වෙනසක්
තුන් මසක්.... හිතාගන්නවත් පුලුවන්ද... මම මේ රන් දෙවොලේ දේවදාසයා වෙලා තුන් මසකුත් ගෙවිලා ගිහින්...
සෑම උදේකම හිරුටත් කලින් නැගිටලා දෙවොලේ හැම චාරිත්‍රයක්ම මගේ අතින්ම ඉටු කරලා.. එයාගේ හැම ධානයක්ම මගේ අතින්ම පිළියෙල කරලා... එයාගේ සතුට වෙනුවෙන් නටලා වයලා ගයලා තුන් මාසෙකුත් ගෙවිලා ගිහින්.... දැන් මං ඒ හැමදේටම හුරු වෙලා.. මේ ජීවිතේට, එයාට මං හුරු වෙලා... හුරුවෙලා කියනවටත් වඩා ඇබ්බැහි වෙලා කිව්වා නම් හරි...
ඇත්තෙන්ම මේ තුන් මාසය ගොඩක් දේවල් වෙනස් කලා.... ගොඩක් දේවල්.. කවදාවත් නොහිතපු තරම් දේවල් වෙනස් වෙලා...
මං ඔහුගේ දාසයා උනත් ඔහු මගේ ස්වාමියා උවත් අපි දෙදෙනා අතරේ තිබුන සම්බන්දය හරි වෙනස්.... හරියට ආදරේ කරන දෙන්නෙක් වගේ.. මං ඔහුටවත් ඔහු මටවත් ' ආදරෙයි' කියන වචනේ නොකිව්වට හිතේ හිර උන හැඟීම් ඕනිවටත් වඩා පේන්න තිබුනා...
ඒත් ඒ හැඟීම වචන කරන්න දිව්‍ය නීතියෙන් තහනම්.. ඔහුව ස්පර්ශය පවා තහනම් මට ඔහු ගැන ආදරයක් හිතන්නවත් තහනම්.. ඉතින් ඒ හැඟීම ඉස්මතු වෙන හැම වෙලේකම මං බලෙන්ම මගේ හදවතට විලංගු දානවා... සිතුවිල්ලකින්වත් ඔහුට අගෞරවයක් පවක් කරන්න මට ඕනි නෑ..
මං දන්නවා ඔහුත් බියයි... මගේ හැඟීම් පාලනයෙන් තොර උනොත් මට වස් වඳීවි කියලා.. ඔහුට තියෙන්නේ දමනය කල හිතක් උනත් මනුස්ස හිතක් උන මගේ හිත අයාලේ යන එක නවත්තන්න හරි අමාරුයි... ඒක මනුස්ස සොබාව...
මීට මසකට විතර කලින් යහනේදී විලංගු දාපු මගේ හිතේ පාලනය ගිලිහුනා... ඇත්තෙන්ම හැඟීම් වල අන්තෙටම ගිහින් හිටිය මං පියවි සිහියෙන් මිදිලා ඔහුගේ දේහදාරී ශක්තිමත් පපුව ස්පර්ශ කරලා තිබුනා... මගේ ඇගිලි තුඩු වලින්... ඒත් ඒක හරි සියුම් ස්පර්ශයක්... ඔහු ඒවලේ මගේ දෑත් බන්ධනය කලත් එදා මට වස් වැදිලා තිබුනා... පහුවදා උදෑසන මට තදටම උණ වැලදිලා තිබුනා... නැගිටින්නවත් බැරුව... නමුත් ඔහුගේ ඖෂධ වලට මට දෙදිනකින් සුවය ලැබුනා... නමුත් එදායින් පසුව සෑම ආලිංගනයකදීම ඔහු මගේ දෑත් බන්ධනය කරන්න වග බලාගත්තා....
මිනිස් හිත් දමනය හරි අමාරුයිලු.. අසුරු සැනින් රාගයේ ගින්නෙන් ඇවිලෙනවාලු.. ඔහුම තමයි කියන්නේ...
ඉතින් අදත් සුපුරුදු පරිදි උදෑසන දෙවොලේ සෑම පූජාවක්ම අවසන් කරලා මං ආවේ අඳුරු වනාන්තරයට.... මා එන විටත් ඔහු භාවනා කරනවා.... මා දුටුවා ඔහු දිය ඇල්ල ලඟ ගසක් යට භාවනාවේ යෙදිලා ඉන්නවා... ඔහු බොහෝ වෙලාවට භාවනා කරන්නේ එතන... ඒ වගේ තැන් වල යැන් ශක්තිය වැඩියිලු.. ඔහු ඔහුගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්නේ එතන භාවනා කරලා...
