'' අය්යණ්ඩි.... ''
තමාගේ පිටුපසින් ඇසුණු , කලබලකාරී ගැඹුරු හඩට විසි තුන් හැවිරිදි සුග්‍රීව තිගැස්සී ගියේ ය.
සුග්‍රීව , රත්නද්වීපයේ පංච අධ්‍යාපනික අසපු අතරින් විශ්ව ශක්තිය සදහා ප්‍රසිද්ධියක් ඉසිලූ වෛශව අසපුවෙහි ප්‍රධාන මුනි වූ ම්‍යාන මුනිතුමන්ගේ උප භාර්යාවකට දාව උපත ලැබූ ම්‍යාන මුනිගේ වැඩිමහල්ම පුත්‍රයා විය.
ථිත, නැතිනම් තමාගෙන් පසු වැඩිමහල්ම , සිය බාල සහෝදරයාගේ මෙකී ආමන්ත්‍රණය සුග්‍රීව හට නුහුරු යමක් නොවී ය. තමාගේ මතකයෙහි ඇති කාලයේ පටන් ථිතගේ නිත්‍ය කාර්යය අය්යණ්ඩි යනුවෙන් හඩගසමින් තමා පිටුපසින් වැටී සිටීම විය.
ථිත ද ම්‍යාන මුනිට දාව වෛශව අසපුවෙහි අන්තපුරය වූ ඇසළ අංගනයෙහි වෙනත් උප දේවියකට දාව උපත ලැබූ තවත් මුනි පුත්‍රයෙකු විය.
ථිත හා තමා අතර වයස් පරතරය සුළු වූ බැවින් සුග්‍රීව හා ථිත සමීප සහෝදරයන් විය. ඔවුන් දෙදෙනාම වෛශව අසපුවෙහි ප්‍රධාන මුනිතුමන් වූ ම්‍යාන මුනිගේ වැඩිමහල්ම , පුත්‍රයන් දෙදෙනා විය.
ථිත තරමක් දැඩි පෙනුමකට හිමිකම් කී අතර කුඩා කළ ගැටුමකින් ඇතිවූ කුඩා කැළලක් ඔහුගේ නළල අසල විය. ඔහු නිරන්තර කලබලකාරී ස්වරූපයකට හිමිකම් කිවේ ය.
සුග්‍රීව , වනාහී අහිංසක සිනහාවකටත් සෞම්‍ය ස්වරූපයකටත් හිමිකම් කී අතර , ඔහු තරමක් දැඩිවන අවස්ථා ද අවශ්‍ය තරම් තිබුණි . තමාට වඩා ලාබාල සියලු මුනි ශිෂ්‍යයන්ගේ වගකීම් සුග්‍රීව වෙත පැවරී තිබූ අතර ඔවුන් හික්මවීමට ඉමහත් වෙහෙසක් දැරීමට සුග්‍රීවට සිදු විය .
අවසානයේ සිය අණට කීකරු වූ එකම බාල සොහොයුරා ලෙස ඔහු ථිත නම් කළේ ය.
'' කුමක් ද කරුණ ? '' සුග්‍රීව ථිත දෙස බලමින් බැරූරුම් ලෙස විමසුවේ ය.
'' මිධුනාථ.. භීෂ... '' ථිත කලබලයෙන් පැවසුවේ ය.
ථිත සම්පූර්ණ කාරණය පැවසීමට පෙරම සුග්‍රීව කාරණය වටහා ගත්තේ ය. එය වෛශව අසපුවෙහි ඒ තරම්ම සුලබ කාරණයක් විය . ඔහු ථිත පැමිණි දිශාවට දිව ගියේ ය.
වෛශව අසපුවෙහි නිරන්තර රණ්ඩු සරුවල් අතිශයින් සාමාන්‍ය විය. දිනයකට වරක් හෝ කිහිපරක්ම සිය බාල සොහොයුරන් දෙදෙනෙකු වූ මිධුනාථ හා භීෂ අතර ගැටුම් වැළැක්වීමට ගොසින්ම සුග්‍රීව හෙම්බත්ව සිටියේ ය.
