(ගොළු හදවත)...
"තුනුරුවන්ගෙම පිහිටයි මයේ අම්මට..!"රං මැණිකා තම දෙපා මුල වැඳවැටීගෙන දණහිසම පොළොවට තබාගෙන,"මාතූ පාදං නමා මහං!"අවසන් පද පේළිය කියා නැගිටගත් තම අඩුමල් දියණිය වූ සීවලී මැණිකාව තම ළය මතට කරගෙන තදින් ඇගේ නළලත සිප ගත්තාය..
"අපේ අම්මේ!,දැන් ඇති නෙවැ.."සීවලී මැණිකා කටකාර කෙලි පොඩ්ඩකි..තවම දහසය හැවිරිදි සීවලී මැණිකාට පොල්ගස් දූවම මූළු හදවතින්ම සෙනෙහස පෑවාය..සීවලී මැණිකා තම හදවතින්ම අනෙකාට කරුණාවන්ත කෙල්ලකි....
"ඕං උබලා කැතරින් නෝනාට කරදර හෙම කරනවා නොවැ.."රන් මැණිකා ඉරී ගිය සුදු පැහැ වියැකී ගිය පොට්ටනියක් ගෙන එයට අඩුම කුඩුම එක්රැස් කළාය..
"මට ඒතරම් ගායක් නෑ නොවැ අම්මේ!"සීවලී මැණිකා කැඩී ගිය බංකු කෑල්ලක් තමා තිබූ පිලෙහි හිඳගෙන දෙකකුල් එහෙට මෙහෙට වනමින් තමා දැන් යන ගමන පිළිබඳ දුරකට සිතන්නට විය...
"මේ අහගනින්..,"රන් මැණිකා හේ වෙන අතක බලා හිඳිද්දි ඇගේ අතට පොට්ටනිය දුන්නාය..
"කියාපන් ඉතින්!"සීවලී මැණිකා රන් මැණිකා දෙස බැලුවාය..ඇගේ මුවඟෙහි පැහැය දැන් දැන් වියැකී ඇත..කාලයක සිට වී අහුරක් දෑහට දකින්නට නොතිබුණාය...උදේ හවා කොස්,පොළොස් කඩන්නට බඩගාද්දි ඇගේ මුවඟ සහ කයද සැරව තුවාලවලින් පිරිණි...සීවලී මැණිකාට කඳුළු උනන්නට විය..
"ඔය සුදු මහත්තුරු එක්ක වැඩි ඇයි හොඳැයි පවත්වනවා හෙම නොවැ,..කැතරින් නෝනාගේ වැඩක් පලක් බලන් හිටු..තේරුණාද මයේ අම්මට..උබව යවන්නේ හිතකින් නෙවෙයි පැංචියේ.."රං මැණිකා හැට්ට කරෙන් වැක්කෙරෙන කඳුළු පිසදාගත්තද,.සීවලී මැණිකා දිටීය...
"කාරි නෑ කාරි නෑ..උබ යන ගමනට රත්නත්තරේ පිහිට හැමදාම තියෙයි..!"රන් මැණිකා සීවලී මැණිකා වැළඳගත්තේ,කඳුළු උනන නෙතිනි..
"අම්මා ඔය කොරන්නේ මාවත් වැලහින්නි ගානට දමන එකමයි.."සීවලී මැණිකාටද කදුළු එකපිට එක උනන ගමන ඇය මිමිණීය...
"ආං ගොං කරත්තේ ඇදෙනෝ..හා හා පලයන්...ගෙයි වැඩ කොරන් හොඳට හිටපන් මයේ අම්මා!"නැවතත් සීවලී මැණිකාගේ හිස සිඹි රන් මැණිකා ඇයව තංගු හාමිගේ ගොං කරත්තයට නැග්ගුවාය...
සීවලී මැණිකා කඳුළු උනන නෙතඟ හැට්ට කරෙන් පිසදමාගත්තේ "මයේ අම්මටත් දළදා සමිඳු පිහිටයි..!"කියමින්මය..
