උදේ වෙනකන් ම මන් මේඝගේ රූම් එකට නොගිහින් එළියට වෙලා බලන් හිටියේ හිත හදන් ඇතුළට යන්න බැරි හින්දා... රූම් එක ඉස්සරහම තිබුණ පුටු පේළියේ වාඩි වෙලා මායි ලපෙයි දෙන්නම මුළු රෑ පුරාම එක එක ඒවා කල්පනා කළා...
"උඹට ශුවර්ද.. බම් ඒ ලුණු කියලා.."
"ඔව් මනුස්සයෝ... ලුණු තමයි ඒ.. මන් චුට්ටක් දිව ගාලා බැලුවා.. ලුණු තමා බන්..."
"ඒ උනාට බන් ඕවා ශුවර් නෑ එහෙම.. කෝකටත් ගෙදර ගිහින් බෝතලේ අරන් බලමු..."
"ඒකේ බලන්න මගුලක් නෑ මිනිහෝ මන් ඔක්කොම හලලා ඉවර වෙලා බෝතලෙත් හේදුවා.."
"නෙදකින් සතා.. පණ්ඩිත මගුල් නේ බන් කරන්නේ... "
"නෑ බන්.. මන් කරපු දෙයක් හින්දා නෙමේ.. ඇක්සිඩන්ට් වුණේ.. අනික රිපෝට්ස් වල තිබුණනේ ඩ්‍රග්ස් වගයක් ඇඟේ තිබුණා කියලා.. ලුණු කියන්නේ එහෙම එකක් නෙමේ නේ බන්..."
"හරි හරි ඒවා පස්සේ හිතමු මනුස්සයෝ.. දැන්වත් උබේ මනුස්සයව ගිහින් බලපන්.. මන් ගෙදර ගිහින් වොශ් එකක් දාන් එන්නම්.. පලයන් දැන්වත්.. "
යස්වි එතනින් ගියේ මේඝගේ කාමරේ දොර ඇරළා මාව ඇතුළට ම තල්ලු කරලා දාලා..
කළුකුමාරයා නිදිද කොහෙද.. එක කකුළක් බරවා හැදිලා වගේ බැන්ඩේජ් කරලා.. දුකත් හිතෙනවා අප්පා.. කොහොම හිටපු මනුස්සයෙක්ද.. මන් හෙමින් හෙමින් මේඝගේ ඇඳ ළඟට ගියේ සද්දේ ඇහෙන්නැති විදියට අඩි තියලා..
ඉර එළිය මූණට වැටිලා කාලභූතයගේ මූණ දිලිසෙනවා.. හනේ ඇත්තට හැමදාම මෙහෙම නිදාගෙන ඉන්නවනම් කොයිතරම් දෙයක්ද...
කෙල්ලෙක්ගේ වගේ ඒ ඇස් පිහාටු මාර දිගයි.. කොණ්ඩේ නළලට වැටිලා අමුතු හුරතල් පෙනුමක් ඇවිල්ලා.. මූණ නිකන් අඹලා වගේ.. මේ තරම් ළඟින් පැහැදිලිව භූතයගේ මූණ දැකපු පළවෙනි පාර මේ.. jawlines මාරම ශේප්.. ඇයි හත්තික්කේ මේ මනුස්සයා මේ තරම් ම පර්ෆෙක්ට් කරේ..
ලෙඩා බලන එක පැත්තකින් තියලා මන් කාලභූතයගේ මූණ දිහා බලන් හිටියේ වශීවෙලා වගේ.. විනාඩි කීපයක් මන් මේඝ දිහා භාවනා කරනවා වගේ බලාගෙන ඉද්දි.. මේ මනුස්සයගේ වැහිලා තිබුණ ඇස් දෙක එකපාරටම ඇරුණා.. දැන් හරිනේ අමාරුව.. යක්ශ මොඩ් එක ඔන් වෙයි ඉතින් දැන්.. සැක්...
මන් දිහා අමුතු විදියට උඩ ඉදන් පහළට බලපු කළුකුමාරයා අහක බලාගෙන මගේ පැත්තට අත දික් කරලා දබර ඇඟිල්ල එහෙම මෙහෙට කරේ හරියට මට ළඟට කතා කරනවා වගෙයි...
හෑහ්.. මොන මගුලකටද මට ළඟට කතා කරන්නෙ.. ඕන එකක් එකක් වෙච්චාවේ කියලා හිතාගෙන මන් ටිකක් නැවිලා භූතයගේ මූණ ළඟට ළං වුණේ හිතේ බයෙන්.. මොන ජවුසමකටද දන්නෑනේ...