මං තනිවම වනාන්තරයට ඇතුල් උනේ දිවා ආහාරයට කුමක් හෝ ආහාරයක් සොයාගන්නයි දර සොයාගන්නයි.... දෙවොලේ මුලුතැන්ගෙය හිස් වෙලා.... සතියක් පුරාවට මං තිබුන එළවලු සහල් අරපිරිමැස්මෙන් භාවිතා කලත් අද උදෑසන වනවිට ඒවා අවසන් උනා....
සැබවින්ම දෙවොලේ මේවන විට තත්ත්වය එයයි... හැමදෙයක්ම වෙනස් වෙලා....
සතියකින් ගන්ගදීපයේ කිසිම බැතිමතෙක් දෙවොලට පැමිණියේ නෑ... මේ තුන් මාසය පුරාවටම එක් අයෙක් හෝ දෙවොලට ඔවුන්ගේ පූජාවල් පවත්වන්න පැමිණියත් මේ ගෙවුන සතියට කිසි කෙනෙක් පැමිණියේ නෑ.... එය සැබවින්ම ගැටලුවක් උවත් හේතුව කුමක්ද කියා මට දැනගැනීමට ක්‍රමයක් තිබුනේ නෑ....
බැතිමතුන් නොමැති වූවත් දෙවියන්ට දානයන් පූජාවන් නිසි වෙලාවට සිදුකරන එක මගේ වගකීමක්.. ඒ නිසයි මුලුතැන්ගෙය හිස් වූ විට දානය පිසින්න යමක් හොයාගෙන වනාන්තරයට ඇතුල් උනේ... දිගටම ඔවුන් පැමිණියේ නැති උවොත් පිලියමක් මට හොයාගන්න වෙනවා....
අහස උසට විහිදුන මහා වෘක්ශ අතරින් මං හෙමින් හෙමින් අඳුරු වනය ඇතුලට ගියා... කැලෑ වැල් වර්ග පඳුරු මල් වර්ග නැති තැනක් නෑ.. මේක වැසි වනාන්තරයක් නිසාම අඳුරත් එක්ක තිබුනේ ගුප්ත බවක්...
මං ටිකෙන් ටික ඇතුලට ගිහින් අල වර්ග හතු වර්ග පලතුරු වර්ග එළවලු වර්ග පලා වර්ග හොයලා කූඩයක් පිරෙන්න දාගත්තා... දවස් තුනකට විතර ඇති..... ඒ ටිකත් එක්ක දර ටිකකුත් කපලා අරන් මිටියක් හදලා ගත්තා... දර මිටිය හිස උඩින් තියාගෙන හොයාගත්ත කෑම වර්ග කූඩයත් අරන් මං ආයේ දෙවොලට ආව.. ඔහු තවමත් භාවනාවේ.. මේ දවස් වල ඔහු වැඩි වෙලාවක් භාවනාවේ යෙදෙනවා...
දවල් පූජාව මං හදලා ගියේ... දවල් දානය පූජා කරන්න තව වෙලාව තියෙන නිසාම මං ඔහුට කරදරයක් නොවෙන්න දෙවොලේ පිටිපස්සට ඇවිඳන් ගියා... මං හිටියේ මට පහලින් පේන ගන්ගදීපය දිහා බලාගෙන...
ඇත්තටම සතියකින් විතර ඔවුන් දෙවොලට නාවේ ඇයි... එක් අයෙක්වත්... මීට දින කීපයකට පෙර මාලිගාවේ සීනුව දොලොස්වරක් නාද උනා.... එහි තේරුම මං දන්නවා... කුමක් හෝ සුබ ආරංචියක්... මුලු වීදී පුරාම සරසලා මිනිසුන්ගේ ගැයුම් වැයුම් සැරෙන් සැරේට අපි ඉන්න ඉසව්වටත් ඇහුනා... නමුත්..... හේතුව.... ශිවාටවත් තිබුනා මට දැනුම් දෙන්න.... නමුත්...... දැන් කොයින්ද මට ලෞකික බැඳීමක්......
"ආරුල්.... "
කල්පනාවේ ගිලිලා හිටිය මං පියවි ලෝකෙට ආවේ මගේ පිටිපස්සෙන් මගේ ලඟින්ම ඇහුන ඒ ගැඹුරු හඬට... මං හෙමින් පිටුපස හැරුනත් මගේ ඉණ වටේ හයිය සීතල අත් දෙකක් එතෙද්දී මගේ මූණට හිනාවක් ආවා....
