දේව්දාස් ||

By luciDech

6.2K 996 1K

ග්‍රත්‍ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizha... More

ඇරඹුමට පෙර
ඇරඹුම
විවාහ රාත්‍රිය
මල් උයන
වෙනසක්
වරදක්

විවාහය

693 151 385
By luciDech

"ටාං... ටාං...... ටාං..... ටාං.... ටාං.... ටාං....."

තද නින්දක හිටිය මාව ඇහැරුනේ අවුරුද්දකට සැරයක් විතරක් ඇහෙන ඝාංටාර හඬින්... හරියටම මධ්‍යම රාත්‍රිය.... හැම රැයක්ම ගන්ගදීපය නිහඬ උනත් වසරකට එන එකම එක දවසක් විතරක් මධ්‍යම රාත්‍රියේදී ප්‍රධාන කුලුනේ ඝාංටාරය නාද උනා....

හරියටම දොලොස්වරක් ඝාංටාරය නාද වෙද්දී ඒ හඬ මුලු ගන්ගදීපය පුරාවටම රැව් පිලිරැව් දුන්නා....

දොලොස්වරක් නාද උන ඝාංටාරය නිහඬ වෙනකන් මං හිටියෙ දෑස් පියාගෙන... නවයේ හෝරාවට නින්දට වැටුන මං හරියටම දොලහේ හෝරාවට ආයේමත් අවදි උනා...

මගේ ජන්මදිනය....

හැම වසරකම මගේ ජන්මදිනයට වෙන මේ සිරිත සාමාන්‍ය උනත් අද ඒක විශේෂ උනා.. දොලහේ හෝරාව ලැබිලා පලවෙනි විනාඩියේදී මට දහ අට සම්පූර්ණ වෙනවා.... ඉතින්..........

අද මගේ විවාහය.... ගන්ගදීපය වසර ගණනක භාරයෙන් නිදහස් වෙන දවස... මාව සම්පූර්ණයෙන් දෙවියන්ගේ නමටම ලියවෙන දවස.......

මං දෑස් පියාගෙන ඝාංටාරය දොලොස් වරක් නාද වෙනකන් නිහඬව ඇහුම්කම් දුන්නා.. හරියට දොලොස්වරක් නාද උන ඝාංටාරය නතර වෙද්දී ආයෙත් ගන්ගදීපයම නිහඬ බවක ගිලිලා ගියා.....

ඒත්......

හරියටම පලවෙනි විනාඩිය ගෙවිලා ඉවර වෙද්දී මගේ කාමාරේ තිබුන පුංචි හුලං කවුලුවෙන් වෙනදාටත් වඩා සීතලම සීතල සුලං රැල්ලක් ගලාගෙන එද්දී මං තවත් පොරෝනෙට ගුලි උනා.....

සුවඳයි...........

වෙනදාට දැනෙන නොදැනෙන ගාණට දැනෙන නෙලුම් මල් සුවඳ වෙනුවට අද මුලු පරිසරයම නෙලුම් මල් සුවඳින් පිරෙද්දී මගේ මූණට හිනාවක් ආවා..... තවමත් හමන සීතලම සීතල සුලඟ මගේ වටේම කැරකී කැරකී ඇගේ දැවටෙද්දී ඒ සුලඟටම මං පොරවගෙන හිටිය සුදු සේද සලුව අහකට ගහගෙන ගිහින් බිමට වැටුනා....

මගේ මූණට ආයෙත් කෝල හිනාවක් එද්දී මං හෙමීට ඇස් ඇරලා මගේ කකුල් බිමින් තියලා යහනෙන් වාඩි උනා..... සුලං කවුලුවේ සුදු තිර රෙද්ද හුලඟට ලෙලදෙද්දී හඳ එළිය නිල් පාටට මගේ කාමරේට වැටිලා තිබුනා....

ඒ අතරින් ඈතින් පේන රන් දෙවොල දිහා බලන් හිටිය මං හෙමීට පොලවටත් නොදැනෙන තරම් සියුම්ව අඩිය තියලා යහනෙන් නැගිටලා ගිහින් සුලං කවුලුව ලඟින් නතර උනා....

"නුබ අද කෝලකම් කරනවා මගේ දෙවිඳුනී..... "

මං අමනාප මූණක් එක්ක හෙමින් මුමුණද්දී කඳු මුදුනේ ඉදන් පටන් ගත්ත පිණි වැස්සක් නෙලුම් මල් සුවඳක් එක්ක මුලු ගන්ගදීපයම වෙලා ගනිද්දී මං රන් දෙවොල දිහා බලන් ලස්සන හිනාවක් දුන්නා......

"කුමරුණී..... නුබ අවදියෙන්ද.... "

"එසේයි... මා පැමිණෙන්නම්.... "

මගේ දොර ලඟ ඉදන් කතා කරපු සේවිකාවට මං උත්තර දෙන ගමන් ඇඳ ලඟම තිබුන මේසෙ උඩ තිබුන මගෙ සිලම්බු දෙක මං මගේ කකුල් වල පැලඳගත්තා.....

මගේ තාත්තා කියන්නේ මගේ පලවෙනි අවුරුද්දේදී රන් දෙවොලෙදි දෙවියෝ මට දීපු තෑග්ගක්ලු ඒ සිලම්බු දෙක... මං හෙමින් හෙමින් වැඩෙද්දී වසරෙන් වසරට මට සිලම්බු දෙකක් ලැබුනා... ඉතින් ඒ සිලම්බු මගේ කකුලෙන් ගැලවුනේ නින්දට යද්දීම විතරක් උනා....