වෙල්යාය දෙසින් කරත්තය ඇදී යද්දි සීවලී මැණිකාගේ පිඳුරු සෙවිලි කළ වහලයක් දමා තිබූ මැටි නිවහන කළු පැහැ තිතක් වී නොපෙනී ගියේය..අරලිය මල් ගොං කරත්තෙට යටවෙද්දි,..සීවලී මැණිකාට කඳුළු නතර කරගැන්මටම නොහැකි විය..
"අඬලා දොඬලා පලක් නෑ බං,..නික්කාසුවේ වලව්වේ වැඩක් පලක් කොරන් හිටු...මෙහේ මේ නහින ගානට වඩා උබට එහේ නහින්ට කාරි නෑ.
නෙවැ..!"තංගු හාමි, යනු ගොං කරත්ත දක්කන්නෙකි..සීවලී මැණිකා ඔහු දෙස බැලුවද මුළු කට පුරාම රත් පැහැ වී ඇත..කළු පැහැ අම්බරුවා දක්කන ගමන ඉකිගසන සීවලී මැණිකාව අස්වසනු පිණිස එක එක වග තුග කීවද,සීවලී මැණිකාට තම මව වූ රන් මැණිකාගේ වියැකී ගිය මුවඟ මතකෙට නැගෙන වාරයක් පාසා ඇයට කඳුළු ඉනුවාය...
***
"දෙයි හාන්දුරුවනේ!,"සීවලී මැණිකාගේ දෙතොල්පත් ඇරිණි..ඇයට තවමත් නිච්චි නැත මේ තරම් විසල් නිවාස තම ගම් පළාතෙහි තිබෙන බව..
"ඕං උබ ටිකයි දැක්කේ..ඔහොම නෙමෙයි..අර වලව්ව ඇතුළේ තියෙන වංගි ටික උබ දැක්කනම් මේං මෙතනම කම්බස්.."තංගු හාමි බුලත් විටක් කන ගමන කඩපිලෙහි ගොං කරත්තය නැවැත්තුවේය...
වෙල්යාය අද්දරට වන්ට සාදා තිබී වලව්ව දැක සීවලී මැණිකාගේ දෑසද විසල් විය..
"මාමේ!,මේ ලොකු මැටි ගෙවල් වල කීයක් නම් මිනිස්සු ඡීවත් වෙනවා ඇත්ද..අනේ මගේ මේ අත් දෙකෙන් කීයක් නම් බත් පිහින්න වෙයිද.."සීවලී මැණිකා තම තලෙලු දෑත දෙස බලා සුසුමක් හෙලීය...
"හොහ් හොහ් හා..,උබට පිස්සුද සීවලියේ..වලව්වේ ඉන්නවනම් ඉන්නේ කැතරින් නෝනයි,..උන්දැගේ මව් තුමියයි තමයි..බන්!"තංගුහාමි සිනාසී සීවලී මැණිකා දෙස බැලීය..
"ඔය සුදු මාත්තුරු එනවනම් නෙවැ නෝනාලා කෑම වට්ටි පිට පටවන්නේ..."තංගු හාමි බුලත් විට "චව් වච් "ගා හැපීම හේතුවෙනි සීවලී මැණිකා වෙනතක බැලීය...
"උන්දැලට පිස්සුද..අර තරම් ලොකු ගෙදරක ඡීවත් වෙන්න..මමයි අම්මයිත් ඡීවත් වුණේ අපේ පුංචි පැල් කොටේනේ..මුන් දැලට පිස්සු ඇති.."
සීවලී මැණිකා සිනාසුණද,
"කට කට සීවලියේ,..උබට පිස්සුද..සුදු මහත්තරුන්ට ඇහුනනම් උබයි මායි දෙන්නටම දඬු කද තමයි.."
තංගුහාමි ගොං කරත්තයට නැග දක්කන්ට වූයෙන් නැවතත් සීවලී මැණිකා දෙතොල් තද කරගත්තාය..
"පලයන් මෙතන ටැග් ගැහෙන්නේ නැතිව.."තංගු හාමි හා සීවලී මැණිකා විසල් වලව්ව ඉදිරිපස සිටගෙන සිටියෝය..
