1.38 යි. ඉස්කෝලේ ඇරිලා ළමයි කඩි රෑනක් වගේ සීසීකඩ විසිරිලා යන අස්සේ ගිනිගහන අව් කාෂ්ටකේ කුඩයක්වත් නැතුව අපි පාර අයිනට වෙලා බලාගෙන හිටියා...අද සිහිනත් ඉස් ඉස්සෙල්ලම ක්ලාස් එන නිසා කොල්ලා එක්ක අපි දෙන්නත් යන්න තමයි බලන් හිටියේ...අපිටත් ක්ලාස් තියෙන්නෙ එහේමනෙ. අනික වගකීම් හරියට ඉෂ්ට කරන්න එපැයි...නැන්දා මට කොල්ලව භාර දුන්නෙ මලක් වගේ බලාගන්නනෙ. ඒ නැතත් නොකිව්වට ඒ මගෙ පණ...
"ඒ මොකටද??"
"මගෙ නම නොකියා වෙන එකක් කියපන්"
අව්වේ සැර...ඇස් දෙකත් උණ්ඩි කරගෙන ඌ දිහා බලලා මගෙ නම කියන්නෙපා කිව්වම ඌ පුදුමෙන් කට ඇරගත්තා...දැන් ඉතින් මොකක්මහරි කඩප්පුලි කතාවක් කියයි. මන් ඉතින් මෙතන විශාකගෙ පලු ඇරියට උගෙ ගායන කුසලතාව යම් තරමක් හොඳයි. ඒත් ඕවා කියන්න පුලුවන් දේවල් නෙමෙයි.
"හරි වැඩක්නෙ. උඹේ නමේ විතරය අභිමන් තියෙන්නෙ."
කට කොනේ හිනාවක් ඇදගෙන මගේ නමේ විතරද අභිමන් තියෙන්නෙ අහපු මූ ඇවිල්ලා මගෙ උරහිසට ගැහුවා ජැක් එකක්...මුට නම් හිනා...
"මගේ ගායන හැකියාව ගැන උඹට ඉරිසියයි නේද..?"
"අම්මේ...ඔව් ඔව්...උඹ සිහිනගෙ මියුසික් ක්ලාස් එකේ ගිහින් වාඩි වෙලා එක පැයක් ඉදපන් උඹේ ගායන හැකියාව පෙනෙයි...."
"ඒකනේ...හැකියාව තිබ්බට අත දෙන්න කෙනෙක් තමයි නැත්තෙ"
"ඒකත් හම්බෙයි ඉස්සරහට..."
ඕලෙවල් පන්තිවල ඇච්චො බැච්චොත් ඉස්කෝලෙන් එළියට ආවා...පොඩි ඩබල තාම නෑ. දැන් ඉතින් ආක්ෂගෙ සීමාව පනිනවා ඔන්න. වෙනදට හිනා වෙවී ස්කෝලෙ ගේට් එකෙන් එළියට එන සුදු බෝලේ, එන වෙලාව ටික ටික පහු වෙද්දි මගෙ ඇගේ ලේ බිංදුවක් ගානෙ කලබල වෙනවා මට දැනුනා...
ස්කෝලෙ ඇතුළෙ මොනවා වෙන්නද කියලා හිත කිව්වත් සිහිනගෙ පස්සෙ වැටිලා තියෙන ඇස් දෙකක් තියෙන බව හැමවෙලේම උඹ පරිස්සම් වෙන්න ඕන කියන ඉගිය මොලේට දෙනකොට මොලේට වඩා සියගුණයක් වේගෙන් හදවත මාව කලබල කරා...
"සිහින තවම නැහැනෙ බං...."
මන් පාරෙන් එහා පැත්තෙ සීසිකඩ යන ළමයි අස්සෙ සිහිනව හෙව්වා...ඇගට දැනුන තෙහෙට්ටු ගතියත් එක්ක හිතේ තිබුණ කලබලකාරී ගතියත් එන්න එන්න වැඩි කරා...
"ඒකා ඒවි බං...උඹට වගේ හදිසියක් සිහිනට නැතුවැති."
"මෙච්චර වෙලා යන්නැහැනෙ බං වෙනදට."
"අනේ මන්දා බං උඹට පිස්සු තදටම"
"ගිහින් බලමුද....?"
මගේ හිතට දැනුනෙ ලොකු අමුත්තක්.. අනික ඒක මහ මූසල හැගීමක්...උදේ ඉදලා සිහින ගැන තිබුණ බය නිසාම මට දැනුනේ නරක දෙයක් වෙනවා වගේ...ළමයි පවා අඩු වේගෙන යනකොට මගෙ ඉවසීමත් අඩු වෙනවා දැනෙද්දි බලන් ඉන්න බැරි තැන මන් වෙලාව බල බල තප්පර ගානක් එහෙට මෙහෙට ඇවිද්දා.
සිහින හොදින්ද?.....
අකුණක් ගැහුවා වගේ මගේ හිතට ඉස්සෙල්ලම ආව ප්‍රශ්නෙ ඒක වෙද්දි මගේ කකුල් මටත් නොදැනිම ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුළට දිව්වා...
"ආක්ෂ කොහෙද යකෝ දුවන්නෙ. ඔහොම හිටපංකො මාත් එනකන්. උඹට අකුණක් ගැහුවා වගේ මොකද බං උනේ...මට බෑ උඹෙ වේගෙට දුවන්න...උඹෙ ලව් එක නිසා මගෙ තමයි හොඳ පණ යන්නෙ.."