සිලම්බු දෙක දාගෙන සිනිඳු සේද වලින් හදලා තිබුන මගේ උඩුකය ආවරණෙන් මගේ උඩුකයත් වහගෙන මං දොර ඇරන් එළියට ආවා.. මාව එක්ක යන්න ආව මගේ සේවිකාව ටිකක් දුරින් හිස නමාගෙන ඉද්දී මං එයාගේ පසුපසින් මාලිගයට ඇවිඳන් ගියා....

"දේව්...... මගේ පුත් කුමරුණී.... "

මගේ ඉස්සරහ හිටියේ මගේ අම්මායි තාත්තායි වෙද්දී මං හෙමින් ඉස්සරහාට ගිහින් මුලින් මගේ තාත්තාගේ කකුල් අල්ලලා ආශිර්වාද ගත්තා....

"පියාණනී...... "

"නුබට සුබ ජන්ම දිනයක් මගේ දේව්....."

තාත්තා මගේ හිස අතගාලා කියද්දී මං හිනා වෙලා මගේ අම්මාගෙත් කකුල් අල්ලලා ආශිර්වාද ගත්තා....

"මෑණියනී....."

"සුබ ජන්ම දිනයක් මගේ පුතේ.... "

අම්මාත් මගේ කම්මුලකට අත තියලා කියද්දී මං හිනා උනා... එයාලගේ ඇස් රතු වෙලා කඳුලින් බර වෙලා... ඒත්.. මං ඒක මඟ ඇරියා.. වේදනාවක් උනත් යතාර්ථය මං මෙතනට අයිති නැති එක... මව් කුසේදිම මගේ දෛවය ලියවිලා අවසන් වෙද්දී මං සතුටින් මගේ දෛවය භාරගත්තා..... අනාගතයක් නොපෙනෙන ඒ ජීවිතේ භාරගත්තා...

"දේව්...... ඔබට සුභ ජන්මදිනයක්...."

"ස්තූතියි ශිවා..... "

මං හිනා වෙලා ශිවාට කියද්දී මං දැක්කා ඒ කම්මුල් දිගේ කඳුලු බිංදුවක් ගලන් යනවා.. හදවත වේදනා දුන්නත් මං වේදනාව හංඟන් හැමෝම එක්කම හිනා උනා...

"දේව්.. පුතේ... මෙහෙන් එන්න.... "

මගේ අම්මා මාව එක්කන් නාන කුටියට යද්දී මං එයාගේ පසුපසින් ඇඳුනා... කුටිය මැද තිබුන ලීයෙන් හදපු ජල බේසම උණු වතුරින් පිරිලා තියෙද්දී ඒ වතුරේ රෝස පෙති එක්ක තවත් මල් පෙති පා වෙමින් තිබුනා... කුටිය වටේම සුවඳ හමන සුවඳ දුම් පිරිලා තියෙද්දී මුලු කුටියටම හිටියේ මං විතරක් උනා.. මගේ අම්මාත් දොර ලඟින් නවතිද්දී මං මගේ සලු ඔක්කෝම ගලවලා ඒ වතුර බේසමට බැස්සා.. මල් සුවඳ මගේ නාස් කුහර වලට දැනෙද්දී මං නාන බේසමේ ගැටියට ඔලුව තියන් ඇස් පියාගත්තා....

සනීපයි..... සුවඳයි...... එළියේ තිබුන හඳ එළිය පවා කවුලු වලින් ඇතුලට එන්න බය වෙද්දී නාන කුටිය ආලෝකමත් උනේ එක් කොනක තිබුන පහන් වැටකින්ම විතරක් උනා.....

හෝරාවක් පමණ වෙලා දෑස් පියාගෙන පිරිසිදු උන මං නාන බේසමෙන් එළියට ඇවිත් අතට ගත්තේ වැටිය උඩ තිබුන පුංචි කුප්පි දෙක... රතු හඳුන් සුදු හඳුන් කස්තු‍රි කහ එක්ක මිශ්‍ර උන සුවඳ තෙලක් ඒ කුප්පියේ තියෙද්දී මං හෙමීට ඒ තෙල් අතට අරගෙන මගේ සිරුර පුරාම ආලේප කරගත්තා.... රත්තරන් පාට මගේ හම ඒ තෙල් එක්ක පහන් එළියට තව දිලිසෙද්දී මං අලුත්ම අලුත් ශ්වේත පැහැ සලුවක් මගේ ඉණ වටේ ඔතාගෙන තව සලුවකින් මගේ උඩුකය ආවරණය කරගත්තා......

මං නාන කුටියෙන් එළියට අඩිය තියද්දී නාන කුටියේ ඉදන්ම බිමට සුදු පාවඩ එලලා තියෙද්දී හිසට ඉහලින් තිබුන උඩු වියන් එක්ක පියවරක් පාසා කනට මිහිරිව ඇහෙන සිලම්බු හඬ එක්ක මං සන්සුන් පියවර වලින් අම්මා එක්ක ඉස්සරහාට ගියා....

අම්මා මාව ඊලඟට එක්ක ගියේ එයාගේ කාමරේට.... උඩට උඩු වියන් පයට පාවඩ එක්ක තිබුන කාමරේ මැදට වෙන්න මගේ මංගල ඇඳුම් තියලා තිබුනා.. ඒ මංගල ඇඳුම් වටේම වල්ලපට්ටා සුවඳ දුම් හමන දුම් කුප්පි තියෙද්දී මගේ ඇස් ගිහින් නැවතුනේ රතු පාටින් තිබුන මගේ මංගල ඇඳුම් ලඟ....