"ස්.. ස්... ස්වාමිනී......"
"ම්ම්... ආරුල් ලොකු කල්පනාවක... "
ඔහු හෙමින් අහද්දී මං ඔහු දිහාට දෑස් හරවලා ආයෙත් හිනා උනා...... එයාට වන්දනා කරන්න භක්තිකයන් නැති වෙද්දී එය ඔහුට ගැටලුවක් නැතිද දන් නෑ....
"කුමක්ද ආරුල් නුබේ හිතට වද දෙන ගැටලුව..??"
එයා එහෙම අහන ගමන්ම මාගේ අතේ තිබුන මගේ කොණ්ඩේ බඳින පීත්ත පටිය එයාගේ අතට ගත්තා....
"ස්වාමිනී... සත් දිනක පටන් වන්දනාකරුවන් දෙවොලට පැමිණියේ නෑනේ.."
මං කියද්දී ඔහු නිහඬවම අර පීත්ත පටියෙන් මගේ කොණ්ඩේ ගැටගහලා මගේ කන පිටිපස්සට හාදුවක් තිබ්බා... ඔහුගෙන් මට ලැබුනු පලමු හාදුවත් ලැබුනේ මගේ කන පිටුපසට.. ඒ වගේම ඔහුගෙන් වැඩිම හාදු ගාණක් මට ලැබුනෙත් මගේ කන පිටුපසට වෙන්න ඇති.....
"මුලුතැන්ගෙය හිස් වෙලාද... ම්ම්...?? "
"එහෙමයි ස්වාමිනී.. මං අද වනාන්තරයට ගිහින් දින තුනකට සෑහෙන්න කෑම ගෙනාවා..... "
"ඒකෙන් ආරුල්ටයි වෙහෙස.... අසුන්ගන්න..... "
ඔහු මාත් එක්කම සුලං කවුලුව අසලම තිබුන දිග පුටුවෙන් වාඩි උනා....
"මහන්සියක් නෑ ස්වාමිනී... නමුත් ඔබට නොඉදුල් ආහාර පූජා කරන්න නොහැකි වේවි.. "
"ගැටලුවක් නෑ ආරුල්... අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න... පූජා වට්ටි පිරවීම අවශ්‍ය නෑ.. එක් දෙයක් පූජා කරන්න..."
"නමුන් ස්වාමිනී....... "
"නුබ හොඳින් ආහාර ගන්න ආරුල්... මට සුලු දෙයක් පූජා කරන්න..... නුබ තරුණ මිනිසෙක්... හොඳින් පෝෂණය විය යුතුයි.. මා දෙවි කෙනෙක්. කුසගින්න සුලු දෙයක්.. මාස ගණනාවක් පවා කුසගින්නේ භාවනාවේ යෙදෙන්න තරම් මගේ ශක්තිය ප්‍රමාණවත්... නුබට වැටහුනාද ආරුල්..."
"එහෙමයි ස්වාමිනී..... "
ඔහු පවසද්දී මං ආයෙත් සුලං කවුලුවෙන් පෙනෙන ගන්ගදීපය දිහා බැලුවා... මං දන්නවා.. අභීර් දන්නවා ගැටලුව.. නමුත් ඔහු මට සඟවනවා.. ඒ නිසා මටත් ඔහුගෙන් එය විමසන්න නොහැකියි....
නමුත්...... බැතිමතුන් නැති වෙද්දී එය ඔහුට ගැටලුවක් නම්.........
"ස්වාමිනී......"
"ම්ම්..."
ඔහු මල් වගයක් අරන් මගේ කොණ්ඩේ සරසනවා... වෙලාවකට එයාත් කරන්නේ බොලඳ වැඩ......
"බැතිමතුන් අඩු උනාම නුබට ගැටලුවක් නැතිද අභීර්.... "
මං ඉදලා හිටලා එයාට නමින් කතා කලා.. ඒක මට තහනමක් නෑනේ.....
"ම්ම්.. මගේ බලය වැඩි වෙන්නේ ඔවුන්ගේ පින් වලින් ආරුල්.. බැතිමතුන් වැඩිවන තරමට මට බලය වැඩි.. නමුත්...... එය ගැටලුවක් නෑ.... "
"ඇයි...."