ළමයි අස්සෙන්ම මගේ පස්සෙන් කෑ ගහගෙන ආව විශාකයා ගේට් එකෙන් ඇතුළට එනකන්ම කෑ ගහගෙන ආවත් නතර වෙලා ඉන්න මාව දැක්කම උගෙ වචන වගේම ගමනත් එහෙමම ස්ලෝ උනා. මොන කරුමෙකටද මන්දා අපි දෙන්නට ඉස්සරහින් හිටගෙන හිටියේ මගෙ තරහකාරයා වෙද්දි උගෙ කට කොනේ තිබුණ හිනාව දැක්කම නොපෙන්නුවත් මගෙ හිත ගැස්සුනේ සිහිනට මූ මොනාහරි කරලද කියලා හිතිලා.
"අඩේ බලපන්කො!, මොකද මේ කලබලෙන්. මන් හිතන්නෙ කවුරුහරි මගෑරිලා වගේ.."
මෙවාන්ගෙ හක්ක තැලෙන්න පාරක් දෙන්න නොහිතුනාම නෙමෙයි...ඒත් සිහිනව දකින්න කලින් මුකුත් කරන්න නොහිතුව මම ඌව ගනන් නොගෙන එන්න අඩියක් ඉස්සරහට තිබ්බත් මගෙ පැත්තට හැරෙන ගමන්ම ඌ කියපු දේට මගෙ කකුල් එතනම නැවතුනා...
"උඹ ඔහොම බලන් ඉදපන්. උඹ ඔය පරිස්සම් කරන මල ඉන්නවා නේද, මන් කොහොමහරි මගේ කරගන්නවා... දැනගනින්..."
මගේ කොල්ලා උගෙ කරගන්නවා කියලා මටම කියාපු ඌ ආයෙත් කට කොනේ හිනාවක් ඇදගනිද්දි මගෙ අතේ ඇගිලි එකට ගුලි උනා....මන් හිතන්නෙ මගෙ දත් ටික එකට ඇතිල්ලුනේ මට ආපු කේන්තියට. මන් දන්නවා.. මට අයිතියක් නෑ කේන්ති ගන්න. මගේ කොල්ලා කියලා හිතන්න මට තාම අයිතියක් නැති උනත් අයිතිවාසිකම් පැත්තක තියලා මුළු හිතින්ම මගේ කරගෙන හිටපු සිහිනව උගේ කරගන්නවා කිව්වම මගේ ඇගේ ලේ නලියන්න ගත්තා. මට කැමති කියලා ඉගියක් වත් නැති එයා වෙනුවෙන් අහේතුකවම මන් කේන්ති අරන් තිබ්බා....
"පුළුවන් නම් කරලා පෙන්නපන්.."
"හහ්...උඹට කලින් මන් ඉස්සර වෙලා පෙන්නන්නම්.."
අර කට කොනේ ඇදුණ හිනාව මට දැම්මෙ හොදින් හරි නරකින් හරි සිහිනව උගෙ කරගන්නවා වගේ සිතුවිල්ලක් වෙද්දි ගොදුරක් ඩැහැගන්න මාන බලන් ඉන්න කොටියෙක් වගේ මන් ඌ දිහා බලාගෙනම ඉස්සරහට අඩියක් තිබ්බත් මගෙ උරහිස උඩින් තියපු අතක් මාව නැවැත්තුවා....
"දැන් නෙමෙයි බං...සිහින හොයාගමු"
මෙච්චර වෙලා මගෙ ලගින් ඉදගෙනම අරූගෙ කතාව අහගෙන හිටපු විශාක මන් අඩියක් ඉස්සරහට තියනවත් එක්කම මගෙ උරහිසට අත තියලා නවත්තගෙන ගහමරාගන්න දැන් වෙලාව නෙමෙයි කිව්වේ ගොඩක් බැරෑරුම් විදියට වෙද්දි උගෙ කතාවෙත් ඇත්තක් තිබුණ තැන මන් අරූගෙ හක්ක තලන්න හිතාගෙන හිටපු අදහස මොහොතකට අතෑරලා දැම්මා...
තප්පර ගාණක්ම මගෙ දිහා අර කට කොනේ හිනාවෙන් ඌ බලාගෙන හිටියා. මන් එහෙමම ඔලුව හරවලා බැලුවේ විශාක දිහා. වෙනසක් නෑ. මගේ ඇස් වගේම ගිනි ගන්න ඒ ඇස් දෙකත් තිබුණෙ තිබුණෙ මෙවාන් ලග...
මෙවාන් මුකුත්ම නොකියා සැලියුට් එකක් දීගෙන යන්න යද්දි මෙච්චර වෙලා ගල් පිළිමයක් වගේ හිටපු මන් ආපිට හැරිලා ආයෙත් දුවන්න ගත්තා....
ඉස්කෝලේ බෙල් එක ගහලා හැමෝම වගේ ඉස්කෝලෙන් ගිහින් තියෙද්දි යන්තම් ළමයි දෙතුන් දෙනෙක් විතරක් ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකේ එහෙ මෙහෙ යනවා පෙනුනා....විශාකත් කෑ ගහන ගමන් මගෙ පස්සෙන් එනවා මට ඇහුණත් මගෙ ඇස් ඉස්කෝලෙ පුරාම දිව්වේ සිහිනව හොයලා....
Aaksha POV end..
.
.
.
Sihina POV.
"සිහින, මොකද පරක්කු උනේ."
මන් එනකන් ඉස්කෝලෙ අඹ ගහ යටට වෙලා හිටපු තේව් අයියා මන් අයියට කිට්ටු කරද්දිම එහෙම ඇහුවේ බංකුව උඩ තිබුණ බෑග් එකත් කරට දාගන්න ගමන්.....මෙච්චර වෙලා මාත් එක්කම ආපු විකුම්, මටයි අයියටයි යනවා කියලා ඈතට ඇවිදගෙන යන දිහා බලාගෙනම මන් අයියට උත්තර බැන්දා.
"මැත්ස් ටීචර් හම්බෙන්න ගිහින් ආවේ අයියේ."