මන් ළං වුණා විතරයි කාලභූතයා මගේ දිහා බැලුවේ නිකන් සතෙක් දිහා බලනවිදියට...
"තමුසෙට නෙමෙයි කතා කරේ.. අර ටේබල් එක උඩ තියෙන වතුර එක අරන් දෙනවා... "
මගේ කනට ළං වෙලා කින්ඩි හිනාවක් දාගෙන කළුකුමාරයා කිව්වාම.. අනේ සත්තයි.. මුගේ අනිත් කකුලත් කඩලා දන්නමයි හිතුනේ... ලැජ්ජාවේ සම්තෝසේ බෑ.. මාත් ගියානේ මෙතන රොමෑන්ටික් වෙන්න.. ශික් හොඳ වැඩෙ මට...
තනියම බැන බැනම මන් නැගිටලා ගිහින් ටේබල් එක උඩ තිබුණ ජග් එකෙන් වතුර එකක් අරන් කළුකුමාරයට දික් කළා..
තාම කින්ඩි හිනාව එහෙමමයි...
ගෝඩ් ප්ලීස් කිල් මී...
වතුර එක බීලා ඉවර වෙලා ග්ලාස් එක ඇඳ ගාවම තිබුණ ටේබල් එකෙන් තියලා කාලභූතයා කොට්ටේ යටින් ටැබ්ලට් එකක් ගත්තා...
"ගිහින් දොර ලොක් කරලා එනවා..."
ටැබ්ලට් එකට මූණ ඔබාගෙනම මිස්ටර් කළු කිව්වාම මගේ ඇඟේ ඉන්න ක්ෂුද්‍ර ප්‍රාණීන් පවා නොසෑහෙන්න කම්පනයට පත්වුණා කියල නම් මට හොඳටෝම තේරුනා..
යකොව් දොර වහන්න..
අර මොකටද.. අහන්නත් බෑ.. යකා ආවේස වුනොත් ඊට වඩා කේස් එක..
කමක් නෑ.. මොනා උනත් මනුස්සයනේ කියලා හිතාගෙන මන් ගිහින් දොර ලොක් කරලා ආයෙම ඇඳ ගාවට ආවා...
"වාඩිවෙනවා මෙතනින්..."
ඒපාර කලින් මන් වාඩිවෙලා හිටපු ස්ටූල් එක පෙන්නලම කළුකුමාරයා කිව්වා...
එන පොට නම් ඒ හැටි හොඳ නෑ රජෝ... මේක හරියට නිකන් ඔලුව හොඳට අත ගාලා හිස දෙබෑ වෙන්නම ටොක්කක් අනින්න හදනවා වගේ කේස් එකක්...
ඕන එකක් කියලා මාත් ස්ටූල් එකෙන් වාඩි වෙලා බලන් හිටියේ මේ භූතයගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා..
ටැබ්ලට් එකේ ඒ අතට මේ අතට ස්ක්‍රෝල් කර කර හිටපු කළුකුමාරයා එකපාරටම ඕඩියෝ එකක් ප්ලේ කරේ මගේ මොළෙත් එක්ක හිරිවැටිලා යද්දි...
"හාමතේ මැරෙන්න කලින්.. උබලා දෙන්නටම වහ දීලා මරවනවා මන් බලන් හිටහන්කෝ.. දවසක තොපි දෙන්නම නිදි ඇඳේ මැරිලා යන්නම දෙනවා හයි ඩෝස් එකකින් සුපිරි වසක්.. එක්කො ටික ටික මරවනවා.. හිටහම්කෝ.. අයියලා මල්ලිලා දෙන්නටම දෙන්න මන්.. හ්හ්.. මේ අවින්දිව සෙල්ලමකට ගන්න ආස ඇති..."
හත්තික්කේ ඒ මන් නේත...
මන් තමා ගිරිය පුප්පන් කෑ ගහන්නේ..
ඒත් මේක කොහෙන්ද මේ උලමා ගාව...
ආශ්... මොකක්ද මේ මනුස්සයා කරන්න යන්නේ.. එකම ක්ලිප් එක ආයෙ ආයේ රිපීට් කරනවා..
යකොව් මිනිහෝ ඒ මගේ කටහඬ තමයි..
