මන්දාරම් හැන්දෑව
පළමු දිගහැරුම
ආගෝස්තු පාසැල් නිවාඩුව අවසන් වීමට ඇත්තෙ තව දින කිහිපයකි.කුඩා කලනම් පාසැල් නිවාඩුව අවසන් වෙනවාට මා තුළ වැඩි කැමැත්තක්නම් වූයේ නැත.මක් නිසාද යත්,නුවාඩු සමයේ යහළුවන් සමඟ දුව පැන කල සෙල්ලම් අපමණය.උදෑසනින්ම ඔවුන් සමඟ කෙලිලොල් ව නිවසෙන් පිටවෙන මා නැවත පැමිණෙන්නේ අම්මා කෝටුවකුත් කඩාගෙන පැමිණියහොත් පමණි.එතෙක් මම ඔවුන් සමඟ රිසි සේ විනෝද වන්නෙමි.ඈතින් අම්මා පැමිණෙනු දැකීමත් සමඟ බියවී පසෙකට වන්නේ ඇය මට කෝටුවෙන් පහර දේ යැයි ඇති බිය නිසාවෙනි.නමුත් ඇය කිසි දිනෙක මට පහර නොදුන්නාය.එනමුදු ඇගේ මුවින් මා හට බැනුම් කෝටියක් පිටවිය.මන්ද සෙල්ලමට ඇබ්බැහි වූ පසු,කෑම බීම පවා මා හට අමතකවන නිසාවෙනි.ඇය එයම පවසා නිරන්තරයෙන් මට වචනයෙන් පහර ගැසුවා.නමුත් කුඩා වයස නිසාවෙන්,එය මා හට කරදරකාරී,දුක් බර සිදුවීමක් වූවා මිසෙක ඇය පවසන දේ සත්‍ය පිළිබඳවනම් කිසිදා කනකට නොගත්තෙමි.නමුත් අද ඊට හාත්පසින්ම වෙනස් ය.වයසත් සමඟ කුඩා කල කළ කී දෑ අපෙන් ඈතට ගොස් ය.ගමේ උන් මිතුරන් හමු වූයේද ඉඳ හිට ය.බොහෝ දේ අපෙන් ඈතට ගොස් හමාරය.වයසින් මුහුකුරා යෑමත් සමඟම හිස මත පැටවෙන බර එකිනෙක වැඩිවෙනවාත් සමඟ,අපද එයට හැඩගැසුණා මිසෙක කුඩා කල මෙන් අපට ඕනි ආකාරයට රිසි සේ ජීවත් වීමට නොහැකිය.තව අවුරුද්දකින් උසස් පෙළ විභාගය පැවැත්වෙනු ඇත.ඒ සඳහා සූදානම් වීම මා දැනටමත් ආරම්භ කර ඇතිමුත්,පාසල් ජීවිතයේ අවසන් වසර මේ නිවාඩුවෙන් පසුව උදාවෙන බව සිහිවෙන විට හිතට විශාල දුකක් දැනේ.මන්ද,වසර 13ක ඒ සුන්දර පාසල් සමයෙන් පසුව,අප මීටත් වඩා ඒකාකාරි කාර්‍යබහුල ජීවිතයකට පා තබන නිසාවෙනි.විටෙක කුඩා කාලයට යන්න තිබුණානම් හොදයැයි සිතේ.නමුත් මා අතීතයේ ජීවත් වීමට අකමැති විය.මක් නිසාද යත්, මා ද දැන් මේ ජීවිතියට හුරුවී,එහි ජීවත් වූ නිසාවෙනි....
