මේකට අදාල ඉතින් පොම්පය සහ බට සෙට් එක.
පොම්පය හැදිලා තියෙන්නෙ මොනවායින්ද?
ඔන්න පටක වැදගත් වෙන තැන
හෘත් පේශි වලින් නේ පොම්පය හැදිලා තියෙන්නෙ. ඔය පේශිවල හොඳට නම් කරපු රූපයක් ඔලුවේ තියෙන්න ඕනෙ..
ඒක අනෙක් ඒවායින් වෙන් වෙන්නෙ කොහොමද කියන එක දැනගෙන ඉන්න ඕනෙ.
දැන් අපි කියන හාට් ඇටෑක් එකකදි මොකද වෙන්නෙ? ඒකෙදි වෙන්නෙ මේ පොම්පෙ බිත්තිවලට ලේ සැපයුම අඩාල වෙනවා. ඒ කියන්නෙ ඔක්සිජන් නැතුව යනවා. ඔක්සිජන් නැතුව ගියාම සෛල මියයන්න පටන් ගන්නවා.
එතකොට පපුව රිදෙන ලෙඩෙක් ආවම අපි ලේ වලින් සහ පපුවෙ පටි එහෙමත් නැත්තම් ecg පටිවලින් තමා ලෙඩේ තීරණය කරන්නෙ.
ඔය ගන්න ecg පටි දිහා බලලා හාට් එකේ මෙන්න මේ කොටස් තමා විනාසවෙන්න පටන් අරන් තියෙන්නෙ කියලා අපිට කියන්න පුලුවන්.
අන්න ඒකට තමා පොම්පයේ කුටීර හතර සහ දොරවල් / කපාට වැදගත් වෙන්නෙ.
මේක නම් ඇඳලම මතක තියාගන්න ඕනෙ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ කියන හෘදයවස්තුව ❤ මේ හැඩය නම් නොවෙන බව....
ඉතින් මම ඒකෙ කොටස් කියන්න යන්නෙ නෑ. ඒවා දන්නවනේ ඔයාලා. දැන් මේ ecg පටියේ ඉහල පහල යෑම් සිද්ධ වෙලා තියෙන තැන අනුව අපට හිතාගන්න පුලුවන්.
උදාහරණයක් විදියට වම් කෝෂිකාවට අදාල කොටස් මිය යන්න පටන් අරන්ද කියන එක, කපාට ආශ්‍රිතව, කෝෂිකා අතර තියෙන බිත්ති වල ප්‍රශ්න වගේ.
වම් කෝෂිකාව ආශ්‍රිත හාට් ඇටෑක් එකක් නම් ප්‍රශ්න වැඩියි. ඒ ඇයි...
වම් කෝෂිකාව තමා මුළු ශරීරෙටම ලේ බෙදන්නෙ. ඒ නිසානෙ ඒකේ බිත්තිය ඝනකම්. ඉතින් මේ ඝනකම් බිත්තිය මැරුනොත් මොකද වෙන්නෙ, පොම්පය විදියට ලොකුම කාර්‍යයක් කරන කොටස ඇණහිටිනවා. ඒ කියන්නෙ heart failure එකක් සිද්ධ වෙන්න පුලුවන්. ඒ වගේ එකක් වුණාම ඉතින් දිගු කාලීන ප්‍රශ්න ගොඩක් ඉතුරු වෙනවා. අන්න ඒකයි ඔය කොටස්වල වැදගත්කම වෙන වෙනම දැනගන්න ඕනෙ.
එතකොට ඔය හාට් පොම්පෙට තියෙනවා ලේ සපයන බට පද්ධතියක් වගේම කරන්ට් එක සපයන වයර් පද්ධතියක්.
සරලව එහෙම හිතමු. ඔය බට පද්ධතිය තමයි coronary circulation එක. ඒකට සිංහලෙන් කියන නම මං හිතන්නෙ හෘදයේ රුධිර සංසරණ පද්ධතිය වෙන්න ඕනෙ.
ඔන්න ඔය බට දිගේ කොලෙස්ටෙරෝල් තැන්පත් වුණාම ඒවා හරහා ලේ ගමන අඩුවෙනවා. ඒ වගේම ඒ තැන්පතු ඇතුලට එක පාරට රුධිර වහනය වෙන්නත් පුලුවන් , ඒ වගේම ඒවා නිසා ලේ කැටි ඇති වෙන්නත් පුලුවන් . ඔන්න ඔය කරුණු තමා හාට් එකට ලේ සැපයුම අඩු කරන්නෙ.එතකොට තමා අර කලින් කිව්ව හාට් ඇටෑක් එන්නෙ.