"ඒ මොකද?"
"අන්තිම පීරියඩ් එකේ මැත්ස් තිබ්බෙ. ළමයින්ගෙ පැවරුම් ටික එකතු කරලා දෙන්න කිව්වා...ඉතින් ඒ ටික දීලා ආවා."
"හ්ම්ම් යමු එහෙනම්. ආක්ෂ අයියලා බලාගෙන ඇති"
ආක්ෂ අයියලා බලාගෙන ඇතිලු. අයියා බලාගෙන ඉන්නවා වැඩියි. මට මතක් උනේ ඉන්ටවල් එකෙත් ඒ ඇස් මගෙ දිහා බලාගෙන දිලිසුන හැටි. හැමවෙලේම නපුරු පෙනුමක් තියෙන ඒ මූණ මන් ඉස්සරහ විතරක් ආදරණීය වෙනහැටි...
එතනින් එහාට තප්පර ගාණක් තිබුණෙ නිහඬතාවයක් විතරයි. මගේ හිත කල්පනාවේ ගිලිලා ගියා...මන් කල්පනා කරේ මට පේන නපුරු හීනේ ගැන. ආක්ෂ අයියගේ පෙනුමට සමානයි කියලා හිතුණ මාව හැමදාමත් අඬවන ඒ හීනෙ නිසා හති වැටුණ හිත ආක්ෂ අයියා මතක් වෙද්දි නිවිලා යන අපූරුව...මගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇදුණා. "මොකද මේ සිහින..විකාර හිතනවනෙ.!!" මන් මටම බැනගත්තා...
🧨🧨🧨
වැඩි දුරක් නොයාම ඈතින් ඇහුණෙ රතිඤ්ඤා පිපිරෙන සද්දයක්....ලොකු දෙයක් නොවුණත් හීනෙ ගැන හිත හිතම කල්පනාවෙ ආව මන් ඒ සද්දෙ නිසා එක පාරම ගැස්සිලා ගියා.
එකපාර මගෙ ඔලුවට ආවේ මගෙ දිහාවට පිහියක් මානගෙන ආව ඒ මිනිහව.... ඒ අස්සෙ වෙඩි හඩවල්.... පොඩිකාලෙ ඉදන්ම මන් හරි බයයි සමහර දේවල් වලට....ඔලුව ඇතුළෙ එක එක රූප මැවෙනකොට තවත් දරාගන්න බැරි උන මම ඇස් දෙක තද කරලා පියාගත්තා....අත් දෙකෙන්ම කන්දෙක තද කරලා වහ ගත්තා.....මාව ගැහෙන වේගෙ එන්න එන්න වැඩි වෙද්දි තප්පරෙන් මාව බිම ඉන්දුනා....හිත පුරාම ලොකු බයක් දුවන්න ගනිද්දි මන් මට වඩා අඩියක් ඉස්සර වෙලා ඇවිදගෙන ගිය තේව් අයියට කෑ ගහලා කතා කරා..
"සිහින මොකද උනේ...සිහින!!"
මගෙ හිත පුරාම ඒ සිද්ධිය මැවෙන්න ගත්තා...ඡායාවන් වගේ පේන මිනිස්සු, නපුරු කටහඬවල් හිත ඇතුළෙ දෝංකාර දෙද්දි මන් තව තවත් කන් දෙක තද කරලා වහගත්තා....තේව් අයියා කතා කරනවා වත් මට ගානක් නැතුව ගියා....
ඔලුව පුපුරන්න තරම් වේදනා දෙනකොට මන් ගාවම ඇනතියාගත්ත තේව් අයියා මාව හොලවලා කතා කරත් මන් ඔහේ සිහියක් නැතුව හිටියා...මගෙ ඇස් වලින් කදුලු බේරිලා යනවා මට දැනුනත් ඒවා පිහදාලා දාන්නවත් මට ගානක් නැති උනා...වටේ පිටේ ළමයි ඉන්නවද කියලවත් මට සිහියක් නැති උනා.
"අනේ සිහින මොකද උනේ...බය කරන්නෙපා..."
කලබලෙන් තේව් අයියා මගෙ උරහිසෙන් අල්ලගෙන හොලවද්දි වහගෙන හිටපු ඇස් යන්තම් ඇරෙනකොට මට ඈතින් හුරුපුරුදු රූපයක් පෙනුනා....
මන් දැක්කෙ ඈතින් දුවගෙන එන ආක්ෂ අයියව... ආක්ෂ අයියා පස්සෙම විශාක අයියත් ආවා....එයා කාවහරි හොයනවා.... අපිවද....? ඈතට උනත් එයාගෙ කලබල උන ගතියක් පෙනුණා...තප්පර ගානට එයාගෙ ඇස් වේගෙන් එහෙ මෙහෙ දිව්වා... ඒ අස්සෙ මට ඇහුණා, හරිම ආදරණීය කටහඬක්...සුදු බෝලේ කියලා මට කතා කරා...ඒ.....ඒ අභී අයියද.....
මටත් නොදැනිම මන් බලාපොරොත්තු උන ඒ රූපෙ ඈතින් දුවගෙන එනවා මට බොද උන ඇස් වලින් පෙනුනා...මගෙ කටින් එකම එක දෙයක් පුරුද්දක් වගේ මටත් නොදැනිම මිමිණුනා...
"අ...අභී අ..යියේ.....එන්නකො!!!"
මගෙ තොල් අග ඒකම දෙතුන් සැරේ කාටවත් ඇහෙන නෑහෙන ගානට මිමිණෙද්දි මන් භය වෙලා ඉන්නෙ කියලා තේරුණ තේව් අයියා ඇන තියාගෙන ඉන්න මාව ඒ උරහිසට හේත්තු කරගෙන පිට අතගෑවා....
