කැම්පස් කාලෙත් එවර වෙලා මට නුවරට ගුරු පත්වීම හම්බුනාම මට දැනුනෙ අමුතුම වේදනාවක්... හරියට මම තවත් තනි උනා වගේ...
නුවර යන්න සතියකට විතර කලින් එක දවසක හවස මම මිදුලෙ තිබුන බංකුවෙන් වාඩි උනේ මාර ගහේ ආදරෙන් පෙම් බස් හුවමාරු කර ගන්න කුරුළු ජෝඩිව දිහත් බලාගෙන... උන් දෙන්න එහෙට මෙහෙට පියාබ පියාබ ඔවුන්ගෙ සතුට හුවමාරු කර ගන්නවා... පැය භාගයක් වගේ මම එහෙම උන් දෙන්න දිහා බලාගෙන ඉන්න ඇති...
ඔය අතරෙදි තාත්තා මං ගාවින් ඇවිත් වාඩි උනාම මම මගෙ ඇස් තාත්තා ගාවින් නතර කර ගත්තා...
" දුව "
" තාත්තා "
" මට දුව එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද "
" පුළුවන් තාත්තා මොකක් හරි ප්‍රශ්නයක් ද "
මම එහෙම ඇහුවම තාත්තා නලල අතින් පිරිමැද්දා... තාත්තා එහෙම ඇහුවේ ලොකු දෙයක් ගැන කතා කරන්න කියලා මම දන්නවා... මොකද තාත්තා ලොකු කතාවකට මුල පුරන හැම වෙලාවකම මට දුව කියලා කතා කරන්නත් අනිත් වෙලාවට සුදු දෝණි කියලා කතා කරන්න පුරුදු වෙලා හිටියා...
" ඔය තාත්තගෙ අතේ තියෙන්නේ මොනවද "
" දුව මේක අහලා කලබල වෙන්න එපා... ඉවසීමෙන් අහන් ඉන්න..."
" හරි තාත්තා කියන්නකො "
" සාරාව නැන්දා රට ගෙනිච්චෙ නෑ දුව "
" මොනාද තාත්තා ඔයා කියන්නෙ? කෝ එතකොට මගෙ සාරා "
මම එහෙම ඇහුවම තාත්තා ලොකු හුස්මක් පිට කරා... මගෙ හිත දැනුනෙත් අමුතුම හැගීමක්...
" ඔයා හුස්ම ගන්න හදවත එයාගෙ දුව "
" ත්... තාත්තා... "
" ඔව් දුව ඔයා දැන් හුස්ම ගන්නෙ සාරාගෙ හදවතෙන්. ඔයාට අමාරු උන වෙලාවේ එයා අපිටත් නොකිය එයාගෙ හදවත ඔයාට දීලා. අපි ඒක දැන ගන්න කොට පරක්කු වැඩියි දුව. එයාගෙ අනිත් අවයවත් එයා ජීවත් වෙන්න ආස මිනිස්සුන්ට පරිත්‍යාග කරලා. ඔයාගෙ ඔපරේෂන් එකට දවස් දෙකකට විතර පස්සෙ මට ඔයාව භාරව හිටපු ඩොක්ටර්ව හම්බුනා. ඒ වෙලාවෙදි තමයි මාත් මේක දැන ගත්තෙ. මේ තියෙන්නේ එයා දන් දීපු දේවල් වල පේපර්ස්. තව මෙතන ඔයාට දෙන්න කියලා එයා කියපු ලියුම් දෙකකුත් තියෙනවා. "
තාත්තා ඒ ලියුම් දෙකත් මගේ අතට දීලා එතනින් යන්න ගියා... තාමත් ඇස් වලින් පාලනයකින් තොරවම එක දිගට කදුළු කඩන් වැටෙනවා... කඳුළු අතරින්ම මම එක ලියුමක් දිග ඇරියා... ඇස් බොඳ වෙලා ඒ අකුරු පැහැදිලිව පේන්නෙත් නැති තරම්...