මට කෑගහලා කියන්න හිතුනත් මන් අමාරුවෙන් කට පියන් බිම බලාගෙනම ඉදියා...
තුන් සැරයක් විතර ඕඩියෝ ක්ලිප් එක ප්ලේ කරලා ඉවර වෙලා පොර නැවැත්තුවත් මන් ඔලුව උස්සලා නම් බැලුවේ නෑ...
"මේකත් හොඳට බලනවා.. ඔලුව උස්සලා බලනවා ඉතින්..."
කළුකුමාරයා කෑගහපු හින්දම මන් ඔලුව උස්සලා ටැබ්ලට් එක දිහා බැලුවා..
කිරි ආච්චිට හත්තික්කේ... මුළු සරුවාංගෙම විනාඩි ගාණකට ඩාම් වෙලා ඩූම් වුණා සාම්ත...
ටැබ්ලට් එකේ තිබුණේ මන් ඊයේ රෑ අර කෑම ප්ලේට්වලට ලුණු හලන දර්ශනයේ සමීප ඡායාරූප පෙළක්..
මුට කොහෙන්ද මගෙ දෙයියනේ මෙව්වා.. දැන් මන් මොකත කරන්නේ.. කලබලේට ඔලුවට බොරු ඩවුන්ලෝඩ් වෙන්නෙත් නෑ..
භූතයා ටැබ් එක දික් කරන් ඉන්නවා මිසක් වෙන මගුලක් කියන්නෙත් නෑ.... මට හිතෙනවා මෙතන කලන්තේ දාලා වැටෙන්න.. ඇයි යකොව් එතකොට සීන් එක මිස් කරගන්න හරි පුළුවන්.. ඒත් බෑ මේ හිතක් පපුවක් නැති අමනුස්සයව ඒවගෙන් නවන්න බෑ...
මන් ආයෙම බිම බලාගත්තේ තවත් අර මගුල දිහා බලන් ඉදලා කරන්න දෙයක් නැති හින්දා..
"තමුසේ පිළිගන්නවද දැන් මන් ඇක්සිඩන්ට් වුණේ තමුන්ගේ වරදින් කියලා..."
"ඈහ්.. මොකාක්... ඒත්.. මන් මුකුත් කළේ නෑ...."
"හ්හ් එතකොට මමද මේ ෆොටෝස්වල ඉන්නේ ආආහ්...."
කළුකුමාරයගේ කටහඬේ සද්දෙ එකපාරටම වැඩිවුනේ මට මරණ බය ස්මරණය වෙද්දි..
"තමුසේ තමා මගේ කෑමවලට මොනා හරි දැම්මේ.. අනික එදා රෑ තමුන් ගෙදර කෑම කෑවෙත් නෑනේ.. කලින් ඉදන්ම තමුසෙට උවමනාවක් තිබුණා මගෙන් පළිගන්න.. ඕඩියෝ ක්ලිප් එකෙන් ඒක හොඳටම ඔප්පු වෙනවා.. අනික ගෙදරින් කෑම ගත්තට පස්සේ මන් වෙන මොකුත් ගත්තෙත් නෑ.. එහෙම බැලුවාම අනිවාර්‍යෙන්ම තමුසේ තමා මේ හැමදේටම මුල.. හ්හ් මන් මේක ලේසියෙන් අතාරින්නේ නෑ... "
"නෑ.. නැ.. නෑ.. නෑ.. නෑ.. අහන්න නෑ.. හරි මන් කෑම වලට අර දාන්නේ ලුණු.. ඔව්.. මේ.. මේ ෆොටෝ එකේ මන් දාන්නේ ලුණු.. වෙන මොකුත් නෙමෙයි.. සත්තයි... සත්තමයි..."
"තමුසේ කොහොමද ඔප්පු කරන්නේ...."
"ඉතින්.. ඉතින් මන් බැලුවනේ.. ආහ් නෑ.. ඔයාට කනකොට වෙනසක් දැනුනේ නැද්ද.... නිකන් කට කඩාගෙන යනවා වගේ ලුණු රහක්.. මුහුදෙන් බාගයක් කෑම එකට වැටිලා වගේ ෆීලින් එකක් ආවේ නැද්ද.. "
මන් පිස්සෙක් වගේ කියවන්නෙ මොනවද කියලවත් මට තේරෙන්නෑ හත්තික්කේ.. යකොව් මේ මිනිහා මාව හිරේ දායිද කියන්න බෑ.. එහෙව් මිනිහෙක් නේ...