" පුතා,හවස පන්සල් යන්න ලෑස්ති වෙන්න "
" හදිසියේම ඇයි අම්මේ "
" අක්කට දරුවා ලැබෙන්න දින තියෙන්නෙ මේ එන සතියෙ 6 වෙනිදානෙ පුතේ.ඉතින් ඒකට හවස බෝධි පූජාවක් තියෙනවා.පුතා මල් එහෙම කඩාගෙන,නාලා කරලා ලෑස්ති වෙන්නකො හිමීට "
" හරි අම්මේ..වැවට ගියානම් නෙලුම් කඩාගෙන ආවැකි.මං යන්නද "
" හා.හැබැයි පරිස්සමට හරිද "
" හරි අම්මේ "
ලොකු අම්මාගෙ දුව උනත්,එයා මගේම අක්කා හා සමානයි.මොකද අක්කයි මායි පොඩි කාලෙ ඉඳන්ම එකට හැදී වැඩුනෙ.මගෙම කියලා සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නැති මට අක්කා මගෙම සහෝදරියක් හා සමානව ආදරේ කලා.ඒත් අක්කා විවාහවෙලා ගෙදරින් ගියාට පස්සෙ අපි ටිකක් ඈත් උණා.එයා හැබැයි ගෙදර එන හැම දවසකම මාව බලලා යන්නනම් අමතක කලේ නෑ.අක්කා ප්‍රෙග්නට් කියලා දැන ගත්ත දවසෙ මට ගොඩක් සතුටු හිතුණා.මොකද මමත් දැන් මාමා කෙනෙක් 🙊🙈
මම වැවට ගිහින්, වැව් ඉස්මත්තේ අතින් කඩාගැනීමට හැකි තරම් වූ ඈතින් පිහිටි නෙලුම් පොහොට්ටු පරිස්සමට කඩා ගත්තා.මුලු වැව සිසාරාම නොගැඹුරු තැන් වල නෙලුම් වලින්නම් අඩුවක් වූයේ නැත.රතු නෙලුම් මෙන්ම සුදු නෙලුම් ද තරඟෙට පිපී තිබුණි.මා මෝරපු නෙලුම් පොහොට්ටු වර්ග දෙකෙන්ම කඩා ගත්තා.රතු නෙලුම් වලට වඩා මගෙ කැමැත්ත තිබුණේ සුදු නෙලුම් වලට.ඒ මගේ ප්‍රියතම පාට සුදු වූ නිසා වෙන්නට ඇත.දෝත පුරාවටම නෙලුම් පොහොට්ටු කඩාගත් මම නැවත ගෙදර එන්නට උණෙමි.ගෙදරවිත් නාගෙන නැවත නෙලුම් පොහොට්ටුවල පෙති දිග අරින්න පටන් ගත්තා.යට වූ ලා කොල පැහැති රළු නෙලුම් පෙති දෙක තුන ඉවත් කර,ඉතිරිය ඉතාම පරිස්සමෙන් දිගැහැර රතු නෙලුම් වෙනම මිටියක් ද,සුදු නෙලෙම් වෙනම මිටියක් ද සාදා පැන් ඉස පසෙකින් තැබුවෙමි..
හවස 5හේ හෝරාවට පමණ අම්මා ද මම ද ලොකු අම්මලා ද පන්සල් යෑමට පිටත් වුනෙමු.අක්කාට ඇවිදීමට අමාරු නිසා,ලොකු අප්පච්චි ත්‍රී රෝද රථයේ අක්කා සමඟ කලින්ම පිටත් වෙලා තිබුණා.එතරම් දුරක පන්සල නොවූ නිසා අපි ඉක්මනින්ම පන්සලට ගියා.අපි යන විටත් තවත් මිනිස්සු කීපදෙනෙක් පැමිණ සිටි අතර,මා ඔවුන් මීට පෙර දැක තිබුණේනම් නැත.මා අම්මාගෙන් විමසූ විට ඇය මා හට පවසා සිටියේ,ඒ සිටියේ ගමේ පාසලේ විදුහල්පතිගෙ පුතාලා දෙදෙනා හා එකම දුව බවයි.ගමේ වුවද ඔවුන් නම් මා මීට පෙර දැක තිබුණේ නැත.අම්මා පැවසුවෙ,ඔවුන් කුඩා කළ මෙහි නොසිටි බවත්,නගරයේ පාසලකට ගිය නිසා ඔවුන්ගේ සීයලාගෙ ගමේ ඔවුන් සිටි බවය.පුතාලා දෙදෙනෙක් යැයි කීවද එතන සිටියේ එක් හැඩි දැඩි තරුණයෙක් හා සෑම විටම මද සිනහවක් මුවගේ රැඳුණු සුන්දර තරුණියක් පමණි.ඈගේ සිනාව නිසා කාගෙත් සිත් ඇදගන්නා බවක්නම් දක්නට ලැබුණි.උඩඟු/ආඩම්බර බවක් දක්නට නොලැබීමට එය හේතුවක් විය.