"සිහින ඔයාව ගැහෙනවා...අර...අර රතිඤ්ඤා සද්දෙටද බය උනේ...දැන් ඔක්කොම හරි...හෙමීට හුස්ම ගන්නකො."
ඒ උරහිසට බර වෙලාම මන් ඔලුව වැනුවම තේව් අයියා මගෙ ඔලුව පිටිපස්ස හෙමින් සැරේ අතගෑවා...
"සිහින...!!!...මොකද උනේ...තේව්!!?"
තප්පරයක් දෙකක් යන්නත් කලියෙන් අපි ලගින්ම ඇහුණ සද්දෙ ආක්ෂ අයියගෙ කියලා තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ... හිත ඇතුළෙ එක එක දේවල් මැවෙද්දිත් මන් ඇස් දෙක අමාරුවෙන් උනත් ඇරගත්තා... තප්පරේකට කලින් ඈතින් පෙනුන ඒ රූපෙ හීයක වේගෙන් ඇවිත්ද මන්දා අපි ලගම මතුවෙද්දි ආක්ෂ අයියාගෙ හොඳටම කලබල පෙනුමක් පේන්න තිබුණා. ඒ ඔක්කොම අස්සෙ මාව තවමත් හොඳටම ගැහෙනවා...
දුවගෙන ආපු වේගෙන්ම මගෙ ලග වාඩි උන එයා හති දාන ගමන් මගෙ ලගින්ම බිම ඇන තියාගත්තා...ආක්ෂ අයියා පස්සෙම දුවලා ආපු විශාක අයියා තේව් අයියගෙ උරහිසෙන් අල්ලලා ඇදලා පස්සට ගත්තේ ආක්ෂ අයියට ඉඩ දීලා උනත් ඒකට හරි හැටි හේතුවක් හිතන්න තරම් සිහියක් මට නැති වෙද්දි මන් ආක්ෂ අයියගෙ පපුවට බර උනා...මන් හිතන්නෙ මට සිහි නැති උනා....සිහිය නැති වෙන්න ඔන්න මෙන්න මට දැනුනේ ආක්ෂ අයියා මාව ඒ අත් අතරට උස්සලා ගන්නවා විතරයි...
මට සිහිය එනකොට මන් හිටියේ ස්කෝලෙ සික් රූම් එකේ. අමාරුවෙන් උනත් ඇස් ඇරගත්ත මන් රූම් එකේ ලයිට් එළියට, පොඩි කරගෙන හිටපු ඇස් දෙක හුරුකරගන්න හිතාගෙන වේගෙන් ඇස් පිය ගැහුවා.
ඈතින් විශාක අයියත් හිටියා. තේව් අයියත් ඇද ලගම වාඩි වෙලා ඉන්නවා...ඒත් කෝ ආක්ෂ අයියා.. හැමදේම අස්සෙ මට ආක්ෂ අයියගෙ අඩුව විතරක් තදින්ම දැනුනා...ලාවට මගෙ ඇස් ඇරෙනකොට මෙච්චර වෙලා මගෙ ලගට වෙලා පවන් ගගහ හිටපු තේව් අයියා ඉදගෙන හිටපු තැනින් නැගිටලා මගෙ මූණට එබුනා...
"විශාක අයියේ....සිහිනට සිහිය එනවා..!!!!...සිහින ඔයාට කොහොමද දැන්??"
තේව් අයියා කලබලෙන්ම මට සිහිය ආවා කියලා විශාක අයියට කෑ ගහද්දි මෙච්චර වෙලා බිත්තියට හේත්තු වෙලා අත් දෙකත් බැදගෙන හිටපු විශාක අයියා මගෙ ලගට නෑවිත්ම එළියට දිව්වා...මොකද එයාට උනේ...?
මගෙ මූණෙ ඉදන් වතුර. අයියා මගෙ මූණ තෙමන්න ඇති. ෂර්ට් එකත් ටිකක් බුරුල් කරලා...
"මන් හොදින් අයියේ "
පපුව හරියෙන් ඇරුණු ෂර්ට් එක අතට ගුලි කරගෙනම මන් ඇදේ වාඩි වෙද්දි තේව් අයියා මාව අල්ලලා වාඩි කෙරෙව්වා...මට ඉබේටම බැලුනේ බිත්තියේ ගහලා තිබුණ ඔරලෝසුව දිහා...මට සිහි නැතිවෙලා තවමත් ගෙවිලා තිබුණෙ පැය කාලකටත් අඩුවෙන් වෙද්දි එක පාරම සික් රූම් එකේ දොර ඇරුණ සද්දෙට අපි දෙන්නගෙම ඔලුව ඒ පැත්තට හැරුණා..
"අභී අයියේ..."
මගෙ ඇස් ලොකු උනේ ආපු කෙනාගෙ පෙනුම දැකලා...දාඩිය උනලා නලල දෙපැත්තෙන් බේරිලා ගිය දාඩිය ඔහේ පහළට ගලාගෙන යද්දි දාඩියටම තෙත් වෙලා තිබුණ ඒ ෂර්ට් එක ඇගටම ඇලිලා තිබුණා...එයා දුවලා ඇවිල්ලා කියන්න පුළුවන් පෙනුමක් එයාගෙ මුළු මූණ පුරාම දුවපු මගෙ ඇස් වලට අහු වෙද්දි මගෙ තොල් අග අයියගෙ නම ඇහෙන නෑහෙන ගානට මිමිණුනා...
තප්පරයක් හිටපු තැන ඉදන්ම මන් දිහා බලන් ඉදපු එයා වේගෙන් ඇතුළට ඇවිදගෙන ආවා. එයාගෙ අතේ පාර්සල් එකක් තිබුණා...මෙච්චර වෙලා මගේ හිතේ තිබුණ ප්‍රශ්නෙට උත්තර එයා අතේ තිබුණ මල්ල ඇතුළෙ තිබුණා...ඒ එක්කම ඇතුළට ආවේ විශාක අයියා...