"ම්ම්... මං යම්තාක් දුරට තව්තිසාවේ බලවත් දෙවි කෙනෙක් ආරුල්.. මුල් කාලයේ මං මේ නුග ගස වාසස්තානය කරන් ජීවත් උනේ මේ ප්‍රදේශයේ යැන් ශක්තිය වැඩි නිසායි... මගේ භාවනාමය කටයුතු වලට සුදුසු නිසා... ඉතින්... බැතිමතුන් අඩු වූවාට මගේ බලය අඩු වීමක් නෑ.. නමුත් බලය වැඩි වීමකුත් නෑ....."
"ඕ..........."
මං කල්පනා කරද්දී ඔහු මගේ හිසේ කොණ්ඩය පුරාවටම මල් රඳවලා තිබුනා.....
"සුන්දරයි..... "
මද වෙලාවක් මගේ දිහා බලන් හිටිය ඔහු කියද්දී මට දැනුනේ කෝලකමක්... මං කෝලකමින් බිම බලද්දී ඔහු මගේ කොපුලක් සිපගත්තා.....
"අභීර්..... "
"ම්ම්... මා ප්‍රියයි නුබ මට නමින් කතා කරනවට.. පවසන්න ආරුල්.... කුමක්ද මීලඟ ගැටලුව...."
"ඔබ මනුලොවට පැමිණෙන්න හේතුව කුමක්ද අභීර්.....?? "
මං අහද්දී ඔහු ටික වෙලාවක් මගේ දෑස් දිහා එක එල්ලේ බලන් හිටියා... මං හිටියෙත් ඔහු දිහා බලන්.. කලක් තිස්සේ මගේ හිතේ තිබුන ගැටලුව.....
"ගනුදෙනුවක්.... "
"ආ....?? "
"ම්ම්... ආරුල්... දිවා දානය පූජා කරන්න කාලය ආසන්නයි... පූජා කටයුතු අවසන් කර පැමිණෙන්න...... "
එයා කියද්දී මං ඉක්මනින් නැගිට්ටා.. වෙලාවත් අමතක උනා.... මං ඉක්මනින් නැගිටල දෙවොලේ මුලුතැන්ගෙට දිව්වේ අභීර් ගන්ගදීපය දිහා සන්සුන් ඒත් ගැඹුරු බැල්මකින් බලන් ඉද්දී....
ඔහු දන්නවා මේ වෙනසට හේතුව......
මං ඉක්මනින් දිවා ධානය සූදානම් කරලා ඒවා පූජා කලා.. දැන් බැතිමතුන් එනවත් අඩු නිසා මං වෙනදාට වැඩියෙන් ඔහු වෙනුවෙන් ස්ත්‍රෝත්‍ර ගැයුවා... පුදපූජා පැවැත්වූවා...
හෝරාවක් පමණ පුදපූජා පවත්වලා මං දෙවොලෙන් එළියට එද්දී ඔහු සිටියේ ඝංටාර කුලුණ ලඟ... ඔහුගේ එක දෑතක් පිටුපසට තද වෙලා තියෙද්දී අනෙක් දෑත නිදහස්ව තිබුනා.... නිවුනු දෑසකින් පහල ගන්ගදීපයට ඇස් යොමාගෙන හිටිය ඔහු සැබවින්ම කඩවසම් බවේ ප්‍රතිරූපය වගේ...
මං ටික වෙලාවක් දුරින් ඉදන් ඒ කඩවසම් දේව රූපය දිහා බලන් හිටියා...
"ආරුල්... තව කෙතරම් වෙලාවක් ඔබ මා දෙස බලා සිටින්නද කල්පනාව.... "
ඔහු ඔලුව චුට්ටක් හරවලා මගේ අහද්දී මගේ මූණට කෝල හිනාවක් ආවා...
"ස්වාමිනී..... "
"මා අසලට පැමිණෙන්න ආරුල්... "
ඔහු නිවුනු ඒත් ඒ භාවනාවක් වගේ ගැඹුරු හඬින් කතා කරද්දී මං හෙමීට ඔහු ආසලට ගියා.. ඇත්තෙන්ම ඔහු මං වගේ දෙගුණයක්වත් විශාල ඇති..
මාත් ඔහු ලඟටම ගිහින් පහලින් පේන ගන්ගදීපය දිහාට ඇස් යැවුවා... උදේ ඉදන්ම ඇහෙන සංගීතය... කැවිලි කෑම සුවඳේ අඩුවක් නෑ තවමත්...
"ස්වාමිනී.... "
"ම්ම්ම්... "
"මා යමක් විමසුවට කම් නැද්ද..."
"ම්ම්ම්... "
එයා ම්ම් කියද්දී මං ලොකූ හුස්මක් අරන් අත ඇරියා..