මුලු ගන්ගදීපයේම වටිනාම ඇඳුම් කට්ටලය..... තෙමසක් පුරාවට පිරිසිදුව පේ උන පිරිමි විතරක් අත ගහපු මගේ ඇඳුම් කට්ටලය. වටිනාම රතු නූල් රනින් කල නූල් වලින් වියලා තිබුන සේද රෙද්ද පුරාවටම රතු මැණික් අල්ලලා තිබුනා....

ලස්සනයි.... සැබවින්ම ලස්සනයි.......

"පුත් කුමරුණි.. මේ මංගල සලු පිලි ඇඳගන්න....."

මගේ අම්මා කියද්දී පියවි ලෝකෙට ආව මං හිනා වෙලා සුදු තිර වලින් ආවරණය උන කොටසට ගිහින් එකින් එක... ඇඳන් හිටිය ඇඳුම් උනා දාලා මංගල ඇඳුම් වලින් සැරසුනා...

මගේ අම්මාවත් අවුරුදු පහෙන් පස්සේ මගේ නිරුවත දැකලා නැති වෙද්දී ඒ හැමදේම හැමදාම වගේ මං තනියම කරගත්තා..... එකින් එක රන් මිශ්‍ර උන රතු ඇඳුම් වලින් මගේ නිරුවත වැහිලා යද්දී තනි රතු හිසට පලදින මගේ සලුවත් අතින් අරන් මං එළියට ආවා.... මං එළියට එද්දී මගේ අම්මා මගේ දිහා බලන් හිටියේ කඳුලු පිරුනු ඇස් වලින් වෙද්දී එයාගේ ඇස් මගේ මුලු ශරීරය පුරාම එහෙ මෙහෙ ගිහින් මගේ ඇස් වල නතර උනා... මගේ අම්මා අඬනවා.......

"ඇස්වහක් නෑ මගේ කුමරුනි... නුබ නම් අයිති දෙව්ලොවටමයි.... "

"මෑණියනී..."

මං කෝලකමින් හිනා වෙලා කණ්නාඩිය ඉස්සරහා තිබුන අසුනෙන් වාඩි උනා.. මගේ ඉස්සරහා සුවඳ කූරු.. දල්වපු පහන් එක්ක මේසේ පුරාවටම තිබුනේ මගේ ආභරණ... රතු මැණික් ඔබ්බවපු රනින් කරපු වටිනාම ආභරණ.....

මගේ අම්මා මගේ ඉණ ලඟට තියෙන දිග කොණ්ඩේ පීරලා රනින් කරපු ලස්සන ආභරණ වලින් මගේ හිස සැරසුවා...

දිගු කොණ්ඩේ ඉහල ඉදන් පහලටම රනින් හා මැණික් වලින් සරසපු ආභරණ වලින් සැරසෙද්දී මං මගේ අත් වලට වළලු වගේම කන් දෙකට තෝඩු දැම්මා... සිහින් ඉණ ලඟින් මගේ සලුව උඩින් අම්මා ලස්සන හවඩියක් බඳිද්දී ඒ හවඩියේ ඉදන් පහලට එල්ලුන රන් මාල හැඩට මගේ ඉනේ ඉදන් පහලට එල්ලුනා.... අවසාන වශයෙන් කඳුලු පිරුන ඇස් වලින් මගේ දිහා බලන් අම්මා මගේ නලල මැදින් රනින් කරපු තැල්ලක් බැන්ඳා......

දෙතොල් රොස පැහැයෙන් පාට කරලා මගේ දෑස් වල අඳුන් තවරපු මගේ අම්මා මගේ මුහුණ පිටට නොපෙනෙන්න රතු සේද සලුවකින් මගේ හිස ආවරණය කලා... 

"ඇස්වහක් නෑ මගේ දරුවට... රනින් අඹපු පිලිමයක් වගේ..... "

පහන් තැටියක් මගේ වටේ කරකවලා අම්මා කියද්දී සලුවට වැහිලා තිබුනත් මං හිනා උනා.....

"පාර්වී.... සූදානම්ද.... අපි පිටත්විය යුතුයි... ඉර පායන හොරාවට අපි දෙවොලේ සිටිය යුතුයි... "

"එසේයි ස්වාමිනී.... "

තාත්තා දොර ලඟ ඉදන් කතා කරද්දී මං අම්මා එක්කම කුටියෙන් එළියට ආවා. මගේ තාත්තාගෙත් ඇස් වල කඳුලු පිරිලා තියෙද්දී මං ඒ දෙන්නා එක්කම සුදු පාවඩ උඩින් අඩිය තියලා ඉස්සරහාට යද්දී හතර දෙනෙක් මගේ හිසට ඉහලින් උඩු වියන් අල්ලන් ගියා....

තාත්තා කිව්වා හරී.. දැන් අලුයම දෙකේ හෝරාව වෙද්දී අපි ඉර නැගෙන හතරේ හොරාව වෙද්දී දෙවොලට යන්න ඕනි... කඳු මුදුනේම තියෙන ඒ විශාල රන් දෙවොලට...

ඉතින් ගන්ගදීපයේම වැසියන්ගේ ප්‍රිති ඝෝශා හිනා හඬවල් අතරින් මං සන්සුන් ගමනින් අඩිය තියලා මාලිගාව ඉස්සරහාට ආවා....