"මොකද උනේ සුදු බෝලෙ....දැන් කොහොමද ඔයාට??"
මන් හිතන්නෙ කලබලෙන්ම ඒ නම අයියගෙ කටින් පිට උනා.. මගෙ ඔලුවෙ එකපාරට කරන්ට් එකක් දිව්වේ ඒ නම ඇහිලා...
සිලි බෑග් එක මගේ දිහාට දික් කරලා මට කොහොමද අහපු අයියා තවමත් මල්ල අතේ ගුලිකරගෙන බලන් ඉන්න මගේ අතින් ආයෙම මල්ල උදුරලා අරගෙන ඇතුළෙ තිබුණ කොත්මලේ යෝගට් බීම එකක් අරන් මගේ අතේ තිබ්බා... මට බැලුනේ බීම බෝතලේ දිහා. මන් ආසම ෆ්ලේවර් එක... ස්ට්‍රෝබෙරි....මගෙ මූණෙ ලා හිනාවක් ඇදුණා...අයියා දැන් මන් ගැන හොඳට දන්නවා...
"ආක්ෂ අයියේ සිහින...බය....~~~"
මගෙ දිහාත් බල බල මට කලින් ආක්ෂ අයියට උත්තර බදින්න ඉස්සර උන තේව් අයියා දිහාවට හැරිලා මන් තේව් අයියට ඇස් වලින් ඉගි කරේ කියන්නෙපා කියලා. අයියගෙ වචන එහෙමම නතර වෙද්දි මන් වෙච්ච දේ හන්ගලා පුංචි බොරුවක් කිව්වා. හේතුවක් ගැන හරිහැටි අදහසක් නැතුව එයාවත් බය කරන්න මට හිත හදාගන්න බැරිඋනා..මොකද අභී අයියා දැනටම මන් ගැන ගොඩක් කලබල වෙලා...
"මට...පොඩි කලන්තයක්...ආවා අයියේ....දැන් හොඳයි මට"
මන් අයියා දිහා බලලා හිනා උනා...
එයා කලබලෙන් දුවගෙන ආවේ, එයාට දැනුනද මාව??
ඇයි එයා මෙච්චර මන් ගැන වද වෙන්නෙ??
මගේ හිත එහෙම හිතුවත් අයියට එච්චර මාව දැනෙන්න තරම් මම එයාගෙ කවුද කියන ප්‍රශ්නය එතනින් එහාට මාව හිතන එකෙන් නතර කරා...සමහරවිට එයාට මාව එයාගෙ මල්ලි කෙනෙක් වගේ දැනෙනවා ඇති....
"එකපාරට කලන්තයක් ආවේ මොකද??"
"අව්ව සැර නිසා වෙන්නැති අයියේ..."
තේව් අයියා කිව්වේ මාවත් අල්ලගෙන...ඒත් ආක්ෂ අයියානම් ඒක විශ්වාස කරපු පාටක් පේන්න තිබුණෙ නෑ. අයියා ඉන්නෙ ගොඩක් කලබල වෙලා...ඒ කියන්නෙ එයා...එයා මන් ගැන හිතනවා....ඒත් මන් ඒකට කැමති වගේ දැනෙන්නෙ ඇයි...!?
"පිස්සුද තේව්. අරම ගැහෙන්නෙ අව්ව සැරට වෙන්නෙ කොහොමද බං....බෙහෙත් ගන්න යමුද සිහින. මන් ඔයාලගෙ අම්මට කියන්නම් අද ක්ලාස් යන්න වෙන්නෙ නෑ කියලා"
තේව් අයියගෙන් පිස්සුද අහපු එයාම අනික් පැත්තට මට බෙහෙත් ගන්න යන්න කතා කරා. ක්ලාස් නොයා කොහොමද පළවෙනි දවසෙ. මන් ගැන මෙච්චර වද වෙන අයියලා තුනක් ඉන්නෙක ගැන මට සතුටු හිතුණත් මට අද ක්ලාස් යන්නම ඕන උනා...
"ඕන නෑ අයියේ, දැන් මට හොදයිනෙ. අපි ක්ලාස් යමු"
කියපු මම කිරි එක කට ගහගෙනම එක හුස්මට බීගෙන ගියා... මට පෙනුනා අයියා මන් දිහාම බලන් ඉන්නවා.... 'මොනවද අනේ බලන් ඉන්නෙ අහක බලාගන්නකො' කියන්න බැරි කමට මන් ඇස් බිමට හරවගෙන හිටියා...
කටවටේ රැදුණ කිරිටික පිහදාන්න ගියත්, මගෙ දිහා බලාගෙනම මගෙ කට ලගට අරගෙන ආපු ආක්ෂ අයියගෙ අත දිහා මට ඉබේටම වගේ බැලුනා....එයා මගෙ කට පිහදාන්නද හැදුවේ....? දැන් නම් මගෙ කම්මුල් රෝස පාට වෙනවා ඇති. මන් කම්මුලට අත තියලා තද කරගත්තා...
එයා කරන්න ගිය දේ ගැන තේරුණ ගමන් කලබලෙන් අයියා අත ආපස්සට ගත්තා... මට බැලුනේ අයියලා දෙන්නා දිහා. ඒ දෙන්නා වෙන කතාවක්.
"උදේට කෑවද...?"
"හ්ම්ම්..."
"දවල්ට කාලා නෑනෙ. එළියට යමු මොනවහරි කාලා යන්න"
"ඕනි නෑ අයියේ ක්ලාස් එකට ගිහිල්ලම කමු"
"සිහින!!!"
"මට දැන් ප්‍රශ්නයක් නෑ අයියේ..."
"මුරණ්ඩු වෙන්නෙපා...!!!"