තමා කාරුණික සිනහාවෙන් එය නවත්වන ලෙස කී විට මිධුනාථ හා හීෂ දෙදෙනාම තවත් ගැටුම් ඇති කරගන්නවා විනා අන් කිසිවක් සිදු නොකළේ ය.
පහළොස් හැවිරිදි මිධුනාථ නළලෙහි සිටම ලෙයින් නැහැවී ගොසින් සිටි අතර , සොළොස් හැවිරිදි භීෂගේ ද හස්තය මිධුනාථ අනුකම්පා විරහිතව බිද දමා තිබුණි. ඔවුන් දෙදෙනා අතර මෙකී තත්වය අතිශයින් සාමාන්‍ය වූ අතර කව්රුන් හෝ මැදිහත් නොවුන හොත් දෙදෙනාගෙන් අයෙක් මිය යන තෙක්ම ඔවුන් ගැටුමෙහි නිරත වන වග සුග්‍රීව දැන සිටියේ ය.
මෙවැනි තත්ව යටතේ සුග්‍රීවට හිස රදය සෑදිම අරුමයට කරුණක් නොවී ය. සමස්ත පුහුණු පිටියම යක්ෂ යුධ පිටියක් ව හමාර විය. සියලු දෙනා එකිනෙකා හා සටන් කරමින් සිටි අතර , අභය විසින් එකළොස් හැවිරිදි කුඩා මිගාර ද සටනට ඇදගෙන තිබෙනු සුග්‍රීව දුටුවේ ය.
'' නවත්වන්න !!! .. නවත්වන්න එය !! '' සුග්‍රීව කෑගැසුවේ ය. කිසිම ශිෂ්‍යයෙකුට සුග්‍රීව පැවසූ වදනක සේයාවක් හෝ නොඇසුණු අතර මිධුනාථ තමා දෙස බලා , තමා බලා සිටින වග ද හොදින්ම දැක සිතාමතාම භීෂ වෙත පහරක් එල්ල කරනු සුග්‍රීව කම්පනයෙන් බලා සිටියේ ය.
භීෂ ද තමාව නොසලකා හැර සිය චක්‍ර බලගන්වා මිධුනාථ වෙත ප්‍රතිප්‍රහාර එල්ල කරනු බලා සිටි සුග්‍රීව නැවතත් කෑගැසුවේ ය.
'' කුමක් ද මෙතන සිදු වන්නේ ? !!!!! සියලු දෙනා.. සන්සුන් වන්න.. '' සුග්‍රීව කැගැසුවේ ය. නමුත් අවාසනාවකට ඔහුගේ හඩට කීකරු වූ කිසිවෙකු එහි නොවී ය.
'' නවත්වනවා එය.. මෙලෙස ගැටුම් ඇතිකර ගැනීමට කව්රුන් ද නුඹලාට පැවසුවේ !!!!!! එය ද වෛශව අසපුවේ සිසුන්ගේ ස්වභාවය !!!!!!!! ආ ..... '' සුග්‍රීව සිය සෞම්‍ය හඩ යළිත් අවධි කිරීමට පෙර ථිත සිය ගැඹුරු හඩින් කෑගැසුවේ සමස්ත පුහුණු පිටියම එක් විනාඩියක් තුළ නිශ්චල කරමිනි. රණ්ඩු සරුවල් කරමින් සිටි සියලු දෙනා පසෙකට වූ අතර මිධුනාථ ද භීෂ අතහැර දැමුවේ ය.