මාලිගයෙන් එළියට අඩිය තියන්න කලින් මගේ අම්මා මට ලොකු කිරි වීදුරුවක් ලන් කරද්දී මං අම්මාගේ අතේ තියෙද්දීම ඒකෙන් උගුරක් බීලා මාලිගයෙන් එළියට මගේ දකුණ කකුල තියද්දීම හක් ගෙඩියේ හඬ මුලු ගන්ගදීපය පුරාම පැතිරිලා ගියා... ඒ එක්කම ප්‍රධාන ඝාංටාරය එක දිගට නාද වෙද්දී ආයෙත් නෙලුම් මල් සුවඳක් එක්ක ලස්සන පිණි වැස්සකින් මුලු ගන්ගදීපයම තෙමීගෙන ගියා.... හමාගෙන ගිය සිසිල් සුලඟට ගස් කොලන් හෙල්ලෙද්දී ගස් වල පිපිලා තිබුන මල් හුලඟට හරි ලස්සනට මං අඩිය තියන පාරට මාවත් වහගෙන වැටෙද්දී මං දැක්කා මගේ වටේ හිටිය මිනිස්සු රන් දෙවොල දිහා බලාගෙන වඳිනවා....

වෙනදාට හොර රහසේ මගේ වටේ විතරක් දැවටෙන නෙලුම් මල් සුවඳ හුලඟ අද මුලු ගන්ගදීපයම වෙලා ගනිද්දී... වෙනදාට හොරාවට මගේ අතට වැටෙන මල වෙනුවට අද හැමෝම ඉස්සරහා මාව මල් වැස්සකින් වැහෙද්දී මං හෙමීට ඉස්සරහට අඩිය තියන ගමන්ම මගේ දකුණු අත ඉස්සරහාට දික් කරා.... පියවරක් දෙකක් ඉස්සරහාට යද්දී මධ්‍යම රාත්‍රියේ පිපුන කඩුපුල් මලක් පාවෙලා ඇවිත් මගේ අල්ල උඩට වැටුනා..... මගේ මූණට හිනාවක් එද්දී මං ඒක අතේ ගුලි කරන් නහයට ලං කලා... සුවඳයි........

මාලිගාව ඉස්සරහා රත්තරනින් හදපු දෝලාවක් තියෙද්දී ශිවා ඒකේ තිබුන රතු තිරය උඩට උස්සගෙන කඳුලු පිරුනු ඇස් වලින් මගේ දිහා බලන් හිටියා....

"ශිවා...... "

"අද නුබ හරි හැඩයි දේව්.... "

"ස්තූතියි..... "

මං හෙමින් කියන ගමන් දෝලාවට ගොඩ වෙන්න කලින් ආයෙත් කඳු මුදුනේ තිබුන රන් දෙවොල දිහා බැලුවා... අදින් පස්සේ මං ඉන්නෙත් ඒ දෙවොලේ...

මං ඒ දිහා බලන්ම දෝලාවට ගොඩ වෙද්දී ශිවා රතු තිරය පහලට දැම්මා... මං එහෙන්ම හැරිලා බැලුවේ මාලිගය දිහා.. ආයෙත් මට මාලිගාව ඇස් දෙකට දකින්න බැරි වේවී.. මට ඒ රන් දෙවොලේන් පිටවීම තහනම් වේවී.. මේ මාලිගාව මේ ගම ආයෙ මට දකින්න නැති වේවී... මං මුලු මාලිගාව දිහාම බලලා මගේ අම්මා තාත්තා දිහා බැලුවා... මගේ ඇස් වලට උනපු කඳුලක් මං ඇගිල්ලකින් පිහින ගමන් ආයේ ඉස්සරහා බලා ගනිද්දී දෝලාව එසවුනා....

හක්ගෙඬි හඬ බෙර හඬ නලා හඬ තාලම් හඬ මගේ ඉස්සරහින් ඇහෙද්දී ඒ හඬ එක්කම මඟුල් පෙරහැර ආරම්භ උනා...

වීදි දිගේ හෙමීට දෝලා ඉස්සරහට යද්දී පාර දෙපැත්තෙන් ලන්තෑරුම් අතින් ගත්ත සේවකයෝ පෙරහැරට එළිය දුන්නා.. මෙච්චර කාලයක් මාත් එක්ක ගුරුකුලේ ඉගෙන ගත්ත තරුණ තරුණියෝ ඉස්සරහින් නැටුම් ගැයුම් වැයුම් එක්ක ඉස්සරහාට ගියා..

වීදී අතරින් අන්තිමට කඳු පාමුලට ලන් වෙද්දී මං රතු තිරය චුට්ටක් ඈත් කරලා එළිය බැලුවා... මහා වනාන්තරය.. රූස්ස ගස් අහස උසට තියෙද්දි පුස් වැල් මල් වැල් වලින් ඒවා තව ලස්සන වෙලා තිබුනා.. පාසි බැදුන ලී පඩිපෙල ඉමක් කොනක් නොපෙනෙන කන්ද මුදුනට යොමු වෙලා තියෙද්දී දෝලාව ඔසවගත්ත මිනිස්සු ඒකත් අරන් කන්ද නගින්න පටන් ගත්තා..

හෝරාවකටත් වැඩි කාලයකට පස්සේ අපි හිටියේ රන් දෙවොලේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට... හමාගෙන ආව හුලඟට නාද වෙන දෙවොලේ සීනු හඬ ඒ හරියටත් ඇහෙද්දී මගේ දෝලාව පාත් උනා...