ඔන්න ආයි අර එයාගෙ සීතල හැසිරීම එළියට ආවා...මෙච්චර වෙලා මන් ගැන වද උනේ එයා නෙමෙයි ගානට නපුරු මූණක් හදාගත්ත අයියා, ඉදගෙන හිටපු තැනින් නැගිටලා ඩෙස්ක් එකක් උඩ දාලා තිබුණ එයාගෙ බෑග් එක අරගෙන කරට දා ගත්තා.
"තේව් අපි දෙන්නා යමන් බං උන් දෙන්නට එන්න දීලා"
මෙච්චර වෙලා ඇඳ ලග හිටපු තේව් අයියගෙ කරට අත දාගන්න ගමන් අපි දෙන්නට එන්න දීලා යමු කිව්ව විශාක අයියා තේව් අයියව ඇදගෙන යන්න හැරුණා. තරහක් නැති උනත් මොකක්දෝ හේතුවකට තේව් අයියා හිටියේ විශාක අයියා එක්ක කැත්තට පොල්ල වගේ.
කරට දාපු අත ගසලා දාලා තේව් අයියා දොර ලගට යද්දි විශාක අයියත් තේව් අයියා පස්සෙම දුවලා ගිහින් ආයෙම ඒ කරට අත දාගත්තා...දොරත් වහගෙන දෙන්නාම එළියට ගියා. තවමත් මන් වැහිලා ගියපු දොර දිහා බලාගෙන හිටියා...ඒ ටිකටත් මන් කල්පනා ලෝකෙක ගිලිලා කියලා දැනගත්තේ අභී අයියගෙ කටහඬට මන් පියවි සිහියට ආවම...
"කෝ යන්නැද්ද..?"
"යමු අයියේ..."
මේසේ උඩ තිබුණ බෑග් එකත් අතට ගත්ත මන් ඒක කරට දාගන්න යද්දි අභී අයියා ඒක මගෙ අතින් ඇදලා ගත්තා...
"අයියේ මන් ගෙනියන්නම්."
"මේකේ බර. ගල් පටවගෙන එනවද...?"
ගල් පටවගෙන එනවද අහනවා....පොත් කීයක් අරන් එන්නද...එයාලටනම් මොකද අච්චු පොත් නෑනෙ හුම්...මන් රවලා අහක බලාගත්තා...
"ඉතින් මන් අයියට ගන්න කිව්වෙ නෑනෙ"
"මෙන්න මෙහෙ එනවා..පණ්ඩිත නොවී..."
මගෙ මූණෙ ලා හිනාවක් මෝදු වී ගෙන ආවා...එයාගෙ මූණෙත් මට නොපෙන්නුවට හිනාවක් ඇති. මට පෙණුනෙ නෑ. මොකද එයා මට පිටුපාලා දොරෙන් එළියට ගියා...
"කෝ එන්නැද්ද...?"
තවමත් දොර ලග හිටගෙන බලන් ඉන්න මගෙන් එහෙම අහගෙනම මගෙ බෑග් එකත් අරන් ඉස්සරහට යන අයියා දිහා මොහොතක් බලන් හිටපු මන් ආයෙම එයාගෙ කටහඬ නිසා හරි සිහියට ඇවිත් අඩියට දෙකට එයා ගානටම ලං වෙලා අයියට එහා පැත්තෙන් ඇවිදගෙන ආවා...
"මන් පණ්ඩිත නෑ අයියේ..."
පැත්තට පේන එයාගෙ මූණ දිහා බලාගෙන මන් එහෙම කියද්දි එයාගෙ කටකොනේ ලාවට හීන් හිනාවක් ඇදුනා.. ඒ හිනාව හරි ලස්සනයි...අහම්බෙන් දකින්න ලැබෙන දේවල් හරි ලස්සනයිලුනෙ....ඒ කතාව ඇත්ත....අයියට තිබුණෙ හරිම ලස්සන හිනාවක්.....
"අද අමාරුයි නම් ක්ලාස් ඉන්නෙපා. මන් ගෙදර ගිහින් දාන්නම්."
"එපා අයියේ දැන් මට අවුලක් නෑ."
අපි එද්දි අයියලා දෙන්නා ගේට් එක ගාව බලාගෙන හිටියා..
"ඒක නෙමෙයි සිහින හැමදාම ඔහොම කලන්තෙ දාන්න බැරිද.?"
මයිලෝ එකේ බටේ කටේ ගහගෙනම විශාක අයියා මගෙන් හැමදාම කලන්තෙ දාන්න බැරිද අහද්දි නම් මට හිනා ගියා. අයියට හොද ඇති මයිලෝ බොන්න පුලුවන්නේ...
"දෙන්නෙ උඹට....උඹ තාම ඕක බොනවද කෑඹලයෝ...."
විශාක අයියට බනින ගමන්ම අයියා ගහන්න පනිද්දි විශාක අයියා හිනා වෙවී ඉස්සරහට දිව්වා...අපිත් හෝල්ට් එක දිහාවට ඇවිදගෙනම ආවා..මට අමාරු ඇති කියලා හිතලද මන්ද අද ආක්ෂ අයියගෙ ගමනත් බාල වෙලා..
"අඩේහ් ඒක නෙමෙයි කොච්චි කරල....අර මෙවාන් අපිට හෙන ටෝකක් දුන්නනෙ."
"ඒපාර ඌ මොකක්ද කියන්නෙ බිළාලයෝ?"
මෙවාන් කියන නම ඇහෙද්දි මට ඒ පැත්ත බැලුනා...මගෙ ඇස් ලොකු උනේ ඒකට මන් සම්බන්ධ ඇත්දෝ කියලා හිතලා....
"මේ කොට තාරාවො.!! මන් විශාක හරිය....අහ්...ඌ කියනවා සිහිනව උගෙ කරගන්නවලු. ඒවා කොහෙද අපි ඉන්නකන්...නේ බං..."