'' සුග්‍රීව අය්යණ්ඩි..???? . '' භීෂ එවර තමාව එම මොහොතේ දුටුවා සේ හැසිරෙන අකාරයක් මිධුනාථ කිසිවෙකු නොසලකා හැර හිතුවක්කාර ලෙස සිය අසිපත ද සුරතට ගෙන පිටව යන අයුරුත් මිගාර සිය පිට හා ඉණ අසල අතාගාමින් හඩමින්ම නැගී සිටින ආකාරයත් සුග්‍රීවගේ හිස රදය දැඩි කරවී ය.
නමුත් ඔහු සියල්ල ඉවසාගනිමින් සෞම්‍ය සිනහාවකින් සියලු දෙනාටම සංග්‍රහ කළේ ය.
'' භීෂ , ඔබේ හස්තයට ප්‍රතිකාර ලබාගන්න... මැණික් කටුව අසලින් බිදී ගොසින් නොවේ ද ? වාෂධ , මිගාර රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යන්න... මිගාර, දැන් ඔය හැඩීම නවත්වන්න..
හේෂරාභ , ඔබට නැගී සිටීමට නොහැකි ද ? '' සුග්‍රීව සෞම්‍ය ලෙස විමසුවේ ය.
'' හැකියි , අය්යණ්ඩි.. '' මිගාරගේ වයසේම පසුවූ කුඩා දරුවා අපහසුවෙන් නැගී සිටිමින් පැවසුවේ ය.
'' සියලු දෙනා කුටි තුළට ගොසින් විවේක ගන්න... අදට පුහුණුවීම් අවසන්.. මා පියාණන් දැනුවත් කරන්නම්.. '' සුග්‍රීව අණ කළේ ය. එවර සියලු දෙනා ඔහුගේ අණට කීකරු වූ අතර සුග්‍රීව සැනසුම් සුසුමක් හෙළුවේ ය.
වෛශව මුනි ශිෂ්‍යයන් පිටව යන තුරු සිට සුග්‍රීව අනෙක් පස හැරුණේ ය. ඔහුගේ මුහුණෙහි සෞම්‍ය සිනහාව අතුරුදහන්ව ගිය අතර ඔහු ථිත වෙත දැඩි බැල්මක් හෙළුවේ ය.
'' අය්යණ්ඩි.. '' ථිත නිසැකවම තමාගේ පසුපසින් පැමිණෙන වග දැන සිටිය ද සුග්‍රීව ඔහු දෙස හැරී හෝ නොබැලුවේ ය.
සිය අන් බාල සොහොයුරන් වෙත කාරුණිකව සිනහාවකින් ද සංග්‍රහ කර ආමන්ත්‍රණය කරන සුග්‍රීව , ථිත සම්බන්ධව අනුගමනය කළ ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් විය. අන් අයුරකින් පැවසුවහොත් ඔහු තමාගේ අල්ප මාත්‍ර වුව ද සියලු කෝපය ථිත පිටින් යැවීමට පුරුදු වී සිටියේ ය.
'' කිම ද ?? තමුන් කුමක් ද බලාපොරොත්තු වූයේ එලෙස කෑගැසීමෙන් ??? මා නින්දාවට පත් කිරීම ද ? '' සුග්‍රීව විමසුවේ ය. නිසැකවම ඔහුගේ අණට කීකරු නොවන සිසුන් ථිතගේ අණට ක්ෂණිකව කීකරු වීම සුග්‍රීවගේ අභිමානයට කැළලක් විය.
'' ඒ-එසේ නොවේ.... '' ථිත සුපුරුදු ලෙස සිය කලබලකාරී ස්වරූපයෙන් වදන් අමුණනු සුග්‍රීව බලා සිටියේ ය. ථිතගේ ස්වරූපය සෑම විටම අතිශය කලබලකාරී බවක් ඉසිලුවේ ය. මෙකී කලබලකාරී බව නිසාම ථිත නිරන්තර අනතුරුවලට ලක් විය.
'' කුටිය වෙත යන්න ථිත.. '' සුග්‍රීව නැවතත් පැවසුවේ ථිතගේ කලබලකාරී දෙනෙත් මගහරිමිනි.