"ගන්ගදීපයේ මේ වෙනසට හේතුව ඔබ දන්නවාද....."
මං අහද්දී එයා ඒකට පිලිතුරක් දුන්නේ නෑ... ඒ වෙනුවට ඔහු සන්සුන්ව ඒ ඉරියව්වෙන්ම ගන්ගදීපය දිහා බලන් හිටියා.... ඔහු දන්නවා... ඒක විශ්වාසයි....
"අභීර්...... "
"ආරුල්... සුබ ආරංචිය අරන් ඔබේ මිතුරා මෙහි පැමිණෙන ගමන්.. ඔහු දැන් මගේ අඩවියේ.. තව සුලු වෙලාවකින් දෙවොලට පැමිණේවි....."
ඔහු කියද්දී මගේ මූණට ලොකූ හිනාවක් ආවා...... ශිවා... එයා එනවාද.. මං හිතුවේ ශිවාටත් මාව අමතක වෙලා කියලා...
"ස්වාමිනී.. ශිවා.. ඔහු... ඔහු පැමිණෙනවාද..."
"ම්ම්..... "
මං හරිම සතුටෙන් හිනා වෙද්දී අභීර් හිටියේ හැඟීමක් නැති ඒ නිවුනු ඇස් වලින් මගේ දිහාම බලාගෙන.. ඒ බැල්මේ තිබුන දේ මට කියවන්න බැරි උනා.. ඒ වගේම ඒක කියවන්න තරම් සිහියකුත් මට නැති උනා.....
"ස්වාමිනී.. මං... මං.... පිවිසුම අසලට යන්නම්...."
මං හිනාවෙන්ම කියලා එතනින් හැරිලා යන්න හැදුවත් මං යන්න කලින් ඔහු මගේ අතින් අල්ලගත්තා... මං හැරිලා අභීර් දිහාට හැරුනේ ඇයි අහන්න වගේ....
"ආරුල්..... ශිවා නැවත ගිය පසුවත් ඔය මුහුණෙ සිනාව රැකගන්න.... මේ ලස්සන නිල්මිණි වලට කඳුලු පුරවගන්නේ නැතුව.... වැටහුනාද... ම්ම්....."
ඔහු කියද්දී මං ආයෙත් අභීර් එක්ක හිනා උනා....
"එය සුබාරංචියක් නම් ඇයි අභීර් කඳුලු පුරවගන්නේ.... මට ඉවසිල්ලක් නෑ එය අහනකම්...."
"ම්ම්... ඔහු සමඟ විනෝද වෙන්න.... සවස හයේ හොරාවට පෙර ඔහුව පිටත්කරන්න... අඳුරු වැටුනායින් පසුව වනාන්තරය භයානකයි... වැටහුනාද... "
"එසේයි ස්වාමිනී.... "
"ම්ම්.. පිටත්වෙන්න.. මා භාවනා සඳහා නුග ගස පාමුලට යනවා... "
අභීර් මගේ මූණට වැටිලා තිබුන කෙස් ගස් දෙක තුන කන පිටුපසින් රදවන ගමන් සන්සුන් ගමනින් එතනින් එහාට ඇවිඳගෙන ගියා....
ටික වෙලාවක් අභීර් දිහා බලන් හිටිය මාත් ඉක්මනින් අඩි තියලා පිවිසුම ලඟට ගියේ දේවාල භූමියේ දුවන්න තහනම් නිසා.. මට කොහොමත් එහෙම හැසිරෙන්න තහනම්නේ...
පිවිසුම ලඟට ගිහින් මං පාසි බැදුන ගල් පඩිපෙල දිහා බලන් හිටියේ ඇස්පිය නොගහා... ශිවා එනකන්.. එකාත් මේ එන්නේ මාසෙකින් විතර..
විනාඩි කිහිපයකට පස්සේ පඩිපෙල ලඟින් මට ශිවාගේ ඡායාව පෙනෙද්දි මං පඩිපෙල බැහැගෙන පහලට දිව්වා...
"ශිවා......."
"දේව්.... ඔහ්.. ස.. සමාවෙන්න... දේව්දාස්...."
ශිවා අතින් කටින් බඩු දාපු පන් කූඩ උස්සන් හති ඇර ඇර මගේ දිහා බලන් පුරුද්දට දේව් කිව්වත් ආයෙත් එයාව නිවැරදි කරගත්තා...