"මොන මගුලක්ද?"
තේව් අයියා එහෙම කියලා මගෙ දිහා බැලුවම මන් බිම බලාගත්තා...මෙවාන් අයියා එහෙම එකක් කියලද....මට මතක් උනේ අද ස්කෝලෙදි මාව නවත්තගෙන මෙවාන් අයියා මගෙන් අහපු දේ...
එයා මගෙන් ඇහුවේ මට කවුරුහරි ඉන්නවද කියලා. එයා මට කැමතිලු. හිතලා බලලා කියන්නලු. ඒ කියපු වගක් මට එහෙමම අමතක වෙලා ගියේ මේ සිද්ධිය නිසා...එයා ආක්ෂ අයියලාටත් කියලද.....!?
විශාක අයියා තේව් අයියට ඇහෙන්න මෙවාන් අයියා මාව එයාගෙ කරගන්නවා කියලා තර්ජනේ කරපු බව කියලා ආක්ෂ අයියා දිහා බලලා අපි ඉන්නකන් ඒවා කොහෙද අහද්දි ආක්ෂ අයියගෙ මූණ දිහා මට ඉබේටම බැලුනා...එයාගෙ මූණෙ තිබ්බෙ තරහක්... කට ඇතුළ් පැත්තෙන්ම දිව රෝල් කරපු අයියා එක උරේක දාගෙන තිබ්බ බෑග් එක උඩහට ඇදලා අපිව පහු කරගෙන ඇවිදගෙන යන දිහා මන් බලන් හිටියා...
එයාට තරහා ගිහිල්ලා මොකද...??
මන් දැන් මේකත් කිව්වොත් මොනවා වෙයිද!? ඒ නිසාම ගෙදර ගිහින් තේව් අයියා එක්ක මේ ගැන කියනවා කියලා හිතාගෙනම මන් ඒක අතෑරලා දැම්මා...
අපි ක්ලාස් එකට එනකොට 2.30 ත් පහු වෙලා. ඒ වෙනකොට අපේ අම්මා මට කෝල් දෙක තුනක්ම අරන් තිබුණේ පන්තියට ගියාද අහලා...
ක්ලාස් එකේ ඇතුළත් වීමේ ගාස්තු ගෙවලා පන්ති කාඩ් එකත් අරන් ඒ වැඩ ටික ඉවර වෙනකන් අයියලා තුන් දෙනාම මන් එක්ක හිටියා...
"හරි නේද...ක්ලාස් එකෙන් බෑග් තියලා කැන්ටින් එකට එන්න මොනාහරි කාලා යමු."
"හරි අභී අයියේ..."
කෑම කන්න කැන්ටිමට යන්න කලින් ක්ලාස් එකෙන් බෑග් තියලා එමු කිව්ව ආක්ෂ අයියා මාවත් එක්කගෙන ආවේ උඩ තට්ටුවේ ක්ලාස් එකකට. පන්තියෙන් බාගයක් පිරෙන්නම ඒ වෙද්දි ළමයි පිරිලා හිටියා...මට දැනුනේ පුංචි චකිතයක්....
"කෝ බෑග් එක තියලා එන්න. පරක්කු වෙනවනෙ"
අයියා මගේ දිහා බලාගෙනම එහෙම කියද්දි මන් ඒ මූණ දිහාම බලාගෙන ඇතුළට අඩියක් තිබ්බා...ක්ලාස් එකට යන්න තියෙන්නෙ ඉස්සරහින් නිසා හැමෝගෙම ඇස් තිබ්බෙ දොර දිහාවට...කතා කර කර හිටපු අයත් හැරුණෙ දොර දිහාවට. ඒත් ඒ හැමෝගෙම වගේ ඇස් තිබ්බෙ මන් ගාවට වඩා මට පිටිපස්සෙන් හිටපු ආක්ෂ අයියා ගාව කියලා මට තේරුණා....එයා දිහා බලාගෙන සූස් ගාගා උඩට අදින ගෑණු ළමයි අස්සෙන් මන් ඉඩ තියෙන පේළියක් බලලා බෑග් එක තියලා එළියට ආවා...එයාලා මගෙ දිහා බල බල කුටු කුටු ගාන්නෙ මන් ආක්ෂ අයියා එක්ක ආපු නිසා කියල මට හිතුනා...
මේ ගෑණු ළමයින්ට මොනා වෙලාද....හැමදාම මෙහෙමද....ආක්ෂ අයියා හැන්ඩ්සම් නිසා වෙන්නැති... තේව් අයියා එදා කියපු එක ඇත්ත වගේ. ආක්ෂ අයියා පස්සෙ කෙල්ලො පිස්සු වැටිලා ඉන්නෙ කියනෙක...මට මොකද..හුම්...
මන් අයියා ඉස්සරහින් හිටගත්තම එයා ඇස් පහත් කරලා මගෙ දිහා බැලුවා. එයාට ගානක් නෑ වගේ...
අයියා ක්ලාස් එක දිහා වත් නොබලා හැරිලා යද්දි එක පාරක් පන්තිය දිහා බලපු මම අයියා පස්සෙ දුවලා ආවා. අපි එහෙමම ආවේ ක්ලාස් එකේ කැන්ටින් එකට...
"මන් කෑම අරන් එන්නම්...මොනවද කන්නෙ?"
අයියා මෙච්චරම මන් ගැන වද වෙන එක මට දරාගන්න හරි අමාරුයි....ඇයි කියලා නොතේරුණත් මේ තරම් වද වෙන කෙනෙක්, කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලග ඉන්න කෙනෙක් මටත් ඉන්නවා කියලා දැනෙන හැගීම තවත් අතකින් මන් හරි වාසනාවන්තයි කියලා හැගෙව්වා....එන්න එන්න මන් ඒ හැගීමට ලෝභ කරනවා වගේ මට දැනුනා....