පුංචි ලන්තේරු වලින් පිවිසුමේ ඉදන් දෙවොලට වෙනකන්ම ආලෝකමත් වෙලා තියෙද්දී නෙලුම් මල් සුවඳ වෙනදාටත් වඩා දැනුනා... දෙවොලට යන පාර දෙපැත්තෙම තිබුනේ නෙලුම් මල් පිරුන පොකුණු විතරක්ම වෙද්දී දෝලාවේ ඉදන් බිමට දාලා තිබුන රන් පැහැ පාවඩ උඩින් මගේ දකුණ කකුල තියලා මං දෝලාවෙන් බැස්සා....

මගේ හිසට ඉහලින් සමන් පිච්ච එක්ක රෝස මල් වලින් හැඩ උන තනිකරම මල් වියනක් තියෙද්දී මං ප්‍රධාන පිවිසුම ලඟ හිටගෙන හිටියා....

"කුමරුණි.. දකුණු කකුල පෙරට තියලා පිවිසුම පහු කරන්න..... "

මගේ ගුරුවරයා මට උපදෙස් දෙද්දී මං මගේ දකුණු කකුල තියලා පිවිසුමේ දොරටුව පහු කරනවා එක්කම ආයේ හොරණෑ හක්ගෙඬි හඬ එක්ක දෙවොලේ ඝාංටාරය වගේම සීනු නාද වෙද්දී මං සන්සුන් ගමනින් ඉස්සරහට ඇඳුනා...

තියන පියවරක් පාසා සිලම්බු හඬ ඇහෙද්දී මට පුංචි කාලේ ඉදන් පුරුදු කරලා තිබුන ඒ ගාම්භීර ඇත් ගමනින් මං ඉස්සරහාට ඇවිඳගෙන ගියා.....

හරියටම විශාල රන් දෙවොලේ ප්‍රධාන දොර ඉස්සරහා මං නැවතිලා ඉද්දී මං දැක්කා කඳු මුදුනේ අහස ලා කහ පාටක් එක්ක ඉර මුදුන් වෙන්න සූදානම් වෙනවා කියලා....

මං ඒ කඳු මුදුන දිහාත් බලලා රන් දෙවොල ඉදිරිපිට තියන පලවෙනි පඩියට අඩිය තියද්දී කඳු අතර සැගවිලා තිබුන ඉරත් ඒ එක්කම හෙමීට පායන්න ගත්තා.. මං තියන පියවරක් පාසා ඉරත් හෙමින් පායගෙන එද්දී ඒ එක්කම අඳුරේ ගිලිලා තිබුන රන් දෙවොල ලා හිරු කිරණින් ටිකෙන් ටික ටික දිස්නේ ගහන්න ගත්තා...

හමාගෙන ආව හුලඟට දෙවොල ඇතුලේ තිබුන සීනු හඬ රැව්ලිපිලිරැව් දෙද්දී මං ඉස්සරහින්ම ගිහින් ඒ රන් දෙවොලට ඇතුල් උනා.. මගේ පිටිපස්සෙන් අම්මා තාත්තා ගුරුතුමා ශිවා එද්දී ඒ පිටිපස්සෙන් මාලිගාවේ සේවක සේවිකාවෝ එක්ක නාට්‍යාංගනාවන් ආවා....

වටේම තිබුන විශාල ද්වාර වලින් ලා හිරු කිරණ රන් දෙවොල ආලෝකමත් කරද්දී හෙමින් හෙමින් අඩිය තියලා ඉස්සරහාට ගිය මං මුලින්ම තුන් වරක් දෙවියන්ට ආචාර් කලා....

රන් දෙවොල මැද විශාල නුග ගහ තියෙද්දී ඒ වටේ වහලේ ඉදන් පහලටම විශාල රන් තිර රෙදි වලින් ආවරණය වෙලා තිබුනා...

මගේ හිසට ඉහලින් සීනු එක්ක දගර ගැහුන විශාල සුවඳ කූරු තියෙද්දී මගේ ඉස්සරහින් විශාල පූජාසනයක් තිබුනා..  නුග ගසට දෙපසින් වගේම පූජාසනයේ ඉහලිනුත් පහන් වැටවල් තිබුනා....

හැමෝම තවමත් මං ඉන්න තැනට පියවර දහයක් විතර පිටුපසින් ඉද්දී මං එකින් එක  පහන් වැටවල තිබුන සඳුන් පහන් දල්වන්න පටන් ගත්තා... හැම පහන් වැටක්ම දැල් උනාට පස්සේ මං හිසට ඉහලින් තිබුන සුවඳ කූරු දල්වලා පූජාසනයේ ඉස්සරහාම නෙලුම් මල් වලින් පිරෙව්වා... 

ඒ එක්කම කුරුල්ලෙක්වත් ඉදුල් නොකරපු වී අස්වැන්නේ පලවෙනි කොටසින් හදපු බත්.. කෘමියෙක්වත් ඉදුල් නොකරපු නැවුම් එලවලු පලතුරු වලිනුත් පූජාසනය පිරෙව්වා.... උඩු වියන් පාවඩ අතරේ හදපු රස කැවිලිත් පිලිවෙලට පූජාසනයෙන් තියලා මං මගේ ඉස්සරහා තිබුන ප්‍රධාන සීනුවට අතින් ගහලා පියවර කිහිපයක් පස්සට ගිහින් මැදින් දණ ගැහුවා...

මගේ පිටිපස්සෙන් පූජාවට ස්ත්‍රෝත්‍ර කියනවා ඇහෙද්දී මාත් ඒ තාලයටම ඒවා ගායනා කලා....