'' කමා කරන්න අය්යණ්ඩි.. '' ථිත ගැඹුරු හඩින් පැවසුවේ සුග්‍රීව වෙත සමාව අයදින සුළු බැල්මක් හෙළමිනි .
ථිතගේ හඩ එතරම් ගැඹුරු වීම සුග්‍රීව තිගැස්වීමට සමත් විය . තමා අසළ දැවටෙමින් සිටි කුඩා දරුවා පැවසූ අය්යණ්ඩි වදනේත් , ථිත දැන් පවසන අය්යණ්ඩි වදනේත් ඇති වෙනස සුග්‍රීව එලෙස කම්පනයට පත් කළේ ය. ථිත වයසින් වැඩෙත්ම ඔහුගේ හඩ මදින් මද ගැඹුරු වීහ සැබවින්ම සුග්‍රීව තිගැස්සවීමට සමත් වුවද ඔහු කිසිවිටකත් එය පිටතට නොපෙන්වී ය.
'' සුග්‍රීව කුමරුනි..... '' අතවැසි දාසියකගේ ආමන්ත්‍රණයට සුග්‍රීව එදෙසට සිය දිගු දෙනෙත් යොමු කළේ ය .
'' පවසන්න.. '' ඔහු සෞම්‍යව හා කරුණාවන්ත ලෙස පැවසුවේ ය.
'' ප්‍රධාන මුනිතුමන් ඔබ කැදවූවා... '' ඇය ආචාරශිලීව පැවසුවා ය.
'' මේ මොහොතේ ? ගැටුම සම්බන්ධව ද ? '' සුග්‍රීව විමසුවේ , පෙර සිදුවූ ගැටුම පියාණන්ගේ කන වැකී ඇත්දෝයි සිතමිනි.
'' නොවේ කුමරුනි.... පෙරදින රාත්‍රියේ...... '' දාසිය සිය හඩ අවධි කළා ය.
'' මා පැමිණෙනවා '' සුග්‍රීව ඉක්මනින් පැවසුවේ දාසියගේ මුවින් පිටවුණු වදන් කපා හරිමිනි. තමත් සිටගෙන සිටි ථිත ඔහු වෙතට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළනු සුග්‍රීව දුටුමුත් ඔහු කිසිවක් නොපැවසුවේ ය.
'' කුමක් හෝ ගැටලුවක් ද අය්යණ්ඩි ? '' ඔහු එවර කලබලයෙන් විමසනු සුග්‍රීවට ඇසුණි.
'' නැහැ !! පිටව යන ලෙස නොවේ ද පැවසුවේ !!! නුඹ දැන් මගේ අණට අකීකරු වනවා ද ? '' සුග්‍රීව , ථිත වෙත කෝපයෙන් පිළිතුරු දුන් අතර කිසිදු දිනෙක අතවැසි දාසියකට වුව ද හඩ උස් කර ආමන්ත්‍රණය නොකරන සුග්‍රීව ථිත වෙත බැන වදිනු ඇසීමෙන් දාසිය ද තිගැස්සී ගියා ය.
සුග්‍රීව , ඍජුව සිය පියාණන් බැහැදැකීමට ඔහුගේ කුටිය වෙත ගියේ ය.
වෛශව අසපුව වනාහි ඉසුරුපුරයෙහි අලංකාර පරිසරයක් තුළ පිහිටා තිබූ අධ්‍යාපනික අසපුවක් විය . ඇසළ මල් හා බිනරමලින් අලංකෘත වෛශව අසපුවෙහි සියලු දෙනා නිරන්තරයෙන් උත්පල පැහැ වස්ත්‍රයන් පළදමින් ඔවුන් මානසික ශක්තියේ ඉහළම ස්ථානයේ සිටින වග සංකේතවත් කළෝ ය.