අපි රැගෙන ආ මල් වලින් කොටසක් චෛත්‍යට පූජා කර එහි වූ පහන් වැටෙහි පහන් දල්වා අක්කාට සෙත් පැතුවෙමු.ඉන්පසු පැන් කළ කිහිපයක් ද සෝදා පැන් පුරවාගෙන බෝ මළුව වෙත ගියෙමු.අක්කාගෙ පැන් කළයද මම රැගෙන ගොස් බෝ මළුවේදි එය ඈ අත තැබුවෙමි.බෝධිය වටා වට තුනක් ගමන් කර පසුව පැන් කළයෙහි වූ පැන් වලින් බෝධිය නැහැවුවෙමු.එහිද වූ පිළිම වහන්සේට මල් පහන් පූජා කොට,අවසානයේ විහාරගෙයට ගියෙමු.අඩවන් වූ දෙනෙත් වලින් අප දෙස බලා සිටින විහාරගේ වැඩසිටි සුවිල් බුදු පිළිම වහන්සේට මල් තමා වන්දනාමාන කොට එහි පසෙකින් වාඩිවුණේ බෝධි පූජාව පටන් ගැනීමට හාමුදුරුවො වැඩ සිටි නිසාවෙනි.අක්කාට බිම වාඩිවීමට නොහැකි නිසා,දාන ශාලාවෙ තිබූ කුඩා ලී පුටුවක් ගෙනවිත් මා අක්කාට දුන්නෙමි.අනෙක් සියලු දෙනා විහාර ගේ බිම වාඩිවී සිත් පහන් කර ගන්නට වුණි..
රාත්‍රී 7.30 පමණ වන විට බෝධි පූජාව අවසන් වූ අතර අප ගොස් පිරිත් නූල් බැඳගෙන හාමුදුරුවන් වහන්සේටද නමස්කාර කොට විහාර ගෙයින් එළියට පැමිනියා.එහි ඉවත අර තරුණයා හා තරුණියද පෙර නොසිටි මදක් සිහින් සිරුරක් හිමි සුදු ඇඳගත් අයෙකුද එහි විය.මුහුණ පුරා තිබූ රැව්ල එක ගානකට කොටට කපා තිබු අතර ඔහුද අර තරුණිය මෙන්ම පියකරු විය.මුහුනේ රැඳී තුබූ සිනහව පහන් ආලෝකයෙන් ලාවට දිස් වූ අතර,පියකරු සිනහවක්නම් ඇති බව මා හට හොඳින්ම පෙනුණි.මදක් ඔහු දෙස බලා සිටි මා නැවත දුව ගොස් අම්මලා හා එක්වුනෙමි.ලොකු අම්මා හා අම්මා අක්කා ගැන පවසමින් ගමන් කළ අතර,මා ඔවුනට පිටු පසින් අවට වූ කණාමැදිරි එළි දෙස ඉමහත් වූ උනන්දුවකින් බලමින් ගමන් කරන්නට වුණි.පඳුරු අතරේ උන් පුංචි කණාමැදිරියන් සුළඟට කොල සෙලවෙනවාත් සමඟ එකිනෙකා සමඟ ඈතට පියාඹන්නට විය.එය ඉතා සුන්දර දසුනක් වූ අතර,ගමෙන් පිට අයෙකුටනම් එය දැක බලාගැනීමට ගමකටම පැමිණිය යුතුමය.දුශ්කර වුවත්,ඇතැම් විටෙක ගම හා බැඳුණු ජීවිතය කෙතරම් නිදහස්,අලංකාර එකක් ද කියා නිම කිරීමට නොහැකි තරම් ය.ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ඉතාම හොඳින් බැඳුණු බැඳීමක් බව ගමක ජීවත් වෙන ඕනෑම අයෙකුට වැටහෙනු නිසැකය.නමුත් කාලයත් සමඟ බොහෝ දේ අප ගමක ජීවත් වුවත් අපෙන් ඈතට යන බවනම් කිව යුතුම කරුණකි.එදා අපේ අම්මලා අත්විඳ තිබු ඒ ගැමි සුන්දරත්වය අපට අද දක්නට නොලැබුණ ද,විටෙක ඔවුන් ඒ පවසන ඔවුන්ගේ අතීත කතා නිසා අපටත් ඒ කාලයේ ඉන්න තිබුණානම් කියා නොහැඟෙන අයෙක් නැතුව ඇති.ඒ නිදහස,ඒ සුන්දත්වය ඒ අයුරින්ම නැතත්,අද වන විට මදක් හෝ ඉතිරි වී ඇති ගැමි සුන්දරත්වය දිනෙන් දින අපගෙන් ගිලිහෙණු දැකීමනම් දුකට කරුණකි.
ලොකු අම්මලාගෙ ගෙදර හා අපේ ගෙදර එකම වත්තේ පසෙකින් තිබූ අතර,ගෙවල් දෙක වත්ත කෙලවරට වන්නට සාදා තිබුණි.අපි ලොකු අම්මලාගෙ ගෙදරට ගොස් පසුව නැවත අපෙ ගෙදර බලා ආවෙමු.අම්මා හවස රෑ කෑම පිළියෙල කර තිබූ නිසා,තිබූ බඩගින්නත් හේතුවෙන් අම්මාට පවසා බත් බෙදාගෙන වැරැන්ඩාවේ වූ හාන්සි පුටුවකට වී කෑම කන්නට පටන් ගත්තෙමි.
" ගේ ඇතුලට ඇවිත් කන්න දරුවො.මොකද ඔය සීතලේ එළියට වෙලා "
"මෙහෙම හොඳයි අම්මේ..."
" කියන දෙයක් අහන දරුවෙක් නෙවෙයිනෙ.ආ මට බෙදන්න බැරි වුණා.අච්චාරු තියෙනවා ලොකු අම්මා එවලා "
" එපා අම්මේ...මං එච්චර ආස නෑනෙ ඕවට "
විනාකිරි රසට වැඩි කැමැත්තක් නොවූ නිසා සිංහල අච්චාරු වලට මගෙ වැඩි කැමැත්තක් වූයේ නැත....
කෑම කා අවසන් වූ පසු,කාමරයට ගොස් පොතක් ගෙන පෙර දින පංතියේ කරන ලද භෞතික විද්‍යාව විශයෙහි විද්‍යුත් ක්ශේත්‍ර සඳහා වූ පසු ගිය වසරවල වූ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට පටන් ගත්තෙමි.භෞතික විද්‍යා විශය මා හට අච්චාරු හා සමානය.ඇතමෙක්ගෙ ප්‍රියතම විශය භෞතික විද්‍යාව වූ නමුත් මටනම් එය එසේ නොවීය.ගණන් සෑදීමට මදක් කම්මැලි නිසා,මට එය එසේ දැනෙනවා වන්නට ඇත.නමුත් එය අත් හැරීමට නොහැකි නිසා,අනෙක් විශයන් දෙක හා සමානව එයත් මා පවත්වාගෙන ගියෙමි.නමුත් එය මට කරවිල හා තිත්ත විය.අම්මා කුඩා කල බලෙන් මා හට කරවිල කවන වා සේම ගුරුවරු භෞතික විද්‍යාව නමැති කරවිල බලෙන් හෝ සිසුනට කවන්නට විය...