"කුමරුණි ඔබේ දෙවියන්ට තෙවරක් ආචාර කරන්න..... "

මගේ ගුරුතුමා මගේ පිටිපස්සේ ඉදන් මට උපදෙස් දෙද්දී මං නැගිටලා තුන්පාරක් දෙවියන් ඉස්සරහා ආචාර කලා....

ආචාර කරාට පස්සෙ මගේ ලඟට ආව මගේ තාත්තා මගේ හිසට දාලා තිබුන සලුවෙන් කොටසක් එයාගේ කඩුවෙන් කපල නුග ගහෙන් එල්ලෙන එක මුලක ගැටගැහුවා... ඊලඟට මගේ අම්මා වගේම තාත්තාත් දෙවියන්ට ආචාර කරලා එයාලගේ භාරය ඔප්පු කලාට පස්සේ මගේ මූණ වැහිලා තිබුන සලුව අම්මායි තාත්තායි දෙන්නාම එකතු වෙලා හෙමීට උස්සද්දී බිම බලන් හිටිය මං ඇස් උස්සලා ඉස්සරහා බැලුවා....

මගේ මූණට ආවේ ලැජ්ජාව පිරුන කෝල හිනාවක් වෙද්දී මං නුග ගහ දිහා බලාගෙන හිනා වෙද්දී හමාගෙන ආපු හුලඟ එක්ක පූජාසනෙන් තිබ්බ සුදු නෙලුමක් විසි වෙලා ඇවිත් මගේ උකුලට වැටුනා....

ආදරේ නම් මලක් දෙන්න ඕනිලු... ඒ අතින් බලද්දී මට එයා දීපු මල් ගාණ ගනින්නත් බැරි තරම්.. ජීවිතේට පියවි ඇස් වලට නොදැකත් එයාට මගේ හිත මේ තරම් බැඳිලා ඇත්තේ එයා මේ වටින් ගොඩින් දෙන ඉඟි වලින් දැනෙන ඒ ආදරේට වෙන්න ඇති... 

මං ඒ නෙලුම් මලත් අරන් නැගිටිද්දී සම්පූර්ණෙන්ම ඉර පායලා මුලු වටපිටාවම එළිය වැටිලා තිබුනා.. ඒත් උදේ පටන් ගත්ත පිණි වැස්ස තවමත් අඩුවක් තිබුනේ නෑ... ආපු පිරිසෙන් කිහිප දෙකෙක් ගීත වාදනා කර කර ගයද්දී තවත් අය නර්තනය කලා...

උදේ ධානය දෙවියන්ට පූජා කලාට පස්සේ ඇවිත් හිටිය අයට කෑම ලැබෙද්දී මාත් උදේ ආහාරය ගත්තා.. උදේ කෑමෙන් පස්සෙ තිබුනේ වසර ගාණක් පුරාවට මං පුරුදු උන ශිල්ප දෙවියන් ඉස්සරහා පෙන්නන එක වෙද්දී හැමෝම දෙවොල වටා එක් රැස් වෙන්න ගත්තා...

තවමත් මං හිටියේ රතු පැහැ මංගල ඇඳුමින්මයි.. මං වීණාවක් අතින් අරන් ගිහින් දෙවොලේ පූජාසනේ ඉස්සරහා තිබුන රඟ මඬල මැදින් වාඩි උනා.... මුලින්ම නුග ගහ දිහාත් බලලා හෙමීට වීණාව වාදනය කරන ගමන් මං දෑස් පියාගත්තා... 

දීපාවලී.... අතින් අත දීපාවලී.....
පූජාවලී.. හදින් හද පූජාවලී.......
ගීතාවලී.... මුවින් මුව ගීතාවලී...

ඔබටයි මේ දීපාවලී... පූජාවලී...
මුවින් මුව ගීතාවලී.......

මං ඒ සිංදුව ගායනා කරන ගමන්ම හිනාවක් එක්ක ඒ විශාල නුග ගහ දිහා බලන් හිටියා.... ඒ වචනයක් පාසාම මං කිව්වේ භක්තියකින් වගේම ආදරේකින් උනා....

"සසරින් සසරේ.....
භවයෙන් භවයේ...
මගෙයි ඔබ...
පෙම්බරාණෙනී......
සදාකල් පෙම්බරාණෙනී......"

හෙමීට ගායනා කරලා ඉවර කරපු මං වීණාව අරන් නැගිටලා ගිහින් ඒක මගේ ගුරුතුමාට දුන්නා.. කකුලට දාලා තිබ්බ සිලම්බු ආයේ තද කරගන්න ගමන් මං හෙමීට අඩිය තියලා ආවේ ආයෙත් රඟ මඬල මැදට වෙද්දී ගුරුතුමාගේ තාලම්පටේ හඬට මං මුලින්ම නමස්කාරය කලා....

ඉන්පස්සේ තාලයට ඇහුන බෙර හඬට තාලම් හඬට අඩිය තියන ගමන් මෙච්චර කාලයක් මං පුරුදු උන ඒ නර්තන එළිදක්වද්දී හැමෝම ඒ දිහ බලන් හිටියේ භක්තියකින්ම විතරක් උනා.. කිසිම කෙනෙක් සිතුවිල්ලකින්වත් මගේ දිහා වැරදියට බලන්න බය උනා... හැමදේටම වඩා එයාලා දෙවියන්ට ගරු කලා...