"ශිවා ඔබ වෙහෙසින්... "
"මේවා බරයි..... "
"කෝ දෙන්න..... "
"ආ ප්‍රවේශමෙන් දේව්දාස්... මේවා දෙවියන්ට... මේවා ඔබට.... "
ශිවා අතේ තිබුන පන් කූඩ මගේ අතට අරන් මං ඔහු එක්කම ආයේ අවසන් පඩි කිහිපය නැගලා දෙවොලට ගියා... ශිවා හිටියේ දාඩිය පෙරාගෙන... වෙහෙස ඇති.. එසේ මෙසේ ගිරිකුලක්ද....
"මොනාද ශිවා මේ තරම් බරට...."
"මාලිගාවෙන්.. කැවිලි... පලමු කොටහ දෙවියන්ට.... ඉතිරිවා ඔබට.... "
"ඕ... එසේනම් මුලින්ම ඔබ දෙවියන්ට පූජා කරලා එන්න...."
මං කියද්දී ශිවා එළියේ පොකුණකින්ම මූණ අතපය පිරිසිදු කරන් කහ වතුරෙන් පාද හෝදගෙන දෙවොල ඇතුලට ගියේ එක පන් පෙට්ටියකුත් උස්සගෙන.....
ඔහු පූජාවන් කරලා එනකන් මං අනිත් පන් පෙට්ටිය දිග ඇරියා... කැවිලි... හැම වර්ගයකින්ම කැවිලි පුරවලා.....
එළියේ පඩියකින් වාඩි වෙලාම කැවිලි වර්ග කිහිපයක්ම මං කටේ ඔබාගත්තා.. මාලිගාවේ කැවිලි රස කාලෙකින්.... සැබවින්ම ඒවා රසවත්....
මං තෝර තෝර කැවිලි රස බලද්දී ටිකකින් ශිවාත් පූජාව ඉවර කරලා මගේ ලඟට ඇවිත් බිමින් වාඩි උනා.....
"අම්මොහ්හ් හරිම වෙහෙසයි... පඩි දහස් ගාණක් හුස්මට නැග්ගා.... දේව්දාස්... ඔබ... මා එන බව දැන සිටියාද.... "
"ම්ම්.. අභිර් පැවසුවා ඔබ පැමිණෙන බව..."
"ක්... ක..කවුද.... දේවෝත්මයාණන්...??"
"ම්ම්.... "
"දේව්දාස්... ඔබ ඔහුට නමින් අමතන්න බිය නැද්ද..... "
කැවිලි වල සිහියෙන් මෙච්චර වෙලා ඒවගේ රස බල බල හිටිය මං එවලේ ශිවා දිහා බලලා හිනා උනා.. ඒකා බය වෙලා...
"එයට මට අවසර තියෙනවා ශිවා.... ඔබ මේ දෙවොලට පැමිණියේ මාසෙකින් පමණ.. ගන්ගදීපයේ බැතිමතුන් කිසි කෙනෙක් දෙවොලට පැමිණියේ නෑ පෙර දින කිහිපයේ..."
මං ඉතිරි කැවිලි ආයෙත් පන් පෙට්ටියට දාලා අත් දෙක ගසලා ශිවා දිහාට හැරුනේ විස්තර දැනගන්න...
"ඔවුන් කාර්යයබහුලයි දේව්දාස්.... "
"ම්ම්... මාලිගාවෙන්.. අධිරාජ්‍යයාවත් පාර්වී දේවියවත් පැමිණියේ නෑ තෙමසකින්... ඔවුන් සුවෙන්ද ශිවා..... "
මං අහද්දී ශිවාගේ මූණේ හිනාවක් ඇඳුනා... ඒත් ඒ හිනාවේ තිබුනේ සතුටක් එක්ක වේදනාවක් කියලා මට දැනුනා...
"අධිරාජ්‍යයා මේ දිනවල බෙහෙවින් කාර්‍යබහුලයි... දේව්දාස්.... නුබට පවසන්න ආරංචියක් තිබෙනවා.. මා පැමිණියේ එය ඔබට දන්වන්න.... "
"කුමක්ද ශිවා... පාර්වී දේවිය... ඇය සුවෙන්ද...."
"ම්ම්.. ඇය ඉතාමත් සුවෙන් දේව්දාස්.... ගන්ගදීපයේ සුබාරංචිය පාර්වී දේවිය නැවතත් ගැබ්බර වෙලා.... ඇයගේ ගැබට තෙමසක් පිරීම නිමිත්තෙන් සතියකට පෙර එය රට වැසියන්ට දැන්වූවා.... "
ශිවා කියද්දී මට දැනුනේ මගේ හදවත මොහොතකට නැවතුනා වගේ... නොතේරෙන හැඟීමක් මගේ හිතම වෙලා ගනිද්දී මටත් නොදැනිම මගේ ඇස්වලට කඳුලු පිරුනා....