"වරෙන් ඔතන ඉන්නේ නැතිව.."දායාසීලි නොහොත් කැතරින් ගේ මව් වූ කාන්තාව තංගු හාමිට හා සීවලී මැණිකාට කෑගැවේ කාලය කා දමන එවුන්ට සේය..
"ආනේ,...නෝනේ..මේ තමයි අර රං මැණිකාගේ බාල කෙලී..වැඩට කෙනෙක් නෝනා සොය සොය හිටි නිසා මේං මේකි කැමති වුනා එන්ට..කැතරින් නෝනත් මේකිව එක්ක එන්නය කියලා මට කළුහාමි අතේ පයිණ්ඩේ එව්වා.."තංගු හාමි තම උරපතෙහි දමා තිබූ තුවායද දෑතෙන්ම අල්ලාගෙන හතරට නැමී දයාසීලිට පවසන්නට විය..
"ආ උබ වරෙන් බලන්න.."පසෙක සිටගෙන සිටි සීවලී මැණිකා දෙස බැලූ ඇය..එන්නට පැවසුව කල සීවලී මැණිකා ඇය දෙසට යන්නට විය..
"නම කිව්වනම් මේකිගේ..!"දයාසීලී සීවලීගේ මුවඟ මත දෑස් යවා ඇය දෙස බැලීය..
"සීවලී මැණිකා..!"සීවලී මැණිකා මිමිණීය...
"හයියෙන් කියාපන්.."
"ස් සීවලී මැණිකා.."තම රෙදි පොට්ටනිය ඇගේ පපුවටම තදකර ගත් ඇය පවසන්නට විය...
"අම්මා!,"රතු පැහැ දිගු ගවුමට කෙස් කළඹ කඩා හැලෙන්න දමා සිටි කැතරින් රුවැත්තියකි..හෙමි හෙමින් තංගු හාමි දෙසද තම මව්තුමිය දෙසද බලා පසුව සීවලී මැණිකාට දෑස හැරවූ කැතරින් දුටුවේ තමා සඳුදා දිනයේ වෙල්යාය අද්දරින් ඇවිද යද්දි සරුංගලයක් බේරාගන්නට පොඩි කොල්ලෝ කුරුට්ටෝ පස් හය දෙනෙක් වට කරගත් සීවලි මැණිකාය..
කැතරින් ආඩම්බරකාර වුවද කරුණාවන්තය..ඇය වෙල්යාය අද්දරින් බැස ගෙන ගඟට බොහෝ සේ ප්‍රියැත්තියකය..
යම් දිනෙක ඇය දිටියේ,..තෙත් වුණු හැට්ටය අතරින් පිටතට නෙරා ආ සීවලියගේ පපු ප්‍රදේශය හා හීනි ඉඟටියය..මල් මල් චීත්තයෙන් බේරී පිටට පෙනුනු තලෙලු දෙපරැන්ද අතර ඇගේ නෙත නතර විය..බොහෝ වෙහෙස වී රෙදි පොටවල් සෝදාගෙන වට්ටියෙහි ලා ඉඟටියට තද කරගත් ඇය එසැනින්ම මහා විසල් ගසකට මායිම් වී නොපෙනී ගියාය..කැතරින්ගේ සිත මෙලොක් වන්නට හේ කල්ප කාලයක් නොගියහ,දුටු පමණ ඇගේ වෙහෙස මාන්සිය කැතරින් හට නොකියා ගන්නට බැරි වේදනාත්වයක් ඉතිරි විය..සුමුදු සිනිඳුවට තිබිය යුතු එම දෙකකුලේ,වණය..දෑතෙහි කරගැටය..විඩාබර දෑස නිද්‍රාව සොයන බව කැතරින්ගේ මෙලොක් හදවතට තේරිණ..
"තංගු හාමි නෙවැ මේ,..කවුදැයි මේ හිමිච්චි.."කැතරින් තම දෑත පිටුපසට කර වෙලා ගත්තාය..