"අයියා ගන්න දෙයක් මටත් ගන්න"
මන් හරි ලස්සනට හිනාවෙලා එයා ගන්න දෙයක් මටත් ගන්න කියද්දි එයා පිටිපස්සෙ සාක්කුවේ තිබ්බ පර්ස් එක එළියට ඇද්දා...
"මන් නම් දැන් බත් කන්නෙ නෑ. සිහිනට බත් එකක් ගන්නම්"
"එපා අයියේ. මටත් පොඩි දෙයක් ගන්න."
"පොඩි මුකුත් කාලා හරියනවද...ඔහොම ඉන්න"
මේසෙකින් වාඩි උන මන් බලාගෙන ඉද්දිම අයියා කෑම ගේන්න යද්දි ඒ එක්කම ඇතුළට ආපු විශාක අයියා එයාල දෙන්නටත් එක්ක කෑම ගන්න කියද්දි ආක්ෂ අයියත් මොන මොනවදෝ කියලා යන හැටි මන් බලාගෙන හිටියා....
"අඩේ ආක්ෂ අපිටත් එක්ක ගනින් හරිද...?"
විනාඩි දෙකක් යන්නත් කලියෙන් කෑම පාර්සලයක් අරන් ආව අයියා මේසෙ උඩ තියලා වාඩි වෙද්දිම මගේ ෆෝන් එක රින්ස් ගියා...වයිබ්‍රේට් දාලා තිබුණ ෆෝන් එක සාක්කුවෙන් අරන් ආන්ස්වර් කරපු ගමන් මට ඇහුණෙ අයියගෙ කටහඬ....එයාත් අද ගෙදර වගේ....
"පුතේ ක්ලාස් එකට ගියාද...?"
"ඔව් අම්මේ ආවා.."
"පුතේ සුදු මහත්තුරුට ෆෝන් එක දෙන්නකො ටිකකට"
මට බැලුනේ මගෙ ඉස්සරහ ඉදන් කෑම ගන්න ගමන් ඉන්න ආක්ෂ අයියා දිහා. එයා නම් අයියලා දෙන්නගෙ කච කචේ අහගෙන කෑම කනවා...
"ඔය නම කියන්නෙපා අම්මා..."
"හරි හරි පුතා දෙන්නකො ඒ ළමයට."
අම්මා චුට්ටක් සැරෙන් එහෙම කියනකොට මන් තොල් දෙක උල්කරගනිද්දි අයියා මගෙ දිහා බලලා ඇස් වලින් ඇහුවේ ඇයි කියලා උනත් මුකුත්ම නොකිව්ව මන් එයා දිහාවට ෆෝන් එක දික් කරා....දැන් ඉතින් ඔක්කොම කියයි....
හිතුවත් වගේ හැමදේම අපේ අම්මා එක්ක කියලා එයානම් හොඳ නම දා ගත්තා...දැන් ඉතින් මන් බැනුම් අහන්න එපැයි. එයාටනම් මොකද...හුම්...
"මේ ළමයා මට කිව්වෙත් නෑ බලන්නකො. අනේ පුතේ සිහිනට අමාරුවක් නෑ නේද...?"
ලාවට ඇහෙන අම්මගෙ කටහඬත් අහගෙන මන් අයියට රවලා අහක බලාගනිද්දි එයානම් අම්මා එක්ක තව තව කතාව...
"බය වෙන්නෙපා නැන්දෙ. දැන් ප්‍රශ්නයක් නෑ. ක්ලාස් එකේ වැඩ ටිකත් හරි..නැන්දා කලබල නොවී ඉන්නකො"
ප්‍රශ්නයක් නෑලු...ඇත්ත අයියා ඉන්නකම් ප්‍රශ්නයක් නෑ කියලා මට දැනෙනවා. හමුවුණු පළවෙනි දවසෙ ඉදන්ම....මගෙ ඇස් මටත් නොදැනිම කදුලු පුරෝගන්නයි ලේස්තිය....මන් ඉක්මනට බිම බලාගත්තෙ එයාගෙන් ඇස් හංගන්න....
"අනේ ගොඩක් පිං සුදු මහත්තුරු..මගේ චූටි මහත්තුරුව බලාගන්නවට.."
"අයියෝ නැන්දෙ ඒක මොකක්ද!!"
ඒක මොකක්ද කියලා හිනා වෙලා කිව්වත් මොකද එයා එකපාරම මගෙ දිහා බැලුවේ අම්මා ඒ නම කියපු නිසා බව මන් දැනගෙන හිටියා...මන් දත් තිස් දෙකම දාලා හිනා වෙලා බත් එකට මූණ ඔබාගත්තා උනත් අපේ අම්මා එක්ක හිනා වෙවී කතා කරන අයියා දිහා මන් ඇස් උස්සලා හොරහින් බැලුවා....මට නොබලා බැරි උනා....
අභී අයියා........
අනේ මට හරි ලෝභයි අභී අයියේ...දවසක අයියා ආදරේ කරන කෙනානම් ඇත්තටම හරිම වාසනාවන්තයි....
.
.
.
අද චැපිය හොඳ ද දන්නෙ නෑ....අදහසක් දෙන්න..😗
චැප්ටර් 30 ක් වෙනකන්ම ඇවිල්ලා...මන් එක්ක මෙච්චර කාලයක් හිටපු ඔයාලට ගොඩක් ආදරෙයි මගෙ රීඩර් බබාලා......🥰❤️
ඒ වගේම වෝට් කමෙන්ට් කරන හැමෝටම තෑන්ක් යූ ළමයිනේ.❤️
ඊළග සිහිනයෙන් හමුවෙමු 💭❤
මම
සුකී