මන් කොච්චර දේවල් කිව්වත් රවාගෙන මන් දිහා බලාගෙන හිටියා මිසක් කාලභූතයා වෙන මොකුත්ම කියන්නෙ නෑ...
ටිකක් වෙලා මට රවාගෙන ඉදලා කළුකුමාරයා ෆෝන් එක අරගෙන නම්බර් එකක් ඩයල් කළේ මන් බලාගෙන ඉදිද්දිමයි..
පොලීසියටවත්ද...
"හෙලෝ පන්සිළු වැඩේ කන්ෆර්ම්...මන්...."
කාලභූතයට ඉතුරු ටික සම්පූර්ණ කරන්න නොදීම මන් පැනලා ෆෝන් එක උදුරගත්තේ අනාගතේ ගැන මෙලෝ මලදානයක් නොහිතමයි...
"ප්ලීස්.. ප්ලීස්.. ප්ලීස්.. පොලීසියට කියන්න දෙයක් නෑනේ මෙතන.. අනික.. දෙයියනෙ... මන් ලුණු දැම්මේ.. ඔප්පු කරන්න විදියක් නැති උනාට මන් වරදක් කළේ නෑ.. ප්ලීස් ප්ලීස් ප්ලිස් තේරුම් ගන්නකෝ..."
මන් දිහා රවාගෙන බලන් හිටපු කළුකුමාරයා මගෙ අතෙ තිබුණ ෆෝන් එක උදුරලා අරගෙන බ්ලැන්කට් එකෙන් පිහදාලා ආයෙම කොට්ටේ ළඟින් තියාගත්තා...
"තමුසේ දන්නවද සාපරාධී ලෙස මිනීමැරීමට තැත් කිරීම යටතේ මනුස්සයෙක්ට හම්බෙන දඬුවම මොකක්ද කියලා... ඒ විතරක් නෙමෙයි.. තමුසෙට ෆයිල් කරනවා නම් තව කේස් ගොඩක් තියෙනවා...."
මුගේ ආච්චිට යකොව් මිනීමරන්න...
හත්තික්කේ... මේ මිනිහගේ කකුල නෙමෙයි කට කැඩිලා යන්න තිබුණේ අපරාදේ..
අනික මේ මිනිහා මගේ කසාද මනුස්සයා වෙච්චි එකේ මූව මරලා දැන්ම කනවැන්දුම් වෙන්න ආසාවක් මේ තරුණ මට තියෙවි කියලා නිකමටවත් හිතන්න පුළුවන්ද..
කොහෙද යන පිස්සු යකෙක්.. ශික්..
"මොකද තමුසේ කියන්නෙ.. වැරැද්ද භාරගෙන දඬුවම අඩු කරගන්නවද.. නැත්තන් අපි කේස් එකක් ෆයිල් කරමු.. මොකද.. මටත් දැනගන්න ඕන තමුසෙට ඇත්තටම ඕන වුණේ මොකක්ද කියලා.. අනික මේ විදියට බලනකොට තමුසේ ඩ්‍රග් ඩීලර් කෙනෙක්ද කියලා කවුද දන්නේ..."
නෑනේ ළඟ පාත හොඳ ගඩොල් බාගයක් මේ මිනිහගේ කැඩිච්ච කකුළ මැදටම අතාරින්න..
මුන්ගේ ඔක්කොම කුණු ටික අන්තිමට හේදිලා යන්නෙ මන් දාපු ලුණු ටික උඩින්.. හනේ යකොව්...
හිත කොයිතරම් තර්ක කරත් ඔය එකක්වත් එළිපිට කියලා දිනන්න පුළුවන් ඒවා නෙමේ.. මේ මනුස්සයා මගේ පූරූවේ වෛරක්කාරයෙක්ද කොහෙද.. අපරාදේ කලින් දුක් වුණේ.. ශික්..
මොකද මන් කරන්නේ.. මොකද මන් කරන්නේ..
මන් බිම බලාගෙන ම දිගටම එක එක දේවල් හිතුවත් එකක්වත් වැඩකට ඇති අදහස් නෙමෙයි.. මොළේ මොට්ට වෙලා ද කොහෙද.. කිසිම අයිඩියාස් එකක් එන්නෑ...
"මොකද තමුසේ බිම බලන් තව ප්ලෑන් ගහනවද.. ආහ්... "
අර් ර් ර් ර් ර් ර් ර් ර් මේ පිස්සු මිනිහා..