"කු... කුමක් ද....... "
"ම්ම්... ඇය ගන්ගදීපයට නැවතත් උරුමක්කාරයෙක් කුසේ දරාගෙන දේව්දාස්.... "
"ඇයට සහ ගන්ගදීපයට ආශිර්වාද වේවා..."
මං මොහොතකට ඇස් පියාගෙන මාගේ හදවතින්ම ඔවුන්ට ආශිර්වාද පැතුවා..
"ඔබ සැබවින්ම පිරිසිදු හිතක් ඇති නිර්මල කෙනෙක්.... "
ශිවා කියද්දී මං එයා එක්ක හිනා උනා... හෝරා ගණනාවක් අපි බොහෝ දේවල් කතා කලා.. මේ මාස කිහිපයට ගන්ගදීපයේ සිදු උන හැමදේම ඔහු මට පැවසුවා.... බැතිමතුන් අඩු එක ගැන මං ශිවාට කියන්න ගියේ නෑ.. ගන්ගදීපයේ රටවැසියන් දැන් සතුටින් ඇති...
අභීර්ට ඒක ගැටලුවක් නෙමෙයි නම් මටත් ගැටලුවක් නෑ... අනික.... මට නම් ඔය තියෙන දෙයක් ආහාරයට ගන්න පුලුන්.. අභීර් කොහොමත් වසර ගණනාවක් මෙහේ තනියම භාවනා කරපු කෙනෙක්නේ..
බොහෝ වෙලාවක් කතා කර කර ඉදලා හයේ හෝරාවට ආසන්න වෙලා ඉර බැහැන් යන්න ගද්දී ශිවා පිටත්වෙන්න සූදානම් උනා..
"දේව්දාස් සුවෙන් සතුටින් වෙසෙන්න. මං සමුගන්නම්... "
"ම්ම්... ඔබත්.. පාර්වී දේවියට සහ අධිරාජ්‍යයාට මගේ සුබ පැතුම් එක්කරන්න.. මා බෙහෙවින් සතුටු වූ බවත් ඔවුන් වෙනුවෙන් සහ රට වෙනුවෙන් සෑම දිනකම ආශිර්වාද කරන බව පවසන්න... ප්‍රවේශමෙන් ගමන් ගන්න ශිවා..."
මං කියද්දී ශිවා හිනා වෙලා දෙවොලටත් වන්දනා කරලා නැවත මාලිගයට පිටත් උනා... නැවතත් මං දේවාල බිමේ තනි වෙද්දී ඝංටාර කුලුණ ලඟට ගිහින් මං ආයෙත් ගන්ගදීපය දිහා බැලුවා...
"මාව පූජා කලායින් පසුව ඔවුන් භාරයෙන් නිදහස්.. ඔවුන් සතුටින්.... "
හිත ඇතුලෙන් දැනුන සියුම් වේදනාවට මගේ ඇස්වලට ලාවට කඳුලු ඉනුවා...
"ආරුල්... මා පැවසුවා නේද... ම්ම්....."
මගේ පසුපසින් ඇහුන ඔහුගේ හඬට වෙන ලෝකෙක හිටිය මාව ගැස්සෙද්දී මං ඔහු දිහාට හැරුනා...
"ස්වාමිනී....... "
"ම්ම්... නුබ වේදනාවෙන්.... "
"ඔවුන්ට මා අමතක වෙලා... ඔබවත් අමතක වෙලා...."
මං ලොකු හුස්මක් පිට කරලා කියද්දී ටික වෙලාවක් මගේ දිහා බලා හිටිය ඔහු මාව ඔහුගේ ශක්තිමත් පපුවට තුරුල් කරගත්තා...
"ආරුල්... මිනිස් හිත් එහෙමයි.... ලෞකික ආසාවල් අත ඇරිය කෙනෙක් විදිහට නුබ එය තේරුම්ගත යුතුයි ආරුල්.... "
"මා දන්නවා.... නමුත්....... මට වේදනයි අභීර්.... ඔවුන්ට මං වෙනුවෙන් ගරු සැලකිලි ආදරය ඔවුන්ගේ භාරය නිදහස්වන තුරු පමණයි... "
"වචන ප්‍රවේශමෙන් ආරුල්.. වෛරී චේතනා ඉවත් කරන්න... නුබ දේවදාසයක්...."