සමහර හාට් ඇටෑක් වර්ග තියෙනවා ඒවා ආව ගමන් ඒකට හේතු වුණ ලේ කැටි දිය කරන්න ඕනෙ. ඒකට ඒ දිය කරන බේත වෙලාවට දෙන්න ඕනෙ. (පහුගිය කාලෙ නම් බෙහෙත් තිබ්බෙ නෑ )
සමහර හාට් ඇටෑක් වර්ග තියෙනවා , ඉක්මනින්ම ඔය හාට් එකේ බට පද්ධතිය චෙක් කරලා එක්කෝ බටය සුද්ද කරන්න ඕනෙ, නැත්තම් බයිපාස් ඔපරේෂන් එකක් කරන්න ඕනෙ. මේ බට පද්ධතිය චෙක් කරන්න පහසුකම් හැම තැනම නෑ. ජාතික රෝහල, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල වගේ රජයේ රෝහල් වල නම් නොමිලේ කෙරෙනවා. ඒත් පොරොත්තු ලේඛණ නම් දිගයි. අපි ඒ පරීක්ෂණයට කියන්නෙ cardiac angiogram කියලා.
වයර් පද්ධතිය තමයි හෘදයවස්තුවේ සන්නයන පද්ධතිය . මේ වයර්වලින් යන කරන්ට් එක ජනනය කරන්නෙ කවුද? SA node එක, එහෙමත් නැත්තම් sino atrial node, SA ගැටය කියලා සිංහලෙන් කියනවා වගෙයි මට මතක. ඒක විශේෂිත හෘත් පේශියක්. එයාගෙන් කරන්ට් එක ගන්නෙ AV ගැටය. එයා දෙනවා His bundle එකට, එතනින් දෙකට බෙදෙනවා වම් සහ දකුණු bundle branchවලට, ඉන්පස්සේ පර්කිංජි තන්තු වලට. ඔය මාර්ගය ඔස්සෙ යන කරන්ට් එක එක්ක තමා හෘත් චක්‍රය සිද්ධ වෙන්නෙ.
සමහර රෝගීන්ගෙ මේ ගැට එහෙම හරියට වැඩ කරන්නෙ නෑ. එතකොට ඉතින් හෘත් ස්පන්දනය පිස්සු නටන්න ගන්නවා. එයාට ඕනෙ ඕනෙ තාලෙට ගැහෙන්න දෙන්න බෑනෙ. එහෙම වුණොත් තවත් ප්‍රශ්න , ඒ නිසා අපි මේ සන්නයනය නිවැරදිව කරන්න පිටින් මැෂින් එකක් තැන්පත් කරනවා. ඒකට කියන්නෙ pace maker කියලා.
සරලව ඔය වගේ දේවල් තමා ඉතින් තියෙන්නෙ.
පපුවෙ හිලක් කියන එකත් ඉඳලා හිටලා අහන්න ලැබෙනවනේ. ඔය හිල් ඇතිවෙන්නෙ අම්මගෙ කුස තුල ඉන්නකොට, අපේ පද්ධති හැදෙද්දි, හාට් එකේ එක්කෝ කෝෂිකා අතර බිත්තිය, නැත්තම් කර්ණිකා අතර බිත්තිය හරියට වර්ධනය නොවුනම. එහෙම් වුනාම මොකද වෙන්නෙ.... වම් පැත්තෙයි දකුණු පැත්තෙයි ලේ මිශ්‍ර වෙනවා.
ඉතින් ඉස්සර වගේ නෙවෙයිනෙ දැන්. ඔය හිල් වලින් සමහර ඒවා නම් ඉපදිලා මාස කීපෙකින් වැහෙනවා. තව සමහර ඒවා තියෙනවා ඉපදිලා බබාගෙ පපුවෙ සද්දෙ මුලින්ම අහද්දිම තේරෙන. ඒවගේ බබාලා ඉක්මනට පහසුකම් තියෙන තැනකට මාරු කරනවා. ගොඩක් වෙලාවට නිසි වයස සහ බර ආවම "peadiatric cardiothoracic surgeon , ළමා උරස් හා හෘද ශල්‍ය වෛද්‍යවරු " ශල්‍යකර්ම කරලා හිල් වහනවා.
ඕවා තමා ඔයාලා දැන් පාඩම් කරන දේවල් ඉස්සරහට ඕනෙ වෙන හේතු....
A/n bio පාඩම් කළාට මතක හිටින්නෙ නැද්ද? මම දෙවනි පාර කරපු දේවල් ටිකක් වෙනම ලියන්නද... මට ටයිප් කරන්න කම්මැලියි අප්පා. පොඩි වීඩියෝ එකක් හදලා yt දාන්නත් පුලුවන් , අවුල මගෙ අකුරු කැතයි. කටහඬත් අවුල්. ඔයාලට ඕනෙ නම් කියන්න. ට්‍රයි එකක් දීලා බලන්නම්.
ලියන්න කල් ගියා මේ වැඩත් එක්ක. සොරි....