ගොඩින් බේරගන්න බැරිවෙයිද දම්නෑ.. අහලා බලන්න ඕන..
"එහෙම නෙමෙයි.. අපිට බැරිවෙයිද.. මේක ගොඩින් බේරගන්න.. මන් අහන්නේ දුර දිග නොයා පොඩිවට හීනිවට වගේ බැරිවෙයිද... මන් කියන ඕනම දෙයක් කරන්නම්... මේවා පොලීසී ගාණේ අරන් යන්න ඕන දේවල් නෙමේ නේ අනික.. ඔයාටත් හරි නෑනේ... "
මන් කැපිච්ච පණුවෙක් වගේ දහයට දොළහට නැමීගෙන කියද්දි පවා මේ යස්සයා මන් දිහා රවාගෙන බලන් හිටපු එක විතරමයි කළේ.. තරුණ වයසෙන් හිරේ කූරූ ගනින්න බෑ දෙයියනේ..
"තමුසේ ඕන දෙයක් කරනවද..."
"අපොයි ඔව්.. අනිවාර්‍යෙන් ඕනම දෙයක්... ඕනම දෙයක්.."
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"හොඳයි.. එහෙනම් අපි කන්ට්‍රැක්ට් එකකට එමු... "
"මො...මොකක්.. කන්ට්‍රැක්ට් ඒ මොකටද..."
"බැරි නම් කමක් නෑ මන් මේ එවිඩන්ස් ටික ඔක්කොම පොලීසියට භාරදීලා තමුසේ ගාව ඩ්‍රග්ස් තිබුණා කියලා සැකයි කියලත් කියන්නම්... තමුසෙත් කැමති ඒ විදියටනේ..."
"අනේ නෑ නෑ නෑ නෑ.. නෑ.. මොන පිස්සුද.. නෑ අපි.. හරි අපි කන්ට්‍රැක්ට් එකකට එමු... ඕන එකක්.. "
අවයව විකුණලා දැම්මත් කමක් නෑ හත්තික්කේ.. මොන සාපයක්ද මේක.. ආදරේ කියලා මගුලක් හොයන් ඇවිත් අන්තිමට වළපල්ලට යන්න තමයි මට වෙන්නේ..
හොඳ වැඩේ අවින්දි උඹට..
"ආ සයින් කරනවා..."
කළුකුමාරයා කොහෙන්දෝ මන්දා ෆයිල් එකක් අරන් මගේ මූණටම දික් කරගෙන කිව්වා..
හ්හ්... මේකා ඒවා ඔක්කොම ලෑස්ති කරන් ඉදලා තියෙන්නෙ.. තනිකරම කුමන්ත්‍රණයක් මේක.. කමක් නෑ.. කමක් නෑ...
ලාස්ට් විල් එකට සයින් කරනවා කියලා හිතන් මන් ෆයිල් එක අතට අරගෙන ඒ කොළ ටික එහාට මෙහාට කරලා බැලුවේ මොනාද ලියලා තියෙන්නෙ කියලා...
"අවුරුද්දක් යනකන් තමුන්ට මගේ ගෙදරින් යන්න බෑ සහ මන් කියන දේවල් තමුන් හේතු අහන්නේ නැතුව කරන්න ඕන.. ඒකට මගේ පැත්තෙන් මේ දේවල් පිට නොවී තියාගන්නවා.. දෙපැත්තෙන් එක්කෙනෙක් හරි කොන්දේසි කඩ කරොත් මිලියන සීයක් මුදලින් ගෙවන්න වෙනවා.. ප්‍රශ්න තියෙනවද.."
මන් ෆයිල් එක බලනකොට කළුකුමාරයා කියවගෙන කියවගෙන ගියා..
මෙතන කාරණා පැහැදිලි කරන් යනකොට මට පේන විදියට මුන් හදන්නේ මන් දාපු ලුණු බෝතලේ කුඩු බෝතලයක් කියලා රටේ නැති කුණ්ඩවාලෙකට මාව පටලවන්න..
ඒත් ඇයි...
මට පිස්සු වගේ.. මේ මනුස්සයට මොකක්ද ඕන වෙලා තියෙන්නෙ...
කමක් නෑ අවුරුද්දයි නේ.. ලෙට්ස් ඩූ ඉට් අවින්දි... ෆයිටින්ග්...
ඕන මගුලක් කියලා නමෝ විත්තියෙන් මන් පේපර්ස් වලට සයින් කරලා ඉවර වෙනකොටම අර මූකලම් බස්සා මගෙන් ෆයිල් එක උදුරලා ගත්තා..