"වෛරයක් නොවෙයි කලකිරීමක් පමණයි..... "
මං කියද්දී ඔහු මාව තව ඒ පපුවට තුරුල් කරන් හරි හෙමින් මගේ හිස පිරිමැද්ද....
"ආරුල්... මගේ ශ්වේත සියපත.. නුබ දුක්වන විට මටත් වේදනාවයි... නුබ දුක් වෙන්න මාත් හේතුවක්... ඔබව දේවදාසයෙක් ලෙස නම් කරේ මමයි... නමුත්.... මට සමාවෙන්න ආරුල්.. ඒ මොහොතේ මට කල හැකි වූ උපරිමය එයයි....."
"ස්... ස්වාමිනී...... එ... එසෙ නොපවසන්න.. මා.... සතුටින්... ඔබ හා මා බෙහෙවින්ම සතුටින්... මෙය තාවකාලික දුකක් පමණයි... මට තිබෙන්නේ පාලනය නොකල මිනිස් සිතක්... මට සමාවෙම්න... "
මං නිසා ඔහු සමාව අයද්දී මං ඉක්මනින් ඈත් වෙලා ඔහුගෙන් සමාව ගත්තා.. ඔහු දෙවි කෙනෙක්.. මා දාසයෙක්... අනික.... ඒක පුංචි වේදනාව... සියුම් ඊරිසියාවක්.. එපමණයි..
"යන්න ආරුල්... ඉර බහින්න ලඟයි... දෙවොලේ පහන් දල්වලා ආලෝකමත් කරන්න... පිරිසිදු වී යහන් ගැබට පැමිණෙන්න..... පොරොන්දු වෙන්නම් එක රැයෙන් නුබේ දුක නසන්න...."
ආභීර් කියද්දී මං කෝලකමකින් හිනා වෙන ගමන් බිම බලාගත්තා....
"අවසර ස්වාමිනී.... "
මං ඔහුට මූණ වසන් කරන් ගිහින් දෙවොලේ පහන් දැල්ලුවා... පිරිසිදු වෙලා රාත්‍රියේදී ඔහුගේ යහන් ගැබට ගියත් ඒ වනවිටත් ඔහු පැමිණ තිබුනේ නෑ..
සුලං කවුලුවෙන් නෙලුම් මල් සුවඳ මුසු උන සීතල සුලඟ යහන් ගැබ පුරා පැතිරෙද්දී මං රතු සේද සලුවකින් සිරුර වසාගෙන යහනෙන් ඉදගත්තා.. යහන ලඟම තිබුන සුලං කවුලුවෙන් පේන දියඇල්ල දිහා බලාගෙන මං හිටියේ ඔහු එනකන්.....
කවදාහරි එයාටත් මාව අමතක උනොත්.... එයා ආයෙත් දෙව්ලොවට ගියොත්.... මං මේ දෙවොලේ තනි වෙයිද...
"ආරුල්...... "
කල්පනාවක ගිලිලා හිටිය මාව ගැස්සිලා ගියේ මගේ කන ලඟින්ම ඇහුන ඒ සරාගී ගැඹුරු හඬට.....
"අභී... ම්හ්හ් "
මං වචනයක් කියන්නත් කලින් එයාගේ සීතල තොල් හැමදාම වගේ මගේ කන පිටිපස්සෙන් තද වෙද්දී ඒ පහසට ඉබේම මට කෙඳිරියක් පිට උනා...
"මගේ ආරුල්.... මගේ ශ්වේත සියපත.... මා දෙයක් පවසන්නද..... "
ඔහු මගෙන් මුමුණලා අහද්දී මං හෙමීට ඔලුව වැනුවා... ලාවට හිනා උන එයා හැමදාම වගේ මගේ අත් එකට තියලා සුදු පටියකින් ගැට ගහලා මගේ කන් පෙත්තකට ලන් වුනා....
"තුන්ලොව මා දුටු සරාගීම රූපයේ හිමිකරු නුබයි මගේ ආරුල්..... "
👼👼👼
Hello Angels..
Thank you for 721 reads 130 votes and 93 comment..
කාලෙකින් නෙහ්... ඉවරයක් කරලා දාලා අපි ආයේ අපායකට යමු ලමයි.. මේ දේවලෝක අපිට හරියන් නෑ 😂
අනම් මනම් වානා comment තමයි ඕනා... 😒😌
Thank you !!
👼👼
28/01/2024