එක දිගට හෝරා ගාණක නර්තනයකින් මගේ කකුක් ඇඳුම් කෑවත් රැයක් දවාලක් නැතුව මේවා පුහුණු උන මට මේ හෝරා කිහිපය ලොකූ වේදනාවක් උනේ නෑ...

අවසානයේ ඉර බැහැගන යද්දී මං මගේ නර්තනයන් නතර කරලා නමස්කාරය කරලා රඟ මඬලෙන් බැස්සා... උදේ ආව මිනිස්සු එක්කෙනා දෙන්නා අඩු වෙද්දී ඉතුරු වෙලා හිටියේ කිහිප දෙනෙක් විතරක් උනා...

අන්තිමටම සේවිකාවෝ කිහිපදෙනෙක් එක්ක අම්ම තාත්තා ගුරුතුමා ශිවා විතරක් ඉතුරු වෙද්දී හැමෝම මේ වෙනකොටත් දෙවොලෙන් පිටත් වෙලා ගිහින් තිබුනා....

දැන් ඉතුරු වෙලා තිබුනේ අන්තිම චාරිත්‍ර කිහිපය විතරක් වෙද්දී මං අම්මාට තාත්තාට ගුරුතුමාට වැඳලා ආශිර්වාද
අරන් අම්මා එක්ක දෙවොල පිටිපස්සට ගියා... ඉර බහින්න බහින්න මගේ පපුව ගැහෙන වේගෙත් අහේතුකව වැඩි වෙමින් තිබුනා...

මේ දෙවොල හදලා තිබුනේ ලස්සන විශාල දිය ඇල්ලක් ලඟ වෙද්දී ඒ ලඟ තිබුන වතුර පොකුණක් ලඟ සුදු තිර වලින් වහපු කොටසක් තිබුනා... අම්මා මාව එක්ක ගියේ එතන්ට... අම්මා ඇර වෙන කිසිම කෙනෙක් පිටිපස්ස කොටසට නොඑද්දී එතන හිටියේ මායි අම්මායි විතරයි....

"දෙව්දාස්.... ස්නානය කරන්න..... කහ ආලේප කරන් දෙවොලට එන්න..."

තවදුරටත් මං පුතෙක්වත් කුමාරයෙක්වත් නොවෙද්දී මං හැමෝටම දේව්දාස් උනා... ඒ නිසා අම්මාත් මට කතා කලේ ඒ නමින්...

අම්මා මාව එතන තනි කරලා යද්දී මං ඉණට තිබුන කෙටි ඉණ කඩ විතරක් ඉතුරු වෙන්න හැම ඇඳුමක්ම ගලෝලා දාලා ඒ පොකුණෙන් පොඩි රත්තරන් පාට භාජනේකින් නාගත්තා... වතුර සීතලම සීතලයි... ඒත් ඒ වතුර ඇග දිගේ යද්දී ඇගට තිබුන වෙහෙසත් නැති වෙලා යද්දී මං හොඳට නාගත්තා...

අයිනකින් තිබුන කහ භාජනේ අරන් ඒක මුලු ඇගේම ගාගෙන  සිනිඳු රතු සේලෙකින් ඇග ආවරණය කරගෙන මං ඒ රෙදි වලින් වටකරපු තැනින් එළියට ආවා... එතන දෙවොල පිටිපස්සට වෙනකන් සුදු පාවඩ තියෙද්දී මං ඒවා උඩින් අඩිය තියලා දෙවොලේ පිටිපස්ස කොටසට ඇවිඳගෙන ගියා...

එතන මැදක සුවඳ දුම් කිරිකල පහන් වලින් වට උන අසුනක් ලඟ අම්මා ඉද්දී මං ගිහින් එතනින් වාඩි උනා....

අම්මා මුලින්ම මට ආශිර්වාද කරලා අර කිරිකලයක් අරන් මාව නෑවුවා... ඒ වගේ කිරි කල හතකින් නෑව්වට පස්සෙ ඒ උඩින් සුවඳ බෙහෙත් කළ හතකිනුත් නැව්වා..

නාලා ඉවර උනාට පස්සේ මං එතනින් බැහැලා ඇග පිහිදගෙන ඇඳුම් මාරු කලා... දුහුල් සිනිඳු රතු සේද වලින් හදලා තිබුන ඒ සැහැල්ලු ඇඳුම ඇන්ඳම මට දැනුනේ ලැජ්ජාවක්... ඒ දුහුල් සේද අතරින් මගේ රත්තරන් පාට ඇඟ ඕනිවටත් වඩා කැපිලා පෙනුනා...

"දේවාභරණ.... දේව්දාස්.. මුලින්ම මේවාට වඳින්න.... "

අම්මා රතු සේද රෙද්දක් දාපු තැටියක් උඩින් තියලා අරන් ආවේ මං කවමදාවත් මිහිපිට දැකලා නැති තරම් ලස්සන ආභරණ කට්ටලයක්.. ඒ දේවාභරණලූ...

මං මුලින්ම ඒවාට වැන්ඳාට පස්සේ අම්මා ඒවා එකින් එක මට පැලැන්දුවා... තනිකරම රනින් හදලා තිබුන ඒ ආභරණ කලින් ඒවාට වඩා බරෙනුත් වැඩි උනා...

ඔක්කෝම පැලැන්දුවට පස්සෙ අම්මා සුවඳ දුම් අරන් ඒවා මගේ කොණ්ඩේට ඇල්ලුවා.. අන්තිමේදී මං ලෑස්ති ඉවර වෙද්දී ඉරත් බැහැලා ගිහින් තිබුනා...