"සීවලී මැණිකා!" සීවලී මැණිකා කැතරින් දෙස දෑස යා කරද ඇගේ හිසට පහරක් වැදිණි..
"තොට කොයින්ද පාහරියේ අපේ කැතරින් නෝනා දිහා ඔය මැටි ඔළු ගෙඩිය උස් කරලා බලන්ඩ තරම් හයියක්.."දයාසීලි කෑ ගැසුවේ සීවලී මැණිකාට තරමක පහරක්ද දීමය..
"හා හා අපේ අම්මට පිස්සුද..ඔය අහිංසක කෙල්ලට තඩි බාන්ඩ.."කැතරින් ඇගේ දෑතෙන් දයාසීලිගේ දෑත අල්වා නැවැත්තුවාය..
"පලයන් ගෙට..ගිහින් අර කුස්සියේ වැඩක් පලක් කොරගනින්..."දයාසීලි කෝප දෑසින් යුතුව සීවලී මැණිකාට බැන වැදුණේ,..තංගුහාමි තුවා පොටෙන් දෑස පිසදාගනිද්දිය...
"පලයන් සීවලියේ !,"තංගු හාමි ඇයව අස් වැසුවේ,මවත් නැති දියණිය දැන් තවත් තනිවෙද්දිමය..දයාසීලි හා තංගුහාමි වෙල දිහාවට කතිකා කරගෙන යද්දි කැතරින් හා සීවලී මැණිකා තනිවිය..
"සීවලී මැණිකා නෙවැ නම,..මං මැණිකා කියන්නම්.."කැතරින් සීවලී මැණිකා දෙස බැලී පැවසී හෙයින් සීවලී මැණිකා සිනාසීය..
"මොකෑ උබ හිනාවෙන්නේ කිව්වනම්..මැණිකෝ!.."
කැතරින් සීවලී දෙස බලා තම දෑස විසල් කරගත්තේ,"නෝනා රාස්සිගේ පෑවිල්ල වෙලාවෙත් මං ගඟේ නාන දොහේ බලා ඉඳි වග මතක් වුණා..මං හිතුවේ නෝනා යාවිය කියලා,..ඒත් නෝනා ගියේ නැති කළ මට නෝනා ගැන සාංකාවක් හිතුණා..කට්ට කර පෑවිල්ලේ නෝනා මා දිහා බලන් ඉද්දි නෝනා පිච්චෙන වග දැන ගත්තම,මම රෙදි ටිකත් උහාගෙනම පැල් කොටේට යන්ට ගත්තත් නෝනා කරේම මා දිහා බලන් උන්නු එකමනේ.."සීවලී මැණිකා සිනා සී කැතරින් දෙස බැලුවේ කැතරින් කියන සුනංගුවටම මුවඟ රතු පැහැ කරගද්දිමය..
"උබනම් මහ අම්මණ්ඩි කෙනෙක්මයි..ඇරපු අතක් නෑ.."කැතරින්,සිනාසී සීවලී මැණිකාගේ දෙකොපුලක් නොරිදෙන්නට තද කර සීවලී මැණිකාව ගෙතුළට රැගෙන ගියාය..සීවලී මැණිකාටද කවදාත් නොලැබුණු සුන්දර සිනහවක් කැතරින්ගේ සිනහව මතින්ම ඇය පිදීය...නමුදු කැතරින් හට යමක් අමතක වීය,..කිමක්ද යත් ඇගේ සොඳුරු වූ සිනහව ඇය මීට පෙර තම මුවඟෙන් විසි කර දැමූ බවය...
හිතුනට ලිව්ව කතාවක්....
මොකද හිතෙන්නේ..😁❤️
පසුව ලියමි...
මේ කතාව මුලින්ම short story විදියට එක chapter එකක් විතරයි ලිව්වේ,..
පස්සේ කතාව දිගටම continue කරන්න
කියලා ඉල්ලපු නිසාම දිගටම ලියන් යනවා.. අනිත් chapter එකේ ඉදන් තමයි මුල්ම කොටස පටන්,ගන්නේ..❤️🤗
ස්තූතියි..