සුග්‍රීව සන්සුන්ව ප්‍රධාන අසපුවෙහි හමුවීම් කුටිය වෙත පියමැන්නේ ය. ඔහු ශිලා අසුනෙහි අසුන්ගෙන සිටි පියාණන් වෙත හා ඔහුගේ ප්‍රධාන දේවිය වූ නිථිලා දේවියට ආචාර කළේ ය. නිථිලා දේවිය ද මෙහි සිටිම සුග්‍රීව තරමක් අපහසුතාවයට පත් කළ අතර , නිථිලා දේවිය වනාහී සිය පුත්‍රයා වූ භීෂ පිළිබද පමණක්ම තැකූ දේවියක් විය. ඇය ම්‍යාන මුනිගේ උප භාර්යාවන්ගේ දක්ෂතා සහිත පුත්‍රයන් පිළිකෙව් කළා ය.
'' සුග්‍රීව... අසුන් ගන්න... '' සුග්‍රීව මෙන්ම සෞම්‍ය පෞර්ෂයකට හිමිකම් කී ම්‍යාන මුනි මෘදුව පැවසුවේ ය.
සුග්‍රීව අසුන් නොගත්තේ ය. එය ඕනෑම මුනි පුත්‍රයෙකු ම්‍යාන මුනි බැහැදකින විට අනුගමනය කරන පිළිවෙත විය. ඔහු විනීතව අසුන් ගැනීම ප්‍රතික්ෂේප කළේ ය.
'' පියාණන් මා කැදවීමට හේතුව ? '' සුග්‍රීව විමසුව ද ඔහු ඒ වන විටත් හේතුව නිවැරදිව අනුමාන කර තිබුණි .
'' දීඝ අසපුවේ සුධාරක මුනිතුමන්ගේ වැඩිමහල් දියණිය , ස්වප්නාදී ... පිළිබද.. '' ම්‍යාන මුනිතුමන් පවසනු සුග්‍රීව සන්සුන්ව අසා සිටියේ ය.
'' නමුත් , පියාණෙනි.. තවමත් මා විවාහකට සූදානම් නොවේ... '' සුග්‍රීව සෞම්‍යව පැවසුවේ ය.
'' විවාහයකට සූදානම් නොවේ!!!!!!! ? ඔබ විසි තුන් හැවිරිදි වියත් ඉක්මවා ගොසින්.. '' නිථිලා දේවිය පවසනු සුග්‍රීව අසා සිටියේ ය. සුග්‍රීව නිහඩ විය . ඔහු සිය දෙනෙත් බිමට හෙළා නිහඩව බලා සිටියේ ය.
'' ස්වප්නාදී පිළිබද නුඹ කුමක් ද සිතන්නේ ? '' ම්‍යාන මුනි නැවතත් විමසුවේ ය.
'' ඇ-ය යහපත් තරුණියක්.. '' සුග්‍රීව අවංකව පිළිතුරු ලබාදුන්නේ ය. සැබවින්ම ස්වප්නාදී යහපත් තරුණියක් විය . නමුත් මේ මොහොතෙහි විවාහය පිළිබද සිතීම සුග්‍රීව වෙත සංකීර්ණ විය . ඔහුගේ මුහුණෙහි අහිංසක සිනහව අතුරුදන්ව ගොසින් තිබූ මුත් සෞම්‍ය පෙනුම එලෙසම විය .
'' සුග්‍රීව.. ඔබ විශ්ව ශක්තිය , අසිපත් ශිල්පය , ධනුර්ධ ශිල්පය පමණක් නොව සරෝද , සන්තූර වාදනය ද ප්‍රගුණ කර අවසන්... ඔබ වෙදකමට ද දක්ෂතා දක්වන වග මා දැනුවත්.. ඉදින් නුඹ වැනි දක්ෂතා ඇති තරුණයෙකුට ස්වප්නාදී මෙන් ගැළපෙන අන් කිසිදු තරුණියක් නොවේ....'' ම්‍යාන මුනි එවර තරමක් මෘදුව පැවසුවේ ය. ඔහු සුග්‍රීව එලෙස ඇගයීම නිථිලා දේවිය කෝප ගන්වන වග සුග්‍රීවද දැන සිටියේ ය.