පාසල් නිවාඩුවට පෙර භෞතික විද්‍යාව සඳහා සිටි ශානිකා ගුරුතුමිය ස්ථාන මාරුවක් නිසා වෙනත් පාසලකට ගියාය.ඇය ටිකක් සැර වුවද,ලමයින්ට බොහෝ ලෙංගතු ගුරුවරියක් විය.අලුත් ගුරුවරයෙක් ඒ සඳහා පැමිණිය යුතුව ඇත.නමුත් එය දැකගැනීමටනම් පාසල ආරම්භවන තෙක් සිටිය යුතුය.පැය කිහිපයක් පාඩම් වැඩ කළ මා පොත් පසෙකින් තබා අද දවසේ මා සිදුකල විශේශ දෑ දින පොතෙහි සටහන් කරන්නට වීමි.නමුත් එහි එක් තැනක පන්සලේ සිටි ඒ පියකරු තරුණයා ගැනද ඉබේටම මෙන් ලියවී තිබුණි.ඔහු මගේ ජීවිතයට විශේශ අයෙක් වූයේ කෙසේදැයි මා නොදන්නා මුත්,ඔහු දින පොතෙහි එක් පිටුවකට හිමිකම් කී අවසන් ය.දින පොත මගේ ජීවිතය වූ අතර,එයින් අදහස් වන්නෙ ඔහු මගේ ජීවිත කතාවෙහි එක් පරිච්ඡේදයක් අත් පත් කරගෙන මාගෙ ජීවිතයට ඇතුල් වී ඇති බවද ?
හායි guys 🙊 අලුත් ටයිප් එක්කට එකක් ලියන්න හිතුනා.මොකද මේ ටයිප් එක තමයි මගේ ආසම ටයිප් එක.මොකද කියන්න දන්නෑ.ඒත් ඉස්සර මිනිස්සු මෙහෙම ඉන්න ඇති කියලා මට හිතෙනවා.ඒ පරණ කාලෙ වගේ කතාවක් ලියන්න මං ගොඩක් ආසාවෙන් හිටියෙ.භාෂාවනම් හසුරුවන එක ටිකක් අමාරුයි.මොකද ol වලින් පස්සෙ අද වෙනකොට අවුරුදු තුනක් ගෙවිලා ගිහින්. ඉතින් සිංහල ව්‍යාකරණ පාවිච්චි උනේම නැති තරම්.ඒත් මං හිතනවා පොඩි හරි සාදාරණයක් වෙන්න ඇති කියලා.මට ඕනි මේ කතාවෙන් කියවන එක විතරක් නෙවේ,හිතේ ඒ කියවන කතාව මැවෙන විදිහට ලියන්න.මං හිතනවා අද පටන් ගැන්මෙන් ටිකක් හරි ඒ වගේ ලියන්න පුලුවන් වෙන්න ඇති සහා ඉදිරි කොටස් වල එය තවත් ඒ විදිහටම ලියන්න පුලුවන් වෙයි කියලා.ඉතින් ඔයාලාම තමයි කියන්නඕනි මේ විදිහේ කතාවකට කැමතිද සහ ඒ වචන වලට කැමතිද,හිතට දැනෙන කතාවක් වෙයි කියලා හිතෙනවද කියලා.ඉතින් ඔයාලගෙ අදහස් පහළින් කමෙන්ට් කරන් යන්න.තවත් පෙරවදනකින් යළි හමුවෙන තුරු,
මම xenn~