මිහී,
මං දන්නවා ඔයා මේක කියවද්දි මං මේ ලෝකෙ නැහැ කියල. ඒත් දන්නවද මට හුගාක් සතුටුයි. ඒ මට ඔයාගෙ ගැඹුරුම තැනේ දිගටම ඉන්න නවාතැනක් හම්බුන නිසා. මගෙ පුංචි දග කෙල්ල දැන් අඩන එක නවත්තන්න. ඒක මට හුගක් දැනෙනවා. හදවත රිදෙනවා වගේ. දැනෙනවද ඔයාටත් ඒක. මෙච්චර කාලයක් මේක ඔයාට නොකිව්වට සමාවෙන්න. මං ඔයාට හුගක් ආදරෙයි. ඒ යාළුකමකටවත් සහෝදරකමකටවත් නෙවෙයි. මට ඔයාව කවදාවත් ඒ විදියට දැනුනෙ නෑ. එහෙම දැනුනෙ ඇයිද කියන්නත් මං දන්නෙ නෑ. ඒත් මගෙ හිතට පළවෙනි වතාවට ආදරයක් කියලා දෙයක් දැනුනෙ ඔයා ගැන විතරයි. ඉතින් ඒක නිසාම වෙන්න ඇති මං මේ වගේ තීරණයක් ගන්න ඇත්තෙත්. කොහොම උනත් මං හුගක්ම සතුටින් මේ තීරණේ ගැන. ඔයාට තව කොලයක් හම්බවෙයි. ඒක මගෙ දිනපොතෙන් ඉරා ගත්තු කොටසක්. මට ඉතුරු උනේ ඒ කොළ කෑල්ල විතරයි. ඔයාට ඒක කියවද්දි මොනවා හිතෙයිද කියලා මං දන්නවා. සමහරවිට ඔයා ඔයාටම වැරැද්ද පටව ගනියි. ඒත් ඇත්තටම ඔයා වැරදි නෑ. ඒක අපේ දෛවය. මේක මේ විදියට උන එක හොඳයි. දැන් මට ඔයා එක්ක හැමදාටම ජීවත් වෙන්න පුළුවන්. ඔයත් සතුටින් ඉන්න ඕනි හැමදාටම. මං ඔයාට හැමදාම ආදරෙයි.
සාරා.
ඇස් වලින් එකපිට කඳුළු ගලන් යද්දි අතේ තිබුන ලිවුම අල්ල උඩම පොඩි කරන් පපුවට හේත්තු කර ගත්තෙ අමාරුවෙන් මම හුස්ම ගනිද්දි. කෑ ගහලා අඩන්න ඕනි උනත් කිසිම වචනයක් මගෙ කටින් එදා පිට උනේ නෑ.
______________________________________
එයාගෙ දිනපොතේ තිබුන කොලේ ලියලා තිබුනෙ එයා මට ආදරෙයි කියලා කියන්න ආපු වෙලාවෙ වෙන කෙනෙක් මගෙන් කැමැත්ත අහපු එක ගැන.
ඒත්... ඇත්තටම මට ඔයාට කියන්න පුළුවන් උනා නම් එදා මං ඒ කෙනාගෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ඔයා වෙනුවෙන් බලන් හිටියා කියලා... එහෙනම් අපේ කතාව හුගක් දුරට වෙනස් වෙන්න තිබුනා නේද?
ඔව් සාරා... මාත් ඔයාට ආදරේ කලා...
අපි හුගක් පරක්කුයි... ඒත් ඔයා තාමත් මං ගාව හරි පරිස්සමට ඉන්නවා කියලා දැනුනම මට ජීවත් වෙන්න ආස හිතෙනවා... මේ බලන්න මේ ඉන්නෙ මගෙ ලෝකෙ... ඔයා ආස කරපු විදියටම මං හොඳ කෙනෙක්ව මැරි කරා... මේ ඉන්නෙ අපෙ පැටියා... මං මගෙ පැටියට දැම්මෙත් ඔයාගෙ නමමයි සාරා... එයත් ඔයා වගේමයි... මං ගාවම දැවටි දැවටි ඉන්නවා... හරියට... ඔයා ඒ කාලෙ මගෙ ලගින්ම හිටියා වගේ....
එයාගෙ සොහොන ලගට වෙලා හිටපු මායි සාරායි නැගිට්ටෙ මගෙ කඳුළුත් එක්කම හිමින් පටන් ගත්ත පොඳ මහ වැස්සක් උන නිසා.... මං එයාට පොරොන්දු උනා හැමදාම එයාව පරිස්සම් කරනවා කියලා... අන්තිම වතාවටත් සොහොන දිහා හැරිලා බලපු මගෙ තොල් අතර රැදුනෙ " හැමදාමත් මං ඔයාට ආදරෙයි " කියන වචන පේළියයි.
~ නිමි ~
හායි... 🌺
කතාව කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.... පොඩියට හිතුනු කතාවක් ආසාවට ලිව්වා.... 🥀☺️