"මේකේ කොපි එකක් තමුසෙටත් හම්බෙයි.. එහෙනම්... ගුඩ් ලක් මිසිස් අවින්දි රන්දුනු..."
මිසිස් කියන එක ටිකක් බර කරලා අමූතූම ටයිප් එකේ මහා භූත හිනාවක් තොල් අස්සෙ තියාගෙන කළුකුමාරයා මට අත දික් කළා..
තියෙන දුස්ට දුර්ජන වැඩ සේරම කරලා එනවා මෙතන සිරික්කිය දාන්න.. මන් රවලා කාමරෙන් එළියට ආවේ කොහෙට හරි ගිහිල්ලා මගේ ඇඟ ඇතුළේ එකතු වෙලා තියෙන තරහා ඔක්කෝම පිට කරලා දාන්න හිතාගෙන...
•••••••••••••••••••••••••••••••••••••••
"මිස්ටර් කේශර මේ අයි කමින්.."
ඒ වෙනකොට මේඝ හිටියේ හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා ගෙදර ඇවිල්ලා.. වීල් චෙයා එක ජනේලේ ළඟින් තියාගෙන ඈත පේන අහස දිහා බලාගෙන කොල්ලා හිටියේ බර කල්පනාවක...
"පන්සිළු.. මන් ඉල්ලපු ඩීටෙල්ස් ටික ගෙනාවද..."
"ඔව් සර්.. මේ ෆයිල් එකේ තියෙනවා මිසිස් අවින්දිගේ ඔක්කොම ඩීටෙල්ස් ටික..."
පන්සිළු දීපු ෆයිල් එක අතට අරගෙන ඒ අතට මේ අතට පෙරළපු මේඝ නිකටට අත තියාගෙන කල්පනාවකට වැටුණා..
"ඒ කියන්නෙ දේවප්‍රියටයි අවින්දිටයි කනෙක්ශන්ස් තියෙනවා.... "
"ඔව් සර්.. සර්ගේ සැකේ හරි.. සමහර විට මිසිස් අවින්දි දේවප්‍රිය එවපු කෙනෙක් වෙන්න පුළුවන්.. "
"අපි බලමුකෝ.. සීසීටීවි රෙකෝඩ්ස් ක්ලියර් කරාද..."
"ඔව් සර් මන් ඒ ටික ඔක්කොම අයින් කළා... කෝකටත් ඕනවෙයි කියලා හිතලා කොපි එකක් මන් සර්ටත් මේල් කළා... මන් ඔෆිසර් එක්කත් කතා කරලා වැඩේ ශේප් කළා.. නැත්තන් සර් එයාලා ලොකුවට කේස් එක අදින්න හැදුවේ..."
"ගුඩ්......... සෝ එහෙනම් අපිට බලන් ඉන්න තියෙන්නෙ... මෙයාලා මොකක්ද කරන්නෙ කියලා..."
"සර්.. මන් ඇහුවොත් ඇයි මිසිස් අවින්දි එක්ක කන්ට්‍රෑක්ට් එකක් සයින් කළේ කියලා උත්තරයක් දෙන්න පුළුවන්ද..."
"කූඩුවේ ඉන්න සතා ඒකෙන් පැනලා නොයන්නනම් අනිවාර්‍යෙන් ලොක් එකකුත් දාන්න වෙනවනේ පන්සිළු... අනික.. අවින්දි දේවප්‍රියගෙ කෙනෙක් නම් අපි ඌට දැනෙන්න දෙන්න ඕන අපි උගේ ලණුව හොඳට අඹරගෙන ගිලිනවා කියලා.. "
"ඕකේ සර්.. මන් යන්නම් දැන්..."
පන්සිළු කාමරෙන් ගියාට පස්සේ මේඝගේ ඇස් ආයෙම හිස් අහස පුරාම එහෙ මෙහේ සැරිසරන්න ගත්තේ කිසිම බාධාවක් නැතුව.. හිතත් අවසරයක් නැතුවම එක එක පැතිවල රෝන්දේ ගහද්දි ඒ තද කළුපාට නපුරු ඇස් හෙමින් පියවුණේ ගතේ මහන්සියටත් වඩා හිතේ මහන්සිය වැඩි හින්දම වෙන්න ඇති...
°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°
මීළඟ මේඝයෙන් හමුවෙමු....