'' නමුත් පියාණෙනි.. තවමත් මා.. ''
'' නුඹ කුමක් ද පවසන්නේ ? ඇය ඔබට නොගැළපෙන බව ද ? නුඹ ඒ තරම් පුහු මාන්නයෙන් හිස උදුම්මවා ගෙන ද ? '' නිථිලා දේවිය කෝපයෙන් කෑගසනු සුග්‍රීව අසා සිටියේ ය. ඔහු තවමත් සෞම්‍ය දෙනෙතින් ඇය දෙස කරුණාවන්තව බලා සිටියේ ය.
'' මා එය නොවේ අදහස් කළේ නිථිලා මෑණියනි... '' සුග්‍රීව මෘදුව පැවසුවේ ය. අයෙක් තමාට කෙතරම් භයානක ලෙස ඇමතුව ද ඒ තැනැත්තා හෝ තැනැත්තිය වෙත මෘදුව ඇමතීම සුග්‍රීවගේ ස්වභාවය විය. ඔහු කෝපගත්තේ අසාධාරණයට එරෙහිව හා ථිතට එරෙහිව පමණක් විය.
'' එසේ නම් අන් කුමක්ද ? නුඹට විවාහයට එරෙහි වීමට හේතුවක් නොවේනේ ?? '' ඇය නැවතත් විමසුවා ය.
'' සුග්‍රීව... නුඹ එකග ද ? '' එවර ම්‍යාන මුනි දැඩිව තරමක් කෝපාන්විතව විමසුවේ ය.
ඔහුගේ ඝන ඇහිබැම කෝපය හොදින් ඉස්මතු කර පෙන්වී ය. ඔහුගේ එකී ඝන ඇහිබැම් දායාද කරගත් සියලුම මුනි පුත්‍රයන් ද පහසුවෙන් අැවිළෙන සුළු අය වූහ . ම්‍යාන මුනිගේ කෝපය ක්‍රීඩා කිරීමට යමක් නොවූ වග සුග්‍රීව හොදින් දැන සිටියේ ය.
'' ඔබේ තීරණයක් පියාණෙනි.. '' අවසානයේ සුග්‍රීව පරාජය බාරගනිමින් පැවසුවේ ය.
ඔහු සිය අසිපත පිටුපසට මදක් සන්සුන් විය. ඔහුට එයට අකමැතිවීමට කිසිදු හේතුවක් නොතිබුණි . තමා හා සමවයසේ සිටි සිය මිතුරු ශිෂ්‍යයන් සියල්ලන්ම පාහේ ඒ වන විට විවාහක වග සුග්‍රීව දැන සිටියේ ය.
ඔහුට , වද වීමට කිසිදු කරුණක් නොවී ය. විවාහය ..... එය ඔහුට හුදෙක් සාමාන්‍ය රාජකාරී ක්‍රියාවක් මෙන් විය. තමා අන් සියලු වගකීම් ඉටු කරනු මෙන් විවාහ වගකීම් ද ඉටු කරනු ඇති වග සුග්‍රීව තමා වෙතම පවසා ගත්තේ ය.
ඔහු ප්‍රධාන අසපු කුටියෙන් පිටතට පැමිණ උද්‍යානයේ වූ පොකුණ දෙසට දෑස් යොමු කළේ ය. එහි පොකුණ අසල වූ ඇසළ ගසෙහි මල් කිනිති චලනය වෙමින් පොකුණෙහි චංචල ඡායාවන් අැතිකරනු සුග්‍රීව සෞම්‍ය මුහුණින් බලා සිටියේ ය.
ඔහු නිහඩවම සිය කුටිය පිහිටි කුලීන අසපුව වෙතට පිය මැන්නේ ය.
.
.
.
.
~ මතු සම්බන්ධයි ~