මගේ පපුව වේගෙන් ගැහෙද්දී අම්මා මාව එක්කන් ගියේ දෙවොල පිටිපස්සේ තිබුන විශාල යහන් ගැබට.. වහලා තිබුන ද්වාර ඇරලා අම්මා මාව ඒක ඇතුලට එක්ක ගියා...

වහලේ ඉදන් පහලට යනකන්ම තැනින් තැන තිබුනේ විශාල සේද තිර රෙදි වෙද්දී ඒ අතරින් කුටිය මැද තිබුන විශාල යහනට අම්මා මාව එක්කන් ගියා...

ඇරලා තිබුන සුලං කවුලු වලින් හඳ එළිය තනිකරම මල් පෙති වලින් පිරිලා තිබුන ඒ යහන මතට වැටිලා තියෙද්දී එළියෙන් එන නෙලුම් මල් සුවඳ මිශ්‍ර උන හුලඟට අර සේද රෙදි ලෙලදුන්නා....

තැනින් තැන පහන් දල්වලා තියෙද්දී යහනට් උඩින් වගේම වටෙන්ම සමන්පිච්ච මල් වලින් අමුණපු මල් වැල් එල්ලෙමින් තිබුනා... නහයට දැනුනේ තනිකරම මල් සුවඳක්... අම්මා මාව ඇඳෙන් වාඩි කරවලා මගේ මූණ දිහා බලද්දී මාත් එයා දිහා බැලුවා... එයාගේ ඇස්වල කඳුලු පිරිලා තියෙද්දී මං අම්මා දිහා බලලා හිනා උනා....

මෙච්චර කාලයක් මං අම්මාට ආචාර කලත් අද අම්මා මට ආචාර කරලා රතු රෙදි කඩකින් මගේ ඇස් වැහුවා....

"මහෝත්මයාණන් මේ රෙදි පටිය ගලවනකම් මේවා තියාගන්න දෙව්දාස්.... "

එහෙම කියපු අම්මා මගේ ඇස් වහලා තව රතු සේද රෙදි කඩකින් මගේ ඔලුව වැහුවා... ඒ වගේම දල්වපු පහනක් මගේ අත උඩින් තිබ්බා.... මං හිටියේ හරියටම ඇඳ මැදින් වාඩි වෙලා......

"මට යන්න අවසර දේව්දාස්...."

"අවසරයි පාර්වී දේවිය.... "

මං කියද්දී අම්මා මාව කුටියේ තනිකරලා එළියට ගිහින් දොර වහන හඬ ඇහෙද්දී මගේ ඇස්වලට කඳුලු ඉනුවා...

අදින් පස්සේ මට මව පියා බැඳීම් නෑ... මං මේ දෙවොලට පූජා කලේ සියලු බැඳීම් අත ඇරලා වෙද්දී අඳින් පස්සේ මං අභීර් ආදිත්‍ය දෙවියන් නමින් පමණක්ම බැඳිලා තිබුනා...

ඔහුගේ නමට පමණක් කැපව ඔහු නමින් පමණක් ජීවත් වෙන්න බැඳිලා තිබුනා...

ටිකෙන් ටික කාලය ගෙවිලා යද්දී මුලු කුටිය පුරාම තිබුනේ නිහඬ බවක් උනත් මගේ හෘදස්පන්දනයේ හඬ මටම ඇහෙන තරම් මගේ පපුව වේගෙන් ගැහෙමින් තිබුනා...

ආසයි ඔහුව දකින්න.... ඒත් මොකක්දෝ බයක් එක්ක කෝලකමක් මගේ හිතම වෙලාගෙන තිබුනා....

මෙච්චර වෙලා නිහඬ බවින් ගිලිලා තිබුන කුටියේ ද්වාර විවර වෙන හඬත් එක්කම සියලු මල් පරදලා නෙලුම් මල් සුවඳක් මුලු කාමරේම වෙලාගනිද්දී මං ඉහලට ගත්ත හුස්ම එහෙන්ම නතර කරන් හීනියට ඇහෙන පාද සලඹේ හඬට ඇහුම්කම් දුන්නා.......

😈😈😈

Hello devils...

Thank you for 151 reads 46 votes and 157 comment..

ඊයේ ඉදන් උද්ඝෝශනය කරපු අයට ඕන් දැන් කතාව ගෙනාවා...

ඇත්තටම මේක ලියන්න ගත්තාට ඒක චුට්ටක් අමාරුයි කියලා මට තේරෙනවා.. ඒ නිසා ලියන්න පරක්කු වෙනවා.. 😒 චීන හින්දි සිංහල ඔක්කෝම චාරිත්‍ර එකතු කරලා පුලුවන් විදියට ගැටගහ ගත්තා.. 

අඩුපාඩු ඇති... වැඩිය හිතන්න එපා.. මොකද ඔය ඔක්කෝම මට හිතෙන විකාර හොඳේ...

අනික ඉතින් master of dark කියවපු අය දන්නවානේ මං ලියන විදිහ.. මං හරි හෙමින් විස්තර කරලා තමයි ලියන්නේ.. ඒක ඔයාලට කම්මාලිද දන් නෑ..

Thank you !!

😈😈

25/09/2023

Continue Reading

You'll Also Like

63.5K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
21.6K 5.6K 67
I'm missing you Waiting for you My heart is headed toward you Again today, I'm waiting for you I have a lot of worries now All day, I only think abo...
31.5K 4.2K 69
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
34.9K 5.3K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...